ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය

0
3af16a348252d1660df3bd1e22d1b43e617bd52c

ඇලයාන්ද්‍රෝ ලෝපෙස් විසිනි.

[මෙහි පලවන්නේ 2025 නොවැම්බර් 6 දින ලෝකසමාජවාදී වෙබ් අඩවියේ The Gen Z protests and the struggle for the United Socialist States of Africa යන මාතෘකාවෙන් පලවූ ලිපියයි.]

අධිරාජ්‍යවාදීන් අප්‍රිකාව බෙදා වෙන්කර ගෙන වසර 150 කට පසුව සහ නිල වශයෙන් ස්වාධීනතාවේ ධජය ඔසවා  දශක හයකට පසුව, අප්‍රිකානු මහාද්වීපය සමාජමය වශයෙන් පිපිරෙන ගිනි කන්දකි.

ටැන්සානියාවේ මහජන විරෝධතා, එම රට, වන සතුන් නැරඹීමට යන සෆාරි සංචාර, සුන්දර වෙරල තීර ආදිය සහිත ධනවාදී ස්ථායිත්වයේ සාමකාමී භූමියක්ය යන මිථ්‍යාව කුඩුපට්ටම් කර දමා ඇත. පසුගිය සතියේ ජනාධිපති සාමියා  සුහුලු හසන් සහ ඇගේ චාමා චා මපින්දූසි (CCM) නොහොත් විප්ලවයේ පක්ෂය විසින් සංවිධානය කල වංචනික මැතිවරනය හෙලා දැකීම සඳහා ලක්ෂ ගනන් තරුන තරුනියෝ වීදි බැස්සෝය. ඔවුහු ඇඳිරි නීතිය පැනවීම, අන්තර්ජාලය වසා දැමීම, හමුදාව කැඳවීම, ජීව උන්ඩවලින් වෙඩි තැබීම, කඳුලු ගෑස් ගැසීම ආදී සියල්ල නොතකමින්, පාලන තන්ත්‍රය පහසුවෙන් පාලනය කරගත හැකි තරඟයක් වෙතැයි සිතූ මැතිවරනයක් මහා ජනතා කැරැල්ලක් බවට හැරවූහ. සිය ගනනක් විරෝධතාකරුවන් මිය ගිය බව වාර්තාවල දැක්වේ.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
2025 ඔක්තෝබර් 29 මැතිවරන දිනයේ ටැන්සානියාවේ අරුශානාගාරයේ වීදිවල මහා ජනයා විරෝධතා දක්වති [AP Photo/str]

මෙම සමාජ පිපිරීම, පැරනි යටත්විජිත රටවල් වසා පැතිර යන පුලුල් පෙරලිකාරිත්ව රැල්ලේ කොටසකි. පසුගිය වසර එකහමාර තුල මේ රටවල මිලියන ගනන් ජනයා වීදි බැස්සෝය : කෙන්යාවේදී, ඇංගෝලාවේදී සහ නයිජීරියාවේදී බදු වැඩි කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත පටි තද කිරීමේ ප්‍රතිපත්ති වලට එරෙහිව; කැමරූන්, මොසැම්බික් සහ ටැන්සානියාවේ දී මැතිවරන දූෂන සහ පොලිස් මර්දනයට එරෙහිව; මොරොක්කෝවේ දී සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වියදම් නොකර රාජ්‍ය සම්පත් පාපන්දු පිටි ඉදිකිරීම සඳහා වැය කිරීමට එරෙහිව; මැඩගස්කරයේ දී සහ දකුනු අප්‍රිකාවේ දී දූෂනයට සහ නිමක් නැති විදුලිය හා ජල සැපයුම බිඳ වැටීම්වලට එරෙහිව යනාදී වශයෙනි. බංග්ලාදේශයේ දීනේපාලයේ දී සහ පේරු රටේදී අන්ත දරිද්‍රතාවයට හා සමාජ අසමානත්වයට එරෙහිව මීට සමාන විරෝධතා පැන නැංගේ ය.

අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල විප්ලවවාදී අරගල පැන නගින්නේ නැතැයි තුන්වන ලෝකවාදීන් සහ මහා අප්‍රිකානුවාදීන් දැරූ අදහස් වෛෂයික වශයෙන් නිෂ්ප්‍රභ කරමින් එම මධ්‍යස්ථානවලද මහජන විරෝධතා පුපුරා ගියේ ය. අමෙරිකා එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් තන්ත්‍රයට සහ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පිහිටු වීමේ උත්සාහයට එරෙහිව මිලියන හතක ජනතාවක් පෙලපාලි දැක්වූහ. යුරෝපයේ දී, බටහිර රටවල අනුදැනුම ඇතුව ඊශ්‍රායලය ගාසාවේ සිදුකරන ජන සංහාරයට එරෙහිව මිලියන ගනන් ජනයා වර්ජන හා පෙලපාලිවලට එකතු වූහ.

අප්‍රිකානු මහාද්වීපය හරහා හමා යන අලුත් විරෝධතා රැල්ල, 1884 – 1885 වර්ෂවල බර්ලින් සමුලුවේදී අධිරාජ්‍යවාදී රටවල් සම්මත කරගත් දේශසීමා ඉක්මවා යමින් ව්‍යාප්ත වීම අර්ථභාරී ව. ටැන්සානියානු දේශසීමාවේදී, යාබද මලාවි සහ කෙන්යානු විරෝධතාකරුවෝ මුරකුටිවලට සහ පොලීසියට පහරදී දේශසීමා කඩාගෙන ඇතුල් වී ටැන්සානියානු විරෝධතා කරුවන්ට සහාය දුන්හ. ගිය වසරේ මොසැම්බික් ජන අරගලයේ දී දකුනු අප්‍රිකාව, මොසැම්බික් සමග තිබෙන ප්‍රධාන දේශසීමා මායිම වසා දමා රටට ඇතුල්වීමට උත්සාහ කරන විරෝධතා කරුවන්ට රබර් උන්ඩ දමා වෙඩි තැබීමට පොලීසියට නියෝග කලේය. මේවා එක් එක් රටට සීමා වූ හුදෙකලා ජාතික අර්බුද නොව, පොදු අරගලයක ප්‍රකාශනන්ය යන දැනුවත්භාවය අප්‍රිකානු මහාද්වීපය පුරා මතුවෙමින් තිබේ.

මේ අරගලවල පෙරමුනේම සිටින්නේ අලුත් පරම්පරාවකි. 1990 දශකය අග භාගය සහ 2010 දශකය මුල්භාගය අතර කාලයේ උපන් ජෙනරේෂන් ඉසෙඩ් හෝ ‘ජෙන් සී’ වශයෙන් හඳුන්වන මේ තරුන පරපුර, දැරිය නොහැකි තරමේ සමාජ අසමානතාව නිසා පෙරලිකාරී වී තිබේ. ඔවුන් ඉපදුනේ ඉරාක සහ ඇෆ්ගනිස්ථාන් යුද්ධවලින් හැඩගස්වනු ලැබූ ලෝකයකටයි; ඔවුන් හැදුනේ වැඩුනේ නේටෝව විසින් ලිබියාව වනසා දැමූ යුද්ධය සහ මිලියන ගනන් ජනතාව මිය ගිය කොංගෝ යුද්ධය වැනි නිමක් නොමැති කලාපීය යුද්ධ මැද්දේය. ඔවුන්ගේ අනාගතය හැඩ ගස්වන වර්ෂ කීපය ගත වූයේ 2008 ලෝක මූල්‍ය අර්බුදය, 2020 කොවිඩ් වසංගතය සහ දේශගුන විපර්යාස විසින් ජනිත කල ව්‍යසන මැද්දේය. ඔවුන් මුහුකුරා ගියේ ගාසාවේ ජන සංහාරය, චීනයට හා රුසියාවට එරෙහි යුද සූදානම සහ ට්‍රම්ප්ගෙන් සංකේතවත් වූ ෆැසිස්ට්වාදී දේශපාලනය ගෝලීයව සාමාන්‍යකරනය කෙරෙමින් තිබෙන ලෝකයක් තුල ය.

සාමාන්‍ය වයස යම්තම් අවුරුදු 19 ක් වන අප්‍රිකානු ඉසෙඩ් පරපුර හැදී වැඩුනේ සමස්ත ජනගහනයෙන් තුනෙන් පංගුවක්, එනම් මිලියන 400 ක් පමන ලෝක දරිද්‍රතා රේඛාවෙන් පහල (දවසක ආදායම ඇමරිකන් ඩොලර් 2.15 ට අඩු) ජීවත් වන ලෝකයේ දුප්පත්ම මහාද්වීපයේ ය. අති විශාල ඛනිජ සම්පත් තිබුනත් ලෝකයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන ජනයාගෙන් තුනෙන් දෙකක්ම සිටින්නේ අප්‍රිකාවේ ය. සෑම දරුවන් පහලොස් දෙනෙක්ගෙන් ම එක් අයකු පලමු වෙනි උපන්දිනයට පෙර මියැදෙති. සෑම ස්ත්‍රීන් 36 දෙනෙකුගෙන්ම එක් අයෙක් දරු උපත් සම්බන්ධ සංකූලතා නිසා මියැදෙති. අකුරු ලිවීමට හා කියවීමට හැක්කේ වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකකට පමනි. තෘතීක අධ්‍යාපනයක් ලැබෙන්නේ තරුන පිරිසෙන් යම්තම් සියයට 6කට පමනි. සෑම වසරකම මිලියන දහයකට අධික තරුන පිරිසක් රැකියා නැති ශ්‍රම වෙලෙඳ පොලවල්වලට එක්වෙති. විවිධ අවිධිමත් රැකියාවලට සහ අනතුරුදායක වංචනික ව්‍යාපෘතිවලටත් ඉච්ඡාභංගත්වයටත් ඔවුන් තල්ලු කර දමා තිබේ. “නැගී එන අප්‍රිකාව” නැමති මිත්‍යාව අපහාසාත්මක විහිලුවක් වී තිබේ.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
2024 ජූලි 2 වැනි දා, කෙන්යාවේ නයිරෝබි හි ම්ලොලොන්ගෝ ප්‍රදේශයේ ජනාකීර්න නයිරෝබි-මොම්බාසා මහා මාර්ගය හරස් කර ගෙන සිටින විරෝධතාකාරුවෝ [AP Photo/Brian Inganga]

මීට විපරීත ලෙස, අප්‍රිකාවට ඔවුන්ගේම මහ ධනපති කතිපයාධිකාරීන් පිරිසක් සිටිති. ලොකුම අප්‍රිකානු ධනපතියන් දහදෙනා ඇ. ඩොලර් බිලියන 90 ක ඒකාබද්ධ ධනයක් පාලනය කරති. මෙය, සහරා කාන්තාරයෙන් දකුනේ තිබෙන අප්‍රිකානු රටවල් 49 න් 45 ක සමස්‌ත දල දේශීය නිෂ්පාදිතයට (ජාතික ආදායමට) වඩා වැඩිය. එම මහ ධනපතියන් අතර ඇ. ඩොලර් බිලියන 15 ක් පමන ධනයක් සතු නයිජීරියාවේ අලිකෝ ඩැන්ගෝටේ, ඇ. ඩොලර් බිලියන 10 ක් පමන ධනයක් සතු දකුනු අප්‍රිකාවේ ජොහෑන් රූපට්, ඇ. ඩොලර් බිලියන 9 ක් පමන ධනයක් සතු දකුනු අප්‍රිකාවේ ම නිකී ඔපන්හයිමර් සහ ඇ. ඩොලර් බිලියන 20 ඉක්මවන ධනයක් සතු ඊජිප්තුවේ සවිරිස් සහෝදර සමාගම (නසෙෆ්, නගිබ් සහ සාමිහ්) ආදීහු වෙති. ඔව්හු, අප්‍රිකානු කම්කරු පංතිය අඩු වැටුප් ගෙවමින් නිර්දය සූරාකෑම මත, රාජ්‍ය වත්කම් සොරකම් කිරීම මත, සහ ස්වාභාවික සම්පත් මංකොල්ලකෑම මත ධනය ගොඩ ගසාගත් පරපුටු ප්‍රභූවක් මූර්තිමත් කරති.

කම්කරු පන්තිය සහ රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය

දැන් පෙරලිකාරී වන තරුනයන් සහ කම්කරුවන් තමන් ඓතිහාසික පන්ති අරගලයේ කොටසක් ලෙස හඳුනා නොගතහොත් ඔවුන් දේශපාලනිකව නිරායුධව සිටිනු ඇත. සාරභූත ප්‍රශ්නය වන්නේ, එක් පරම්පරාවක කැරැල්ල යන්න නොව, පන්තිය සහ රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නයයි. මෙම ව්‍යාපාර විසින්ද මුහුන දී සිටින්නේ කලින් යුගවලදී එවැනි ව්‍යාපාර මුහුනදුන් ප්‍රශ්නයටමයි: එනම් කවර පන්තිය විසින් සමාජය පාලනය කරනවාද යන්නයි.

සූරාකෑමේ, අසමානතාවේ සහ යුද්ධයේ මූලික හේතුව වන ධනපති ක්‍රමයට එරෙහිව රැකියා විරහිතයන්, ගම්බද දුගීන් සහ පරිපීඩිත අතරමැදි සමාජ තට්ටු, එක්සත් කල හැකි එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි.

ධනපති රාජ්‍ය යන්ත්‍රය තිබෙනතාක් කල් ධනපති පන්තිය අඛන්ඩව පාලනය කරනු ඇත. ධනපති පන්තිය තම පාලනය ගෙන යන්නේ ඒ හෝ මේ ආන්ඩුව මගින් නොවේ; පුද්ගලික දේපල රකින පොලිසිය, හමුදාව, උසාවි සහ නිලධාරි තන්ත්‍රයෙන් සමන්විත නිත්‍ය රාජ්‍ය බලහත්කාරයේ තන්ත්‍රය මගිනි. ආන්ඩු මාරු වෙයි; ධනපති පන්තියේ ඕනෑ එපාකම් රකින රාජ්‍යය ඉතිරි වෙයි. ධනේශ්වරයට තමන්ගේ අර්බුදයෙන් ගොඩ ඒමට හැක්කේ පටි තද කිරීම, පුද්ගලීකරනය, රැකියා, වැටුප් හා අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කර දැමීම ආදී සමාජමය විනාශයක් හරහා ය.

ධනේශ්වරයේ ප්‍රහාරවලට විරෝධය ප්‍රකාශ කොට, ඒවා පරාජය කරන්නට නම් කම්කරු පන්තිය, සම්මුතියේ නාමයෙන් පන්ති අරගලය යට ගසන්නට වෑයම් කරන සියලු ධනපති සහ සුලු ධනපති පක්‍ෂවලින් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුය. කම්කරු පන්තිය, තමන්ගේ ම ස්වාධීන අරගලයේ ආයුධ වන, (සියලු කම්හල්, වැඩබිම්, වතු, නේවාසික ප්‍රදේශ සහ ගම්බිම් වල මුල්බැස ගත්) ක්‍රියාකාරී කමිටු, කම්කරු කවුන්සිල, ජන සභා ආදිය ගොඩ නගා ගත යුතු ය. කම්කරුවන්ට තමන්ගේ පන්ති අවශ්‍යතා තහවුරු කල හැක්කේත් ධනපති පන්තියේ රාජ්‍ය බලයට මුහුනදී අවසානයේදී එය පරාජය කල හැක්කේත් එම සංවිධාන තුලින් පමනකි.

ඉතිහාසයේ පාඩම්

මෙම කර්තව්‍යයන් මතු වන්නේ සියවස් එකහමාරක සංයුක්ත ඓතිහාසික අත්දැකීම් තුලිනි. 1871 පැරිස් කොමියුනය, ඉතිහාසයේ ප්‍රථම වතාවට, කම්කරු පන්තියට රාජ්‍ය බලය අල්ලාගත හැකි බවත් සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කල හැකි බවත් පෙන්වා දුන්නේ ය. නමුත් එය විප්ලවවාදී නායකත්වයක් නොමැතිවීමේ මාරාන්තික ප්‍රතිවිපාක ද පෙන්වා දුන්නේය. 1917 රුසියානු විප්ලවය, එම පාඩම් ඉදිරියට ගෙන යමින්, මාක්ස්වාදී න්‍යායෙන් සන්නද්ධ වූ විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතේ කම්කරු පන්තියට ධනවාදය පෙරලා දමා කම්කරු රාජ්‍යයක් පිහිටුවීමට හැකි බවත් ඔප්පු කර පෙන්වීය.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
පැරිස් කොමියුනයේ විදී කැරලිවලින් පසුව රු දේ රිවොලෝ හි දර්ශනයක් [Photo: Tangopaso]

ස්ටැලින්වාදය යටතේ පසුකාලීනව සිදු වූ සෝවියට් සංගමයේ පරිහානිය, “තනි රටේ සමාජවාදය” නමැති ජාතිකවාදී න්‍යායට එරෙහිව ජාත්‍යන්තර විප්ලවයේ ක්‍රියා මාර්ගය ආරක්ෂා කිරීමට සටන් කල ලියොන් ට්‍රොට්ස්කිගේ සහ වාම විරුද්ධ පාර්ශ්වයේ විශ්ලේෂනයේ නිරවද්‍යතාව ඔප්පු කලේ ය. නොදියුනු රටවල කම්කරු පන්තිය සමාජවාදය කරා යාමට පෙර දීර්ඝ කාල පරිච්ඡේදයක් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගත කල යුතුය යන “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ” අවධි දෙකේ න්‍යාය ප්‍රචාරය කරන විවිධාකාර ස්ටැලින්වාදී, නව ස්ටැලින්වාදී, සහ ජාතිකවාදී ධාරාවන් ද එමෙන් ම අලුත් පාර්ලිමේන්තුවක් මගින් ධනපති රාජ්‍යය වඩා ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන අලුත් පදනමක් මත පිහිටුවන “ව්‍යවස්ථාදායක සභාවක්” කැඳවීම ගැන වත්මනේ දේශනා කරන මොරීනෝවාදී ප්‍රවනතාවන් ද කරන්නේ විප්ලවවාදී ව්‍යාපාර කම්කරු බලය දක්වා යාම වලකා වෙනතක යැවීම බව ද ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.

ලියොන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය න්‍යාය වර්ධනය කලේය. ධනේශ්වර වර්ධනය ප්‍රමාද වූ රටවල් තුල, 19 වන සියවසේ ධනපති විප්ලව සමග සම්බන්ධ වන ජාතික එක්සත්කම, ඉඩම් ප්‍රතිසංස්කරන, වැනි කර්තව්‍යයන් දැන් ඉෂ්ඨ කර ගත හැක්කේ කම්කරු පන්තිය රාජ්‍ය බලය සියතට ගැනීමෙන් පමනක් බව ඔහු අවධාරනය කලේය. අධිරාජ්‍යවාදී යුගයේ ධනවාදයේ ගෝලීය වර්ධනයත් දියුනු කම්කරු පන්තිය දැනටම තමන්ගේ අවශ්‍යතාවලට තර්ජනයක් වීමත් සමග දේශීය ධනේශ්වරය, ඒ වන විටත් ලෝකය තමන් අතර බෙදාගෙන සිටි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ තුරුලට යන බව ඔහු පැහැදිලි කලේය.

සමාජවාදය සාක්ෂාත් කරගැනීම පදනම් විය යුත්තේ ආර්ථිකයේ ගෝලීය ස්වභාවයත් කම්කරු පන්තියේ ජාත්‍යන්තර ස්වභාවයත් යන දෙකේම වෛෂයික යථාර්ථය මතය. අප්‍රිකානු කම්කරුවන් ග්‍රාමීය ජනයාට නායකත්වය දෙමින් බලය අල්ලාගෙන තමන්ගේම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අරගල කල යුතුය. නමුත් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය තනි රටක පටන්ගත්තත් එය යාබද රටවල් වලට ව්‍යාප්තව යාම ඉල්ලා සිටී. එය සම්පූර්නයෙන් ජයග්‍රහනය කරනු ඇත්තේ ලෝක තලයේ දී ය.

අප්‍රිකාවේදී මෙහි සත්‍යතාවය ඔප්පු කෙරුනේ, මහත් ලේ හැලීම් මතින් සෘනාත්මක ආකාරයටය. අතීතයේදී ජාතික ස්වාධීනතා ව්‍යාපාරයන් වූ එහෙත් පසුකාලයේ පන්ති මර්දනයේ ආයුධ බවට පත්වූ අප්‍රිකානු ජාතික සංගමය, මොසැම්බික් ජාතික විමුක්ති ව්‍යාපාරය, ඇන්ගෝලාව නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය, සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය, නිරිතදිග අප්‍රිකානු මහජන සංවිධානය සහ තවත් එවැනි සංවිධාන තරම් හොඳට වෙනත් කිසිවක් මේ සත්‍යය හෙලිදරව් නොකරයි. එම සංවිධාන තමන් පෙරලා දමනවා යයි කී එම යටත් විජිත රාජ්‍ය යන්ත්‍රනය සහ පන්ති ව්‍යුහය සංරක්ෂනය කර පවත්වා ගත්තේ ය. විදේශීය නය, විදේශ වෙලඳාම සහ දේශීය අමුද්‍රව්‍ය සූරා ගැනීම යන දම්වැල් වලින් ඔවුන්ගේ ආර්ථිකයන් විදේශ ප්‍රාග්ධනයේ අවශ්‍යතා වලට ගැට ගැසී තිබුනේය. මේ තුලින් නිරුවත් ලෙසම අධිරාජ්‍යවාදී ආන්ඩුවල, අන්තර්ජාතික සංගතවල හා බැංකුවල ඒජන්තයන් වූ අලුත් අප්‍රිකානු ධනේශ්වරයක් බිහි විය.

මෙකී අත්දැකීම් වලින් දැනුවත්ව පාඩම් ඉගෙන නොගතහොත් අද දවසේ ඉසෙඩ් පරපුරේ අරගල, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ලබාදෙන බවට පොරොන්දු වන අලුත් වාචාලයින්ගේ ගොදුරු බවට සහ බලවතුන්ගේ දේශපාලන අනුග්‍රාහකයින් බවට පත්වන, ඉලක්කයක් නොමැති හුදු විරෝධතා චක්‍ර පත්වනු ඇත. මහාද්වීපය පුරාම ඇති මෑත අත්දැකීම් මේ පිලිබඳ අනතුරු ඇඟවීම් ලෙස පවතී.

කෙන්යාවේ මිලියන ගනන් ජනයා “රූටෝ ගෙදර යනු” යන සටන් පාඨය යටතේ වීදි බැස අවුරුද්දක් පසුවීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කරමින්, තමන්ගේ ආඥාදායකත්වය සඳහා මාවත තර කරමින් ජනාධිපති විලියම් රූටෝ තවමත් බලයේ සිටී. ඔහුගේ ආන්ඩුව විසින් විරෝධතා කරුවන් 256 ක් ඝාතනය කර ඇත; තවත් දහස් ගනනකට තුවාල සිදුකර විශාල ගනනක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇත. සිය ගනනකට ත්‍රස්තවාදීන් යයි හොර නඩු අටවා ඇත. මොසැම්බික් හි දී රටේ ඉතිහාසයේ විශාලත ම විරෝධතා නොතකා 411 ක් ඝාතනය කර 7000 ක් හිර භාරයට ගෙන ෆ්‍රෙලිමෝ ආන්ඩුව තවමත් බලයේ සිටී. ඇංගෝලාවේ දී එම්පීඑල්ඒ ආන්ඩුව අඩු වශයෙන් 29 ක් ඝාතනය කර තවමත් බලයේ සිටී. කැමරූනයේ තවමත් පවතින විරෝධතාවල දී අඩු ගනනේ 23 ක් මරා දමා වයස 92 ක් වන ජනාධිපති පෝල් බියා දිගට ම බලයේ රැඳී සිටී.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
2025 ඔක්තෝබර් 12 වැනි දා කැමරූන්හි ගරූවාහි දී ආරක්ෂක අංශවල ජල විදුම් ප්‍රහාර හමුවේ විසිරී දිව යන විරෝධතාකරුවෝ [AP Photo/Welba Yamo Pascal]

ටැන්සානියාවෙන් ලැබෙන වාර්තා වලට අනුව තරුන පිරිස් සහයෝගය ඉල්ලමින් හමුදා බැරැක්ක වලට ගොස් ඇත. නමුත් කටුක අත්දැකීම් පෙන්වන්නේ මහජන නැගිටීම්වලදී හමුදා මැදිහත්වීම් හැමවිටම, ජනතා අභිලාෂයන් සාක්ෂාත් කරදීමට නොව ඒවා මර්දනය කිරීමට යෙදෙන බවයි. 2011 වර්ෂයේ ඊජිප්තු සහ ටියුනීසියානු නැගිටීම්වල දී හමුදාවේ ඊනියා මධ්‍යස්ථභාවය ඉටුකලේ විප්ලවීය බලමුලු ගැන්වීම විසුරුවා හැර ධනපති ක්‍රමය යලි පිහිටුවීමේ කාර්යයයි. බුර්කිනා ෆසෝ, මාලි සහ නයිජර් වල දී යුද හමුදාව, ප්‍රංශ අධිරාජ්‍යවාදය මාලි සහ සහෙල් ප්‍රදේශයේ (සහරා කාන්තාරයෙන් දකුනේ පිහිටි අර්ධ-ශුෂ්ක ප්‍රදේශය) 2013-2022 ගෙන ගිය යුද්ධයට එරෙහිව නැගුනු ජනතා විරෝධය මැද අධිරාජ්‍ය විරෝධී වචන පාවිච්චි කරමින් බලයට පත්විය. මේ ආන්ඩු ද ඔවුන්ට පෙර පැවති ආන්ඩු සේම, ධනපති දේපල සම්බන්ධතා ද ජාතික ධනේශ්වරයේ ඕනෑඑපාකම් ද ආරක්ෂා කරති.

ට්‍රොට්ස්කිවාදී නායකත්වයේ අවශ්‍යතාව

අප්‍රිකාවේ දිග හැරෙමින් තිබෙන තත්වය, සෑම විප්ලවවාදී ව්‍යාපාරයකම කේන්ද්‍රීය ප්‍රශ්නය, එනම්, නායකත්වය පිලිබඳ ප්‍රශ්නය ඉස්මත්තට ගෙන එයි. තරුනයන්ගේ දිරිය, විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හැටියට, දැනුවත් දේශපාලන දිසානතියක් අත්කර ගත යුතු ය.

පවතින දේශපාලන සංස්ථාපිතය තුල කම්කරු පන්තියට සොයා ගත හැකි විකල්පයක් නැත. පාලක පෙලැන්තියේ දේශපාලන කුනුවීමේ සමාන්තරය, විරුද්ධ පාර්ශ්වය ලෙස පෙනී සිටිනවුන්ගේ බංකොලොත්භාවය තුල පවතී. දකුනු අප්‍රිකාවේදී එය, උම්ඛොන්ටෝ වෙශිස්වේ (එම්කේ), ආර්ථික නිදහස සඳහා සටන් කරන්නෝ ආදී පැරනි ඒඑන්සීයෙන් කැඩී ගිය පතුරු සංවිධාන වලින් සමන්විත වෙයි. මින් පලමුවැන්නේ නායකයා හිටපු දූෂිත ජනාධිපති වන ප්‍රකෝටිපති ජේකබ් සූමා ය. දෙවැන්නේ නායකයා ටෙන්ඩර් මගඩි වලින් මිලියන ගනන් පොදි ගසා ගත් ජූලියස් මලේමාය. කැමරූනයේ ඉසා චිරෝමා බකාරි විපක්ෂයේ චරිතයක් ලෙස පෙනී සිටියත් ඔහු බියා ගේ ආඥාදායක ආන්ඩුවේ ඇමති ධුර දරමින් දශක ගනනාවක් ඊට සේවය කලේය. මොසැම්බික් රටේ දක්ෂිනාංශික දේව ධර්ම දේශක වෙනාන්සියෝ මොන්ඩ්ලේන් පෘතුගාලයේ ෆැසිස්ට්වාදී චේගාව (CHEGA) සමග සම්බන්ධකම් පවත්වන අතර බොල්සනාරෝ සහ ට්‍රම්ප් උත්කර්ෂයට නංවයි. කෙන්යාවේ විපක්ෂයේ චරිත වන රිගාති ගචාගුවා, කලොන්සෝ මුසියෝකා, මාර්තා කාරුවා, ෆ්‍රෙඩ් මතියන්ගි ( Rigathi Gachagua, Kalonzo Musyoka, Martha Karua and Fred Matiangi) ආදී සියලු දෙනා තමන් බලයේ සිටි කාලයේ විරෝධතා කරුවන් ඝාතනය කලවුන් ය.

අප්‍රිකාව පුරා ම විරුද්ධ පක්ෂ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික ගැති සංවිධානයන් ය. සිම්බාබ්වේහි ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා ව්‍යාපාරය, “පුද්ගලීකරනය හා ව්‍යාපාරික විශ්වාසය යලි තහවුරු කිරීමට” ශපථ කරයි. ටැන්සානියාවේ චඩේමාව, (CHADEMA) සමාගම් බදු අඩු කරන ලෙස ඉල්ලා සිටිමින්, ඛනිජ සම්පත් කැනීම, තෙල්, ගෑස් ආදී ක්ෂේත්‍රවල මුදල් යෙදවීමට ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මානය කරන ලෙසද ඉල්ලා සිටී. උගන්ඩාවේ කෝටිපති බොබී වයින් ගේ ජාතික එකමුතුකම සඳහා වේදිකාව නම් පක්ෂයේ මැතිවරන ප්‍රකාශනය, පුද්ගලික අංශය අතට බලතල ලබා දෙන ආර්ථික වාතාවරනයේ ස්ථායිකරනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙමින් ”අපේ ආර්ථිකය ගැන විශ්වාසය යලි ඇති කිරීමට” ශපථ කරයි.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
උගන්ඩාවේ විරුද්ධ පක්ෂ දේශපාලකයෙකු වන බොබී වයින්, වොයිස් ඔෆ් ඇමෙරිකා මාධ්‍යට 2024 දී සම්මුඛ සාකච්ඡාවක් දෙමින් [Photo: VoA – YouTube]

මොවුන් වනාහී තව තවත් ධනය හා බලය රැස් කර ගැනීමේ තම ආශාවට දැනට සිටින පාලකයන් විසින් අවහිර පනවා ඇති සුඛිත මුදිත ඉහල මධ්‍යම පංතික තට්ටු විසින් නායකත්වය දෙන ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට පක්ෂ බලවේගයන් ය. ඔවුන්ගේ අරමුන ධනපති ක්‍රමය පෙරලා දැමීම නොව එය තුල තමන්ගේ තැන ස්ථාවර කර ගැනීමයි. ඔවුන් සියලු දෙනා ම, ජනප්‍රිය සටන් පාඨ, දූෂන විරෝධී ආරම්භයන්, ජාතිකත්වය හුවා දක්වන වාක්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රතිසංස්කරන සඳහා ඉල්ලීම් ආදියේ සලුපිලි හැඳ සිටින මිලියන ගනන් ජනයා දුගී භාවයට ඇද දමන ධනේශ්වර ක්‍රමයේ ආරක්ෂකයෝ ය.

අප්‍රිකානු මහාද්වීපය මුහුන දෙන කේන්ද්‍රීය ප්‍රශ්න දෙකට, එනම් දැවැන්ත නය බර සහ යුද්ධය දෙසට වැඩි වැඩියෙන් කෙරන සූදානම යන ප්‍රශ්න දෙකට මොවුන් කිසිවෙකු ලඟ උත්තර නැත.

අප්‍රිකානු ආන්ඩු දැවැන්ත ව්‍යසනකාරී නය සර්පිලයක හිරවී සිටියි. මෙම ආන්ඩු පොලී අනුපාත අඩු කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් දිරිමත් කරනු ලැබ, යූරෝ බැඳුම්කර නමැති නය කඩදාසි නිකුත් කර මුදල් ලබා ගත්හ. අද ඔවුන් මුහුන දෙන්නේ ගෝලීය පොලී අනුපාත වැඩි වූ, කොවිඩ් 19 වසංගතයේ හා රුසියාවට එරෙහි නේටෝවේ යුද සූදානමේ කම්පනවලට ය. ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රහාරය විසින් මේ තත්වය වඩා සංකීර්න කර තිබේ. අප්‍රිකානු රටවල් විස්සකට වඩා එක්කෝ දැනටම නය පැහැර හැර ඇති හෝ ඊට ආසන්න තත්වයක සිටිති. බොහෝ අප්‍රිකානු රටවල ජාතික අයවැයෙන් අඩකට වඩා වෙන් කරන්නේ විදේශ නය වාරික ගෙවීමට ය. විදේශ බැංකු හා බැඳුම්කර හිමියන්ට ගෙවීම සඳහා මුදල් ඉතුරු කර ගැනීමට අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සහ වැටුප් කෲර ලෙස කප්පාදු කරනු ලැබේ.

ඒ අතරේම, සූදානම් වන තුන්වන ලෝක යුද්ධයේ තවත් පෙරමුනක් බවට අප්‍රිකානු මහාද්වීපය වේගයෙන් පත් කෙරෙමින් තිබේ. ඇමරිකා එක්‌සත් ජනපදය සහ යුරෝපා සංගමය යන අධිරාජ්‍යවාදී රටවල් අතරත් රුසියාව සහ චීනය වැනි ධනවාදී බලයනුත් අතර අරගලය, අප්‍රිකාවේ සම්පත්වල, වෙලඳපොලවල්වල සහ මූලෝපායික පිහිටීමේ පාලනය තමන් අතට ගැනීම සඳහා තියුනු වන බලු පොරයක් මෙහෙයවයි. අප්‍රිකාවේ දැවැන්ත තෙල්, ගෑස්, කොබල්ට්, තඹ හා ලිතියම් නිධි යුද්ධමය හා කාර්මික අවශ්‍යතා සඳහා නැතිවම බැරි ය.

නව පරපුර ඉදිරියේ ඇති කාර්යභාරය වන්නේ විසිවන සියවසේ ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ මග පෙන්වීම ඇතිව, සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙන යාම සඳහා සහ මානව වර්ගයාගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා නව නායකත්වයක් ගොඩනගා ගැනීමයි. මෙයින් අදහස් කරන්නේ අප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ, එනම් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශාඛා ගොඩනැගීමයි.

ඉසෙඩ් පරපුරේ විරෝධතා සහ එක්සත් සමාජවාදී අප්‍රිකාවක් සඳහා අරගලය
ලියොන් ට්‍රොට්ස්කි [Photo by Bundesarchiv, Bild 183-R15068 / CC BY-SA 3.0]

විකල්පය පැහැදිලි ය. එක්කෝ ධනවාදය යටතේ යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජමය බිඳවැටීම දෙසට අද වැටිය යුතු ය. නැතිනම් ලෝක විප්ලවයේ කොටසක් ලෙස අප්‍රිකානු සමාජවාදී එක්සත් ජනපදයක් සඳහා අරගලයට අප්‍රිකානු කම්කරු පන්තිය සහ තරුන තරුනියන් සමාජවාදී ලෙස එකමුතු කල යුතු ය. අප්‍රිකානු කම්කරු රාජ්‍ය සංගමයක්, අධිරාජ්‍යවාදීන් විසින් අඳින ලද කෘතිම දේශසීමා අහෝසි කොට, බැංකු, පතල්, වතු සහ බහු ජාතික සංගත වන්දි විරහිතව ජනසතු කොට, මහාද්වීපයේ දැවැන්ත සම්පත් මානව අවශ්‍යතා සම්පූර්න කිරීම සඳහා යොදවනු ඇත. එය අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කර, දරිද්‍රතාවය මුලිනුපුටා දමා, නූගත්කම හා රෝගාබාධ තුරන් කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කරනු ඇත.

අප්‍රිකානු විප්ලවය, දැකිය යුත්තේ ලෝක විප්ලවයේ අවියෝජනීය කොටසක් ලෙස ය. අප්‍රිකානු තරුන පරපුරේ සහ කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය සවිඥානික දේශපාලන ප්‍රකාශනයක් ලබා ගෙන මානව වර්ගයාගේ විමුක්තිය සඳහා නව පරිච්ඡේදයක් අරඹනු ඇත්තේ මේ ආකාරයට පමනකි. ඉසෙඩ් පරපුර ඉදිරියේ ඇති ඓතිහාසික කාර්යභාරය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed