ජවිපෙ/ජාජබ පාලනයේ දෙවසරක්
දීපාල් ජයසේකර විසිනි.
[මෙය Two years of JVP/NPP rule in Sri Lanka මැයෙන් 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉංග්‍රීසියෙන් පල විය.]
ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ජාතික ජන බලවේගය (ජාජබ) බලයට පත් වී දැන් වසර දෙකක් ගත වී ඇත. 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරනයෙන්, ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක ආසන්න වශයෙන් සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහනය කලේ ය; මෙය 2019 දී පැවති පූර්ව ජනාධිපතිවරනයේ දී ඔහු ලබාගත් සියයට 3.1ක ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂ ව 12 ගුනයකටත් වඩා වැඩි වර්ධනයකි. ඉන් මාස දෙකකට පසු, එනම් නොවැම්බර් මැද භාගයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ඊට පෙර පැවති පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමනක් හිමි කර ගෙන සිටි ජවිපෙ/ජාජබ, තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය.
ජනාධිපතිවරනයට දින දෙකකට පෙර, “ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සඳහා උගුලක් ” යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ලිපියක් තුල ජවිපෙ/ජාජබ ජනාධිපතිවරන ප්‍රචාරක ව්‍යාපාරය හෙලා දකින ලදී. ජවිපෙ යනු “සිංහල ස්වෝත්තමවාදය තුල ගිලුනු, කම්කරු පන්තියට දැඩි ලෙස සතුරු ධනේශ්වර පක්ෂයක්” බවටත්, “බොහෝ කලකට පෙර ම තම සමාජවාදී මවා පෑම් අත් හැර දමූ එය, පසුගිය දශක තුනක කාලය තුල … දේශපාලන සංස්ථාපිතයේ ම කොටසක් බවට සම්පූර්නයෙන් ම ඒකාබද්ධ වී” ඇති බවටත් එමගින් අනතුරු අඟවන ලදී.
මැතිවරනයෙන් දින දෙකකට පසු ව, එනම් 2024 සැප්තැම්බර් 23 වන දින, ලෝසවෙඅ මෙසේ අනතුරු ඇඟවී ය:
“සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූවේ ප්‍රකට දූෂනයට එරෙහි ව දැඩි ලෙස හඬ නගන අතර ම, ‘පිටස්තරයෙකු’ ලෙස තමන් සතු ප්‍රතිරූපය ප්‍රයෝජනයට ගනිමින්, ජවිපෙ, සමාජ සුභසාධන වියදම් ඉහල නැංවීම සම්බන්ධයෙන් සුලු සුලු පොරොන්දු කිහිපයක් ලබා දෙන ලදී. …
“මේ සියල්ල මුලුමනින් ම වංක විය. [හිටපු ජනාධිපති] වික්‍රමසිංහ විසින් සාකච්ඡා කර එකඟතාවකට පැමින තිබූ ජාමූඅ නය වැඩසටහනේ පරාමිතීන් තුල කටයුතු කිරීමට ජවිපෙ ප්‍රසිද්ධියේ ම කැප වී සිටී.”
ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් සිදු කරන ලද දේශපාලන විශ්ලේශනයන් සහ අනතුරු ඇඟවීම් පසුගිය වසර දෙක තුල ඉතා පැහැදිලි ව සනාථ වී ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුව තම මැතිවරන පොරොන්දු කුනු කූඩයට දමමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් අනුකම්පා විරහිත ලෙස තීව්‍ර කර ඇති අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සගයන් සමඟ පෙල ගැසී ඇත. එ පමනක් නොව, ආන්ඩුව, තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරවලටත්, අධ්‍යාපනය ඇතුලු අනෙකුත් මහජන සේවාවන් කප්පාදුවටත් එරෙහි ව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව රාජ්‍ය මර්දනය ද මුදා හැර තිබේ.
එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) වැනි දිවයිනේ සාම්ප්‍රදායික පක්ෂවලටත්, පිලිවෙලින්, සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ලෙස ඉන් පසු ව මතු වූ ඒවායේ අපශාඛාවලටත්, දෙමල හා මුස්ලිම් ධනේශ්වර පක්ෂවලටත් එරෙහි ව පැවති මහජන කෝපය ගසාකමින් ජවිපෙ/ජාජබ සන්ධානය බලයට පත්විය. මෙම සියලු පක්ෂ, අනුප්‍රාප්තික ආන්ඩු මෙහෙයවීම හෝ ඒවාට සහාය දැක්වීම මගින්, දශක ගනනාවක් පුරා දිවයිනේ කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කර ඇත.
ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දී ඇති පෙර නොවූ විරූ අර්බුදයත්, එහි සාම්ප්‍රදායික පාලක පක්ෂ කෙරෙහි පැවති ජනතා සහාය බිඳ වැටීමත් මධ්‍යයේ, පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් ජවිපෙ/ජාජබ වෙත යොමු විය. ඊට හේතු වූයේ, සමාජීය වශයෙන් දැඩි කැලඹීමක් ඇති කල හැකි ජාමූඅ කප්පාදු නියෝග වඩාත් සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත්තේ එයට බවට වන ඔවුන්ගේ ගනන් බැලීමයි.
මීට වසර දෙකකට පෙර, එනම් 2022 දී, කෝවිඩ් වසංගතය, නැටෝව විසින් රුසියාවට එරෙහි ව ඇවිල වූ යුද්ධය සහ ආන්ඩුව විසින් ජාතික නය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඇති වූ දරාගත නොහැකි ආර්ථික හා සමාජීය තත්වයන් මගින් පෝෂනය වූ කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ දැවැන්ත නැගිටීමක් හමුවේ ශ්‍රී ලංකාවේ ධනපති පාලනය දැඩි ලෙස කැලඹී ගියේ ය. මාස තුනකට අධික කාලයක් පුරා පැවති දැවැන්ත විරෝධතා සහ වැඩවර්ජනවලින් අනතුරු ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු විය.
2022 මහජන නැගිටීම අවමංගත කිරීම සහ මර්දනය කිරීමෙහිලා ඉටු කල කාර්යභාරය තුලින්—ශ්‍රී ලාංකික ධනේශ්වර පන්තියේ සහ ලෝක අධිරාජ්‍යවාදයේ දෘෂ්ටි කෝනයෙන් බලන කල—රාජ්‍යය තුල වඩා ඉහල බලයක් දැරීමට තමන් සුදුසු බව ජවිපෙ/ජාජබ විසින් ඔප්පු කර පෙන්වන ලදී. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ ද සහාය ඇති ව, ප්‍රධාන ධනපති විපක්ෂය වන සජබ සමඟ එක් ව, පාර්ලිමේන්තුවේ දක්ෂිනාංශික පක්ෂ කන්ඩායම මත පදනම් වූ අන්තර්කාලීන ධනපති ආන්ඩුවක් සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කරමින්, එම මහජන ව්‍යාපාරය, පවතින සමාජ හා දේශපාලන ක්‍රමයට දේශපාලනික ව යට කර දැමීමට ඔවුහු කටයුතු කලහ.
මහජනතාව විසින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරුන්ගේ ම ඡන්දයෙන්, දැඩි දක්ෂිනාංශිකයෙකු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ අන්තර්කාලීන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පාලක පන්තිය කටයුතු කල අවස්ථාවේ දී, එයට අපේක්ෂකයෙකු ලෙස දිසානායක ඉදිරිපත් කිරීම තුලින් ජවිපෙ/ජාජබ පාර්ශවය මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාමාර්ගයට නීත්‍යානුකූලභාවය ලබා දීමට දායක විය.
වෛරයට පාත්‍ර වූ රාජපක්ෂට එරෙහි ව තමන් ලැබූ “ජයග්‍රහනය” ඉතා වේගයෙන් හා පහසුවෙන් තමන්ගෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් වැඩ කරන ජනතාව තුල පැවති ව්‍යාකූලත්වය තම වාසියට හරවා ගත් වික්‍රමසිංහ, මර්දනය යොදා ගනිමින් මිනිසුන් වීදි වලින් එලවා දැමීමටත්, විපක්ෂය විසින් ඉල්ලා සිටි පරිදි ජාමූඅ හි “මූල්‍ය ආධාර පැකේජයක්” ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමටත් කඩිනමින් පියවර ගත්තේ ය.
එහෙත් එම සන්සුන්බව ඉතා කෙටි කාලීන එකක් බවට පත් විය. වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව ජනතා විරෝධය හමුවේ දැඩි පීඩනයකට ලක් ව සිටිය දී සහ ජාමූඅ විසින් ඉල්ලා සිටින දැවැන්ත වියදම් කප්පාදු, බදු වැඩි කිරීම් හා පුද්ගලීකරන පියවරයන් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට තව තවත් මුහුන දෙමින් සිටිය දී පාලක පන්තියේ බලගතු කොටස් ‘අඩු-නපුරු විකල්පය’ ලෙස දුටුවේ ජවිපෙ/ජාජබ බලයට පත් කිරීමයි. ඒ එ මගින්, බලහත්කාරයෙන් කුරිරු මූල්‍ය කප්පාදු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී න්‍යාය පත්‍රය සහ එහි ප්‍රධාන දකුනු ආසියානු සගයා වන ඉන්දියාව සමඟ කොලඹ තව දුරටත් ඒකාබද්ධ කිරීමටත් මග පෑදෙන බැවිනි.
ජාමූඅ හි කුරිරු කප්පාදු ක්‍රියාත්මක කිරීමේ මෙවලමක්
බලයට පත්වූ වහා ම, ජාමූඅ ආධාර පැකේජය පිලිබඳ ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට තමන් ලබා දී තිබූ මැතිවරන පොරොන්දුව ඉවත දැමූ දිසානායක ආන්ඩුව, ඒ වෙනුවට එම ගිවිසුම පූර්න වශයෙන් ක්‍රියාත්මක කරන බවට ගෝලීය ප්‍රාග්ධනට ප්‍රතිඥා දුන්නේ ය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති දිසානායක විසින් ඉදිරිපත් කරන ලද පසුගිය වසර දෙකේ අයවැය මගින් සනිටුහන් කලේ, වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන්ට එරෙහි ව ගෙන යන යුද්ධය දැඩි ලෙස උත්සන්න කිරීමකි.
මෙම අයවැය වලට, කම්කරුවන්ගේ ආදායම් සහ සේවා කොන්දේසිවලට එරෙහි දැඩි ප්‍රහාර ඇතුලත් වේ. ඒවා මගින් ලබා දී ඇත්තේ ඉතා සුලු වැටුප් වැඩිවීම් පමනක් වන අතර, එමගින් 2022 වසරේ සිට සිදු ව ඇති මූර්ත වැටුප්වල දැවැන්ත පහත වැටීම කිසිසේත්ම පිය වී නැත; එ සේ ම, වැඩ කරන ජනතාව මත පැටවෙන බදු බර තව දුරටත් වැඩි කර ඇති අතර, රාජ්‍ය ව්‍යවසායන් 400 ක් ප්‍රතිව්‍යූහගත කිරීම හෝ පුද්ගලීකරනය ආරම්භ කර ඇත—මෙය ලක්ෂ ගනනාවක රැකියා අහෝසි කිරීම අරමුනු කරගත් ක්‍රියාවලියකි; තව ද, “ආයෝජන ආරක්ෂා කිරීමට” සහ විදේශීය ප්‍රාග්ධනයට එය පදනම් ව ඇති රටට ලාභය රැගෙන යාම සහතික කෙරුනු නව ආයෝජන පනතක් යටතේ කාර්මික කලාප පිහිටුවා ඇත.
තම අතීත අධිරාජ්‍ය විරෝධී වාචාල කතාවලින් ඉතිරි ව තිබූ සෑම දෙයක් ම අත්හැර දමමින්, ජවිපෙ ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට කොලඹ වඩාත් සමීප ව ඒකාබද්ධ කර ඇති අතර ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කර ඇත.
ඉරානයට එරෙහි ව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති සාපරාධී යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුවේ ආකල්පය තුලින්, එහි අධිරාජ්‍යවාදයට පක්ෂග්‍රාහී ප්‍රතිපත්ති මනාව හෙලිදරව් වේ. කලාපීය ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳව “දැඩි කනස්සල්ල” පල කරමින්, “උත්සන්නිය සමනය කරන ලෙස” ඉල්ලා සිටිය ද, ආක්‍රමනික පාර්ශ්වයන්—එනම්, ඇමරිකාව සහ ඊශ්‍රායලය හෝ—අප්‍රකෝපිත ආක්‍රමනශීලී යුද්ධයේ ගොදුර බවට පත් ව සිටින—ඉරානය යන පාර්ශ්වයන්ගේ නම් සඳහන් කිරීමෙන් ආන්ඩුව හිතාමතා ම වැලකී සිටී.
ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි, එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඊශ්‍රායල ජන සංහාරක ප්‍රහාරය සම්බන්ධයෙන් ද එය ගත්තේ එම ස්ථාවරය ම ය. ඒ අනුව එය, එක්සත් ජනපදයේ හෝ ඊශ්‍රායලයේ නම් සඳහන් කිරීමෙන් වැලකී, දැවැන්ත යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන් හෙලා දැකීම පසෙක ලා, කලාපීය ස්ථාවරත්වයට ඇති තර්ජනය පිලිබඳව “ගැඹුරු කනස්සල්ල” පල කරමින්, “උත්සන්නිය අඩු කරන ලෙස” ඉල්ලා සිටී.
ජවිපෙ/ජාජබ විසින්, පීඩිත දෙමල සුලුතරය වෙත මැතිවරන පොරොන්දු මාලාවක් ලබා දුන් අතර, අපේක්ෂා කලහැකි වූ පරිදි ම, එය කුරිරු රැවටීමක් බව ඔප්පු විය. දශක තුනක සිවිල් යුද්ධය පැවති කාලයේ සහ ඉන් ක්ෂනික ඉක්බිත්තේ රඳවා තබා ගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම; යුද්ධයෙන් විනාශයට පත් උතුරු හා නැගෙනහිර පලාත්වල හමුදා භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබා දීම; අතුරුදහන් වූවන් (ඔවුන්ගෙන් බහුතරයක් ආරක්ෂක අංශ විසින් මරා දමන ලදී) පිලිබඳ තොරතුරු ලබා දීම ආදිය මේවාට ඇතුලත් විය.
දෙමල ඡන්ද දිනා ගැනීමේ අරමුනින්, 2024 මැතිවරනයට පෙර කාලසීමාව තුල ජවිපෙ/ජාජබ සිය දීර්ඝකාලීන සිංහල ජාතිවාදී ස්ථාවරයෙන්—එනම් වාර්ගික ගැටුමට පූර්න සහ අඛන්ඩ සහාය ඇතුලු ක්‍රියාවන්ගෙන්—යම්තාක් දුරට ඈත් වීමට උත්සාහ කලේ ය.
යුද සමයේ දී අවතැන් වූ දෙමල පවුල්වලින් අත්පත් කරගත් ඉඩම්වල, හමුදාව විසින් නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද ‘තිස්ස විහාරය’ නම් බෞද්ධ විහාරය නිල වශයෙන් ලියාපදිංචි කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෙන ඇති පියවර සහ දෙමල ජනතාවට ලබා දුන් මැතිවරන පොරොන්දු කඩ කිරීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ, මෙම ප්‍රතිගාමී වාර්ගික දේශපාලනයේ අඛන්ඩ ක්‍රියාකාරීත්වයයි.
දිසානායක තම ආන්ඩුව “ජාතික සමගිය” සහ “සංහිඳියාව” වෙනුවෙන් පෙනී සිටින බව පවසන විට, ඔහු සැබවින් ම කරන්නේ සිංහල බහුතර ආධිපත්‍යය මත පදනම් වූ පාලනය අඛන්ඩ ව පවත්වා ගෙන යාම වසන් කරන වචන භාවිත කිරීමකි. සිවිල් යුද්ධය පැවති සමයේ හමුදාව විසින් සිදු කරන ලදැයි කියන යුද අපරාධ පිලිබඳ ඕනෑ ම ආකාරයක විමර්ශනයකට ජවිපෙ/ජාජබ ආන්ඩුව දැඩි ලෙස විරුද්ධ වන අතර, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදාමය වාඩි ලා ගැනීම තව දුරටත් පවත්වා ගෙන යයි.
කම්කරුවන් ආන්ඩුවේ කප්පාදු පියවර වලට එරෙහි වීමට පටන් ගෙන ඇති තතු තුල, වැඩ වර්ජන හා විරෝධතාවලට එරෙහි ව අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කරමින් සහ පොලිසිය හා හමුදාව යොදවමින් පොලිස්-රාජ්‍ය ක්‍රමවේදයන් හරහා විරෝධය මර්දනය කිරීමට එය වේගයෙන් පියවර ගෙන තිබේ.
ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව කෙරෙහි වර්ධනය වෙමින් පැවති කලකිරීම ප්‍රථම වරට මතු වූයේ 2025 මැයි මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී ය. ඊට මාස හයකට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරනය හා සසඳන විට එම පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 18 කින් පමන පහත වැටී තිබුනි. තමන්ට හිමි සහාය තව දුරටත් ගිලිහී යනු ඇති බවට බියපත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙස පලාත් සභා මැතිවරන කල් දැමී ය.
ආන්ඩුවේ ප්‍රධාන ආධාරකයක් වන්නේ වෘත්තීය සමිති නිලධරයයි. බලය තමන්ට පවරා දිය හැකි බව ධනපති පන්තියට ඒත්තු ගැන්වීමේ ලා ජවිපෙ දරන ලද උත්සාහයේ කොටසක් ලෙස, එම පක්ෂයේ වෘත්තීය සමිති, ජනාධිපතිවරනයට පෙර පැන වූ කාර්මික ක්‍රියාවන් පිලිබඳ තහනම තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටී. මේ අතර, අනෙකුත් වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරු ක්‍රියාමාර්ග වැලැක්වීමට ය; එ සේ කල නොහැකි අවස්ථාවල දී ඒවා සියල්ල යටපත් කිරීමට ය. අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් වැඩ කරන ජනතාවගේ වියදමින් පවත්වා ගෙන යන නය සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරන ලෙස කිසිදු සමිතියක් ඉල්ලා නොසිටී; මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා කම්කරු පන්තියේ දැවැන්ත කාර්මික හා දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැන කතා නොකිරීම ගැන කියනුම කවරේ ද!
2025 වසරේ මුල් භාගයේ දී, සෞඛ්‍ය සේවකයින් 100,000 ක් පමන තම දීමනා කප්පාදු කිරීමට එරෙහි ව සටන් කිරීමට උත්සාහ කල නමුත්, සීමිත එක් දින වැඩ වර්ජන පමනක් කැඳ වූ වෘත්තීය සමිති නායකයෝ, පසු ව ආන්ඩුවේ ඉල්ලීම් හේතුවෙන් එම ක්‍රියාමාර්ග සම්පූර්නයෙන් ම අත්හැර දැමූහ. ඒ හා සමාන ව, පසු ගිය වසරේ අගෝස්තු මාසයේ දී තැපැල් සේවකයින් අත්‍යවශ්‍ය සේවා නීති නොතකා සතියක වැඩ වර්ජනයක නිරත වූ නමුත්, එම ක්‍රියාමාර්ගය බිඳ දැමීමට ආන්ඩුව හමුදාව සහ පොලිසිය යොදවන විට ඉක්මනින් ම එයට යට වූ වෘත්තීය සමිති නිලධාරීහු, සේවකයින්ගේ ඉල්ලීම් 19 න් එකක් හෝ ඉටු නොවී තිබිය දී, නැවත සේවයට වාර්තා කරන ලෙස ඔවුන්ට නියෝග කලහ.
කෙසේ වෙතත්, ජාමූඅ දැඩි කප්පාදු ක්‍රියාමාර්ගවලට සහ ඒවා ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි විරෝධය තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මෑත කාලීන ව, වී සඳහා ඉහල සහතික මිලක්, සහනාධාර සහ වගා කටයුතු සඳහා වෙනත් පහසුකම් ඉල්ලා සිටිමින් ගොවීන් දහස් ගනනක් විරෝධතා පවත්වා ඇත. සැප්තැම්බර් මස මුල දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 5,000 ක් පමන දෙනා දින දෙකක වැඩවර්ජනයක නිරත වූ අතර, දුම්රිය සේවකයින්, සෙවනගල සීනි කර්මාන්තශාලා සේවකයින් මෙන් ම රජයේ අධ්‍යාපන වියදම් කප්පාදුවට විරුද්ධ වන සිසුන් විසින් ද වර්ජන සහ විරෝධතා පවත්වන ලදී.
වැඩ කරන ජනතාවගේ, තරුන තරුනියන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මතට එල්ලවන අනුකම්පා විරහිත ප්‍රහාර හේතුවෙන්, ජවිපෙ/ජාජබ ආන්ඩුව වර්ධනය වන ජනතා කෝපයකට මුහුන දෙමින් සිටී. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද නවතම “මූඩ් ඔෆ් ද නේෂන්” (ජාතියේ මනෝගතිය) මත විමසුමට අනුව, ආන්ඩුවේ වැඩපිලිවල අනුමත කිරීම, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 65 ක ඉහල ම ප්‍රතිශතයේ සිට, ජූලි මාසය වන විට දල වශයෙන් සියයට 50 දක්වා තියුනු ලෙස පහත වැටී ඇත.
කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් අතර තමන්ට තිබූ සහායේ ඛාදනය ආපසු හැරවීමේ උත්සාහයක් ලෙස, ජවිපෙ/ජාජබ, බලයට පත්වීමේ දෙවන සංවත්සරය සැමරීම සඳහා මහජන රැස්වීම් මාලාවක් ආරම්භ කර ඇත. ඔක්තෝබර් මස අවසානය වන විට, “අපේ ආන්ඩුවේ දෙවසරක් – සමෘද්ධිමත් ජාතියක්” යන තේමාව යටතේ රටේ දිස්ත්‍රික්ක 25 තුල ම පැවැත්වෙන රැස්වීම්වල දී දිසානායක අදහස් දැක්වීමට නියමිත ය.
ජනතාවගේ ජීවන තත්වයන්හි කිසිදු දියුනුවක් පෙන්වා දීමට නොහැකි තතු තුල, දැන් දැඩි ලෙස අපකීර්තියට පත් ව සිටින සම්ප්‍රදායික පාලක පක්ෂ “නිදහසේ” සිට මෙහෙය වූ ප්‍රභූ පවුල් කිහිපයක “දූෂනය” මත, ශ්‍රී ලංකාවේ සහ ලෝක ධනවාදයේ අර්බුදයේ වරද පැටවීමට ජවිපෙ/ජාජබ දරන උත්සාහය තවදුරටත් දැඩි කිරීමට දිසානායක කටයුතු කරමින් සිටී. ජවිපෙ/ජාජබ බලයට පත්වීමට පෙර, “ශ්‍රී ලංකාව ‘කලු රාජ්‍යයක්’ ලෙස ක්‍රියාත්මක වූ” බවටත්, තම ආන්ඩුවේ “දූෂනයට එරෙහි සටන” සහ “නීතියේ ආධිපත්‍යය” බලගැන්වීම හේතුවෙන් දැන් එම තත්වය වෙනස් වෙමින් පවතින බවටත් දිසානායක ගුගුරයි.
ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, ජනගහනයෙන් සියයට 22 කට ආසන්න ප්‍රමානයක් දරිද්‍රතාවයේ ගිලී සිටින අතර සියයට 10 ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට යන්තම් ඉහලිනි. ගෘහයන්ගෙන් සියයට 39 කට පමන ප්‍රමානවත් ආහාර වේලක් නොලැබෙන අතර අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමන මන්දපෝෂනයෙන් පෙලෙයි. 2022 සිට රාජ්‍ය අංශයේ වැටුප් සියයට 33 කින් පහත වැටී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත මත පදනම් වූ මෑත කාලීන පර්යේෂන වාර්තාවකින්, වැටුප් පරිමාව පහලම රටවල් 130 අතර 120 වන ස්ථානයේ ශ්‍රී ලංකාව තිබෙන අතර එය ඇත්තේ, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාවට වඩා පහලිනි.
ජවිපෙ/ජාජබ පාලනය යටතේ ශ්‍රී ලංකාව “සෞභාග්‍යමත් ජාතියක්” ලෙස සැමරීමට ධනපති පන්තියට හැකියාව ලැබී තිබේ. ප්‍රමුඛ පෙලේ සමාගම් අඛන්ඩ ව ඉහල ලාභ වාර්තා කරමින් සිටී. කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත මෙ රට විශාල ත ම ව්‍යාපාරික සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් 2026 මාර්තු මාසයේ දී අවසන් වූ මූල්‍ය වර්ෂය තුල සිය බදු ගෙවීමට පෙර ලාභය සියයට 143 කින් ඉහල නංවා ගත්තේ ය. ශ්‍රී ලංකාවේ විශාල ත ම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව 2026 ජූනි කාර්තුව සඳහා රුපියල් බිලියන 17.49 ක ලාභයක් වාර්තා කල අතර, එය පෙර වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 8 කට ආසන්න වර්ධනයකි.
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සියලු ම විපක්ෂ දේශපාලන පක්ෂ සහාය දක්වයි. “ජනතාව මත බර නොපටවන ලෙස” ඔවුන් කරන ඉල්ලීම් හුදු රැවටිලි පමනි.
2024 අගභාගයේ දී ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීම “ජනතා අපේක්ෂාවන්ගේ ප්‍රකාශනයක්” ලෙස වර්නනා කල ව්‍යාජ-වාම පෙසප, දැන් එය තම පූර්වගාමීන්ගේ වැඩපිලිවෙල ම අඛන්ඩ ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් විවේචන එල්ල කරයි. එහෙත්, ජවිපෙ/ජාජබ, පාලක පන්තියේ සාම්ප්‍රදායික පක්ෂවලට එරෙහි ප්‍රගතිශීලී විකල්පයක් ලෙස හඳුන්වා දීම දිගට ම සිදු කරන පෙසප, ධනපති පාලනය නිර්දය ව බලගන්වන මෙවලමක් ලෙස එය හෙලා දකිනවා වෙනුවට, “එහි මාවත නිවැරදි කර ගැනීම සඳහා” ආන්ඩුවට බලපෑම් කල යුතු බවට යෝජනා කරයි.
කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් ගමන් කරමින් සිටින්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව සමඟ ගැටුමකට මුහුන දීමේ මාවතක ය. විශාල අයවැය අතිරික්තයක් උත්පාදනය කිරීම සහ 2028 වන විට වසරකට ඩොලර් බිලියන 5 ක නය ගෙවීම් නැවත ආරම්භ කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල යටතේ දැඩි මූල්‍ය පාලන ක්‍රියාමාර්ග සහ කම්කරු සූරා කෑම තියුනු ලෙස ඉහල දැමීමට එම ආන්ඩුව ප්‍රතිඥා දී ඇත. කෙසේ නමුත්, ඔවුන්ට මෙම ක්‍රියාමාර්ග ගැනීමට සිදු ව ඇත්තේ, වෙලඳ යුද්ධ, දැවැන්ත අසමතුලිතතා සහ වර්ධනය වෙමින් පවතින ගෝලීය යුද්ධය හේතුවෙන් උග්‍ර වන ගෝලීය ආර්ථික අර්බුද තත්වයන් මධ්‍යයේ ය.
කම්කරු පංතිය විප්ලවවාදී මූලෝපායකින් සන්නද්ධ විය යුතුයි
2022 නැගිටීම මගින් අනාවරනය කෙරුනේ, රාජපක්ෂ පාලනය පෙරලා දැමූ මහජන ව්‍යාපාරය තුල ක්‍රමයෙන් පෙරමුනට පැමිනි සහ එම ව්‍යාපාරයේ ආධිපත්‍යය දැරූ කම්කරු පන්තියේ ප්‍රගාඪ සමාජ බලයයි. එහෙත් එම නැගිටීමෙන් උගෙනීමට සිදු වූ මූලික පාඩම නම්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පාදක වූ විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුල ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයි; එයට, ශ්‍රී ලංකවේ ධනවාදයට එරෙහි ව සියලු පීඩිතයන් රැලි කර ගැනීමට සහ ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි ලොව පුරා කම්කරුවන් සමඟ ඒකාබද්ධ වීමට හැකිවනු ඇත.
දේශීය හා ගෝලීය ප්‍රාග්ධනයේ ලාභ ඉපැයීමේ අවශ්‍යතාවන්ට යටත් වීම ප්‍රතික්ෂේප කරමින්, ධනවාදී අර්බුදය හමුවේ තමන්ගේ ම සමාජවාදී විසඳුම ක්‍රියාත්මක කිරීමට කම්කරු පන්තියට හැකි වන්නේ එවැනි පෙරටු පක්ෂයක් ගොඩනැගීම තුලින් පමනි.
එවැනි පක්ෂයක් ගොඩනැගීම සහ කම්කරු පන්තිය හා පීඩිත ශ්‍රමිකයන් බලමුලු ගැන්වීම සඳහා වන වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය, පසුගිය මාසයේ පැවති පක්ෂයේ 4 වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත කරගත් “ජවිපෙ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේදී සසප මූලෝපාය සහ ක්‍රියාමාර්ගය” යන ප්‍රධාන යෝජනාව තුල විස්තරාත්මක ව ඉදිරිපත් කෙරුනි.
ජවිපෙ, ජාතිකවාදී සුලු-ධනේශ්වර රැඩිකල් සංවිධානයක සිට ධනේශ්වර පාලනයේ සහ සමාජ ප්‍රති-විප්ලවයේ පක්ෂයක් බවට පත්වීම දක්වා වූ එහි පරිනාමය මෙහි දී විමසුමට ලක් කෙරේ. ජවිපෙ කලෙක “මාක්ස්වාදී” හෝ “සමාජවාදී” ව සිටි බවත්, පසු ව පිරිහීමට ලක් වූ බවත් කියැවෙන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන සසප යෝජනාවලිය, ජවිපෙ/ජාජබ ආරම්භයේ සිට ම කම්කරු පන්තියට එරෙහි ව සතුරු ස්ථාවරයක සිටි බව පෙන්වා දෙයි. ස්ටැලින්වාදය, මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලා ක්‍රියාමාර්ග සහ සිංහල ජනතාවාදය වැනි විවිධ මතවාදවල එකතුවක් මත පදනම් වූ එම පක්ෂය, කම්කරු පන්තිය ඊනියා “දේශප්‍රේමී” ධනේශ්වර පන්තියකට යටත් කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය; කම්කරුවන්ගේ ආර්ථික අරගල “කැඳ කෝප්ප සටන්” ලෙස අවතක්සේරු කරමින්, දෙමල කම්කරුවන්ට එරෙහි ව ජාතිවාදී ප්‍රහාරාත්මක ප්‍රකාශ නිකුත් කලේ ය. 1980 දශකය වන විටත්, දෙමල විරෝධී යුද්ධයට එකහෙලා සහාය පල කිරීම සහ ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීම හරහා එය ධනේශ්වර පන්තියේත්, එහි රාජ්‍යයේත් සහායක බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවතුනි.
ජවිපෙට එරෙහි ව නොනවතින විප්ලවය වෙනුවෙන්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ගෙන යන අරගලය පදනම් කර ගනිමින්, ධනපති ගැති වෘත්තීය සමිති යාන්ත්‍රනයන් ඇතුලු ධනපති පන්තියේ සියලු ම පක්ෂ සහ ආයතනවලට එරෙහි ව කම්කරු පන්තිය විසින් දියත් කල යුතු විප්ලවීය අරගල ක්‍රියාමාර්ගයක් මෙම සම්මේලන යෝජනාව මගින් ගෙන හැර දක්වයි.
කම්කරුවන්ගේ සමාජ බලය බලමුලු ගැන්වීම, ජාමූඅ කප්පාදුවලට විරුද්ධ වීම සහ කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන ශක්තිය ගොඩනැගීම සඳහා පදනම ලෙස සෑම වැඩබිමක ම, වතුකරයේ සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප යෝජනා කරයි.
ධනවාදී ක්‍රමයේ හෝ ජාතික රාජ්‍යයේ රාමුව තුල කම්කරු ජනතාවට ප්‍රගතිශීලී විසඳුමක් නොමැති බවට සසප අවධාරනය කරයි. සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වන වැඩපිලිවෙලක් සකස් කිරීමටත්, කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය වර්ධනය කිරීමටත් හැකි වන පරිදි, කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් පිහිටුවීමට අපි කැඳවුම් කර සිටිමු.
ශ්‍රී ලාංකික කම්කරුවන් තම ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රික-ජාස) සමඟ සම්බන්ධීකරනය කරගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක් විය යුතු බවත්, එම සන්ධානය ගොඩනැගිය යුතු වන්නේ, කම්කරුවන්ට එල්ල වන ගෝලීය ප්‍රති-ප්‍රහාරයේ සම්බන්ධීකරන මධ්‍යස්ථානය ලෙස බවත් අවධාරනය කරන සසප, මෙම අරගලයේ පවතින ජාත්‍යන්තර ස්වභාවය ඉස්මතු කර දක්වයි.
ජවිපෙ පාලනයේ වසර දෙකක වාර්තාව මගින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සසප විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන විශ්ලේෂනයන් සහ අනතුරු ඇඟවීම් පූර්න ලෙස තහවුරු කර ඇත. ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම උදෙසා වන ඉදිරි අරගලවලට නායකත්වය දිය හැකි මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන්න.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටාගෙන පල කරන ලද්දකි.