ජවිපෙ දේශප්‍රේමයට එරෙහිව ජාත්‍යන්තරවාදය වෙනුවෙන් දිවිපිදු ග්‍රේෂන් සහෝදරයාගේ මතකය දිගු කල් දිනේවා !

නන්දන නන්නෙත්ති විසිනි.

හලාවත තොඩුවාවේ දී, ජනතා විමුක්ත පෙරමුන (ජවිපෙ) ‘දේශප්‍රේමීන්’ විසින්, 4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කරනු ලැබිමෙන් වසර  34 ක් අද (24) දිනට සපිරෙයි.

ඒ වන විටත් විකොස සාමාජිකයෝ දෙදෙනෙක්, 1988 නොවැම්බර් 12 දින, සෞන්දර්ය ගුරුවරයෙකු වූ  ආර්.ඒ. පිටවෙල වැලිමඩ හඟුන්නාවේ දී ද, 1988 දෙසැම්බර් 23 සරසවි අනධ්‍යන සේවකයෙකු වූ, පී.එච්. ගුනපාල පේරාදෙනිය සරසවියේ දී ද, ජවිපෙ ඝාතකයන් විසින් ගොදුරු කර ගෙන තිබින. 1988-89 තුල, කම්කරු පන්ති සංවිධානවල නායකයෝ ගනනාවක් හා කම්කරුවෝ සිය ගනනක් ඇතුලු දහස් ගනනක් මිනිස්සු සහ ගැහැනු, තමන් හා ධනපති පන්තිය අතර වූ ලේ වැකි කේවලයට සහය නො වීම නිසා ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබූහ. 

ග්‍රේෂන්ට වෙඩි තැබීම සිදු කලේ 1989 ජූනි 23දා සවස ය. ඔහු ඉතා තරුන බිරිඳගෙන්, බිලිඳු පුතුගෙන් හා තම මව ඇතුලු ඥාතින්ගෙන් සදහට ම සමු ගත්තේ පසු දිනයේ, කොලඹ මහ රෝහලේ දී ය. 

Image Not Found
ජවිපෙ තර්ජන මැද සිය ගනනින් කම්කරුවන්, ධීවරයන් හා ප්‍රදේශවාසීන් ග්‍රේෂන් සහෝදරයාගේ දේහය රැගත් පෙලපාලියට එක් වේ

වෙඩි තැබීමට පෙර දින ග්‍රේෂන් සිය වැඩිමහල් සොහොයුරා වන විකොස ප්‍රභල සාමාජිකයෙක් වූ නිහාල් ගීකියනගේ සහ තවත් ලෝකල් සහෝදරයෙක් වන අයිවන් ඇතුලු විකොස සාමාජිකයන් සමග කොලඹ පක්ෂ කාර්යාලයේ රැස්වීමකට සහභාගි වූයේ පැන නැගී ඇති ආරක්ෂාව පිලිබද ගැටලු පිලිබද සාකච්ඡාවක් සදහා ය. ඊට දින කීපයකට පෙර නිහාල් සහ අයිවන් යන දෙදෙනා මරා දමන බව සදහන් නිර්නාමික ලිපි ද ලැබී තිබිනි. එදින මේ සියල්ල ගැන කල සාකච්ඡාවෙන් පසුව නිහාල්ට පක්ෂ කාර්යාලයේ වැඩ සදහා නතර වීමට සිදු වූ අතර, ග්‍රේෂන් පසු දින උදේ නිවසට ලගා විය.

ඒ සන්ධ්‍යාවේ ඔවුන්ගේ නිවස ඉදිරිපිට මාර්ගයේ දී අයිවන් සම්මුඛ වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිහාල්ට වෘත්තීය සමිතියකින් ලිපියක් බාර දීමට පැමිනි බව කියා ඇති අතර අදාල වෘත්තීය සමිතිය ගැන මේ පුද්ගලයන් දැන නො සිටි බව අයිවන්ට පෙනී ගියේ ය. එම සැකය නො තකා අයිවන් ග්‍රේෂන්ට කතා කලේ ය. ‘නිහාල් මහත්තයා මුන ගැසීමට’ පැමිනි බව මිනීමරුවෝ ග්‍රේෂන්ට ද පැවසූහ. දිගින් දිගටම නිහාල් ම ගැන විමසන විට “මම තමයි නිහාල්” කියමින් ග්‍රේෂන් ඉදිරියට පැමිනියේ මොවුන් තම සහෝදරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වන බවට හැඟී ගිය හෙයිනි. අමුත්තෝ ග්‍රේෂන්ගෙන් ඉවතට පැන ගොස් වෙඩි තබන්නට වූහ. වෙඩි හඩ ඇසී දිව ආ ග්‍රේෂන්ගේ මව එක් ඝාතකයෙකු බිම පෙරලා ගත් නමුත් ඇයට සහාය වීමට කිසිවෙක් නො වී ය. ඒ වන විට අයිවන් පලා ගොස් තිබිනි. එහෙත් ඇගෙන් ගැලවීම පහසු නැති බව වටහා ගත් ඝාතකයෝ තමන්ගේ බයිසිකලයත් අත් හැර පැන ගත්තෝ ය.

මේ මරනය ආසන්න වශයෙන් ගෙන ආ පනිවිඩය නම්, දේශපාලන පැහැදිලිකම හා දේශපාලන සංවේදීභාවය වෙනුවට ආදේශක නැති බව ය. ඊට දිනකට පෙර ද හලාවත ප්‍රදේශයේ පලපුරුදු සාමාජිකයන් දෙදෙනෙක් තොඩුවාවේ සහෝදරවරුන්ට අනතුරු ඇගවූහ. වෙඩි තබන දිනයේ උදේ වරුවේ හලාවත නගරයේ උද්ඝෝෂනයක නිරතව සිටියදී එය නතර කර ආරක්ෂක ස්ථානයකට යා යුතු ය යි එම සහෝදරවරු ග්‍රේෂන් ඇතුලු පිරිසට අවවාද කලහ. ඊට සුදුසු තැනක් ද සූදානම් කර වහාම එතැනට එන්නැයි ඉල්ලා සිටියහ. එහෙත් ඊට ඉහලින් කටයුතු මෙහෙය වූ කන්ඩායමක් මෙම යෝජනාව ‘බියගුලුකම’ හා  ‘කුලප්පුව’ ලෙස ලෙස හෙලා දැක තිබිනි. දේශපාලනයේ දී, ආරක්ෂාව යන කරුන හැම විටම පන්ති බලවේගවල ක්‍රියාකාරීත්වය පිලිබද ගැඹුරු දේශපාලන තක්සේරුවක් ඉල්ලා ද සිටී. අනෙක් අතට හතුරු ප්‍රහාරයක් සම්බන්ධ ඉඟි පිලිබද වැටහීම ප්‍රගුන කර තිබිය යුතු වන අතර සැකයේ වාසිය අත් නො හැරිය යුතුය. විප්ලවවාදියා බියගුල්ලකු නොවිය යුතු අතර ම, සතුරා හැඳිනීමේත්, එමෙන් ම සතුරා මග හැරීමේ හා සතුරාට මුහුන දීමේ කලාවත් දැන සිටිය යුතු ය.

Image Not Found
1987 දෙසැම්බර් විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයාගේ අවමංගල පෙරහැරේ ඉදිරියෙන් යන ග්‍රේෂන්

ජවිපෙ විසින් විකොස සාමාජිකයන් ඝාතනය කරනු ලැබීම ඒ වන විටත් ජවිපෙ ධනේශ්වර පද්ධතියට කෙතරම් බැඳී තිබුනේ ද යන්න පිලිබද පැහැදිලි සාක්ෂයකි. ඔවුන්ට ආන්ඩුවේ ඇමතිකම් තුනක් පිරිනැමීමට ජනාධිපති ප්‍රේමදාස සූදානම් ව සිටියේ ය යන්න දැන් රහසක් නො වේ. එපමනක් නො ව එම කාලය තුල ම ඔවුහු, හිටපු අගමැති සිරිමාවෝ බන්ඩාරනායක හෝ ඇගේ නියෝජිතයන් සමග ද සාකච්ඡාවලට සහභාගී වූහ. ඔවුනොවුන් අතර ලේ වැකි ගැටුම පන්ති පාලනය පවත්වා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ මිස එය පෙරලා දැමීම පිලිබඳ කරුනක් නො වී ය. එහි කොටසක් ලෙස දෙමල ජාතිය සමූලඝාතනය කිරීමේ වර්ගවාදී යුද්ධය පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව ද ඔවුන් අතර මතභේද තිබිනි.    

විකොස මෙම යුද්ධයට ආරම්භයේ සිටම ක්ෂමා විරහිත ලෙස විරුද්ධ විය. මේ යුද්ධය අපේ යුද්ධයක් නො වේ, මේ යුද්ධයට එක සතයක්, එක මිනිහෙක්, එක ලේ බිඳක් නො දෙනුයි එය සටන් වැදුනේ ය. 1979 ජූලි 17දා, එවකට විකොස රාජාංගනයේ සංවිධායක ආර්. පී පියදාස සහෝදරයා යුඇන්පී ආන්ඩුවේ හා පොලිසියේ පිටුබලය ලද කුලී මිනීමරුවන් විසින් මරා බිම හෙලනු ලැබීම පාලක පන්තිය ඊට එරෙහිව ගත් පියවරකි. පියදාස ඝාතනය කරනු ලැබුනේ එම ජුලි මාසයේ ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රය විසින් දෙමල ජනතාවට එරෙහිව මෙහයවනු ලැබූ ජන ඝාතක, දේපොල සංහාරක වර්ගවාදී ප්‍රහාරය මධ්‍යයේ ය. පියදාස දෙමල පීඩිතයන්ට එරෙහිව දියත් කල ප්‍රහාරයට හා ගම්බද ගොවීන්ට එරෙහි ක්‍රියාත්මක ධනේශ්වර පීඩනයට එරෙහිව සමාජවාදී ඉදිරි දර්ශනය සඳහා ගොවි ජනතාව අතර සටන් වැදුනෙකි.    

1983 ආරමිභ කල කොලඹ ආන්ඩුවේ යුද්ධය හා දකුනේ පන්ති අරගල උත්සන්න වීමත් සමග ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබිවේ ය. ඒ 1987 ජුලි 29 දා ය. මෙම ගිවිසුම පිලිබද විකොස 1987 නොවැම්බර් 19 දින සිය ප්‍රකාශය තුල එල්ටීටීඊයේ බංකොලොත් ජාතිකවාදය ක්ෂමා විරහිතව හෙලි කරමින්  සටහන් මෙසේ සන් කලේය:,

පීඩිත ජාතියක ධනේශ්වර පන්තිය තම ස්වයංනීර්නය යනුවෙන් අදහස් කරන්නේ ම තමන් සදහා ජාතික වරප්‍රසාද ලබා ගැනීම ද ‘ස්වාධීන’ රට තුල කම්කරුවන් හා ගොවියන් සූරා කෑම සදහා වාසිදායකම තත්වයන් තහවුරු කර ගැනීම ද වේ. එල්ටීටීඊය වැනි ධනේශ්වර ජාතිකවාදයේ ඉතාම රැඩිකල් ප්‍රවනතාවන් ද ඇතුලු සියලුම කොටස්වල පිලිවෙත් මෙම පන්ති අරමුන විසින් මෙහෙයවනු ලබයි. එය එම ප්‍රවනතාවන්හි දේශපාලන දේහයේ ව්‍යුහය නීර්නය කරයි. සෑම අවස්ථාවකම ධනේශ්වර ජාතිකවාදියෝ, විමුක්ති අරගලය සිය අත යටින් ඉවතට ගොස් ධනේශ්වර පාලනය පවත්වාගෙන යාමට එරෙහි තර්ජනයක් බවට පත් වීම වලක්වාලීමට වග බලා ගනිති.”

ඒ වන විට රැඩිකල් සුලු ධනපති පක්ෂයක් වූ ජවිපෙ, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වීමේ මුවාවෙන් ආරම්භ කල දේශප්‍රේමී ව්‍යාපාරය වටහා ගැනීමට ද ඉහත ඡේදයේ සදහන් විශ්ලේෂනය මත පදනම් විය යුතු ම ය. “පලමුව මවුබිම දෙවනුව වැඩ බිම! පලමුව මවුබිම දෙවනුව පාසැල!” වැනි ලේ වැකි ෆැසිස්ට් සටන්පාඨ මගින් එය සුලු ධනේශ්වර ගිනි මැලයක් සිය ධනපති සගයන්ට මෙන් ම කම්කරු පන්තියට එරෙහිව අවුලුවා ගත්තේ ය. එහි ප්‍රතිඵලය වූයේ 60,000කට වැඩි ගම්බද තරුනයන්ගේ ජීවිත බිලි ගැනීමට, පන්ති අරගලය යටපත් කර යුද්ධය උත්සන්න කිරීමට හා පෞද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ මෘග පාලනයට අවකාශ ලැබීම ය. 

ජවිපෙ හා ආන්ඩුවේ තුවක්කු දෙකටම මුහුන දුන් විකොස 1991 පෙබරවාරි 8 දා “ගම්බද ඝාතන නතරකරනු” යන හිසින් නිකුත් කල ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, එදා, රාජ්‍ය මර්දනය, එක් අතකින්උතුරු නැගෙනහිර පීඩිත දෙමල ජාතියට එරෙහි වර්ගවාදී යුද්ධයේ ද, අනික් අතින් දකුනේ තරුනයන් දුටු තැන වෙඩි තැබීමට අසීමිත නියෝග සහිත රුදුරු මිලිටරි- පොලිස්‌ ඝාතනයේ ද ස්වරූපය ගෙන ඇත.” ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු ප්‍රදේශ ඉන්දියන් හමුදාවට පැවරීම සිදු කලේ දකුනේ මෙම විනාශයට අවකාශ සදහා බව විකොස ඒ වන විටත් පෙන්වා දී තිබිනි. 

මෙම මූලධර්ම මත ප්‍රේමදාස ආන්ඩුවේ ප්‍රහාරයට දැනුවත්ව එරෙහිව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය මත පදනම් වීම නිසා ග්‍රේෂන් ඇතුලු විකොස සහෝදරවරුනගේ ජිවිත බිලි ගත් ජවිපෙ විවෘත ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී වර්ගවාදී යුද්ධය හා මර්දනය ඉදිරියට ගෙන ගිය ආන්ඩුවල ඇමතිකම්වල ලැගගත්තේ ය. දේශප්‍රේමීන් කම්කරු පන්තියේ අව්‍යාජ සටන්කරුවන් ඇතුලු පීඩිත මිනිසුන් දහස් ගනනකගේ ජිවිත බිලි ගත්තේ හා බිලි දුන්නේ මෙබදු අරමුනු උදෙසා ය යන කරුන හිතනමතන කිසිවෙකු විසින් අමතක නො කරනු ඇත.

ආසන්න වසයෙන් සැලකූ කල ග්‍රේෂන් තම පක්ෂයේ සිටි දැනුවත් හා ක්‍රියාශීලී සටන්කරුවෙකු වූ සිය සොහොයුරාගේ ජිවිතය තම දිවි දෙවෙනිකොට රැක ගැනීමට දැනුවත් ව සූදානම්ව සිටියේ ය. ඔහුගේ ඒ අරමුන ඉටු වී ඇත. එහෙත් එබදු සටන්කරුවකු අහිමි වීම දරා ගැනීමට පක්ෂයට, ඔහුගේ ආදරනීය යෞවන බිරිදට, චූටි පුතුට, ආදරනීය මවට, නිහාල් ඇතුලු පවුලේ සෙසු සාමාජිකයන්ට හෝ හිතවතුන්ට සිදු වීම ඛේදයකි.

1970 ගනන් අග භාගයේ සිට ලෝක ආර්ථිකය හා සමාජ ක්‍රමයේ පරස්පරයන් තීව්‍ර කල නිෂ්පාදනයේ භූගෝලීයකරනය, දේශප්‍රේමීන්, බෙදුම්වාදීන්, වෘත්තීයසමිතිවාදින් ඇතුලු සියලු ජාතිකවාදී ව්‍යාපාර විවෘත අධිරාජ්‍යවාදී ඒජන්සි බවට පරිවර්තනය කලේ ය. ඔවුහු ස්වයංනීර්නයේ නාමයෙන්, ඇතැම් තැන්වල රටවල් බෙදා කුඩා රාජ්‍ය කැබලි ලෝක අධිරාජ්‍යවාදී  ආර්ථිකයේ වේදිකා බවට පත් කිරීම ජිවනෝපාය බවට පත් කර ගැනීම ඇරඹුහ. 4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය විශ්ලේෂනය තුල සටහන් කර ගත් පරිදි, භූගෝලියකරනයට දැක් වූ මෙම ජාතිකවාදී ධනේශ්වර ප්‍රතිචාරයට එරෙහිව වෛෂයික යථාර්ථය වූයේ, භූගෝලීයකරනය ජාතික ආර්ථිකයන්ගේ පැවැත්ම අහෝසි කිරීම මිස ඒවා තව තවත් බෙදීම නො වේ. 

නමුත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය තුලමත් මේ විශ්ලේෂනය තුලින් මතු කල අභියෝගයන් සහමුලින් පැහැදිලි නො වීම පිලිබද ප්‍රශ්න මතු විය. පීඩිත ජාතීන්ට ස්වයංනීර්නය ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අත්පත් කර ගත හැකි වන්නේ කම්කරු පන්තියේ ආඥාදායකත්වය තුලින් පමනෙකි ය යන එහි ඉදිරි දර්ශනය නො තකා පක්ෂයේ වැඩි කන්ඩායම කියා සිටියේ පීඩිත ජාතියට මහා ජාතියේ මහජනයාට මුහුන දීමට සිදු වී ඇති ප්‍රශ්නවලට වඩා වෙනස් ප්‍රශ්නයක් නැති බව ය. ඒ නිසා ස්වයංනීර්නය හෝ ජාතික ගැටලුව කියා ප්‍රශ්නයක් ඇත්තේ ම නැතැයි ඔවුහු තර්ක කලහ.

මෙය පක්ෂයක් පීඩිත ජාතීන් සම්බන්ධයෙන් ධනපති තර්කය ම ගෙන හැර පෑමකි. පීඩිත ජාතිය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම පවතින්නේ මහ ජාතියේ කම්කරු පන්තිය ද ඇතුලත් ලෝක කම්කරු පන්තියට ය. ග්‍රේෂන් දිවි දී ආරක්ෂා කල ජිවිතය වන ඔහුගේ වැඩිමහල් සහෝදරයා – නිහාල් ගී කියනගේ – සහ ‘සසප වාමාංශය’ මෙම ජාත්‍යන්තරවාදී ආස්ථානය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වදින අතර එය ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ආකර්ශනය කරගත් විප්ලවවාදී මූලධර්ම රකිමින් ඔහුට සහ එම මූලධර්ම වෙනුවෙන් දිවී පිදූ සියලු සහෝදරවරුන්ට පිදෙන ආචාරය යි.

ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා පිලිබද මතකය දිගු කල් දිනේවා!   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed