ධනවතුන්ට දැවැන්ත බදු සහන දීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයට විනාශකාරී ලෙස බලපෑ ආකාරය හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් හෙලිදරව් වේ

0
6df02cf9fa352bc7b7ed4d3abf8e86d3cf2a6740
ඩබ්ල්ව් .ඒ. සුනිල් විසිනි

හියුමන් රයිට්ස් වොච් (හිරවො) ඔක්තෝබර් 14 වන දින “බදු තෑගි සහ පන අදින පාසල්” යන මැයෙන් නිකුත් කල වාර්තාවක  අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා මහා ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති පුලුල් බදු නිදහස් කිරීම් රටේ ආර්ථික අර්බුදය ගැඹුරු කර ඇති බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින රාජ්‍ය  අධ්‍යාපන ක්‍රමය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන එම වාර්තාව, සුභසාධන සහ සහනාධාර සඳහා රාජ්‍ය ප්‍රතිපාදන ක්‍රමානුකූලව කප්පාදු කරමින් ධනවතුන්ට දැවැන්ත බදු සහන සැලසීම මගින් පාලන බලයේ සිටි ආන්ඩු කම්කරුවන්ට සහ දුගීන්ට සමාජ ව්‍යසනයක් නිර්මානය කර ඇති බව පැහැදිලි කරයි.

1970 දශකයේ අග භාගයේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ බදු අය කිරීම් දල දේශීය නිෂ්පාදනයට (දදේනි) අනුපාතිකව පහත වැටීම, “දදේනි ට සාපේක්ෂව අධ්‍යාපන වියදම් අඛන්ඩව පහත වැටීමට හේතු වී තිබෙන” බව හිරවො ලේඛනය සටහන් කර ඇත.  “2019 දී දැඩි බදු කප්පාදුවලින් පසුව, මෙම අනුපාතය ලෝකයේ අඩු ම අගයන් අතරට වැටුන” බව  එය තවදුරටත් විස්තර කරයි.

මෙම කාල පරිච්ඡේදය ආරම්භ වූයේ 1977 දී බලයට පත් වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික  එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව යටතේ නිදහස් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමඟ ය. ශ්‍රී ලංකාවේ කල්පසු වූ ධනේශ්වර වර්ධනයට ආවේනික වූ දුර්වලතා ගැඹුරු කල ගෝලීය අර්බුදය විසින් පෙර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ–ලංකා සම සමාජ පක්ෂ–කොමියුනිස්ට් පක්ෂ සභාග ආන්ඩුව ගෙන ගිය ජාතිකවාදී ප්‍රතිපත්ති වලට වල කැපුනි. කම්කරු අරගල සහ ග්‍රාමීය නොසන්සුන්තාවන්ගෙන් කුලු ගැන්වුන 1976 මහා වැඩ වර්ජනයෙන් සභාග  පාලනය කම්මුතු කෙරුනි.

එජාපය තම ආන්ඩුවක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීයකරනය වූ නිෂ්පාදනයට ඒකාබද්ධ කිරීමට, විදේශීය ආයෝජකයින්ට දැවැන්ත බදු සහන ලබා දීමට, රාජ්‍ය අංශය කප්පාදු කිරීමට සහ සමාජ සහනාධාරවලට පුලුල් ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වෙමින්, සභාග පාලනයට එරෙහි මෙම මහජන විරෝධය  බේගල් පොරොන්දු දෙසා බාමින් ගසා කෑවේය.

1955 සිට 1970 දක්වා කාලය තුල රාජ්‍ය වියදම්වලින් සියයට 15 ක් පමන – දදේනි සියයට 3 සිට 5 දක්වා – අධ්‍යාපනය සඳහා වැය වූ අතර, එමඟින් අනෙකුත් සමාජ ආයෝජන සමඟ සාක්ෂරතාවයේ පුලුල් ප්‍රවේශයක් සහ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි විය. මෙම වාර්තාව 1940 දශකයේ මැද භාගයේ සිට 1970 ගනන්වල මුල් භාගය දක්වා රටවල් 59 ක සංඛ්‍යා ලේඛන සමග ලංකාවේ තත්වය සංසන්දනය කරමින්, ශ්‍රී ලංකාවේ පාසල්වලට ඇතුලත් වීම 1946 දී සියයට 41 සිට 1971 දී සියයට 86 දක්වා දෙගුන වූ බව සඳහන් කර තිබේ – එය දකුනු  ආසියානු සාමාන්‍යය වන සියයට 57 ට සහ ගෝලීය අඩු ආදායම් සාමාන්‍යය වන සියයට 37 ට වඩා බෙහෙවින් වැඩි ය.

හිරවො ඒ ගැන සඳහන් නොකල ද, 1940 අග භාගයේ සිට 1970 ගනන්වල අධ්‍යාපනයේ ඇති වූ වර්ධනය, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට සහ ශ්‍රී ලාංකික ධනේශ්වරයට එරෙහිව ග්‍රාමීය ජනතාවගේ සහයෝගය දිනාගත් කම්කරු පන්ති අරගලවල ප්‍රතිඵලයකි. එම කටුක අරගල වලින් ජනතාවට එම සීමිත  වර්ධනයන් අත්පත් කර ගැනීමට හැකි විය.

මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ ඇතැමෙක් සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීම පිලිබඳව ඊනියා “ලිබරල්” ධනේශ්වර දේශපාලකයන්ට ප්‍රශංසා කරති.1940 ගනන්වල අධ්‍යාපන ඇමති ව සිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නගර “නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස ඔටුනු පලඳවමින්, හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උප මහාද්වීප ශාඛාව වූ  ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) විසින් සමාජ අයිතීන් දිනා ගැනීමට මෙහෙය වන ලද මහජන අරගල ගැන ඔවුහු සම්පූර්නයෙන් ම නිහඬ ය.  මෙම ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සහ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා බ්‍රිතාන්‍ය විජිත පාලකයන්ට එරෙහිව ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තිය මෙහෙයවීමට සටන් කලේ සිරගත කිරීම් ඇතුලු කුරිරු මර්දනයන්ට මුහුන දෙමිනි. ආචාර්ය එන්.එම්. පෙරේරා 1944 දී අනෙකුත් බීඑල්පීඅයි නායකයින් සමඟ සිරගත ව සිටිය දී නිදහස් අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ඇයි? (Case for Free Education) යන ප්‍රකාශය ලිවීය.

1977 සිට වෙලඳපොල ප්‍රතිපත්ති යටතේ ආරම්භ කෙරුන රාජ්‍ය අධ්‍යාපන අරමුදල් කප්පාදු කිරීම අදටත් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ අඛන්ඩව  සිදුවන බව වාර්තාව පෙන්වා දෙයි. හිරවො ට අනුව, 1975–1977 කාලය තුල  අධ්‍යාපන වියදම මුලු රාජ්‍ය වියදමෙන් සියයට 10 සිට 11.4 දක්වා හෝ දදේනි සියයට 3.1 සිට 3.6 දක්වා විය. 1979 වන විට එය සියයට 7 දක්වා හෝ දදේනි සියයට 2.7 දක්වා පහත වැටී තිබුනි.

1977 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සහ ලෝක බැංකුව විසින් නියම කරන ලද මෙම කප්පාදු පියවරයන්, ගෝලීය ආර්ථික පසුබෑම, කොවිඩ් -19 වසංගතය සහ නේටෝව විසින් මෙහෙය වන රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධය මගින් උග්‍ර කරන ලද 2022 ආර්ථික බිඳවැටීමෙන් පසුව තවත් තීව්‍ර විය.

හිරවො වාර්තාවට අනුව, “අර්බුදය අතරතුර ශ්‍රී ලාංකිකයින් මිලියනයකට අධික පිරිසකට රැකියා අහිමි වූ අතර, විදුලිය ගාස්තු  ඉහල දැමීමෙන් පසු නිවාස මිලියනයකට විදුලිය අහිමි විය. මිලියන හතරකට අධික ජනතාවක් ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහලට තල්ලු කෙරුනි. ධනවතුන්ට වඩා තියුනු ලෙස පරිභෝජනය අඩු කිරීමෙන් දුප්පතුන් පීඩාවට පත්විය.”

නිදහස් අධ්‍යාපනය සඳහා වන රජයේ වියදම – “මුලු වියදමෙන් සියයට 5 ක් වැනි සොච්චමක්” – 2022 දී දදේනි සියයට 1.5 දක්වා පහත වැටී ඇති අතර එය -ලාඕසය සහ හයිටියට පමනක් පිටුපසින්- ලෝකයේ තුන්වන අඩුම අගය විය . “මෙය අවම වශයෙන් රාජ්‍ය වියදමෙන් සියයට 15 සිට 20 දක්වා සහ/හෝ දදේනි සියයට 4 සිට 6 දක්වා ප්‍රමානයක් ඉල්ලා සිටින ජාත්‍යන්තර මිනුම් දඬු වලට වඩා බෙහෙවින් අඩු” බව වාර්තාව නිරීක්ෂනය කරයි.

අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් හිරවො පාසල්වල කොන්දේසි පෙන්වා දෙයි. පිරිසිදු කිරීම සහ සැපයුම් වැනි මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ප්‍රමානවත් අරමුදල් වෙන් නොකරන බැවින්, “සංවර්ධන ගාස්තු, විභාග ගාස්තු සහ ජලය සහ විදුලිය සඳහා ගාස්තු පවා ගෙවීමට” දෙමාපියන්ට දැන් බල කෙරී ඇති බව පාසල් විදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරීහු  පැවසූහ. 

දෙමව්පියන්ට ගෙවීමට නොහැකි වූ විට, පාසල්වලට මෙම අවශ්‍යතා අහිමි වේ.  ධනවත් පවුල්වලට සේවය කරන පාසල් වඩා හොඳින් කලමනාකරනය වෙයි. මෙය දෙමාපියන්ගේ ආදායම් මට්ටම්  අනුව පාසල් අතර ගැඹුරු අසමානතාවයන් නිර්මානය කර ඇත.

ගුරුවරුන් ඇතුලු මූලික සම්පත් හිඟය පෞද්ගලික උපකාරක පන්ති වේගයෙන් ව්‍යාප්ත වීමට ද හේතු වී ඇති අතර, දෙමාපියන්ට ඔවුන්ගේ සොච්චම් ආදායමෙන් ඒ සඳහා මුදල් ගෙවීමට සිදු වේ. ඔවුන්ගේ අඩු වැටුප් නිසා ගුරුවරුන්ට ජීවනෝපාය සරිකර ගැනීමට පෞද්ගලික උපකාරක පන්තිවලට සම්බන්ධ වීමට  බල කෙරෙයි. කෙසේ වෙතත්, රාජ්‍ය අධ්‍යාපනය පිරිහීම නිසා විශාල ලාභ උපයන උපකාරක පන්ති කර්මාන්තයක් නැගීමට කොන්දේසි නිර්මානය කර තිබේ.

බොහෝ පවුල් දැන් අධික අධ්‍යාපන වියදම් දරමින් සිටින නමුදු, “ඉගෙනුම් ප්‍රතිඵල අඩාල වෙමින් පවතී.” ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම් “ඒ හා සමාන රටවල  ට වඩා පහලට වැටෙමින් පවතින” බවත්, ධනවත් සහ දුප්පත් සිසුන් අතර පරතරය පුලුල් වෙමින් පවතින බවත් වාර්තාව සඳහන් කරයි.

පසුගිය වසරේ මැතිවරන  ව්‍යාපාරය  තුල දී, අධ්‍යාපන වියදම් ඉහල නැංවීමට සහ ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් පොත් වැනි අත්‍යවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කිරීමට ජවිපෙ/ජාජබ පොරොන්දු විය. මෙම ව්‍යාජ පොරොන්දු දුන්නේ  අපකීර්තිමත් සම්ප්‍රදායික ප්‍රභූ පක්ෂ හෙලා දුටු ජනතාවගේ ඡන්ද ගසා කෑම සඳහා ය. ආන්ඩුව තවත් බොහෝ පොරොන්දු මෙන් මෙම පොරොන්දු ද කුනු කූඩයට දමා ඇත.  

ආන්ඩුව සුලු සහන – නොමිලේ දිවා ආහාර සහ දුප්පත් පවුල් සඳහා රුපියල් 6,000 (ඩොලර් 20) ක එක් වරක ගෙවීමක් – හඳුන්වා දුන්නද, මේවා පොරොන්දු වූ ඉලක්කය සපුරා නොගන්නා බව  හිරවො  ලේඛනය පැහැදිලි කරයි.  ඉදිරි වසර දෙක තුල ආන්ඩුව  අධ්‍යාපන වියදම් සියයට 10 ක් බැගින් වාර්ෂිකව වැඩිකරන බවට ද පුරෝකථනය කර ඇති, නමුත් ඉනිදු අධ්‍යාපනයට සියයට 6 වෙන්කිරීමේ ඉලක්කයට ලඟා වීමට නොහැකි බව  හිරවො පවසයි.

සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ යුනෙස්කෝව අධ්‍යාපනයට දදේනි සියයට 6 ක් සහ සෞඛ්‍යයට සියයට 3 ක් වෙන් කිරීමට නිර්දේශ කල ද, එය ලංකාවේ “හදිසියේ” ක්‍රියාත්මක කල නොහැකි බවයි. “නිසි පරිපාලන වෙනස්කම්” නොමැතිව කෙරෙන එවැනි වැඩිවීමක් “අකාර්යක්ෂමතාවයට හේතු විය හැකි” බව ඇය පැවසුවා ය.

රජයේ පාසල් ගුරුවරුන් 36,000ක හිඟයකට මුහුන දී සිටින බව අමරසූරිය මෑතක දී පාර්ලිමේන්තුවට පැවසූ නමුත් ආන්ඩුව එය විසඳීමට සැලසුම් කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීමට ඇය අපොහොසත් විය. ඒ වෙනුවට, ඇගේ අමාත්‍යාංශය වියදම් කපා හැරීම අරමුනු  කරගත් “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” අනුගමනය කරමින් සිටී.

කප්පාදු පියවරවල කොටසක් ලෙස, සිසුන් 50 ට අඩු හෝ පන්තියකට 10 ට අඩු පාසල් 1,500 කට වැඩි ප්‍රමානයක් වසා දැමීමට අමාත්‍යාංශය සැලසුම් කරයි. වාර්තාවලින් පෙනී යන්නේ වාර්ෂිකව සිසුන් 20,000 ක් පමන පාසල හැර යන බවත්, තවත් 80,000 ක් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් නොයන බවත්‍ ය.

රාජ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සහනාධාර පලල් කප්පාදුවකට ලක් කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් “ප්‍රතිව්‍යුහගත කිරීම” – ඒවා වසා දැමීම, සේවක සංඛ්‍යාව අඩු කිරීම හෝ පෞද්ගලීකරනය කිරීම – ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීම ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ආන්ඩුව සම්පූර්නයෙන් ම  වැලඳගෙන තිබේ.

වක්‍ර බදු හරහා කම්කරුවන් මත අධික බර පැටවීම මගින්, ශ්‍රී ලංකාව සිය ආදායම් එකතු කිරීමේ අනුපාතය දදේනි සියයට 15 දක්වා ඉහල නැංවිය යුතු බව ජාමූඅ විසින් ශ්‍රී ලංකාවට නියම  කර ඇතැයි හිරවො ලියවිල්ලේ තවදුරටත් සඳහන් වේ. 2021 සහ 2024 අතර, වැට් බද්ද  සියයට 8 සිට 20 දක්වා වැඩි කරන ලද අතර, අත්‍යවශ්‍ය භාන්ඩ  සහ පාසල් සැපයුම් ද ඊට එක් කරන ලදී. එමඟින් දුප්පත් පවුල් කෙරෙහි උද්ධමනයේ බලපෑම තවත් නරක අතට හැරුනි.

වැට් බදු වැඩි වීම් “විශේෂයෙන් ව්‍යසනකාරී” බවත් එය දරිද්‍රතාවය සියයට 3.9 කින් ඉහල යාමට දායක වූ බවත් 2024 ලෝක බැංකු සමාලෝචනයක් උපුටා දක්වමින් වාර්තාව සඳහන් කලේ ය. 

කෙසේ වෙතත්, අධ්‍යාපන අංශයේ සහ සමාජ තත්වයන්හි දැවැන්ත අර්බුදය පැහැදිලි කිරීමෙන් පසු, හිරවො ආන්ඩුවට පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත: 

උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත  අවලංගු කිරීම, සංස්ථාපිත බදු නිදහස් කිරීම් සීමා කිරීම; ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරන  ක්‍රියාත්මක කිරීම, දේපල, උරුමය සහ ධන බදු වැනි සෘජු බදු වලින් ලැබෙන ආදායම වැඩි කිරීම, වැට් බදු වැනි වක්‍ර බදු අඩු කිරීම; අධ්‍යාපනය සඳහා දදේනි සියයට 4–6ක් සහ සෞඛ්‍යය සඳහා සියයට 5ක් ඇතුලුව ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සමාජ වියදම් සඳහා ප්‍රමුඛත්වය දීම.

එම වාර්තාව, ජාමුඅ වෙත මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත: 

නය තිරසාරභාවය තක්සේරු කිරීම මගින් ආන්ඩුවට මානව හිමිකම් සපුරාලීමට ඉඩ සැලසෙන බව සහතික කිරීම, ආර්ථික ප්‍රතිලාභ අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් ඉහල දැමීම සැලකිල්ලට ගැනීම; ආදායම් මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය සහ ආන්තික තත්ත්වයට බලපාන මූල්‍ය ප්‍රතිපත්ති තක්සේරු කිරීම; බදු නිදහස් කිරීම් අඩු කිරීම, ඉහල ආදායම් සහ වත්කම් සඳහා සෘජු බදු වැඩි කිරීම; වැට් බදු ඇතුලු ව්‍යසනකාරී බදු අඩු කිරීම.   

මානව හිමිකම් සංවිධානයක් වන හිරවො ලෝක ධනේශ්වර ක්‍රමය තුල  පිලියම් සොයමින් සිටී. එය අර්බුදයට ලක් වූ රටවලට ජාමූඅ හි අනුකම්පා විරහිත මැදිහත්වීම් සඳහා ද සහාය වේ. ඒ හා සමානව, ධනේශ්වර ආන්ඩු විසින් මානුෂීය ප්‍රතිපත්ති අනුගමනය කල  යුතු ය. 

මේවා කම්කරු පන්තියට හා දුගීන්ට පල නොදරන නිෂ්ඵල බලාපොරොත්තු සහ මායාවන් ය. ගැඹුරු වන අර්බුදයකට සහ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතා පුපුරා යාමට මුහුන දෙමින්, ගෝලීය වශයෙන් සෑම ආන්ඩුවක් ම කම්කරු පන්තිය සහ දුප්පතුන් මත බර පටවයි. එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන රටවල් දැනටමත් ලෝක සම්පත් සඳහා යුද්ධයක් දියත් කරමින් සිටී. පාලක පන්තීහු ෆැසිස්ට් සහ මිලිටරි ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමට නැඹුරුව සිටිති.

පෙර නොවූ විරූ ආර්ථික බිඳ වැටීමෙන් හා විදේශ නය පැහැර හැරීමක් ප්‍රකාශ කිරීමෙන් පසු, ජාත්‍යන්තර නය හිමියන්ගේ අවශ්‍යතා සහ ලාභ පද්ධතිය සහතික කිරීම සඳහා ජාමූඅ  ශ්‍රී ලංකාවට ඇතුලු විය. අධිරාජ්‍ය ගැති පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක්ම එහි කෲර වැඩපිලිවෙල වැලඳගෙන තිබේ. කම්කරු පන්ති විරෝධී ක්‍රෑර ඉතිහාසයක් සහිත ධනේශ්වර සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙ/ජාජබ, ජාමූඅ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා බලයට ගෙන එනු ලැබ ඇත. 

කම්කරුවන්ට, ග්‍රාමීය දුප්පතුන්ට සහ පීඩිතයින්ට තම ජීවන සහ සමාජ තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ආරක්ෂා කර ගත හැකි වන්නේ , ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, ධනේශ්වර ක්‍රමයට සහ එහි ලාභ පද්ධතිය නියෝජනය කරන ජවිපෙ/ජාජබ  ආන්ඩුවට එරෙහි අරගලයකින් පමනි.

මෙම ඉදිරිදර්ශනය මත පදනම් ව, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුන  හා ශිෂ්‍ය සංවිධානය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, විශාල සමාගම් සහ වතු ජනසතු කිරීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන  කම්කරුවන්ගේ  හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *