මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම 

ඩේවිඩ් වොල්ෂ් විසිනිමෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 21 දින ‘Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean’ යන සිරසින් යුතුව පලවූ ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඉරිදා සිට, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන්ස් සිට සැතපුම් 435 ක් පමණ දකුණින් උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදහන් වූ ටයිටන් සබ්මර්සිබලය   සම්බන්ධ  නාටකීය සිද්ධිය, ලොව පුරා මිලියන ගණනකගේ අවදානය දිනාගනිමින්  සිටී . මුහුද මතුපිටට අඩි 12,500 (මීටර් 3,800) යටින් ගිලී ඇති ,1912 අප්‍රේල් මාසයේදී මගීන් 1,500 ක් පමණ මරුවාට ගොදුරු කරමින් මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට, මෙම යාත්‍රාවේ මගීන් පස්දෙනා ගමන් කර ඇත.

පස්දෙනාගේ ඉරණම— ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්  හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (ටයිටැනික් සංචාර මෙහෙයවන සමාගම); ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා වික්‍රමාන්විත ගවේෂක හමිෂ් හාඩින්; පකිස්තාන සමාගම් අධ්‍යක්ෂ ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්; සහ ප්‍රංශ කිමිදුම් විශේෂඥ පෝල්-හෙන්රි නාෂොෂොලි (Paul-Henri Nargeolet)—මේ මොහොතේ නොදනී. ඉරිදා උදෑසන යාත්‍රාව කිමිදෙන විට ඔවුන් සතුව පැය 96 ක ඔක්සිජන් සැපයුමක් තිබූ බව වාර්තා වේ.

Titan
ටයිටන් සබ්මර්සිබලය [ඡායාරූපය: ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන් ]

කාලයට හා ස්වභාව ධර්මයේ බලවේග වලට එරෙහිව තරඟයක් පවතින එවැනි සිදුවීමක් මිලියන ගණනකගේ උනන්දුව හා සැලකිල්ල ආකර්ෂණය කර ගැනීම නොවැළැක්විය හැකිය. ජීවිතයට  තර්ජනය වන තත්වයන් තුළ සිරවී සිටින අය ගැන ජනයාට ගැඹුරින් සහ සහජයෙන් හැඟීම් දැනෙන අතර, වර්තමාන අවස්ථාවෙහි දී, ටයිටන් හි මගීන් ඔවුන්ගේ බිහිසුණු තත්ත්වයෙන් මුදාගත හැකි බවට බලාපොරොත්තු හීන වෙද්දීත්, ජනයා දිගින් දිගටම ඒ පිලිබඳ අපේක්ෂා  දල්වා ගෙන සිටිති. 

පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය අපගේ ආකල්පවලට බලපාන්නේ නැත. එවැනි සිදුවීමක් තුලින් ලෝකය  වඩා යහපත් තැනක් බවට පත් කරනු ඇතැයි ශෝචනීය ලෙස සිතමින්, ප්‍රකෝටිපතියන් අතළොස්සකට විය හැකි මරණය ගැන උදම් අනන කිසිවකුට සමාජවාදී ව්‍යාපාරය තුළ ඉඩක් නැත. සමාජ විප්ලවයේ ක්‍රියාවලිය, යථාර්ථයේ දී, දයානුකම්පාවේ සාමාන්‍යකරණය වූ වර්ධනයක් සමඟ බැඳී ඇති අතර, ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂණය කළ පරිදි, ඊට “ඉතා දියුණු මනෝභාවයක් ඇති” මිනිසුන් අවශ්‍ය වේ.

කෙසේවෙතත්, ඛේදනීය එකක් බවට පත්වීමේ විභවය සහිත මෙම කථාංගය පිළිබඳව උචිත සන්ත්‍රාසය සහ භීතිමත් සංකාවන් හේතුවෙන්, එය විසින් මතු කෙරුණු සියලුම බරපතල සමාජ ගැටලු ජනේලයෙන් පිටතට විසි කර දමන්නේ නැත.

පළමුවෙන්ම, සමහර වේදනාකාරී වූවද  සිත් කාවදින සුළු  ඓතිහාසික උත්ප්‍රාසයන්  මතකයට නැඟේ. මුල් RMS ටයිටැනික් නෞකාව ගිලීයාම සහ දැන් ක්ෂුද්‍ර පරිමාණයෙන් කරළිය ගතවන එහි වර්තමාන සෙවණැල්ල වන ටයිටන්   අතර,  සමානකම් තිබේ.1912 ව්‍යසනයට ගොදුරු වූවන් අතර ද ප්‍රමුඛ ධනවත්තු වූහ. ඊට ධන කුවේර ව්‍යාපාරික සහ විනාශයට පත් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වූ  ජෝන් ජේකබ් ඇස්ටර් IV, සහ පෙන්සිල්වේනියා දුම්රිය සමාගමේ විධායක ජෝන් තායර් ද ඇතුළත් වූහ. 

විවිධ පරීක්ෂණ පෙන්වා දී ඇති පරිදි 1912 නෞකාව ගිලී යාම සහ ඉන් සිදු වූ දැවැන්ත මරණ සංඛ්‍යාව මුළුමනින්ම වළක්වා ගත හැකිව තිබුණි. ඒවා සංගතවල ලාභය සඳහා වූ පිපාසාව, වරදවා වටහාගත් සැලසුම්, අපමණ වැරදි සහ සරලතම මුග්ධත්වයේ ද ඒකාබද්ධ නිෂ්පාදනයක් විය. ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී. ඩෙබ්ස් එකල තමන් මිලියනයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී පෙන්වා දුන් පරිදි, “ඉහළ මාලයේ පාරට්ටු පෑ  අහංකාරය සහ නිශ්ඵල විභූතිය, කෑදරකම සහ සුඛෝපභෝගීත්වය නොවී නම්, ටයිටැනික් කිසිදා මුහුදු පතුලට කිඳා බසින්නේ නැත.” 

එපරිද්දෙන් ම, ඕෂන්ගේට් හි ක්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව පෙනේ. 2018 දී, සමාගමේ සමුද්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්‍රිජ්, “අති-විවේචනශීලී තත්ත්ව පාලන වාර්තාවක්” ලෙස මාධ්‍යවලින් විස්තර කරන ලද වාර්තාවක් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ එම උත්සාහය නිසා සමාගමෙන් නෙරපා හරින ලදී. ලොක්රිජ් සිය වාර්තාවට පූර්විකාවක් ලෙස අවධාරනය කලේ, “පුද්ගලයින්ට ආරක්ෂා  අවදානමක් ඇති කළ හැකි කරුණු නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට” කාලය සුදුසු බව සහ, “බොහෝ ගැටළු … ආරක්ෂාව පිළිබඳ බරපතල  උත්සුකතා මතු කර ඇති” බවය.

එමෙන්ම ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සම්බන්ධ ඉතා අශෝභන කාරණා තිබේ. සුප්‍රසිද්ධ කරුණක් වන්නේ,  ටයිටැනික් රැගෙන ගියේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් වූ අතර,  සෛද්ධාන්තිකව,  නැවේ   සිටි පුද්ගලයන් 2,200 න් අඩකට මඳක් වැඩි සංඛ්‍යාවක් වන පුද්ගලයන් 1,178කට පමණක් එම ප්‍රමාණය සෑහුනු බවයි. ඉනුත් බොහෝමයක්  මුහුදට දමා තිබුණේ අඩක් පමණක් පුරවා ගනිමිනි.   

ටයිටන් සබ්මර්සිබලය තිබෙන ස්ථානය සොයා ගත්ත ද, අවම වශයෙන් රජය සතුව, කිව හැකි තරමේ “ගලවා ගැනීමේ හැකියාවක්” නොපවතින බැවින් ජීවිත බේරා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධාවක් සිදු වනු ඇත. ෆෝර්බ්ස් සඟරාවේ අදහස් දැක්වීමකින් පෙන්වා දෙන්නේ, පුදුම සහගත ලෙස, “අතිශයින්ම වික්‍රමාන්විත සංචාර  සඳහා ගෝලීය වෙළෙඳපොළ මතුව ඇති” තතු තුල, සබ්මැරීන් මුදාගැනීම දැන් “බොහෝ දුරට පුද්ගලීකරණය කරන ලද ප්‍රයත්නයක්” බවට පත්ව ඇති බවත්, “බොහෝ රජයන්ට අතුරුදහන් වූ නාවිකයින් දිය යට සිරවී ඇත්නම් ඔවුන්ට ආධාර ලබා දීමේ හැකියාව ඇත්තේ අල්ප වශයෙන් බවත් ය.” ඇමරිකාවේ ගලවා ගැනීමේ හැකියාවන් අඩුවීම ” නාටකාකරය . 1960 දී, එක්සත් ජනපද නාවික හමුදාවට ඒ සඳහාම කැපවූ සබ්මැරීන ගලවා ගැනීමේ නැව් නවයක් සහ මුහුද යට ගලවා ගැනීමේ කටයුතු සඳහා කැපවූ ටග් බෝට්ටු  දෙකක් ගැන පුරසාරම් කිව හැකි විය. අද, මෙම සේවාවට දිය යට ගලවා ගැනීමේ සඳහා කැපවූ එක යාත්‍රාවක්වත්  නොමැත. 

නැවත වරක්, ඇමරිකාවේ අතිවිශාල මිලිටරිය, ආරක්ෂාව සහ “ත්‍රස්ත-විරෝධී” යාන්ත්‍රණය ඔප්පු කර සිටින්නේ, ඒවාට හැකියාව ඇත්තේ ජීවිත බේරා ගැනීමට නොව, ජීවිත අවසන් කිරීමට පමණක් බවය.

වර්තමාන ඛේදවාචකය “ආන්තික සංචාරක ව්‍යාපාරය” මත ධනාත්මක ආලෝකයක් නොහෙලයි. පුද්ගලයන් පස්දෙනා හොදින් ජීවතුන් අතර සිටිනු දැකීමට ඇති ආශාවෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මුග්ධ “වික්‍රම” අනුමත කිරීම නොවේ. ඕනෑවටත් වඩා නිරතුරුව; ඕනෑවට වඩා මුදල්හදල් ඇති, ඕනෑවට වඩා නිකරුනේ ගත කිරීමට කාලය ඇති, ඕනෑ තරමට අඩුවෙන් මොලය ඇති සහ, අවලස්සන උද්ධච්ච තේජසින් පිරී ගිය පුද්ගලයෝ, තමන්ගේ ද අනුන්ගේ ද ජීවිත අවදානමට ලක් කරති. බෙසෝස්, බ්‍රැන්සන්, මස්ක් සහ ඔවුන් වැනි අය කිසිවෙකුට සමාජයීය ඵල ප්‍රයෝජනයක් නොමැති පරපෝෂිතයෝ වෙති.

පංතිය පිළිබඳ ප්‍රශ්නය ඛේදවාචක දෙකටම ඇතුල් වන්නේ පිහි තලයක් මෙනි. තුන්වන (හෝ පහළම) පන්තියේ ටයිටැනික් මගීන් 709ක් පමණ වූ අතර, ඇස්තමේන්තුගත ආකාරයට ඉන් 537ක්ම මිය ගියහ. තුන්වන පන්තියේ මගීන්ගෙන් පිරිමි  සියයට 80 ක් පමණ මිය ගිය අතර එම ඉරණම අත්වූයේ පළමු පන්තියේ කාන්තාවන්ගෙන් සියයට 3 කට පමණි. හොඳින් ලේඛනගත කර ඇති පරිදි, ටයිටැනික් නැවෙහි සිටි තුන්වන (හෝ පහළම)  පංතියේ  මගීන් ග්‍රිල් කරන ලද ගේට්ටු මගින් පහළ තට්ටුවේ ඔවුන්ගේ ප්‍රදේශයට සීමා කරන ලද අතර, නැව ජලයෙන් පිරී යද්දි ඉන් සමහරක අගුළු නොඇරුනි. 

වසර එකසිය එකොළහකට පසු පන්ති භේදය ඊටත් වඩා ඉහළ සහ දුෂ්ටතම අවධියකට පැමිණ තිබේ. දැන්, එය  සැබෑ ලෙසම එකිනෙකට වෙනස් යාත්‍රා දෙකක කතන්දරයක් බවට පත්ව ඇත: එක් අතකින් ටයිටන්, සහ අනෙක් පැත්තෙන් බලාපොරොත්තු රහිත සරණාගතයින් සිය ගණනක් මරා දමමින් මධ්‍යධරණී මුහුදේ ජුනි 13 වන දින ගිලී ගිය ධීවර බෝට්ටුවයි.

collapse
අඩුම තරමින් 79ක් මිය ගිය ගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් කරමින්, පසුව දකුණු ග්‍රීසියට ඔබ්බෙන් පෙරලී ගිලී ගිය , අබලන් ධීවර බෝට්ටු තට්ටුවේ සෑම ඉඩක් ම ආවරණය කරන මිනිසුන් විශාල සංඛ්‍යාවක් පෙන්වන, 2023 ජූනි 14 වැනි බදාදා ග්‍රීසියේ වෙරළාරක්ෂක අංශය විසින් සපයන ලද අත් පත්‍රිකා ඡායාරූපයක්. [AP ඡායාරූප/හෙලනික් වෙරළාරක්ෂක බලකාය AP හරහා]

රෂ් සහ අනෙකුත් ධනවත් පුද්ගලයන් සරණාගතයින් සමඟ එකම නෞකාවේ, එහි ඉහළ තට්ටුවේ වේවා, සිටිනු සිතාගත නොහැක්කේ යම් සේ ද, එකී අවාසනාවන්තයන්ට ටිකට් පතකට $ 250,000ක් ගෙවමින් ගමන් කරන ධනවත් වික්‍රමිකයන් රැගත් සබ්මර්සිබලය අසලටවත් ලං විය හැකිවීමක් ගැන ද සිතනුවත් නොහැකිය. මේවා දැන් සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙන්වූ, එකිනෙකට පරසතුරු, දුරස්ථ සහ එකිනෙකට නොසීහෙන දනව් දෙකක් වෙති.

උතුරු අත්ලාන්තික් කථාංගයේ අනවරත මාධ්‍ය ආවරණය පසුගිය සතියේ ග්‍රීක වෙරළට ඔබ්බෙන් වූ බිහිසුණු ඛේදවාචකයට දැක්වූ සැලකිල්ලට වඩා බෙහෙවින් වෙනස් ය. එහිදී පකිස්ථානුවන්, ඊජිප්තුවරුන්, සිරියානුවන්, ඇෆ්ගන් සහ පලස්තීනුවන් ආදී  පුද්ගලයෝ බොහෝ සෙයින් ම නමක් ගමක් නොමැතිව, අප්‍රසිද්ධියේ මිය ගියහ. ඔවුන්ගෙන් සමහරෙකු කිසිදාක හඳුනාගනු ඇතැයි සිතිය නොහැක.

තවත් දරුණු උත්ප්‍රාසයක් වන්නේ, ඔවුන්ගේ මව් රට තුළ කෝපයට හා විරෝධතාවලට තුඩු දෙමින් පකිස්තානයේ දුගී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක්  මධ්‍යධරණී මුහුදේ දී මිය යද්දී, ටයිටන් හි මගීන් වු ධනවතුන්  දෙදෙනෙකු ද පකිස්තාන ජාතිකයන් වීමයි .  

ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුකම් සැලසීම වෙනුවට, ග්‍රීසිය ප්‍රධානකොට විවිධ යුරෝපීය ආන්ඩු මෙම මහා පරිමාණ දියේ ගිලීමට තුඩු දුන් කොන්දේසිවලට සෘජුවම වගකිව යුතුය. නිලධාරීහු බොරු කියමින් තමන්ගේ භූමිකාව වසන්කොට මියගිය අය සහ තුවාල ලැබූවන් අවමානයට ලක් කළහ.  දිවි ගලවා ගත් සරණාගතයන් අපිරිසිදු ගබඩා ස්ථානයකට තල්ලු කර දමන ලදී. කරුණු විස්තර කිරීමේ දී මාධ්‍යකරුවන්ගේ ඇස නොහැරුණු තරම් ය. මහා පරිමාණ මරණය දැන් මේ අයට සාමාන්‍ය කටයුත්තකි. වාර්තාකරණයේ පැහැදිලි ඇඟවුම වූයේ දුක් විඳිමින් සිටින සරණාගතයින්ගේ ඉරණම ඔවුන් විසින් ම තමන් වෙත පමුණුවා ගන්නා ලද්දක් බවයි. යථාර්ථය වන්නේ “පවුරින්-වට ඇමරිකාව” මෙන් “යුරෝපා බලකොටුව” ද කිව නොහැකි තරම්ම නිල අමානුෂිකත්වයක් බවයි.

ග්‍රීසිය අසල වූ ධීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බව පැහැදිලිව පෙනී ගිය කල එහි සිටි සිය ගණනක් ගලවා ගැනීම, මුහුදු පත්ලේ රැඳී තිබිය හැකි යාත්‍රාවක් බේරා ගැනීමට වඩා; ඉදින් එසේ කිරීමට අභිමත ඕනෑම රජයක් හෝ නාවික හමුදාවක් වී නම් එවැන්නකට; බෙහෙවින් පහසු කටයුත්තක් විය යුතුව තිබිණ. ඊට සම්බන්ධ යුරෝපීය ආන්ඩුවල මිනීමරු වාර්තාවට අනුව, සරණාගතයින්ගේ මරණ අන්‍යයන්ට ආදර්ශයක් සහ බිය දනවන්නක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලැබෙන පරිදි එකී මරණ හිතාමතාම සිදුවන්නට ඉඩ ප්‍රස්තා සැලසී ද යන ප්‍රශ්නය මතු කිරීම නීත්‍යානුකූල ය.  

ඇත්ත වශයෙන්ම, සිදු විය යුතුව තිබූ පරිද්දෙන්, පලා යන මිනිසුන්ට ගෞරවාන්විතව හා බාධාවකින් තොරව එක් මහාද්වීපයක හෝ රටක සිට තවෙකකට ගමන් කිරීමට ඉඩ දී තිබිණි නම් මේ සමස්ත ඛේදවාචකයම වළක්වා ගත හැකිව තිබුණි. ඔවුන්ගේ සමූහ පලායාමට  බොහෝ දුරට හේතු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධ සහ, දැන් මුහුදේ දී ඔවුන්ගේ මරණවලට මුලසුන දරන බටහිර බලවතුන් විසින් සිදු කරන ලද අනෙකුත් මෙහෙයුම්ය. 

සමාජ අසමානතාවය, නව යටත් විජිතවාදී යුද්ධය, අධිකාරීවාදයේ වර්ධනය සහ සංක්‍රමණ විරෝධී හිස්ටීරියාව, නිල දේශපාලනය සහ මාධ්‍ය පහත් තත්ත්වයකට වැටීම – මෙම එකිනෙකට වෙනස් කථාංග දෙක සම්බන්ධ “දුක්ඛිත තත්වයන් තුළ…අරුත් ලොවක් පවතී.” (ඩෙබ්ස්). කෙසේ වෙතත්, වික්‍රියාකාරී, සාපරාධී සමාජ පර්යායක් හමුවේ ජනස්කන්ධයේ පොදු චලනය නොවරදිනසුලු ලෙස සිදුවෙමින් පවතින්නේ වම දෙසටය, සමාජ විප්ලවයේ දිශාවට ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *