රාජගිරිය රිය අනතුරු නඩුව: වාහනයේ රියදුරු අසුනේ හිටියේ පාඨලී- සාක්ෂිකරු කියයි.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ පලමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියා.
සාක්ෂිකරු කියා සිටියේ සිද්ධිය වූ දින තමා මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියේ දුමක් වැනි දෙයක් දුටු බවත් එම ස්ථානයේ අනතුරක් සිදුවී ඇති බව වැටහුණු බවත් කියා සිටියා.
පසුව තමා එම ස්ථානයට ගිය බව කී සාක්ෂිකරු එම ස්ථානයේ අනතුරට ලක් වූ සංදීප් සිටිනු දුටු බවත් පසුව වාහනයකට කතාකර ඔහු රෝහල කරා යැවීමට කටයුතු කළ බවත් සඳහන් කළා.
පසුව එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළේ අර වාහනය යැයි පෙන්වූ බවත් ඒ අනුව තමා එම වාහනය ලුහුබැද ගිය බව කී සාක්ෂිකරු එය නවත්වන ලෙස තමා කෑ ගැසූ බවත් සඳහන් කළා.
පසුව අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව යසුරුපදියෙන් බැස තමා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු පැවසුවා.
රියැදුරු අසුනේ අව් කණ්ණාඩියක් පැළඳ කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳගත් උස පුද්ගලයෙකු සිටිනු තමන් දුටු බවත් එම පුද්ගලයා” මම පාටලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න” යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු කියා සිටියා.
එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් ප්‍රශ්න කළා.
ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවක මහතාව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා.
තමා මේ පුද්ගලයාව ” පත්තර ටීවි වල නිතර දැක තිබූ නිසා” මේ පුද්ගලයාව තමන් හඳුනාගත් බවත් සාක්ෂිකරු කියා සිටියා.
ඒ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර පාටලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම රිය අනතුර සම්බන්ධයෙන් මෙම නඩුවේ දෙවන විත්තිකාර දිළුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන නඩුව අවසන් කර තිබෙන බව පැවසුවා.
එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනෙකු සිටිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ තුළින් නීතියේ ආධිපත්‍යය කෙලෙසීමක් සිදුවන බවත් චෝදනා කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අබේවික්‍රම මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකරය මෙම නඩු විභාගයට බාධාවක් නොවන බවයි.
ඉන් අනතුරුව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ රියදුරුවන දිනුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළා.
ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබුණා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම, අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලීසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා