පුනරුත්ථාපන කෙටුම්පත අරගලකරුවන් මර්දනයට

Rehabilitation draft to crackdown on activists

පුනරුත්ථාපන කාර්යාංශය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු සහ සඳහන් කරනු ලැබිය යුතු කාර්යාංශයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද එහි බලතල කාර්ය සහ කර්තව්‍ය විධිමත් කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස පනත් කෙටුම්පතක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 23 දින ඉදිරිපත් කර ඇති අතර එය 2022 සැප්තැම්බර් 09 දින රජයේ ගැසට් පත්‍රයේ පලකර ඇත‍.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මෙන්ම කතාබහක්ද මේ වනවිට සමාජයේ ඇති වී ඇති අතර
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කල ප්‍රකාශයක්ද ඒ සඳහා හේතුවී ඇත.

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීමේ මෙම කෙටුම්පතට අදාල කරුණ අලුත් එකක් නොවන අතර එය මීට පෙර
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේදීත් ආන්ඩුව විසින් ගෙනෙන්නට උත්සාහ කරන බවට කතා බහට ලක්වූවකි.

මෙම පනත් කෙටුම්පතට ගෙන ඒමට අදාල පසුබිම විස්තර කරමින් එහි සඳහන් කර ඇත්තේ මෙසේය.

නොමඟ ගිය සටන්කරුවන් අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන් සහ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම විධිමත් කිරීමේ අවශ්‍යතාව සහ වැදගත්කම සැලකිල්ලට ගැනීමේදී එය බරපතල ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති හෙයින්ඳ (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ සහ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ දැනටමත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ධුරය පිහිටුවා ඇති හෙයින්ද ජනාධිපතිවරයා විසින් ආරම්භයේදී නොමඟ ගිය සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම එම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන් සහ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් සඳහාද එම වගකීම තවදුරටත් දීර්ඝ කර ඇති හෙයින්ඳ ඉහත කී තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා කාර්යාංශයක් පිහිටුවීම ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බවට පත්ව ඇති හෙයින්ඳ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවය.

‍ඒ අනුව අප නොදන්නා බරපතල ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුව හඳුනාගෙන ඇත. ඒ නොමඟ ගිය සටන්කරුවන් සහ අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්’ යන කොට්ඨාශයක් සිටින බව හා ඔවුන් සම්බන්ධයෙන් ඇති වී ඇති බරපතල ගැටලුව ජාතික ප්‍රහ්නයක් බවට පත්වී ඇතිය යන්නය. එහි සඳහන් වන ඖෂධවලට ඇබ්බැහි වූවන් යන්න මෙහිදී අප සලකා බලන්නේ නැත. අප රටේ අවසන් වරට සිදුවූ ආයුධ සන්නද්ධව සටන එල්ටීටීඊ සංවිධානයේ සටන වන බැවින්ද එම සටනෙන් පසු යටත් වූ හා ආරක්ෂක අංශවලට බාරවූ පිරිස් මේ වනවිට පුනරුත්ථාපනය කර අවසන්ව ඇති නිසාද මෙම පනත් කෙටුම්පතෙන් අවධාරණයෙන් සඳහන් කරන නොමඟ ගිය සටන්කාමීන් කවුද යන්න ප්‍රශ්නයකි. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් මේ වනවිට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත හෝ ඇප මත මුදාහැරිය ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන්ද මෙම හඳුනා ගැනීම අදාල නොවන බව පෙනේ.

එහි සඳහන් කර ඇති ‘විනාශකාරී කඩාකප්පල්කාරීන්’ කවුද යන්නද ඊටත් වඩා ප්‍රශ්නයකි. මන්ද මෙම පනත් කෙටුම්පතට අනුව ඔවුන් සඳහන් කරන්නේ අනාගතයේ ඇති වේයැයි හෝ බිහිවේ යැයි උපකල්පනය කරන සටන්කරුවන් හෝ කඩාකප්පල්කරුවන් සම්බන්ධයෙන් නොවන නිසාය. ඒ නිසාම අපගේ උභයතෝටික ප්‍රශ්නය වන්නේද ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති එකී සටන්කරුවන් හා කඩාකප්ුපල්කරුවන් කවුද යන්නය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී හෝ අධිකරණ අභියෝගවලදී ඒ ගැන පැහැදිලි කිරීමක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැහැදිලි කරනවානම් හොඳය.

මෙම පනත් කෙටුම්පතේම සඳහන් කර ඇති ආකාරයට ඖෂධවලට ඇබ්බැහි වූවන් පුනරුත්තෘපනය කිරීමේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට වැටෙන සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනටම ප්‍රතිපාදන තිබේ. ඒ නිසාම එහි අලුත් අවශ්‍යතාවක්ද නැත.

ඒ නිසා මෙම පනත් කෙටුම්පත ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වන්නන් ඉලක්ක කර ගෙන ආවක් බව පැහැදිලිය. මෙම
කෙටුම්පතේ ඇති නොමඟ ගිය සටන්කරුවන් යන්න ඒ සඳහා අපට ඉඟියක් ලබාදේ. සටන්කරුවෙක් යන්න ආයුධ සන්නද්ධම විය යුතු නැත. අරගලයට සම්බන්ධ වූ පිරිස්ද ඊට නායකත්වය ලබාදුන් පිරිස්ද සටන්කරුවන්ය. ඔවුන් සටන් කල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ඇතුළු ඔවුන්ගේ හෙංචයියන් ශ්‍රී ලංකාවේ පාලන බලයෙන් ඉවත් විය යුතු බව කියමින්ය. එමෙන්ම එම කල්ලිය විසින් හොරා කෑ රාජ්‍ය දේපල ය. රාජ්‍යය සතුකර ගත යුතු බව බව පවසමින්ය.

අර්බුදයෙන් ගොඩ එමින් තිබූ ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී නොතිබුනත් පොහොට්ටු පක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා ඇත්තේ එම ආර්ථික ගමන කඩාකප්පල් කලත් අරගලකරුවන් බවය. ඒ අනුව ආන්ඩුව අදහස් කරන සටන්කාමීන් හා කඩාකප්පල්කරුවන් කවුද යන්න සිතා ගැනීමට අපහසු නැත.

ඒ අනුව ආණ්ඩුවේ මේ උත්සාහය ඔවුන්ට දැනට හිසරදයක් වී ඇති හා අනාගතයේ හිසරදයක් වීමට නියමිත ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට බව පැහැදිලිය. මෙම පනත් කෙටුම්පත සංශේධනයකින් සහ අධිකරණ බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් ‘නොමඟ ගිය සටන්කරුවන් හා කඩාකප්පල් ක්‍රියාවල නිරත වන්නන්’ ඔවුන්ගේ අභිමතය අනුව තීරණය වන්නක් වනු ඇත. මන්ද කෙටුම්පතේ අධිකරණයක් මගින් එම විශේෂකරණයන් තීරණය කරන බවක් සඳහන් කර නැති නිසාය.

(උපුටා ගැනීම – අනිද්දා පුවත්පත – ලසන්ත රුහුණගේ) (ඡායාරූප – සෙහාන් ගුණසේකර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed