“ලයත්තු කෝලිගල්” (වතු කිකිලියෝ) කම්කරුවන්ගේ ජීවිතය ප්‍රතිනිර්මානය කරන කලා කෘතියක

නන්දන නන්නෙත්ති විසිනි

රචනය -අධ්‍යක්ෂණය හා සංගීතය : ආර් .

ලෝගානන්දන් රංග වස්ත්‍රාභාරණ හා අංග රචනය : සෙල්වතිරාජ් ලිලාවති

රංග භාන්ඩ නිර්මානය:  එම්. නවනීදන්  

නිශ්පාදනය: Theatre Mates Culture Association  

Kotiyagala
ලයත්තු කෝලිගල් නාට්‍යය නරඹන කොටියාගල් වතු කම්කරුවෝ

වීදියේ හෝ වේදිකාවේ රඟ  දක්වනු පිනිස නිර්මානය කල “ලයත්තු කෝලිගල්” වතු කම්කරුවන්ගේ ජීවිතය හා අරගලය මූර්තිමත් කරන නාට්‍යයකි. එහි මංගල දැක්ම ජුලි 9දා හමුදාව, පොලිසිය, වතු පාලකයන් හා ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේ තර්ජන නො තකා බගවන්තලාව කොටියාගල වත්තේ ප්‍රදර්ශනය කෙරුනි. නාට්‍යය පසුව ජුලි 16 හා 18 දිනවල කර්නර්ස්වොල්ඩ් මැද කොටස හා කැම්පියන් (Champion) ඉහල කොටස යන වතුවල ප්‍රදර්ශනය කල අතර ඉදිරි කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී වේදිකාගත කිරීමට නියමිත ය.    

නාට්‍යයක් වතු කම්කරුවන් අතර රඟ දැක්වීම සිය ඔත්තු ජාලා හරහා දැනගත් ප්‍රදේශය භාර හමුදා ඛන්ඩයේ නිලධාරියෙක් තමන්ගේ අඩවියේ කුමන කටයුත්තක්වත් තමන් දැනුවත් නො කර නො කල යුතු යයි අධ්‍යක්ෂකවරයාට දුරකතනයෙන් කල දැනුම් දීමත්, වෘත්තීය සමිති නායකයෙක් මේවා කිරිමෙන් තමන්ට හිරිහැර විය හැකි නිසා නාට්‍යය ප්‍රදර්ශනයට ඉඩ දිය නො හැකි ය යි තර්ජනය කිරීමත් ඇතුලු බාධක රැසකට නාට්‍ය කන්ඩායම මුහුන දී තිබිනි.

නාට්‍ය අධ්‍යක්ෂක ලෝගනන්දන් තමා මුහුන දුන් අසීරු තත්වය පැහැදිලි කරමින්, “මගේ ජීවිතය අර්ථවත් කල ජුලි 9” යන හිසින් fb සටහනක් තබමින් මෙසේ විස්තර කර ඇත.      

“මෙදින මම ඉපදී, හැදුනු වැඩුනු මගේම වත්තේ නාට්‍යයක් රඟ දැක්වීමි. කොටියාගල ඉහල කොටස මගේ වත්ත ය. බගවන්තලාව අපේ ආසන්න නගරය යි. මගේ ජීවිතය නාට්‍ය කලාවයි. මා ඒ සදහා යොමු කල මගේ මුල, මගේ කොටියාගල වත්ත යි. 

“ඉතා සරලව ආරම්භ වූ අපේ නාට්‍ය නිර්මානය අවසානයේ දැවැන්ත මතභේද මධ්‍යයේ සමාජ නැගිටීමක් සමග ජනප්‍රියත්වය ද ලබා ගත්තේ ය. “ලයත්තු කෝලිගල්” ‌ඓතිහාසික සිදු වීමක් වූයේ ය. 

“මේ සටහන… අපේ මිනිසුන්ගේ ධෛර්ය ගැන ය. අපේ නාට්‍ය කන්ඩායමේ කැපවීම හා බලාපොරොත්තු බිඳ වැටෙද්දී ඒ ආශ්චර්යය සිදු විය. මගේ දයාබර දනාස් අයියා නාට්‍ය කරන්න එපා යි සැරපරුෂ ලෙස තර්ජනය කල අය ඉතා සරලව හසුරුවා ගත්තේ ය. ඔහු අප වත්තේ හිටපු විරෝධතාකරු මරියසුසෙයි මාමාගේ පුතා වීම විශේෂයකි. මේ අවස්ථාවේ දී මා සමග උරෙනුර ගැටී නැගී සිටි මගේ ආදරනීය සහෝදරයන් වන ප්‍රකාශ් සහ විමල්කාන්ත්ගේ උත්සාහය හරහා ප්‍රදර්ශනය වූ ඔවුන්ගේ ආත්මාභිමානය මා ස්පර්ශ කලේ ය. ඔවුන්ගේ ක්‍රියාව බොහෝ දෙනෙකුට ආදර්ශයකි. මෙවක් පටන් අඩම්බන්කොඩි (කම්කරුවන් දර මිටි බැඳීම වැනි කටයුතු වලට යොදා ගන්නා එකට තබා අඹරා ගත් කල ශක්තිමත් වැල් වර්ගයක්) ලෙල දෙන බව මගේ දුරකථනය මට තවමත් සහතික කරයි. අනාගත‌යේ බුද්ධිමය වෙනසක සලකුනු පහල වී ඇත. එදා නාට්‍යය පෙන්වීමට ඉඩ නොදෙන බව කී අය නොතකා එය ප්‍රදර්ශනය කිරීමට ලැබීම මට ආවේශයකි.  

“නාට්‍යය රංගගත කිරීමෙන් පසු කී දෙනෙක් මා සිප වැලඳ ගත්තාහු ද? ඔවුන්ගේ නෙත්වල සතුට උතුරා යමින් තිබිනි. දරුවන්ගෙ මුහුනුවල දිස් වූ ප්‍රීතිය! එය විස්තර කල නො හැකි සේ ය. ඔවුන් වෙනුවෙන් අපි නාට්‍යය කල යුතු ය. අපගේ ගමන දිගටම පවතිනු ඇත. අපි මහත් සමූහයක් ලෙස ගර්ජනා කරන්නෙමු.” 

Loganathan
උනුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග අධ්‍යක්ෂක එස්. ලෝගනන්දන්

මෙහි ඉහතින් මතු කර දැක් වූ පරිසරය ගැන පමනක් සිතා බැලුවත් ලයත්තු කෝලිගල් වනාහී නො වැලැක් විය හැකි ලෙස ‌ඓතිහාසික වෙනසක් ඉල්ලා සිටින අරගලයක සංකේතයකි. නාට්‍යයේ අපූර්ව ආකෘතියමත් එබඳු සමාජ අවශ්‍යතාවකින් පැන නඟින්නකි. 

එය කුකුලු හොරකමක් පිලිබද කතාවෙකි. මුරුගන් ආන්ඩි (එම්. අජන්තන්) හා ආන්ඩි මුරුගන් (ඒ. නවනීදන්) කුකුලු හොරු දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා තරගයට සොරකමේ යති. රට පුරා කුකුලන් සොරකම සිදුවන අතර මිනිස්සු සොර දෙටුවන්ට එරෙහිව කුකුලන් ආරක්ෂා කර ගැනීමට සටන් වැද සිටිති. මේ සටන නිරුපනය වන්නේ දුගී කත (එස්. සීදේවී), ඇගේ තරුන පුත් (එස්. වසීකරන්) සහ ඔවුන්ට සහාය වන තවත් කාන්තාවක් (කලෙයි දුරසි) යන චරිත ත්‍රිත්වයෙනි. නාට්‍යයේ සොරුන් සහ කාන්තාව අතර ගැටුම ඉහල තලයකට නංවමින්, දුගී කත තම කුකුලා රැක බලා ගැනීම සිය යෞවන පුත්‍රයාට පවර යි. හොරු නේකාකාර කෙලි බඩු දී ඔහු රවටා කුකුලා ලබා ගැනීමට පොර වැදී අසාර්ථක ව අවසානයේ ගිනි අවියක් පෙන්වා තර්ජනය කර කුකුලා පැහැර ගනී. චෞරයන් දෙදෙන කුකුලා සතුකර ගැනීමට කරගෙන යන අරගලයේ බේරුම්කරු බවට පත් වන යැංකි අධිරාජ්‍යවාදය සිහිගැන්වෙන වස්ත්‍රාභරනවලින් සැරසුනු ඉන්ද්‍රජාලිකයෙක් (එස්. ලීලාවතී) කුකුලාගේ උදරයෙන් මුදල් නෝට්ටු ඇදගෙන ඒවා තම සාක්කුවේ ලා ගනී. කාසි කීපයක් සොර දෙටුවන්ට අහුලා ගැනීම සඳහා බිම හලයි. හොරු ඊට ගිජු වන අතර ඉන්ද්‍රජාලිකයා පන්දම් දෙකක් ඒ දෙදෙනා අතට දී කුකුලා රැගෙන යයි. 

thieves
කුකුලු හොරු (එම්. නවනීදන් සහ එම්. අජන්තන්)

එවිට දුගී කත “මුලු ජීවිත කාලයම අපි හොයන්නෙ කුකුලෙක්. ඒත් අපිට ඇත්තටම අහිමි වුනේ මොකක් ද? ඒ තමයි අපේ ජීවිතේ.” යනුවෙන් දැඩි සිතින් නිවේදනය කරයි. නැතිවන්නට ජීවිතය හැර කිසිත් නැති ඇය ඇතුලු කම්කරු පන්තියට සටන් කිරිම හැර මාවතක් නැති බව පෙනී යයි. “අපිට නැති වී ඇත්තේ අපේ ජීවිතයමයි” නාට්‍යය නැරඹූ පසු කර්කර්ස්වෝල්ඩ් වත්තේ කම්කරුවෙකු අප ඉදිරියේ පුනරුච්චාරනය කලේය. මෙම වචන පොදුවේ වතු කම්කරුවන් අතර රාව ප්‍රතිරාව නංවනු ඇත.

estate workers
කම්කරු කාන්තාවන්, එස්. සීදේවි සහ එස්. කලෙයි අරසි

සොරු දෙදෙන එකිනෙකාට හොරෙන් එක ම කුකුලා සොරකම් කිරීමට දරන තැත, කාන්තාව ඒ හැම අවස්ථාවක ම අවසන් මොහොතේ මෙම ක්‍රියාවට මැදිහත් වී සොර දෙටුවන්ගේ අරමුන පරාජය කිරීම, මෙය නැවත නැවත සිදු වීම, කාන්තාව තම යෞවන පුතුට කුකුලාගේ ආරක්ෂාව පැවරීමෙන් පසු සොර දෙටුවන් අතර තරගය, ඔවුන් එම යෞවනයා රැවටීමට නානාප්‍රකාර උප්පරවැට්ටි යොදා ගැනීම, ඉන්ද්‍රජාලිකයා ප්‍රාදූර්භූත වී කුකුලාගේ අයිතිය පිලිබද සොරුන්ගේ පැමිනිල්ල විභාග කිරීම යන නාට්‍යමය අවස්ථා තෝරා බේරා ගැනීමෙහි දී අධ්‍යක්ෂක ලෝගනන්දන් සිය නිර්මානශීලීත්වය මොනවට  සනාථ කර ඇතිවා පමනක් නො ව, එය ම නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වුයේ ය.

සොරුන් දෙදෙනාගේ චරිතයට පන පොවන ප්‍රධාන නලුවන් දෙදෙනාගේ රංග විලාශය එම චරිත කෙරේ ප්‍රේක්ෂකයා තුල හාස්‍යය හා විරෝධය ඉස්මත්තට ගෙන එන අතර යථා ජිවිතයේ තමන්ට නිතර මුන ගැසෙන හා සිය ලේ දහඩිය උරා බී යැපෙන වෘත්තීය සමිති ඇතුලු දුෂ්ඨ පාලක පන්ති ප්‍රවනතාවන් ඉන් ප්‍රති නිර්මානය කර දැක්වේ. අධ්‍යක්ෂ ලෝගනන්දන් මෙම නලුවන්ගේ ඇඳුම් පැලඳුම්, අංග රචනා, ගමන් විලාස යනාදිය සඳහා දෙමල කූත්තු නාට්‍ය සම්ප්‍රදාය යොදා ගැනීම මගින් එම චරිත කම්කරුවන්ගේ ජීවිතවලින් ඈත් කර දැක ගැනීමට සලස්වා ඇත. එමෙන් ම කම්කරුවන්ගේ කුකුලාගෙන් ලබාගත් වස්තුව තමන් හිමි කරගෙන සොච්චමක් සොරුන්ට දෙන විනිසකරු වන ඉන්ද්‍රජාලිකයාගේ වස්ත්‍රාභරන හා රංගනය බටහිර අධිරාජ්‍යවාදය සිහිගන්වන පරිදි නිර්මානය කර කිරීම විශේෂ ය. කම්කරු චරිත තාත්වික සහ ශෛලීගත රංගන සම්ප්‍රදායයන් අතරතුර තාත්වික ශෛලියට මදක් සමිප වන ආකාරයෙන් මෙහෙයවීම නිසා ප්‍රේක්ෂකයාට තමන් ම දැක ගැනීමට අවස්ථාවක් සැලසේ. 

Magician
ඉන්ද්‍රජාලිකයා, එස්. ලීලාවතී

වතුකරයේ කූත්තු නාට්‍යවලට භාවිත වන තප්පු වාදනය අනුව යමින් අවනද්ධ භාන්ඩවලින් වැයෙන තාල නිර්මානශීලීව යොදා ගැනීම මඟින් රංගනයට ජවය හා රිද්මය සම්පාදනය කරනු ලැබීම පමනක් නො ව, වතු කම්කරු පරිසරය හා ඔවුන්ගේ ජීවිතය නැවත නැවතත් පිලිබිඹු කරන සබදතා වෙත අප යොමු කිරීම ද සිදු කෙරෙන බව හැඟේ. තප්පු වාදනය මීට වසර දෙසීයකට පෙර දකුනු ඉන්දීයානු කම්කරුවන් මහ මුහුද තරනය කර ලංකාවේ මහ වනාන්තර මැදින් කඳුකරය වෙත ගෙන ආ දුෂ්කර ගමනේ දී සතා සීපාවාගෙන් ආරක්ෂාව සදහා යොදාගත් අතර, එය අද දක්වා වතු කම්කරුවන්ගේ මගුල් අවමගුල් හා සියලු උත්සව කටයුතුවල දී යොදා ගැනේ.

නාට්‍යය, සොර දෙටුවන් දෙදෙනාගෙන් නියෝජනය වන වෘත්තීය සමිති හා නේකාකාර දක්ෂිනාංශික ව්‍යාජ වාම පෙරමුනුවලින් ආවරනය කෙරෙන ධනවාදී සමාජ ක්‍රමයට අභියෝගයක් වන අතර, එය විසින් අහිමි තරනු ලැබ ඇති වතු කම්කරුවන්ගේ ජිවිතය ධනවාදය තුල කවර කලෙක හෝ දිනාගැනීමට නුපුලුවන් වන නිසා කම්කරු පන්තිය තම ඉරනම විසඳා ගැනීම තමන්ගේ අතට ගත යුතු බව එයින් ඉස්මත්තට ගනී. මේ නිසා පිඩිත මිනිසුන්ගේ ජීවන අපේක්ෂා දල්වන ලයත්තු කෝලිගල් යථාර්ථවාදී කලා කෘතියක් ලෙස අගැයිය හැකි ය.

නාට්‍යය මුල සිට අගට ම සම්ප්‍රේෂනය කරන හැඟීම් පන්ති ස්වභාවයක් ගැනීමත් එය කම්කරු පන්තියේ  භාවයන් අවදි කිරීමත් හේතුවෙන්, එය සමාජ සංවර්ධනයේ වත්මන් අවධියේ ‌ඓතිහාසික අවශ්‍යතාව නියෝජනය කරන නිර්මානයක් වන අතර නිර්මානකරු ඒ සදහා අවදි කලේ කුමන සමාජ තතු විසින් ද යන්න සලකා බැලීම වටී.

අප දැනටමත් උපුටා දක්වා ඇති කලාකරුවාගේ ප්‍රකාශය ඊට සෑහෙන පිලිතුරු ලබා දෙන බව නිසැක ය. ශ්‍රී ලංකාවේ දෙසිය වසක වතු කම්කරු ජීවිතය පිලිබඳ සමරු සටහන් ලියවෙමින් පවති. සංවත්සරය විසින් කම්කරුවෝ තමන් ගැන ම සිතීමට පොලඹවනු ලබති. කොවිඩ් වසංගතයෙන් ඉක්බිති ගෙවී ගිය සිව් වසරක⁣ට ආසන්න කාලය තුල පන්ති සමාජයේ අර්බුදය යටපත් කල නො හැකි ලෙසින් ඉස්මතු වී දිග්ගැසෙමින් පැවතීම, එකී සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක වෙමින් වතු ජනයාගේ චිත්ත වේගයන් අවුලුවයි. මේ අතර ගෘහ සේවයට යොමු කල හැටන්, ඩයගම ඉෂාලිනී නම් පාසැල් වියේ වතු තරුනිය ගිනි තබාගෙන මිය ගිය 2021 ජුලි සිද්ධිය මේ මොහොතේත් වතු කම්කරු ජනයාගේ හදවත් දවමින් ඇති බව ඔවුන් සමග කල සාකච්චාවලදී අපට පෙනී ගියේ ය. ඉශාලිනී වතුකරයේ ජීවිතවල ඉරනම පිලිබඳ සංකේතයකි. අධ්‍යාපන, රැකියා, නිවාස වැනි මූලික අවශ්‍යතාවයන් යාන්තමින් ලබමින් සිටින වතුකරයේ දෙමල ජනයාට තම දරුවන් මත් ද්‍රව්‍යවලට යොමු කිරීම වැනි ප්‍රශ්නවලට ද  මුහුන දීමට සිදුව ඇත. වෘත්තීය සමිති හා ධනපති දේශපාලනය ඇති කරන බේදභින්න කිරීම් හා එම ව්‍යාපාර මගින් කම්කරු ජනයාගේ අරගල මැඩගෙන සිටීම යන මේ සියල්ල ප්‍රශ්නයට බඳුන් වී ඇත. මේ අතර අස්ථාවර ධනපති ආන්ඩු කුමන හෝ ප්‍රජාතන්ත්‍රිය අයිතියකට ඉඩ නො තබා පහර දීමට අදිටන් කරගෙන ක්‍රියාත්මක වී සිටිති. ජීවන තත්වයන් රුදුරු ලෙස කඩා වැටීම ඉවසිය නො හැකි තැන වතු තරුනයෝ ප්‍රථම වතාවට තම දෙමාපියන්ට අවම වසයෙන් රුපියල් දහසකවත් වැටුපක් ලැබිය යුතු යයි උද්ඝෝෂනයකට පෙරට ආහ. වෘත්තීය සමිති විසින් එම අරගලය පාවා දෙන ලදී. වතුකරයෙන් බිහි වී වතුකරයේ හැදී වැඩුනු අව්‍යාජ කලාකරුවාට මේවා නො තකා සිටිය හැකි නොවේ.      

Seedevi
ලයත්තු කෝලිගල් . එස්. සීදේවී සහ එස්. වසීකරන්

මෙම තිත්ත ඇත්ත සාර්ථක ලෙස ප්‍රති නිර්මානය කිරීමේ දී වතු කම්කරු පවුලක සාමාජිකාවක වන ප්‍රවීන රංගන ශිල්පිනී එස්. ලීලාවතීගේ කෙටි, නමුත් විශිෂ්ට රංගනය, දුෂ්ට සහ කෛරාටික පාලක පන්තියේ නියෝජනය වන ඉනද්‍රජාලිකයාගේ චරිතය තුලින් නාට්‍යයේ උච්ඡතම අවස්ථාව වර්නවත් කරයි. විශේෂයෙන් ඇය රංගන කලාවේ තාක්ෂනය ප්‍රගුන කර ඇති නිලියක් බව සනාථ කලා පමනක් නො ව, නාට්‍යයෙන් ප්‍රකාශයට පත් වන සමාජ අවශ්‍යතාව වටහාගෙන සංකල්පීය ලෙස ප්‍රති නිර්මනය කිරීම නිසා එම රංගනය කැපී පෙනුනි. දුගී කාන්තාවගේ චරිතය රග පෑ එස්. සීදේවීගේ රංග කුසලතාව ප්‍රේක්ෂක මතකය තුල රැඳුනු බවට සැක නැත. සොරුන් ලෙස රග පෑ එම්. අජන්තන්ට සහ එම්. නවනීදන්ට, ලීලාවතී පෑ කුසලතාව ලඟා කර ගත හැකි බව පැහැදිලි වන අතර, චරිතවල සමාජයීය තතු පිලිබඳ වැටහීම හා ශිල්පීය හැකියාව ප්‍රගුන කිරීම තුලින් නාට්‍යයට දැනට වඩා ආලෝකයක් වීමට ඔවුන්ට හැකි වනු ඇත. ආධුනිකයෙකු වන යෞවනයා එස්. වසීකරන් දෙබස් උච්චාරනයේ දී පෙන්වූ කුසලතාව සෙසු අභිනයන් සම්බන්ධයෙන් ද වැඩි දියුනු කර ගනු ඇතැයි අපේක්ෂා කල හැකි ය. 

නවනීදන්ගේ රංග භාන්ඩ නිර්මානය විශිෂ්ට ය. කුකුලා, කුකුල් කූඩුව සහ කෙලි බඩු, විශේෂයෙන් ගිනි අවියත් සෙල්ලම් බඩුවක් ලෙස පැහැදිලිව පෙනෙන ආකාරයෙන්  නිර්මානය කිරීමෙන් නාට්‍යයේ මුඛ්‍යාර්ථය ප්‍රබල ලෙස ඉස්මතු කිරීමට ඔහු දායක වෙයි.

මෙවන් නිර්මාන මැඩලීමට පාලක පන්තිය ගත් මෑත පියවරකි හිටිවන ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය කලා නිර්මානයක් නිසා අත් අඩංගුවට ගැනීම. 1970 බලයට පත් සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුව කලාවට එරෙහි දැඩි ප්‍රහාරයක් දියත් කලේ ය. එවක් පටන් මේ දක්වා දඩයමට ලක් වූ කලාකරුවෝ බොහෝ දෙනෙකි. වසර ගනනකට පෙර බගවන්තලාව සෙන්මේරිස් විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් විසින් නිර්මානය කරන ලද “වෙලිච්චම් වෙලියෙයි ඉල්ලෙයි” නාට්‍යය එවර ජාතික පාසල් නාට්‍ය තරගයෙන් අවසන් වටයට තේරී පත්වීමෙන් ද පසුව තහනම් කරමින්, සමාජ ප්‍රශ්න සාකච්චා කරන නාට්‍ය නිර්මානය කිරීමෙන් සිසුන් වැලැක්වීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කර ඇත්තාහ. ඒ අනුව සිසුන්ට වලංගු වන්නේ පැරනි සම්ප්‍රදායික නිර්මාන හා ඒවාට නව අර්ථකථන දීම පමනක් වන අතර, ඒ් සඳහා පැරනි ලිඛිත භාෂාව ම යොදා ගත යුතු බව ඔවුහු කියා සිටිති. දැන් නාට්‍ය තරග විනිසකරුවන්ට ලබා දෙන උපදෙස්වලට අනුව, ‘දේශපාලනය තහනම් ය’, ‘ආගම්වලට අපහාස නො විය යුතු ය’, යනාදී වශයෙන් වන විවිධ සීමාවන්ට කලා නිර්මානවල විෂයය පරාසය යටත් කර ඇත.        

මේ ආකාරයෙන්ම, ලෝ පුරා ආන්ඩු කලාවේ හා ප්‍රකාශනයේ නිදහස නොඉවසති. කලාවේ නිදහස උදෙසා ධනවාදයෙන් නිදහස් විය යුතු බව වටහා ගන්නා කලාකරුවාට පමනක් කලාව භාෂනයේ නිදහස ආරක්ෂා  කිරීමේ අරගලයට පිවිස එය රැක ගත හැකි ය. සමාජ යථාර්තයට අසම්බන්ධිත ‘කලාවක්’ කෙසේවත් උසස් සංස්කෘතියක් සඳහා ඉදිරි ගමනට සේවය නොකරයි. එලෙසින් සමාජ සංවර්ධනයේ උපයෝගිතාව පිලිගත් සැබෑ කලාව රැක ගැනීමට මූලිකත්වය ගත හැකි වන්නේ “ලයත්තු කෝලිගල්” නාට්‍යයට එරෙහි ව්‍යාපාරය පරාජය කල කම්කරු පන්තික බලවේගයට ය. ඒ අනුව  කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වී, සියලු භේදකාරීත්වයන් හා සීමා ඉක්මවා සහෝදරත්වයේ හස්තය දිගු කෙරෙන මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම අද දවසේ කලාකරුවාගේ ද ප්‍රමුඛ සමාජ වග කීම වන්නේ ය. ලෝගනන්දන් සටහන් කර ඇති පරිදි “අපි මහත් සමූහයක් ලෙස ගර්ජනා කරන්නෙමු.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed