වන සංරක්ෂන නිලධාරීහු පූනගරි එක්සත් මහජන සංවිධානයේ ලේකම් එස්. ආනන්දනඩරාජන්ට පහරදී අත්අඩංගුවට ගනිති
ආර්. රාජවෛ්ල් ,එන්. රංගේෂ් .
[මෙය,, இலங்கை வனத் திணைக்கள அதிகாரிகள் பூநகரி ஒன்றுபட்ட மக்கள் அமைப்பின் தலைவரை தாக்கி கைது செய்தனர் මැයෙන් 2026 සැප්තැම්බර් 16 වැනි දා දෙමල බසින් බල විය.]
ශ්‍රී ලංකාවේ තෙලිකරෙයි වන සංරක්ෂන දෙපාර්තමේන්තු (වසංදෙ)නිලධාරීහු පූනගරි එක්සත් මහජන සංවිධානයේ (පූඑමස) ලේකම් සංකරප්පිල්ලෙයි ආනන්දනඩරාජන්ට සැප්තැම්බර් 7 දා ප්රචන්ඩ ලෙස පහර දී අත්අඩංගුවට ගත්හ. මෙය, සමාගම් විසින් ඉඩම් කොල්ලකෑමට එරෙහි ව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාංචි හා පූනගරි ජනතාව දක්වන විරෝධය මර්දනය කරනු වස්, ඔවුන් බියගැන්වීමට ගත් පැහැදිලි උත්සාහයකි.
මෙම ප්‍රදේශවල ජනතාව පූඑමස සංවිධානය පිහිටුවා ගත්තේ, යෝජිත සුලං විදුලි බලාගාරය සහ ඛනිජ වැලි හා හුනුගල් කැනීම සඳහා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීමට එරෙහි ව විරෝධය දැක්වීමට ය.
සැප්තැම්බර් 7 සවස 5.30ට පමන, වසංදෙ නිලධාරීන් නව දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් කිරාංචියේ මොද්දයියන්කුලම්හි පිහිටි ආනන්දනදරාජන්ගේ ඉඩමට කඩා වැදුනෝ ය. ඔවුහු ඔහු වටලා, මාංචු දමා, රාජ්‍ය ඉඩමක් නීතිවිරෝධී ව තබාගෙන සිටින බවට බොරු චෝදනා කරමින්, බරපතල ලෙස පහර දී රැගෙන ගියහ. ඉන් අනතුරු ව ඔහු තෙලිකරෙයි වසංදෙ කාර්යාලයට ගෙන ගොස් පැය දෙකක පමන කාලයක් රඳවා තබා ගෙන සිට, පූනගරි පොලිස් ස්ථානයට භාර දෙනු ලැබී ය.
කිලිනොච්චියේ පදිංචි 59 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයකු වන ආනන්දනඩරාජන් හර්නියා, ඇදුම සහ අර්ශස් ඇතුලු දිගුකාලීන රෝගවලින් පීඩා විඳින අයෙකි. වනජීවි මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු ඔහු දැඩි වේදනාවෙන් සිටි අතර, මෙම නිදන්ගත රෝගවලින් ඔහු පෙලෙමින් සිටීම පවා නො තකා, කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නො දී ඔහු රාත්‍රිය පුරා පොලිස් ස්ථානයේ රඳවා තබා ගනු ලැබී ය.
පසු දා උදෑසන කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනු ඔහුට පුද්ගල ඇප ලබා දුනි. මීලඟ නඩු විභාගය 2027 සැප්තැම්බර් 28 දාට නියම කෙරිනි.
ඇප මත නිදහස් වූ පසු, ප්‍රහාරයේ බරපතලභාවය හේතුවෙන් ඔහු ම කිලිනොච්චි රෝහලට ඇතුලත් විය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ පූනගරි කම්කරුවන්, ගොවීන් හා ධීවරයන්ගේ ක්‍රියාකාරී කමිටුව (පූනගරි-කගොධීක්රික) මෙම ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකින අතර, ආනන්දනඩරාජන්ට එරෙහි නඩුව කොන්දේසි විරහිත ව ඉල්ලා අස්කර ගන්නා ලෙස බලකර සිටී.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතා කරමින්, ආනන්දනඩරාජන් තමන් මුහුන දුන් බියකරු අත්දැකීම විස්තර කලේ ය:
ඔහුගේ ඉඩම වන රක්ෂනයට අයත් බව නිලධාරීහු අවරාධනය කලහ. ආනන්දනඩරාජන් එයට විරුද්ධත්වය පල කල අවස්ථාවේ සිදු වූ දෙය ඔහු මෙසේ පැහැදිලි කලේ ය: “එකවර ම නිලධාරියෙක් මාව ප්රචන්ඩ විදියට අල්ලගෙන, අනෙක් නිලධාරීන්ට කතා කලා. ඔවුන් මට බලහත්කාරයෙන් මාංචු දැම්මා. ඊට පස්සේ අත් මිටි ගුලි කරලා මගේ පපුවට, බඩට, පිටට සහ උරහිස්වලට තිරිසන් විදියට පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් මාව වෑන් රථයට ඇදගෙන ගිහින් බිම වැටෙන්නට ගහලා ඊට පස්සේ වෑන් එකෙන් මට පයින් ගහලා එලියට දැම්මා. ඔවුන් මට සැලකුවේ අපරාධකාරයෙක් විදිහට.”
ප්‍රතිකාර ලබා නිවසට පැමිනි පසුවත්, හුස්ම ගැනීමේ අපහසුතා පැවති බවත් හදවතේ, මාංශපේශිවල සහ ශරීරයේ අනෙකුත් කොටස්වල වේදනාවෙන් පෙලුනු බවත් ඔහු වැඩිදුරටත් කීවේ ය.
අඛන්ඩ මහජන විරෝධතා හමුවේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ තැතිගැන්ම පෙන්වා දෙමින්, පූනගරි ප්‍රාදේශීය සභාවේ ජවිපෙ/ජාජබ මන්ත්‍රී වල්ලිපුරම් අත්බුදරාසා මෙම සිද්ධිය අතරතුර වසංදෙ නිලධාරීන් සමඟ සිටි බව ආනන්දනඩරාජන් ලෝසවෙඅට කීවේ ය.
මෙම ප්‍රහාරය හෙලා දකිමින් පූඑමස නායක අයි. කේසවන් මෙසේ කීවේ ය: “ ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් පූනගරි ජනතාව බිය ගැන්වීම මෙම ප්‍රහාරයේ අරමුනයි.”
තම ඉඩම් ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශයේ ජනතාව ගෙන ගිය අධිෂ්ඨානශීලී අරගලයට මුහුන දී ඇති ජවිපෙ/ජාජබ ආන්ඩුව, දශක ගනනාවක් තිස්සේ ජීවත් වූ සහ වගා කල ඉඩම් සඳහා නිසි ලේඛන නොමැති බවට ජනතාවට චෝදනා කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑමේ මෙම නින්දිත උපක්රමයට දැන් යොමු වී ඇත.
ආනන්දනඩරාජන්ගේ ඉඩම යෝජිත සුලං විදුලි ව්‍යාපෘති ප්‍රදේශය තුල පිහිටා ඇති අතර, එය ඔහු අත්අඩංගුවට ගැනීම ඉඩම් අත්පත් කරගැනීම පිලිබඳ ගැටුමට සෘජු ව ම සම්බන්ධ ය. ඔහු 1989 දී එය මිල දී ගත් අතර, දශක ගනනාවක් එහි පොල් වගා කර ඇත. යුද්ධය අතරතුර, අනෙකුත් බොහෝ පදිංචිකරුවන් සමඟ ඔහුට ද නිවස හා ඉඩම අතහැර යාමට සිදු විය. ෂෙල් ප්‍රහාරවලින් ඔහුගේ පොල් ගස් විනාශ විය.
2009 දී යුද්ධය ලේවැකි ලෙස අවසන් වීමෙන් පසු, ඔහු ද අනෙක් අය මෙන් නැවත ඉඩමට පැමින වගාව ආරම්භ කලේ ය. ඉන්පසු ඔහු රෝපනය කල පොල් ගස් ඔහුගේ ජීවනෝපායට වැදගත් ආදායම් මාර්ගයක් විය. උත්ප්රාසාත්මක ලෙස, පසුගිය වසර 17 පුරා වසංදෙට හෝ වෙනත් කිසිදු බලධාරියකුට ඔහුගේ ඉඩමේ නීත්‍යානුකූලභාවය පිලිබඳ ගැටලුවක් නො තිබුනි. දැන් හදිසියේ ම ආනන්දනඩරාජන්ගේ ඉඩම තමන්ට අයත් බව ඔවුන් සොයා ගෙන ඇත!
තම හිමිකම තහවුරු කර ගැනීමේ දී ආනන්දනඩරාජන් මුහුන දෙන දුෂ්කරතාව, පූනගරි ජනතාව බොහෝ දෙනෙකුට පොදු ය. යුද්ධය හේතුවෙන් සිදු වූ බලහත්කාර අවතැන්කිරීම් නිසා, බොහෝ පවුල්වලට තම ඉඩම් හිමිකම තහවුරු කරන ඔප්පු සහ වෙනත් ලේඛන අහිමි විය. නිසි ලේඛන නොමැති නම්, තමන් ජීවත් වන සහ වගා කරන ඉඩම්වල අයිතිය ඉල්ලා සිටිය නො හැකි බවට බොහෝ පදිංචිකරුවන්ට බලධාරීන් නිල නො වන ලෙස අනතුරු අඟවා තිබේ. “සුලං විදුලි ව්‍යාපෘතියට ඉඩම දෙන්නේ නැත්නම් ආන්ඩුව ඔබේ ඉඩම් ගන්නවා” යැයි එම බලධාරීහු ඔවුන්ට දැනුම් දුන්හ. අවම වසයෙන් කිහිපදෙනෙකු එකඟ වී ඇති අතර, අනෙකුත් පදිංචිකරුවන්ට තම ඉඩම් අත්හැරීමට බල කිරීමට බලධාරීන් එවැනි සිද්ධීන් යොදා ගනු ඇත.
මෙම ව්‍යාපෘති හේතුවෙන් පවුල් සිය ගනනකට සිය ඉඩම් සහ ජීවනෝපායන් අහිමි වනු ඇත. පාරිසරික විනාශය ඊටත් වඩා බරපතල වනු ඇත.
කිරාංචියේ, පොල් වගාබිම් සහ පෞද්ගලික ඉඩම්වල සුලං ටර්බයින 11ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එක් ටර්බයිනයකට අක්කර 6.25ක් පමන සහ පොල් ගස් 60 සිට 80 දක්වා විනාශ කිරීම අවශ්‍ය වන අතර, එමගින් ගොවි පවුල් 22කට අයත් අක්කර 56.25ක් සහ පොල් ගස් 2,500ක් පමන මෙලෙස විනාශයට ලක් කිරීමට සිදු වනු ඇත.
මේ අතර වේරවිල්, වැලෛපාඩු, පොන්නාවේලි සහ පලාවි යන ප්‍රදේශ, හුනුගල් කැනීම සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් සඳහා අක්කර 3,000ක් පමන අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ටෝකියෝ සිමෙන්ති සමාගමේ ව්‍යාපෘතියකට යොදා ගැනීමට නියමිත ය.
තමන්ට උරුම වූ ඉඩම් අහිමි වීම ගැන පමනක් නොව, බරපතල පාරිසරික සහ සෞඛ්‍ය ප්‍රතිවිපාක පිලිබඳ ව ද ප්‍රදේශවාසීහු බිය වෙති. පෙබරවාරි 7 දා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යැවූ පූඑමස සංවිධානය, යෝජිත සුලං විදුලි ව්‍යාපෘතියට සම්බන්ධ ගැටලු ඉස්මතු කලේ ය. නේවාසික ප්‍රදේශවල ටර්බයින ශබ්දය සහ උදෑසන හා සවස හිරු එලිය අඩුවීම ඉරුවාරදය, මානසික ආතතිය, කම්මැලිකම සහ සිසුන් අතර අවධානය මන්දගාමී කිරීමේ තත්වයන් ඇති කල හැකි බවට ඔවුහු අනතුරු ඇඟවූ හ. ව්‍යාපෘති දෙක ම මගින්, මුහුදු ජලය කෘෂිකාර්මික ඉඩම්වලට ඇතුලු වී, භූගත ජලය ලවනීකරනය වීමට ඉඩ සැලසිය හැකි බවට ද ප්‍රදේශවාසීහු උත්සුක වෙති. එමගින් වෙරලබඩ ගම්මානවල පවතින පිරිසිදු පානීය ජල හිඟය වඩාත් උග්‍ර වනු ඇත. ගැඹුරු හුනුගල් කැනීම් මගින් ද භූගත ජලයේ ලවනීකරනය වීමේ අවදානම තවත් ඉහල යා හැකි ය.
මෙම කරුනු සම්බන්ධයෙන් ජනතාව මාස ගනනාවක් පුරා අඛන්ඩව විරෝධතා පැවැත්වූ හ. ආනන්දනඩරාජන්ගේ පූඑමස සංවිධානය මැයි 28 දා කැඳවූ එවැනි විරෝධතාවකට 500කට අධික පිරිසක් සහභාගී වූ හ. ජනතා ඉඩම් සමාගම් ලාභ සඳහා විකිනීම නතර කරන ලෙස ඔවුහු ආන්ඩුවෙන් ඉල්ලා සිටි අතර, ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිහඬතාව ප්‍රශ්න කල හ.
ආනන්දනඩරාජන්ට එරෙහි ආන්ඩුවේ දඩයම, හුදෙක් නිලධාරීන්ගේ හුදකලා විෂමාචාර සිද්ධියක් නොවේ. එය ධනේශ්වර රාජ්‍යයේ, එයට පිටුබලය දෙන සංගතකරුවන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ ලාභ අවශ්‍යතාවන්ට තර්ජනය කරන ප්රතිරෝධයට ආන්ඩුව දක්වන පුලුල් ප්‍රතිචාරයේ කොටසකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ ආර්ථික නියෝග යටතේ ක්‍රියා කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, ඉඩම් සහ ස්වාභාවික සම්පත් සංගත සූරාකෑමට විවෘත කිරීම මගින්, ආයෝජන ආකර්ෂනය කර ගැනීමට උත්සාහ කරයි.
ආනන්දනඩරාජන්ගේ සිද්ධිය, පූඑමස සංවිධානයේ “දේශපාලනය එපා” යන සටන් පාඨයේ ප්රතිගාමී ස්වභාවය සහ දේශපාලන බංකොලොත්භාවය ද ඉස්මතු කරයි. මෙම සටන් පාඨය ප්‍රවර්ධනය කිරීමෙන්, ආන්ඩුව සමඟ සම්මුතියකට එලඹීමට තමන් සූදානම් බව සංඥා කරන පූඑමස, තමන් මුහුන දෙන ප්රහාරයන්ට අභියෝග කල හැකි ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් ජනතාවට අහිමි කරයි. බලධාරීන්ට කරන නිෂ්ඵල ආයාචනා මගින් එවන් ප්‍රහාර නතර කල නොහැක. ඉඩම් සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම, මෙම ව්‍යාපෘතිවලට පාදක වන ආන්ඩුවට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයෙන් වෙන් කල නොහැක.
ධනේශ්වර රාජ්‍යය සහ එහි ආයතන පිලිබඳ මිත්‍යාවන් හිතාමතාම වපුරන දෙමල ජාතිකවාදී පක්ෂවලට ආයාචනා කිරීමෙන් හෝ දේශපාලනික ව ඔවුන් සමඟ පෙල ගැසීමෙන් ඉදිරියට යාමට මගක් නිර්මානය නොවේ.
උදාහරනයක් ලෙස, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පාර්ලිමේන්තුවේ දී මෙසේ කීවේ ය: “මේ රටේ නීතියේ ආධිපත්‍යයක් සහ යුක්ති පද්ධතියක් තිබෙනවා. පොලිස් ස්ථානත් තිබෙනවා. වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට මේ කාරනය පොලිසිය හෝ අධිකරනය හරහා විසඳාගත හැකි ව තිබුනා.” කෙසේ වෙතත්, ප්‍රහාරය හෙලා දැකීම වෙනුවට ශ්‍රීධරන් කලේ, ආන්ඩුවේ ක්‍රියාවන් සාධාරනීකරනය කිරීමයි. වසංදෙ හැසිරීම දේශපාලන අභිප්‍රේරනයකින් තොර එකක් ලෙස සලකමින්, “මෙතරම් අත්තනෝමතික ක්‍රියාවල නිරත වීමට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට රට නීතිමය බලය ලබා දී තිබේ ද” යන්න ඔහු ප්‍රශ්න කලේ ය. මෙය ආනන්දනඩරාජන්ට එරෙහි දඩයම සම්බන්ධයෙන් ආන්ඩුව කොක්කෙන් ගලවා යැවීමකි.
ආනන්දනඩරාජන්ගේ සංවිධානය විසින් සහයෝගය අපේක්ෂා කරන අයිටීඒකේ හි මෙම ප්‍රතිචාරය, එම ව්‍යාපාරයේ ප්රගාඪ දේශපාලන බංකොලොත්භාවය හෙලිදරව් කරයි.
මෙය උතුරේ රාජ්‍ය මර්දනයට, ඉඩම් අහිමි කිරීමට හා සංගත සූරාකෑමට එරෙහි ව කම්කරුවන්, ගොවීන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ ස්වාධීන දේශපාලන අරගලයක ක්ෂනික අවශ්‍යතාව ඉස්මතු කරයි.
සමාජවාදී සමානතා පක්ෂය පූනගරි, කිරාංචි සහ උතුරු හා නැගෙනහිර පුරා ද ලංකාව පුරා ද සිටින කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාවට කැඳවුම් කරන්නේ, ආනන්දනඩරාජන් ද ඇතුලු ඉඩම් කොල්ලකෑම් හා සංගත ව්‍යාපෘතිවලට විරුද්ධ වීම නිසා මර්දනයට මුහුන දෙන සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වන ලෙසයි.
ඉඩම්, ජීවනෝපායන් සහ පරිසරය ආරක්ෂා කිරීමේ අරගලය ධනේශ්වර සූරා කෑමට සහ ශ්‍රී ලංකාව අයිඑම්එෆ් ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට යටත් කිරීමට එරෙහි පුලුල් කම්කරු පන්ති ව්‍යාපාරයක කොටසක් ලෙස වර්ධනය කල යුතු ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ගෙන පල කරන ලදී