ලලිත් කුගන් අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි විමසීමට ගෝඨාභය රාජපක්ෂ කැඳවේ
නවීන් දේවගේ විසිනි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරනය, ලලිත් කුගන් අතුරුදන් කිරීම සම්බන්ධ ව විභාග වෙමින් පවතින නඩුවට සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 29 වැනි දින කැඳවනු ලැබ ඇත. දශකයකට ආසන්න කාලයක් පුරා නඩුව මග හැරීමෙන් පසු, අවසානයේ රාජපක්ෂට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ සිට මාර්ගගත තාක්ෂනය ඔස්සේ සාක්ෂි දීමට නියම කර තිබේ.
ලලිත් සහ කුගන් යනු, 2011 වසරේ ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. 2011 දෙසැම්බර් 9 වැනි දින, ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් සිවිල් යුද සමයේ අතුරුදන් කලවුන්ගේ ඉරනම ගැන ප්‍රශ්න කරමින් විරෝධතාවක් සහ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී, ඔවුහු යාපනයේ සිට කිලෝමීටර් 20ක් පමන දුරින් පිහිටි අවරන්ගල් ප්‍රදේශයේදී පැහැර ගනු ලැබූහ. ඔවුන් ගමන් කල යතුරුපැදිය පසු ව පලාලි අධිආරක්ෂිත කලාපයට ආසන්න අච්චුවේලි ප්‍රදේශයෙන් සොයා ගැනිනි — මෙය ආරක්ෂක අංශවල සම්බන්ධය පිලිබඳ ප්‍රබල සාක්ෂියකි.
ලලිත් අවිස්සාවේල්ලේ වතු කම්කරුවකුගේ පුතෙකි. අතුරුදන් කිරීමට පෙර ඔහු නිරන්තර ආරක්ෂක අංශ හිරිහැරවලට ලක් විය: 2011 මාර්තු මාසයේ අත්අඩංගුවට ගැනීම, හඳුනා නොගත් පිරිසකගේ පහරදීම, සහ උතුරේ දේශපාලන කටයුතු නතර කරන ලෙස තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීම එම සිදුවීම් ය. මේවා අහඹු සිදුවීම් නොවේ — රාජ්‍යයේ මර්දන යන්ත්‍රය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් ක්රමානුකූල ව ක්‍රියාත්මක වූ ආකාරයයි.
මෙම අතුරුදන් කිරීම සිදු වූයේ සිවිල් යුද්ධය ලෙයින් අවසන් කර වසර දෙකහමාරකට පසු ව, ‘සුදු වෑන්’ පැහැර ගැනීම් සම්බන්ධයෙන් කුප්‍රකට වූ කාල පරිච්ඡේදයක ය. මහින්ද රාජපක්ෂ පාලනය ‘ත්රස්තවාදයට එරෙහි යුද්ධයෙන්’ පසු කම්කරු පන්තියට එරෙහි ව ‘ආර්ථික යුද්ධයක්’ දියත් කර තිබූ අතර, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට පැරාමිලිටරි කල්ලි බලමුලු ගන්වා තිබිනි. ලලිත් සහ කුගන්ගේ අතුරුදන් කිරීම මෙම පුලුල් කැරලි මර්දන උපාය මාර්ගයේ කොටසකි.
මාස කිහිපයකට පසු, එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ඔවුන් දෙදෙනා පැහැර ගැනීමකට ලක් වී නොමැති බවත් පොලිස් අත්අඩංගුවේ සිටින බවත් ය. මෙම ප්‍රකාශය රාජ්‍යයේ අනුදැනුම ඇතිව සිදු වූ අතුරුදන් කිරීමක් බවට සෘජු පිලිගැනීමක් විය. පවුල්වල ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කල හබයාස් කෝපුස් පෙත්සම යාපනය මහේස්ත්‍රාත් අධිකරනයට යොමු කෙරිනි. 2016 දී රඹුක්වැල්ල සාක්ෂි දෙමින් පැවසුවේ තමන් ඉදිරිපත් කලේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දුන් තොරතුරු බවයි.
එවකට ආරක්ෂක ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂය. ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුවත්භාවය පිලිබඳව ප්‍රශ්න කිරීම් සඳහා 2017 දී රාජපක්ෂට නොතීසි නිකුත් කල ද, ඔහු පලමු ව ආරක්ෂක හේතු ද පසුව සෞඛ්‍ය හේතු ද ඉදිරිපත් කරමින් නඩුව මග හැරියේ ය. රාජපක්ෂගේ ආරක්ෂාව ගැන උත්සුකය නඩු වාර මග හැරීමේ උපමාරුවක් පමනක් බවත්, දේශපාලන රැලි සඳහා ඔහු යාපනයට පැමිනීමෙන් එය සනාථවන බවත්, පැමිනිල්ලේ නිතීඥ නුවන් බෝපගේ අධිකරනයට පෙන්වා දුන්නේ ය.
2019 දී ජනාධිපති ධුරයට පත් වූ පසු, ඔහු සිය ජනාධිපති මුක්තිය යොදා ගනිමින් අභියාචනාධිකරනයෙන් තමන් සාක්ෂි සඳහා කැඳවීම වලක්වන තීන්දුවක් ලබා ගත්තේ ය. 2022 මහජන නැගිටීමෙන් පසු රටින් පලා ගොස් ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවීමෙන් අනතුරු ව අභියාචනාධිකරනයේ තීන්දුව බල රහිත කර නැවත හබයාස් කෝපුස් පෙත්සම විභාග කිරීමට රාජපක්ෂ කැඳවන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුනු අතර ඒ අනුව නැවතත් රාජපක්ෂට නොතීසි නිකුත් කෙරුනි. නැවතත් ආරක්ෂක හේතූන් මත අධිකරනය මග හැරි රාජපක්ෂට අවසානයේ මාර්ගගත ආකාරයෙන් සාක්ෂි ලබා දීමට පසුගිය නඩු වාරයේ දී තීන්දු කෙරුනි.
උතුරු නැගෙනහිර පලාත්වල යුද්ධය අවසන් වී වසර 17කට වැඩි කාලයක් ගත වී තිබිය දී ත්, දැඩි මිලිටරි වාඩිලෑමක් තවමත් පවතී. පොලිස්-මිලිටරි මුරපොලවල් ක්‍රියාත්මක වන අතර බුද්ධි අංශ නිලධාරීහු දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් නිරන්තර නිරීක්ෂනයට ලක් කරති. මෙම යථාර්ථය පසෙක තබා, දෙමල ජාතිකවාදී දේශපාලකයෝ අතුරුදන් වූවන්ගේ පවුල්වල විරෝධතා ජාත්‍යන්තර පරීක්ෂන ඉල්ලීම්වලට කොටු කිරීමට උත්සාහ කරති. ඔවුන්ගේ අරමුන වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම නොව, තම භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ‘ජාත්‍යන්තර පරීක්ෂන’ යෝජනා කරන වොෂින්ටනය පිටුපස ගාල් වෙමින් දෙමල ප්‍රභූ පැලැන්තියේ වරප්‍රසාද තහවුරු කර ගැනීමයි. ජාතිකවාදය — සිංහල හෝ දෙමල — කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සතුරු ය.
තම සගයන් දෙදෙනාට සිදු වූ දේ සෙවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගෙන යන අරගලයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය පූර්න සහයෝගය ප්‍රකාශ කරයි. එසේ කරනුයේ, සසප හා පෙසප අතර සමථයකට පත් කල නොහැකි මූලධර්මාත්මක දේශපාලනික වෙනස්කම් පැවතිය දී ය. පෙසප නායකයන් එකල ජවිපෙ සාමාජිකයන් ලෙස සිවිල් යුද්ධයට දුන් සහයෝගය සහ මිලිටරි අපරාධවලට දුන් ආවරනය කිසිසේත් අමතක කල නොහැකි ය. එහෙත් රාජ්‍ය මර්දනයට එරෙහි අරගලයේ දී මූලධර්මාත්මක සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.
සසප සිය අත්දැකීමෙන් මෙය දනී. 2007 මාර්තු 22 වැනි දින, සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන් කයිට්ස් දූපතේ සිට පුංගුඩුතිව් දක්වා වන පාලමේ ගමන් කරමින් සිටිය දී අතුරුදන් වූහ. සියලු සාක්ෂි මගින් නාවික හමුදාවේ සම්බන්ධය පෙන්වා දුන් නමුත්, මිලිටරිය, පොලිසිය ඇතුලු සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම මෙම අපරාධය වසන් කිරීමට ක්‍රියා කලේය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සසප නිල පැමිනිලි ගොනු කලද, කිසිදු පියවරක් ගනු නොලැබිනි.
මෙම අත්දැකීම් දෙක — ලලිත් සහ කුගන්ගේ අතුරුදන් කිරීම සහ විමලේශ්වරන්-මදිවදනන්ගේ අතුරුදන් කිරීම — එකම අඳුරු සත්‍යයක් තහවුරු කරයි: ධනේශ්වර පන්ති පාලනයේ සීමාවන් තුල යුද අපරාධ සහ රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් සැබෑ යුක්තියක් ලබා ගත නොහැකිය. ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය පිහිටුවා ඇත්තේම පන්ති මර්දනයේ උපකරන ලෙස ක්‍රියා කරන මිලිටරි-පොලිස්-බුද්ධි අංශ යන්ත්රනයක් පදනම් කර ගනිමිනි. අනුප්‍රාප්තික ආන්ඩු කිසිවක් මිලිටරිය හෙලිදරව් කරන අව්‍යාජ පරීක්ෂනයක් නොපවත්වනු ඇත — ඔවුන්ට එය නොහැකිය, මන්ද ඔවුන් සියල්ලෝම එක ම පන්ති පාලනයේ නියෝජිතයන් බැවිනි.
ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරන පොරොන්දු මත බලයට පත් වූ වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව, එම පොරොන්දු සියල්ල ඉවත දමා ඇත. ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීමේ මැතිවරන පොරොන්දුව අත්හැර දමා, ඒ වෙනුවට නව මර්දන නීති සම්මත කර ගනිමින් මර්දන යන්ත්‍රය ශක්තිමත් කරමින් සිටී. මෙයට හේතුව පැහැදිලිය: අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන සමාජ කෝපය මර්දනය කිරීමට ධනේශ්වර රාජ්‍යයට එහි ලේ වැකි ඉතිහාසයේ සම්පූර්න උරුමය අවශ්‍ය වන බැවිනි.
මර්දන පියවර උත්සන්න වන්නේ ධනපති ක්රමයේ අර්බුදයට එරෙහි ව පෙරලිකාරී වන කම්කරු-පීඩිත මහජනතාව තලා දැමීමට ය. එබැවින්, ප්රජාතන්ත්රවාදී අයිතීන් සම්බන්ධ ගැටලු අධිකරනයේ බිත්ති හතර තුල පමනක් විසඳිය නොහැකි ය. අතුරුදන් වූවන්ගේ පවුල්වලට, ලලිත් සහ කුගන්ට, විමලේශ්වරන් සහ මදිවදනන්ට සැබෑ සාධාරනයක් ඉෂ්ට කල හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනි.