රටින් පැන ගිය ගෝඨාට ආරක්ෂාව සහ වෛද්‍ය පහසුකම් තවමත් රජයේ වියදමින්

Security and medical facilities for Gota, who fled the country, are still at the expense of the government


ධුරය හැර රටින් පලාගිය ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 02 වැනිදා රාත්‍රියේ, රටට පැමිණියේය. විශේෂ පිළිගැනීම් හෝ උත්සව නොතිබුණද ඔහු ගුවන් තොටුපලෙන් ආවේ විශේෂ ආරක්ෂාවක් සහිතවය. එමෙන්ම රටට ආ ඔහුට පදිංචි වීමට කොළඹ මලලසේකර මාවතේ රජයේ නිල නිවාසයක්ද පිළියෙල කර තිබුණි.

ධුරය හැර රටින් පලාගොස් යළි පැමිණි හිටපු ජනාධිපතිවරයාට මේ ආකාරයට ආරක්ෂක හා නිල නිවාස පහසුකම් ලබාදීම මේ වනවිට විවාදයට ලක්වූ කරුණක් බවට පත්වී ඇත. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමහර නීතිඥයින්ද තර්ක කරන්නේ එකී පහසුකම් හිටපු ජනාධිපතිවරයාට හිමි නොවන බවයි. ඒ ඔහු සිය ධුර කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය පුද්ගලයෙකු නොවී ධුරය හැරගිය පුද්ගලයෙකු වීම නිසාය.

එම තර්ක කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය හැරයෑමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවෙන් තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ විසින් ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණෙන්නට පෙරම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම ඔවුන්ගේ වැන්දඹුවන්ට පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවයි. මෙම තර්ක සහ ප්‍රතිතර්ක කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. එහි සඳහන් වන්නේ ජනාධිපතිවරුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් හා විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ගෙවන විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් කලින් කලට පාර්ලිමේන්තුවට තීරණය කළ හැකි බවය.

සිය ධුර කාලය සම්පූර්ණ නොකර අතහැර යෑම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකු වශයෙන් සැළකිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිල නිවාස සම්බන්ධයෙන්වත් ඔවුන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන්වත් කිසිවක් සඳහන් වන්නේ නැත. එසේ වුවද ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක්ද විශේෂ ආරක්ෂාවක්ද ලබාදී ඇති බව දැන් රහසක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ධුරය හැර රටින් පලාගියේද ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ මේජර් ජෙනරාල් මහින්ද රණසිංහ හා තවත් ආරක්ෂකයෙකුද සමඟය. ඔහුට රටින් පලා යැමට පහසුකම් සැපයූවේද සාමාන්‍ය මගී ගුවන් යානයක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකි. ගෝඨාභය රාජපක්ෂව මාලදිවයිනට රැගෙන ගිය එම ගුවන් හමුදා යානය ආපසු රටට පැමිණියත් ඔහුත් සමඟ ගිය ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා වන මේජර් ජෙනරාල් මහින්ද රණසිංහ හා අනෙක් ආරක්ෂකයා ආපසු රටට පැමිණියේ නැත.

ඒ වෙනුවට ඔවුන් ගෝඨාභය රාපක්ෂ සමඟ සිංගප්පූරුවටද එතැනින් තායිලන්තයටද ගියහ. ඔවුන් ආපසු රටට
ආවේ ගෝඨාභය රාජපක්ෂ සමඟය. මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමඟ විදේශ ගතවන්නට ඔවුන්ට විශේෂ අවසරයක් ආරක්ෂක අංශවලින් හා රටේ දේශපාලන නායකත්වයෙන් ලැබිය යුතුමය. ඒ වනවිටත් ධුරයෙන් ඉවත්වී නොසිටි ජනාධිපතිවරයා නිසා ඔහු ධුරයෙන් ඉවත් වනතෙක් එම ආරක්ෂකයින් ඔහු සමඟ සිටීමට යම් නීත්‍යානුකූලභාවයක් ඇතැයි අප මොහොතකට සිතුවත් ධුරය හැරයෑමෙන් පසු තවදුරටත් ඔහුට එවැනි ආරක්ෂාවක් සැපයිය හැකිද යන්න හා මේජර්
ජෙනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයින් දෙදෙනාට නිල නොවන තත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ සමඟ සිටිය හැකිද යන්න ප්‍රශ්නයකි.

ඊට අමතරව මෙතෙක් වාර්තා නොවූ කරුණක්ද තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් වෛද්‍ය ජයසේනද ඔහු විදේශගත වී ටික දිනකින් ගෝඨාභය රාජපක්ෂගේ කටයුතු සඳහා රටින් පිටවීමය. ධුරය හැර ගිය ජනාධිපතිවරයෙකු සඳහා එවැන්නක් කළ හැකිද ? අනිවාර්යෙන්ම ඒ සඳහාත් ඉහළ ආරක්ෂක අංශ අනුමැතියක්
සහ දේශපාලන අනුමැතියක් අවශ්‍යමය. ඒ එම හමුදා වෛද්‍යවරයාව නිල වශයෙන් එකී කටයුතු වෙනුවෙන් විදේශගත
කිරීම සඳහාය. මේ සියලු කටයුතු සඳහා වැය වන්නේ මේ රටේ පොදු මහජන මුදල්ය.නිල වශයෙන් ජනාධිපති ධුර හෝ අගමැති ධුර නොදැරුවද රාජපක්ෂවරුන්ට තවමත් කළ නොහැක්කක් නොමැති බවටත්, මේ රට තවමත් නිල නොවන ආකාරයට පාලනය කරන්නේ රාජපක්ෂවරු බවටත් මෙම ක්‍රියාවන් හොඳම නිදසුන්ය.

එපමණක් නොවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ සෞඛ්‍ය කටයුතු සඳහා යුද හමුදා
වෛද්‍ය බලකායේ 40ක පමණ පිරිසක් අනුයුක්ත කර තිබුණි. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්
ඊට අයත් විය. ධුරය හැරයෑමෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ සෞඛ්‍ය ආරක්ෂාව සමීපයේ සිට බලා ගැනීමට විදේශගත කරන ලද වෛද්‍යවරයාද එම පිරිසෙන් එක් අයෙකි. මෙම වෛද්‍ය බලකා සාමාජිකයින් පිරිස ගෝඨාභය රාජපක්ෂ
ධුරය හැරයෑමෙන් පසු අනුයුක්ත කිරීමෙන් ඉවත් කිරීමට සූදානම් වූවත් එය එසේ සිදුවී නැත. ලැබුණු ඉහළ අණ වී ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින් තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අනුයුක්තව තබාගන්නා ලෙසය.

නීතියට අභියෝග කිරීමට කිසිවකුට ඉඩ නොතබන බවට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොතරම්
පුරසාරම් දෙඩුවද රාජපක්ෂලා වෙනුවෙන් තවමත් රටේ කටයුතු සිදුවන්නේ ඉහත සඳහන් කළ අනීතික තත්ත්වයන් යටතේය.
සැඟවිය නොහැකි යථාර්තය වන්නේ එයයි. කවුරු ජනාධිපතිකම් කළ ද රාජපක්ෂලාගේ බලය මේ රටෙන් තවම අවසන් වී නැති යන්න ඒ මගින් ලබාදෙන සංඥාවය.

(ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *