LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

යුපුන්ලා තිවංකලා කරන්නේ සෙල්ලමක් නෙමෙයි

යුපුන් අබේකෝන් සහ උෂාන් තිවංක යනු මේ මොහොතේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංාවට ක්‍රීඩකයින් පමණක් නොවෙති.මජර දේශපාලනය විසින් විනාශ කර ඇති ශ්‍රී ලංකාවේ කීර්ති නාමය මත තමන්ගේ දහදියෙන් පොඟවා හැකියාව පැලැස්තර කර දමමින් සිටින්නෝය.

විදේශයන් ශ්‍රී ලංකාව දෙස බලන්නේ සුබවාදී ආකල්පයකින් නොවේය.බංකොළොත් රාජ්‍යයක් හැටියටය.ජනතාවගෙන් විශාල බහුතරයක් තෝරාගත් ආණ්ඩුවේ නායකත්වයට තව දුරටත් ඒකමතිකව හැසිරිමට හැකි ලෙස බලය ලබා දුන් බහුතර ජනතාවක් සිටින රටක් හැටියටය.ඒ නායකත්වය ඒ බලය භාවිතා කරමින් සම්පූර්ණයෙන් රට විනාශකාරී ආගාධයකට රැඟෙන ගොස් ඇත.ඉතාම දුර්වල පරිපාලන තීන්දුවලින් රට වට්ටවා තිබියදීත් දේශපාන නායකත්වය නිහතමානීව බලය අත හරිනු වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී චාරිත්‍රයන්ගේ බැහැරව ඊට එරෙහිවන ජනතාව බලහත්කාරයෙන් මර්ධනය කරන්නට උත්සාහ කරන රටක් හැටියටය.


මෙවැනි රටක් නිර්මාණය කිරීම සඳහා අකෘතඥ සහ අඳූරදර්ශී පාලකයන්ට මාවත විවර කර දුන්නේ ජනතාවය.එය ඕනෑම රටක සිඳු විය හැකිය.එහෙත් එය සිඳුවන්නේ ලෝකයේ අවධානය වෙනත් දෙසකට හරවමින්ය.රටේ ප්‍රධාන ජන වර්ඝය සහ බහුතරය නියෝජනය කරන ආගම විසින් ලබා දුන් ජනවරමක් හැටියටය.එම ජනවරම ජයග්‍රහණයෙන් පසුව නායකයා භාරගන්නේම එම ජාතිය සහ ආගම ප්‍රමුඛත්වයේ තබා ඒ හඬට කන් දෙන බව කියමින්ය.ඒ ජාතිවාදි සහ ආගම්වාදී නියෝජනයෙන් සුළු ජාතිකත්වයට සහ අනෙකුත් ආගම්වලට ඇති කරන පීඩනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇතිවන අහිතකර පිළිගැනීම තඹයකට මායිම් නොකර කරන දේශපාලන ප්‍රකාශ සමඟින් ඒ වන විටත් ජාත්‍යන්තරය ඉදිරියේ මානව හිමිකම් චෝදනාවන්ගේ ඉලක්කයක් වී තිබූ රට තව දුරටත් මානව හිමිකම් සම්බන්ධයෙන් වන විශ්වාසය පළුඳු කරවන තැනකට තල්ලු කරමින් කරන දේශපාලන ප්‍රකාශ මෙන්ම ජනතාව තැබූ අහිතකර විශ්වාසය හිතුමතේට හසුරවමින් රට වසර දෙකක් ඇතුළත ආර්ථික වශයෙන් විනාශකාරී අනර්ථයකට ඇඳ දමා අවසන්ය.


එසේම ජනාධිපති බලය යොදාගෙන,ලෝකයේ මහා කාරුණිකයාණන් වහන්සේ සේ විශ්වාස කරන බුදුන්ගේ ධර්මය සමාජගත කරන සංඝ ආශිර්වාදයද ඇතිව දරුවන් ඝාතනය කළ බවට චෝදනා ලැබ මරණ දණ්ඩනයේ සිටි අයෙක් නිදහස් කළේය.ඊ ළඟට දුමින්ද සිල්වා ය.ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කළ ස්වාමීන් වහන්සේය.මේවාට හැකිලෙන දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක නඩු ද එකතු විය.යම් අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා පත් කළ පොලිස් නිලධාරීන් රට හැර ගියේය.ඔවුන්ට එරෙහිව එවිට චෝදනා එල්ල වුයේ ඔවුන්ගේ සුළු ජාතික සම්භවය පදනම් කර ගනිමින්ය.ඉතුරු වූ නීතිගරුක නිලධාරි හිරයට දක්කා පරීක්ෂණ අඩාල කළේය.


ඒ අනුව නීතිය සම්බන්ධයෙන් විශ්වාසය නැති,එය බලය සහිත දේශපාලනය කේන්ද්‍ර කරගත් එකක් යැයි සැක සංකා මතු කරන තත්ත්වයට පත් විය.ආගම දඩයක්කාරී මුහුණුවරකින් පෙනෙන්නට විය.ඒ නිසා ආර්ථික වශයෙන් බංකොළොත් එමෙන්ම රටේ සිවිල් නීතිය ඇතුළත සමස්තයට සුරක්ෂිතභාවයක් සහ ඒ පිළිබඳ විශ්වාසයක් නැති අසමත් රාජ්‍යයක තත්තවයට ශ්‍රී ලංකාව පත් විය.අද ආර්ථික වශයෙන් කඩා වැටී ලොවෙන් හිඟමන් යදිමින් තිබෙන අසාර්ථක රාජ්‍යයක් ආර්ථික වශයෙන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදි නොවන පාලන රටාවෙන් බැහැරව සියලුම මනුෂ්‍යයන්ට ජිවත්වෙන්න ඇති අයිතිය සම්බන්ධයෙන් ගැටළු ඇති රටක් හැටියටද පිරිහි ඇති තත්ත්වයක ශ්‍රී ලංකාව දෙස මානුෂීය මුහුණුවරකින් ලෝකය බලන්නේ නැත.


ඒ නිසා අසමත් යන්නෙන් නොනැවතී අපකීර්තිමත් රාජ්‍යයක් යන තැනට ද ශ්‍රී ලංකාව පත් වී ඇති බව විදේශ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව ගැන කතා කරන සහ ඉදිරිපත් කරන තොරතුරු පැහැදිළි කරන්නේය.එවැනි තත්ත්වයක පුංචි ඉඩක් ලෝකයේ ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාව ගැන කීර්තිමත් වැකි ලියන්නට ඉතුරු කර ඇත්තේ යුපුන්ය.උෂාන් ය.ශ්‍රී ලංකා ලෙස උද්යෝගීමත් සහ තෘප්තිමත් හැඟීමකින් වචන පිට වෙන එකම ඉඩ බවට මේ මොහොතේ යුපුන් සහ තිවංක පත්ව ඇත.සමහරු මේ දෙදෙනා නිසා ශ්‍රී ලංකාව යනු කවර තැනක පිහිටි රාජ්‍යයක්ද එහි තත්ත්වය කවරේද යන්න සොයා,මෙවැනි ක්‍රීඩකයින් එවැනි රටක නියෝජනයන් විම සම්බන්ධයෙන් කම්පාවට පත්වෙනවා ද ඇත.
ජාත්‍යන්තර වශයෙන් සතුටුදායක ප්‍රවෘත්ති මවන්නන් බවට ශ්‍රී ලංකාව සතුව සිටින ප්‍රබලම මිනිස් සම්පත් දෙක මේ මොහොතේ යුපුන් සහ උෂාන් ය.එහෙත් ඔවුන්ට අනුන්ගේ ගීතයකින් මහ මැඳුරු මවන්නට තරම් රටේ නායකයෝ සමඟ සමීප හිතවත්කම් ඇති දෙමව්පියන් නැත.යුපුන්ගේ මව්පියන් පන්නල පැත්තේ සාමාන්‍ය විදිහට ජීවත්වෙන්නේය.උෂාන් තිවංකගේ පාද ආබාධිත මවත් පියාත් ජීවත්වන්නේ මහාභාගේ ආබාධිත ප්‍රජාව සඳහා වෙන් කර තිබෙන නිවාසයකය.


ඒ අම්මලා තාත්තලා ළඟට ගොස් රටට පුත්තු ගෙන එන කීර්තිය ගැන කතා කරන්නට රටේ නායකයෝ නැත.තමන් කළු කර දමා ඇති රටේ කීර්තියට පැහැබර සළකුණක් ඇති කරන ඔවුන් දෙදෙනා කරන සේවය ගැන කතා කරන්නට අමාත්‍යවරු හෝ ආණ්ඩු නැත.


එසේම දවසේ වැඩි හරියක් මහමඟ පෝලිම්වල ජීවිත දිය කර හරින මිනිස්සුන්ට ඇත්තේ හඩාවැටීම්ය.බැන වැදීම්ය.මාධ්‍යවලින් කොයි මොහොතේ තමන්ව වඩාත් අපහසුවට පත් කරන ප්‍රවෘත්තියක් ලැබේදැයි බලා සංතාපයට,කෝපයට සහ කළකිරීමට පත්ව බලා සිටින මිනිස්සුන්ට ලංකාව ගැන ආදරණිය සිනහවක් එන්නේ දුන්නෙන් මිදුණු හීයක් සේ සසැලෙන යුපුන්ගේ ජවාධික ධාවනයෙන්ය.එසේත් නැතිනම් දුන්නක් සේ ඉල්පී දිග හැරෙන උෂාන්ගේ සිරුර අවසානයේ සටහන් කරන ජයග්‍රාහී පිම්මක ප්‍රතිපයකින්ය.


ඒ නිසා ක්‍රීඩාව මේ රට සෙල්ලමක් ලෙස හඳුනාගෙන තිබුණ ද එය ඊට වඩා විද්‍යාත්මක ප්‍රකාශයක්ය.එය නිකමට කරන සෙල්ලමක් නොවේය.විද්‍යාණුකූල පසුබිමක පදනමක දිග හැරෙන වැඩ පිළිවෙලක පලයක්ය.ඒ ගැඹුරු විද්‍යාවෙන් සාර්ථක වන්නට හැකියාව,දැණුම සහ කියා නිම කළ නොහැකි තරමේ විශාල කැපවීමක් අවශ්‍යයය.ඒ සියල්ල ශරීරයට හිතට වද දෙන දුක් දෙන ප්‍රීතියේ අපේක්ෂාවන්ය.ඒවා පලදායි වන මොහොතේ ප්‍රතීයේ අයිතිය තනි පුද්ගලයෙකුට නොවන රටකටම අයිති එකක් බව යුපුන් හ උෂාන් හරහා මේ මොහොතේදීත් අසරණව වැටී සිටින රට තේරුම් ගනිමින් සිටින්නේය.රට සෙල්ලමක් කොට ගත් පාලකයන්ගේ නොහොබිනාකම් බිම ඇඳ වට්ටවා තිබෙන රටක එ නිසා යුපුන් සහ උෂාන් කරන්නේ සෙල්ලමක් නොවන බව පාලකයන් දත යුතුය.සම්පූර්ණයෙන් ලංකා මාතාව නිරුවත් වෙන්නට නොදී ඇයගේ ඉණේ යාන්තමට සිංහ රුව එල්ලා තබන යුපුන්ලා,උෂාන්ලා ගැන පාලකයන් මීට වඩා සැළකිල්ල යොමු කළ යුතුය.ජනතාවද ඔවුන් ගැන කතා කිරීම අරගලයේම කොටසක් කරගත යුතුය.
රටක් බිඳක්වත් සතුටු වෙන්නට දෙයක් නැතිවන තරමට ඇඳ වැටෙන මොහොතක ඉඳ හිට සිය සවිමත් ධාවනයෙන්,අපූර්ව පිම්මෙන් සනසන යුපුන්ට සහ උෂාන්ට රටක් හැටියට අපිට මේ මොහොතේ කිව හැකි දෙය් ඇත.ඒ “ස්තූතියි උඹලාට” යනුවෙන්ය.

1 thought on “යුපුන්ලා තිවංකලා කරන්නේ සෙල්ලමක් නෙමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *