අයිඑම්එෆ් කප්පාදු යටතේ ජවිපෙ/ජාජබ ආන්ඩුව දුම්රිය සේවකයන් 150ක් රැකියාවලින් දොට්ට දමයි

0
images (94)

රෝහන ප්‍රියන්ත, සුජිව අමරනාත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) නියෝග කරන කප්පාදු පිලිවෙත් අකුරට ම ක්‍රියාවට දමමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 150ක් පමන එකවර රැකියාවලින් නෙරපීමට පියවර ගෙන ඇත. 

මෙසේ දොට්ට දැමූවන් අතරට, කාර්යාල, නිශ්පාදන සහ විදුලි අංශවල සේවය කල කම්කරුවෝ අයත් වෙති. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ උප දෙපාර්තමේන්තු කිහිපයකට ම අයත් කම්කරුවෝ ද ඒ අතර වෙති. 

මෙම කම්කරුවන් 150 දෙනාගෙන් බහුතරයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට බඳවා ගෙන ඇත්තේ, 2014 වසරේ දී ය. ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයන්, මාස 6ක සේවා කාලයකින් පසු, මුල් පත්වීමේ සිට වසර තුනක පරිවාස කාලයකට යටත් කරනු ලැබේ. සේවය ස්ථීර කිරීම සඳහා, එම පරිවාස කාලය තුල කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂනවලට අඛන්ඩ ව මුහුන දී වැටුප් වර්ධක උපයාගත යුතු වේ.

සේවයෙන් පහ කර ඇති කම්කරුවන්, සේවය ස්ථීර කිරීමට අවශ්‍ය වැටුප් වර්ධක උපයා ගෙන නැතැයි කියමින්, ස්ථීර සේවයට අන්තර්ග්‍රහනය කර නැත. දැන් වසර 12ක පමන සේවා කාලයකින් පසු, මෙම කම්කරුවන් 150 දෙනාට ස්ථීර කිරීමේ සුදුසුකම් සැපිරීමට අවස්ථාව ලබා නො දී, එක්වර ම සේවයෙන් නෙරපා තිබේ. 

වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනියේ මහජනතාවට කප්පරක් පොරොන්දු දෙමිනි. බලයට පැමිනි වහා ම අයිඑම්එෆ් සමග “සාකච්ඡා” කොට, වික්‍රමසිංහ ආන්ඩුව සහ එය අතර ඇති කර ගෙන තිබූ ගිවිසුම් වෙනස් කොට, “ජනතාවට හිතවාදී” නව ගිවිසුම්වලට එලැඹෙන බව ඉන් ප්‍රධාන පොරොන්දුවකි. 

එහෙත් 2024 වසරේ ජනාධිපතිවරනය හා මහ මැතිවරනය යන දෙකේ දී ම, ජවිපෙ/ජාජබ අපේක්ෂකයන් ඒ කටෙන් ම මහ ව්‍යාපාරිකයට හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට පොරොන්දු වූයේ ඔවුන්ගේ අවශ්‍යතා ස්ථීර ලෙසින් ම ආරක්ෂා කරන බව යි. කම්කරු-පීඩිත මහජනතාවට දුන් පොරොන්දු මුලුමනින් ම කඩකල ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් ඉටු කරමින් සිටින්නේ මහ ව්‍යාපාරිකයට හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට දුන් පොරොන්දුවයි.

ලංකාවේ ධනපති පාලනය ස්ථාවර කරගැනීම සඳහා, අයිඑම්එෆ් වෙතින් වික්‍රමසිංහ ආන්ඩුව ලබාගත් ඩොලර් බිලියන 3ක ඇප නයෙහි කොන්දේසි, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව අකුරට ම ක්‍රියාවේ යොදවයි. ඒ යටතේ, 400ට අධික රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රමානයක් පුද්ගලීකරනයට හා ප්‍රතිව්‍යුහකරනයට නියමිත අතර, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පුද්ගලික සමාගම් හයකට කඩා පුද්ගලීකරනය ආරම්භ කර ඇත. මෙය සිදු කෙරෙනුයේ වෘත්තීය සමිති නිලධරයේ පූර්න සහයෝගය මත ය.

ශ්‍රී ලංකා දුම්රිය සේවය ද මෙම පුද්ගලීකරන ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයක පවතින තතු තුල, එහි පිරිවැය කප්පාදු කරනු වස්, දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාවට දමන අභ්‍යන්තර “ප්‍රතිසංස්කරන” වැඩසටහනක් ලෙස මෙම දොට්ට දැමීම් සිදු කෙරුනු බව, කෝච්චි අඩවිය නමැති ෆේස්බුක් පිටුවේ ඇති පෝස්ටුවක සඳහන් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය නියෝග කරන “ප්‍රතිසංස්කරනවල“ සැබෑ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය බවත්, කලක් මාක්ස්වාදී හා සමාජවාදී වාගාලාප දෙඩවූ ජවිපෙ, දැන් අයිඑම්එෆ් කප්පාදුවලට දිවිහිමියෙන් කැප වී ඇති බවත්, මෙම ප්‍රකාශ හරහා පැහැදිලි වෙයි. 

එම ෆේස්බුක් පෝස්ටුවේ ම අදහස් දක්වා ඇති රත්මලාන වැඩපොලේ ජවිපෙ වෘත්තීය සමිති නිලධරයෙකු වන ජයලාල් ජයකොඩි, ආන්ඩුවේ පියවර සාධාරනීකරනය කරමින්, නියමිත පරිදි සේවයට වාර්තා නොකිරීම ආදී චෝදනා දොට්ට දැමූ කම්කරුවන්ට එල්ල කර ඇත. මෙය ජවිපෙ වෘත්තීය සමිති නිලධරයේ සැබෑ කාර්යභාරය හෙලි කරයි: ඔවුන් කම්කරුවන්ගේ ආරක්ෂකයන් නොව, ආන්ඩුවේ කප්පාදු ප්‍රහාර ක්‍රියාත්මක කිරීමේ මෙවලම්‍ ය.

දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබර්ට්ස් “සාධාරන” පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් “ලිඛිත ව ඉල්ලූ” බව ප්‍රකාශ කරයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව අයිඑම්එෆ් නියෝග මත රාජ්‍ය ව්‍යවසායයන් ක්‍රමානුකූලව විනාශ කරන අතරතුර, ජනාධිපතිවරයාට “ලිඛිත ඉල්ලීම්” යැවීම යනු කම්කරුවන් අරගලයෙන් ඉවතට හැරවීමේ දැනුවත් පියවරකි.  

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමට කිසිසේත් විරුද්ධ නැති මෙම වෘත්තීය සමිතිවලින් බොහොමයක් කම්කරුවන් සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් කිසිවක් නිල වසයෙන් ප්‍රකාශ කර නැත. එහි අර්ථය ඔවුන් මෙම වැඩකටයුතුවලට නිහඬ ව අනුමැතිය දෙන බව යි. කම්කරුවන් නෙරපන ලද්දේ, ඔවුන්ගේ ම වරද නිසා බව අනෙකුත් කම්කරුවන්ට ගිල්ලවීමට වෘත්තීය සමිති සෑම උත්සාහයක් ම දරයි.

මේ සම්බන්ධයෙන් රත්මලාන වැඩපොලෙහි සේවය කල දැනට රැකියාවෙන් නෙරපා ඇති කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට දැක්වූ අදහස් ආන්ඩුව කම්කරු පන්තියට විරුද්ධ ව ක්‍රියාත්මක වන ආකාරය ගැන ඇස් අරවනසුලු ය. ඇය මෙසේ පැවසුවා ය: 

“මම සේවයට බැඳුනෙ 2014 ජනවාරි 6දා. 2019 දි ස්ථීර වුනේ. තනතුර දුම්රිය කාර්ය සහායක. නිවාඩු වැඩිපුර ලබාගෙන ඇති බව 2026 පෙරවාරි 19 වැනි දා ලිපියකින් දැනුම් දුන්නා. ජුනි මාසෙ සේවයෙන් ඉවත් කලා කියල තවත් ලිපියකින් දැනුම් දුන්නා. මූලික වැටුප රුපියල් 38,400 යි. දල වැටුප 40,000ක් විතර හම්බ වුනා.

“මගේ අම්මාගෙ ගර්භාෂ පිලිකාවක් හැදිල ගර්භාෂය ඉවත් කලා. මගේ දරුවො බලාගත්තෙත් අම්ම හින්ද මට ඇය රැකබලා ගැනීමට නිවාඩු යන්න වුනා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් (ආර්ඩීබී) ලක්ෂ 12ක් නය අරගත්තා. සුභසාධක සමිතියෙනුත් නයක් ගත්තා. ආපදා නය 250,000කුත් ගත්තා. දුම්රිය සමුපකාර සමිතියෙනුත්  නයක් අරන් තියෙනවා. දැනට කොටස් වසයෙන් නය ගෙවාගෙන ගියත් තව ලක්ෂ 10ක් විතර නය පියවීමට තියෙනවා. දින 14ක් තුල සියලු ම නය ගෙවා අවසන් කල යුතු යයි ලිපියකින් දැනුම් දී තිබෙනවා. දරුවන් දෙන්නා ම පාසල් යනවා. ලොකු දරුවා මේ අවුරුද්දෙ ශිෂ්‍යත්ව විභාගයට වාඩි වුනා.”

“මම උසස් පෙල වෙනකන් ඉගෙන ගෙන තියෙනවා. පවුල් බරයි නය බරයි නිසා රැකියාවක් වහා ම සොයාගත යුතුයි. මට දැන් වයස අවුරුදු 32ක් වෙනවා. කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක් තමයි අපට සිද්ද වෙලා තියෙන්නෙ. මම වෘත්තීය සමිති දෙකක -ශ්‍රීලනිප, ජවිපෙ- සාමාජිකත්වය දරනවා. මා රැකියාවෙන් ඉවත් කරන්න ලියුමක් ගහල කියල ආරංචි වුනා. ලියුම අතට ලැබෙන්නත් කලින් මම ඒ සමිති දෙකට ම දැනුම් දුන්නා ක්‍රියාමාර්ගයක් ගන්න. ලියුම තාම ලැබිල නැහැනෙ. ලැබුන ම බලමු කියලා වෘත්තීය සමිති නායකයො මට කිවුවා.”

“ඒක වාචික පොරොන්දුවක් විතරයි. තවමත් මගෙන් කිසි දෙයක් ඇහුවෙත් නැහැ. පියවරක් අරගනත් නැහැ. මගේ කර්මාන්තශාලාවෙ ම තවත් කම්කරුවෙක් රැකියාවෙන් අයින් කරලා තියෙනවා.”

“අභියාචනයක් ඉදිරිපත් කලා. ජනාධිපති කාර්යාලයටත් දැනුම් දුන්නා. එතනින් කල් ඉකුත් වෙලා කිසි ම දෙයක් කරන්න බැහැ කියල කෙටි පනිවුඩයකින් පිලිතුරක් ලැබුනා. මම ලියුම හම්බ වුන ගමන් දැනුම් දුන්නා. ඒ හින්ද කල් ඉකුත් වුනා කියන එක බොරුවක්. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ මේ සම්බන්ධ ව තියන කොමිසමට දැනුම් දෙන එක විතරයි.”

මෙය, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පන්ති ස්වභාවය සහ සමිති නිලධරයේ ප්‍රතිගාමී භූමිකාව පිලිබඳ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් අතර වැඩෙන අවබෝධයේ ප්‍රකාශනයකි.

දුම්රිය කම්කරුවන්ට තම රැකියා ආරක්ෂා කර ගත හැක්කේ සියලු ධනපති පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනි. ජනාධිපතිවරයාට “ලිඛිත ඉල්ලීම්” යැවීම හෝ “කොමිසම්වලට” අභියාචනා ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රතිඵලයක් ගෙන නොදේ. 

සමාජවාදී සමානතා පක්ෂය (සසප) දුම්රිය කම්කරුවන්ගෙන් මෙලෙස ඉල්ලා සිටී:

• සියලු ධනපති පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව, සෑම දුම්රිය ස්ථානයක ම, වැඩපොලකම සහ කර්මාන්තශාලාවක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවන්න.

• සේවයෙන් නෙරපන ලද සියලු ම කම්කරුවන් වහාම යලි සේවයේ පිහිටුවීම සඳහා ඒකාබද්ධ අරගලයක් දියත් කරන්න.

• දුම්රිය සේවය පුද්ගලීකරනය කිරීමේ ඕනෑ ම සැලසුමක් ප්‍රතික්ෂේප කරන්න.

• රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම ඇතුලු සියලු අයිඑම්එෆ් කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කරන්න.

දුම්රිය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට, තම රැකියා අයිතිය ඇතුලු අයිතීන් කිසිවක් ධනවාදයේ රාමුව තුල හෝ ජාතික පදනමක් මත තහවුරු කල නොහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මගින් ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් මත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන වැඩපිලිවෙලකි. මෙම වැඩපිලිවෙලට සටන් වදින දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවට (දුකක්‍රික)එක් වන්න. 

ලෝකසමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *