ඊශ්‍රායල යුද අපරාධකරු නෙතන්යාහුට කළ  ද්විපාර්ශ්වික කොන්ග්‍රස් ආරාධනයට විරෝධය පා වොෂින්ටන් ඩීසී හි මහජනයා උද්ඝෝෂණය කරති

ඉදිරි දර්ශනය 

ඊශ්‍රායල් සමූල ජනඝාතක යුද්ධය තව දුරටත් තීව්‍ර කරමින් ගාසා වැසියන් 274 ක් ඝාතනය කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ජුනි 10, 2024

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජුනි 10 දින පල වූ ‘For a mass demonstration on July 24 in Washington D.C. to protest congressional invitation for Netanyahu’ යන හිසින් කල ප්‍රකාශයේ  සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

සෙනසුරාදා, ඊශ්‍රායල හමුදා විසින් සමස්ත සමූල ජනඝාතනය තුලම සිදු කල ජන සංහාර අතරින් තවත් එක් ඉතා බිහිසුනු ක්‍රියාවක් සිදු කරන ලදී. මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරනාගත කඳවුරට එල්ල කල ප්‍රහාරයෙන් පුද්ගලයන් 274 දෙනෙකු මරා දැමූනි. මියගිය සංඛ්‍යාවට අවම වශයෙන් ලමුන් 64 ක්, කාන්තාවන් 57 ක් සහ වැඩිහිටි පුද්ගලයින් 37 ක් ඇතුලත් වේ. තවත් 680 දෙනෙකු තුවාල ලබා ඇත. 

2023 නොවැම්බර් 5 වන දින ගාසා සමූල ජන  සංහාරයට එරෙහිව වොෂින්ටන් ඩී.සී. හිසහන සේවකයන් ලෙස වෙස්වලාගෙන සිටි ඊශ්‍රායල හමුදා වෙඩි තබමින් කඳවුර පුරා වැටලීම් මාලාවක් සිදු කලහ. මෙම සංහාරය “ප්‍රාන ඇපකරුවන් මුදාගැනීමේ” මෙහෙයුමක් ලෙස පෙනෙන පරිදි සිදු කරන ලදී. කෙසේ වෙතත්, බේරාගත් සෑම ප්‍රාන ඇපකරුවෙකු සඳහාම, විශේෂිතව ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් තිදෙනෙකු සහ එක් එක්සත් ජනපද පුරවැසියෙකු ඇතුලුව, පුද්ගලයන් 68 දෙනෙකු බිහිසුනු ලෙස ඝාතනය කරන ලදී.

වොෂින්ටන් ඩී.සී.හි කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජූලි 24 වැනි දින කොන්ග්‍රසයේ සභා දෙකේම නායකයින් දින නියම කර ගත්  දින කිහිපයකට පසුව මෙම සංහාරය සිදු විය. එය,  දෙවන ලෝක යුද්ධ සමය තුල හොලොකෝස්ටයෙ හි උච්චතම අවස්ථාවෙහි දී  හිට්ලර්ට කතා කිරීමට ආරාධනා කිරීම හා සමානය. . 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, නෙතන්යාහුගේ පැමිනීමට සමගාමීව වොෂින්ටන් ඩී.සී.හි මහජන උද්ඝෝෂනයකින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂනයේ අරමුන හුදෙක් නෙතන්යාහුට විරෝධය දැක්වීම නොව, සමූල ජනඝාතනය මෙහෙයවීම, මූල්‍යකරනය, සන්නද්ධ කිරීම සහ දේශපාලනිකව යුක්ති සහගත කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයේ භූමිකාව පිලිබද වය. 

“එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සහ එක්සත් ජනපද සෙනෙට් සභාවේ ද්විපාර්ශ්වික නායකත්වය” විසින් අත්සන් කරන ලද නෙතන්යාහු ආරාධනය, එක්සත් ජනපදයේ සහ ලොව පුරා ගාසා තීරයේ සමූල ජනඝාතන එරෙහි මහජන විරෝධයට එදිරිව කල  දේශපාලන ප්‍රකෝප කිරීමකි. එය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරනයේ ඉහලම අභිචෝදකයා විසින් චෝදනා කරනු ලැබූ මිනීමරුවෙකුට දේශපාලන සහ සදාචාරාත්මක සහයෝගීතාව ප්‍රකාශ කිරීමකි. 

ඒ අතරම, ආරාධනය ඇමරිකානු රජය සහ ඊශ්‍රායල පාලනය අතර සැබෑ සම්බන්ධය හෙලිදරව් කරයි. එය ප්‍රගති වාර්තාවකට සම වැන්නක් ලබා දෙන ලෙස නෙතන්යාහුගෙන් ඉල්ලා සිටීමකි. “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ කලාපය තුල සාධාරන සහ කල්පවත්නා සාමයක් ඇති කිරීම සඳහා ඊශ්‍රායල් රජයේ දැක්ම බෙදා ගැනීමට අපි ඔබට ආරාධනා කරනවා,” එය සඳහන් කරයි. 

ඊශ්‍රායල පාලන තන්ත්‍රය “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නේ” නොවේ. එය සමස්ත ජනතාවක් සමූල ඝාතනය කරමින් සිටී, එමෙන්ම  එය  එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ මෙවලමක් ලෙස එසේ කරමින් සිටී. 

ඇත්ත වශයෙන්ම, සෙනසුරාදා සමූලඝාතනය සිදු වූයේ එක්සත් ජනපද හමුදාවන්ගේ සෘජු මැදිහත්වීමෙනි. ඊශ්‍රායලයේ භූමියේ යොදවා සිටින එක්සත් ජනපද හමුදා නිලධාරීන් ප්‍රහාරය සඳහා “බුද්ධි සහ අනෙකුත් සහාය” සැපයූ බව නිව් යෝර්ක් ටයිම්ස් සනාථ කල අතර පලස්තීන මූලාශ්‍ර කියා සිටියේ ඊශ්‍රායල හමුදා සැඟවී සිටි සහනාධාර වාහනය කලින් දවසේ ස්ථාන ගත කල එක්සත් ජනපදය විසින් සාදන ලද “මානුෂීය” ජැටියෙන් ගොඩ බෑ බවයි. .

“මෙතරම් සිවිල් වැසියන් සංඛ්‍යාවක් මිය ගියත්, මේ ආකාරයෙන්ම තවත් මෙහෙයුම් සිදු කිරීමට ඊශ්‍රායලයට එක්සත් ජනපදය සහාය දෙනවාද?” යනුවෙන් ඇසූ විට ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ප්‍රකාශ කලේ, “එය කිරීමට අපි ඊශ්‍රායලය සමඟ දිගටම කටයුතු කරන්නෙමු.” 

නෙතන්යාහුට ආරාධනා කිරීම මගින් ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය පැහැදිලි කරන්නේ ඊශ්‍රායල පාලන තන්ත්‍රයට මරා දැමීමට ඉඩ දී ඇති පලස්තීනුවන් සංඛ්‍යාවට “රතු ඉරි” නැති බවයි. මරන සංඛ්‍යාව මේ වන විට 50,000ට ආසන්නය. සමූහ සාගින්න මගින්ද  ඇතුලුව ලක්ෂ ගනනින් මරා දැමිය හැකි වුවද, එය එක්සත් ජනපද සහයෝගයට බලපානු නැත. 

විරෝධතාවයට සහභාගී වීම සඳහා නියෝජිත කන්ඩායම් සංවිධානය කරන ලෙස ලෝසවෙඅ සියලුම කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩපලවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ජුලි 24 විරෝධතාවය සදහා වොෂින්ටන් ඩීසී යට පැමිනෙන මේන්  ශිෂ්‍යයන්ගෙන් සහ තරුනයන් ගෙන් අප ඉල්ලා සිටිමු. 

මෙම පෙලපාලියේ අරමුන යුද අපරාධකරුවන්ගේ තීරන වෙනස් කිරීමට පෙලඹවීම නොවේ. ඔවුන් එසේ කරනු නැත. එය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අව්‍යාජ මූලෝපායක පදනම මත බලගතු යුද විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ය.

මෙම මූලෝපාය පහත සඳහන් මූලධර්ම මත පදනම් විය යුතුය: 

පලමුව, ගාසා සමූල ජන සංහාරය, රුසියාවට සහ චීනයට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද යුද්ධයක තීරනාත්මක කොටසක් වන, එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ලෝක අධිරාජ්‍යවාදයේ ගෝලීය පිපිරීම සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී ඇත . 

නෙතන්යාහු වෙත ආරාධනය සිදු වන්නේ, නේටෝ බලවතුන් සෘජු සහභාගිවන්නන් ලෙස යුද්ධයට අවතීර්න වෙමින් සිටින යුක්‍රේනයේ යුද්ධයේ විශාල තීව්‍රවීමක් මධ්‍යයේ ය. නේටෝ ආයුධ භාවිතා කරමින් රුසියාව තුල ප්‍රහාර එල්ල කිරීමට තමන් යුක්‍රේනයට බලය පවරා ඇති බව පසුගිය සතියේ බයිඩන් නිවේදනය කල අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යුක්‍රේනයට හමුදා එවනු ඇති රටවල සභාගයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කලේය.

ගාසා තීරයේ ජන සංහාරයට පිටුබලය දෙන එම ආන්ඩුම යුක්රේනයේ ප්‍රොක්සි ( නියෝජක) තන්ත්‍රය සන්නද්ධ කරති. එක්සත් ජනපදය හා එහි සහචරයින් ජන සංහාරයට විරෝධය පානා දහස් ගනනක් මිනිසුන් අත්අඩංගුවට ගැනීම අධීක්‍ෂනය කර ඇති පරිදිම, අමු ෆැසිස්ට්වාදීන්ගෙන් සමන්විත යුක්‍රේන ආන්ඩුව, යුක්‍රේනයේ සහ රුසියාවේ ධනේශ්වර පාලන තන්ත්‍රවල සහ යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩන් සිරොටියුක් අත්අඩංගුවට ගෙන ඇත. 

දෙවනුව, යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් කම්කරු පන්තිය තුල පදනම් විය යුතුය. 

යුද්ධයේදී සටන් කර මිය යන්නේ කම්කරු පන්තිය වන අතර ඒ සඳහා ගෙවීමට බල කෙරෙනු ඇත්තේද කම්කරු පන්තියට ය. යුද්ධය නිපදවන එම ධනේශ්වර අර්බුදය, අසමානතාවයට, දරිද්‍රතාවයට සහ වැටුප්, රැකියා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ කම්කරු පන්තියේ සියලු සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන අරගලවල ස්වරූපයෙන්, යුද්ධය අවසන් කිරීමේ පදනම ද නිෂ්පාදනය කරයි.

තුන්වනුව, යුද්ධයට එරෙහි ව්‍යාපාරය ධනේශ්වර පන්තියේ සියලුම දේශපාලන පක්ෂ හා සංවිධාන වලින් සම්පූර්නයෙන්ම ස්වාධීන සහ සතුරු විය යුතුය. 

බයිඩන් පරිපාලනය සහ ඩිමොක්‍රටික් පක්ෂය මුල සිටම සෘජුව සම්බන්ධ වී ඇත. පසුගිය සතියේ, 2024 මැතිවරනයේදී බයිඩන් ගේ රිපබ්ලිකන් විරුද්ධවාදියා, ඩොනල්ඩ් ට්‍රම්ප්, “ඊශ්‍රායලය කාර්යය අවසන් කල යුතුය” යනුවෙන් ප්‍රකාශ කලේය. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් සමූල ජන සංහාරය සන්නද්ධ කිරීමට සහ එයට එරෙහි විරුද්ධත්වය “යුදෙව්-විරෝධී” ලෙස අවලාද නැගීමේ දී අත්වැල් බැඳගෙන ඇත.

ඔවුන් විදේශයන්හි යුද්ධය තීව්‍ර කරද්දී, පාලක ප්‍රභූ පැලැන්තිය පැසිස්ට්වාදී හා ආඥාදායක පාලන ආකාරවලට වඩා විවෘතව හැරෙමින් සිටිති. මෙය සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ පිලිවෙත් කෙරෙහි කම්කරු පන්තියේ සියලු විරුද්ධත්වයන් වෙත එල්ල කෙරෙයි. 

හතරවනුව, සමූල ජන සංහාරයට එරෙහි සහ යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් ජාත්‍යන්තර විය යුතු අතර, සෑම රටකම සහ සෑම මහාද්වීපයකම කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා පදනම මත එක්සත් කල යුතුය. 

පලමු ලෝක සංග්‍රාමය හා දෙවන ලෝක යුද්ධය මෙන්ම උත්සන්න වන ගෝලීය යුද්ධය පැන නගින්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා තුලිනි. නව ගෝලීය ගිනි ගැනීමක් වැලැක්විය හැක්කේ, සමාජයේ සියලු ධනය නිපදවන, එබැවින් ධනේශ්වර පාලක ප්‍රභූවන්ගේ කුමන්ත්‍රනවලට විරුද්ධ වීමට සමාජ හා ආර්ථික බලය ඇති ගෝලීය කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හරහා පමනි.

පස්වනුව, යුද්ධයේ මූලික හේතුව වන මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය සහ ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටන හැර යුද්ධයට එරෙහි බරපතල අරගලයක් තිබිය නොහැකි බැවින් යුද්ධයට එරෙහි සටන ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය.

ඔවුන්ගේ අවශ්‍යතා සහ ධනේශ්වර ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය මනුෂ්‍ය වර්ගයා අගාධයක් කරා ඇදගෙන යමින් සිටී. පාලක පන්තියේ නොනවතින යුද්ධයට පිලිතුරු දිය යුත්තේ කම්කරු පන්තියේ නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙනි, එහි මූලෝපායික ඉලක්කය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සම්මේලනයක් පිහිටුවීමයි.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *