කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රභු තාප්ප පිටුපස සිදුවන බලු වැඩ !

0
images (87)

රාජකීය විද්‍යාලයීය ප්‍රභූ තාප්ප පිටුපස සිදුවන, දරුවන්ගේ සිහින කුඩුපට්ටම් කරන බලු වැඩක් සහ මහා පරිමාණ දූෂණයක් ගැනයි මේ හෙළිදරව්ව. මේක “placement test” (බඳවා ගැනීමේ විභාගයක්) කියන ලේබලය අලවලා අපේ රටේ ඉන්න දක්ෂම දරුවන්ගේ අනාගතය සූරාකන පරිපාලනමය ජාවාරමක්!

පොඩ්ඩක් හිතන්න, ඈත පිටිසර ගමක ඉඳන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම ඉහළම ලකුණු ගත්ත අවුරුදු 11ක පොඩි දරුවෙක් ගැන. ඒ දරුවා තමන්ගේ දෙමව්පියන්, යාළුවන් සහ උපන් ගම අතඇරලා කොළඹ එන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව.

ඒ දරුවාගේ හීනය මොකක්ද?

තමන්ගේ ගමේ ඉස්කෝලෙදිත් ද්විභාෂා (Bilingual) පන්තියෙන් කරගෙන ආපු ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය තවදුරටත් ඉහළටම කරලා, දවසක මුළු ලෝකයම ජයගන්න.

හැබැයි ලංකාවේ අංක එකේ ජාතික පාසල කියලා කියන රෝයල් එකට ආපු ගමන් ඒ හැම හීනයක්ම කුරිරු විදිහට කුඩු කරලා දානවා. කිසිම සිලබස් එකක්, Scope එකක්, නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්වත් නැති රහසිගත Bilingual ප්ලේස්මන්ට් ටෙස්ට් එකකට මේ දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න පත්තරේට දාන්නේ දරුවෝ ජීවිතේට ඉගෙනගෙන නැති 6 වසරේ අමාරු කොටස්!

ප්‍රතිඵලය? දරුවාව ප්‍රතික්ෂේප කරනවා. ඉස්කෝලෙන් බොහොම සූක්ෂ්ම විදිහට කියනවා “ඉඩ නෑ” නැත්නම් “ඔයාගේ ඉංග්‍රීසි මට්ටම මදි” කියලා.

දැන් මේ දරුවාට ආපහු තමන්ගේ ගමේ ඉස්කෝලෙට යන්නත් බෑ. අන්තිමට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න තිබ්බ අවස්ථාව නැති වෙලා, බලෙන්ම වගේ සිංහල මාධ්‍යයට වැටෙනවා. ඒ අහිංසක දරුවාගේ මුළු අනාගතයම එක රැයින් හොරකම් කරනවා.

සාක්ෂි සහිතව ඔප්පු වූ දූෂණය

මේක ඇත්තටම සම්පත් හෝ ගුරුවරුන්ගේ හිඟකමක්ද? පට්ට පල් බොරු!

මීට කලින් මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) මගින් කරපු විධිමත් පරීක්ෂණයකදී මේ විභාගයේ තියෙන කුණුකසල් ඔක්කොම එළියට ආවා. මේක පරිපාලනයේ ඉන්න පිරිසකට සල්ලි හම්බ කරන්න සහ තමන්ගේ පෞද්ගලික වාසි තකා කරන ජාවාරමක් කියලා එතනදි ඔප්පු වුණා. ඒ විමර්ශනයේදී ඔප්පු වුණු කරුණු මෙන්න:

  1. හොර පාරෙන් ඇතුල් කිරීම් (Backdoor Access): ඉංග්‍රීසි හොඳටම පුළුවන් දක්ෂ ළමයිව ෆේල් කරද්දී, ඉංග්‍රීසි වචනයක්වත් හරියට බැරි සමහර ළමයි පුදුම විදිහට ඉහළම ලකුණු අරන් පාස් වෙලා තිබුණා. හේතුව, විභාග පේපර් එක කලින්ම අදාළ අයට ලීක් (Leak) කරලා!
  2. අසාධාරණ ලෙස කපා හැරීම්: ඉතාමත් අඩු ලකුණු ගත්ත සමහර ළමයින්ව, කිසිම සුදුසුකමකින් තොරව හොර පාරෙන් (Backdoor) ද්විභාෂා පන්තිවලට ඇතුළත් කරගෙන තිබුණා. ඒ පරිපාලනයේ ඉහළ අයට ලැබුණු මූල්‍යමය හෝ වෙනත් වාසි නිසා.

දත්ත බොරු කියන්නේ නෑ!

ධෛර්යසම්පන්න දෙමව්පියන් පිරිසක් එකතු වෙලා මේ අසාධාරණයට විරුද්ධව මානව හිමිකම් කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව දක්වාම සටන් කළා. ඒ වෙලාවේ අළුතෙන් පත් වෙලා ආපු ප්‍රගතිශීලී විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහත්මයා විසින් මේ අසාධාරණයට ලක්වුණු දරුවන්ව 7 වසරේදී නැවත ද්විභාෂා මාධ්‍යයට ඇතුළත් කරගත්තා. ඒ වගේම ඊළඟ බැච් එකේ ඉඳන් කැමති ඕනෑම දරුවෙකුට කිසිම සම්පත් හිඟයකින් තොරව ඉංග්‍රීසි පන්තියට යන්න අවස්ථාව හදලා දුන්නා.

ඒ වෙලාවේ ඉස්කෝලේ පරිපාලනය කිව්වේ “මේ ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගන්න බෑ, අමාරුයි” කියලා. හැබැයි දරුවෝ ඒ බොරුව කුඩු කරලා දැම්මා. 6 වසරේ අවුරුද්දක්ම සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙනත්, 7 වසරේදී ඉංග්‍රීසි මාධ්‍යයට ආපු මේ දරුවෝ හැම වාර විභාගයකදීම ලකුණු ඉහළටම ගත්තා.

විශේෂයෙන්ම, එදා මේ ටෙස්ට් එකෙන් අසාධාරණ ලෙස හලපු එක දරුවෙක්, 7, 8 සහ 9 වසරවල දිගටම “Commendable Report” (ප්‍රශංසා වාර්තා) ගත්තා! රෝයල් එකේ ප්‍රශංසා වාර්තාවක් ගන්නවා කියන්නේ සාමාන්‍ය අගය 75% ට වැඩි වෙන්න ඕන වගේම, එකම එක විෂයකටවත් ලකුණු 75ට වඩා අඩු වෙන්න බෑ.

මේකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ? මේ ප්ලේස්මන්ට් ටෙස්ට් එක කියන්නේ පැහැදිලිවම ප්‍රෝඩාවක්! ඒකෙන් දරුවෙකුගේ දක්ෂතාවය මනින්නේ නෑ. මනින්නේ සල්ලි බලය සහ දූෂිත ක්‍රමවේදයට යටත් වීම විතරයි.

අවසාන ප්‍රශ්නය!

කොළඹ ආනන්ද විද්‍යාලය වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන අනෙකුත් සාමාන්‍ය පාසල්වල පවා කිසිම බාධාවකින් තොරව, දෙමව්පියන්ගේ සහ දරුවාගේ කැමැත්ත මත විතරක් ද්විභාෂා අධ්‍යාපනය දෙන්න පුළුවන් නම්, ඇයි ලංකාවේ අංක එකේ පාසල වන රෝයල් එකට ඒක කරන්න බැරි?

පොළොන්නරුවේ ඉස්කෝලවලට තියෙන, රෝයල් එකට නැති දේ මොකක්ද?

මේක සම්පත් හිඟකමක් නෙවෙයි. රෝයල් එකට ඕන තරම් සල්ලි, පහසුකම් සහ ගොඩනැඟිලි තියෙනවා. මෙතන නැත්තේ “අවංකකම” විතරයි!

රත්නායක මහත්මයා විශ්‍රාම ගියපු ගමන් මේ වත්මන් පරිපාලනය ආපහු මේ කුප්‍රකට ටෙස්ට් එක කරළියට ගෙනාවේ එකම එක දේකටයි. ඒ, දරුවන්ගේ අනාගතය උකසට තියලා, හොර පාරෙන් ළමයි දාලා “යටින් මඩිස්සල තර කරගන්න” විතරයි!

මේක දරුවන්ගේ මූලික අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. මේ අභිරහස් විභාගය සදහටම අහෝසි කරලා, 6 වසරට ඇතුළත් වන, කැමති ඕනෑම දරුවෙකුට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනගන්න විවෘත අවස්ථාව (Open Enrollment) ලබාදිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *