බහුදින ධීවරයන්ගේ වෘත්තීය සමිතියක්: ධීවරයන්ගේ රැකියා, ජීවන තත්වයන් රැක ගන්නේ කෙසේ ද?

නිහාල් ගීකියනගේ සහ නන්දන නන්නෙත්ති විසිනි
පසුගිය අගෝස්තු 2 දා, දිවයිනේ විවිධ ප්‍රදේශවල ධීවර කම්කරුවෝ හලාවත, තොඩුවාව, සී/ස උතුරු තොඩුවාව සාන්ත අන්තෝනි ධීවර සමුපකාර සමිතියේ නව ප්‍රජා ශාලාවට රැස්වී වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්හ. “සමස්ත ලංකා බහු දින ධීවරයන්ගේ වෘත්තීය සංගමය“ නමින් දියත් කල මෙම සමිතිය විශේෂයෙන් දකුන, බස්නාහිර සහ වයඹ පලාත් නියෝජනය කල ධීවරයන්ගෙන් සමන්විත විය. එය මෙම පීඩිත ධීවරයින්ගේ අව්‍යාජ ප්‍රයත්නයක ප්‍රතිඵලය යි.
වෘත්තිය සමිතිය ගොඩනැගීමට මූලිකත්වය ගත් ධීවරයන් ඒ සඳහා තම ධීවර යාත්‍රාවේ ගුවන් විදුලි යන්ත්‍රයේ චැනලයක් වෙන්කර ගෙන සෙසු ධීවරයන් හා සම්බන්ධතා ගොඩ නැගීමට අධිෂ්ඨානශීලී මෙහෙයුමක් දියත් කර ඇත.
ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 2024 ප්‍රගති වාර්තාවේ දැක්වෙන පරිදි, “ධීවර අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට ධීවරයින් සංඛ්‍යාව 318,470 වන අතර මින් 223,720ක් කරදිය ධීවර අංශයේ රැකියාවේ නිරතව” සිටිති. “ඉන් සියට 85ක් පමන වෙරලාසන්න ධීවරයින් වන අතර, 34,550ක් බහු දින යාත්‍රාවලින් අක් වෙරල හා ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ නිරත වේ. මෙරට ධීවර පවුල් සංඛ්‍යාව 273,240ක් වන අතර ධීවර කර්මාන්තයෙන් සෘජුවම යැපෙන සංඛ්‍යාව 1,123,000ක් පමන වේ. ධීවර කර්මාන්තය හා ආශ්‍රිත වෙනත් යැපීම් සලසා ගන්නා පිරිස මිලියන 2.7ක් පමන බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් සියයට 18ක් ධීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපාය සලසා ගනී.“
වෘත්තීය සමිතියේ ප්‍රධාන ඉල්ලීම් ලෙස සඳහන්ව ඇත්තේ,
- අල්ලා ගෙන එන මත්ස්‍යයන් සඳහා නිසි මිලක්,
- ධීවර ආම්පන්නවලට බදු සහන,
- ඉන්ධන සහනාධාර
- ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී විශාල ධීවර නැව්වලින් එල්ල වන තාඩන පීඩනවලින් ආරක්ෂාව සදහා රාජ්‍ය මැදිහත් වීම
යන මේවා ය.
මෙහි පලමු ඉල්ලීම් තුන පොදුවේ සියලු පීඩිත ධීවරයන්ගේ ජීවනෝපාය හා එම පවුල්වල ජීවන තත්ත්වය සම්බන්ධයෙන්, කවර කලෙකවත් නො විසඳුනු හා පවතින කොන්දේසි යටතේ විසඳෙන බවට සලකුනක්වත් නැති, නමුත් අනිවාර්යයෙන් විසඳා ගත යුතු, උවමනාවන් ප්‍රකාශයට පත් කරයි.
අන් සෑම භාන්ඩයක මෙන් ම මත්ස්‍ය විකුනුම් මිල ද තීන්දු වන්නේ වෙලඳපොල තතු මත ය. අර්බුදයේ ගිලී සිටින ධනපති ආන්ඩුවකට යම් තරමකට හෝ එය පාලනය කල නො හැකි ය. ධීවර සංස්ථාව ද මේ මිල ගනන් නො තකා ක්‍රියා නොකරන අතර, එය සෑම එක් වසරකදී ම මිල දී ගත් මසුන් ප්‍රමානය 1% ඉක්මවා නැත. එනිසා මසුන් සඳහා ස්ථාවර මිලක් ලබා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ජය ගැනීම ගැඹුරින් සලකා බැලිය යුත්තකි.
විශේෂයෙන් බහු දින යාත්‍රා අපනයනය පිනිස මෝරුන් හා ටූනා මසුන් බෑමේ නිරත ය. එවායේ මිල නියම කෙරෙන්නේ ඒවා මිල දී ගන්නා මහා සමාගම් කිහිපයක් විසිනි. ඒවා ද ලෝක වෙලඳපොලේ මිල ගනන් මගින් තීන්දු වේ.
ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර මුහුදට ඇතුළු වී මත්ස්‍ය බිම් සොයා ගමන් කිරීමේදී ගත වන කාලය නිසා, අල්ලා ගන්නා මසුන් මාස දෙක ඉක්මවා අයිස් දමා තබා ගැනීමට සිදු වේ. එවිට ඒවා ගුණාත්මක භාවයෙන් ද අඩු වී, මිල ගනන් පහල වැටේ. නමුත් සීෂෙල්ස්, කොමරෝස් සහ මැඩගස්කර් සිට සතියක් හෝ දෙකකින් ගොඩ බිමට ළගා විය හැකි බැවින් මාළු ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ද රැකියාව සදහා පිටත් වන යාත්‍රා සඳහා පිරිවැය ද ඉතා අඩු බැවින් ද ශ්‍රී ලංකාවේ කර්මාන්තය පවත්වා ගෑනීමේ දී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නිෂ්පාදන වියදම ය.
තෙල් සහනාධාරය හා බදු අඩු කිරීම යන ඉල්ලීම් අතිශය යුක්ති සහගත හා අනිවාර්යයෙන් දිනාගත යුතු ඉල්ලීම් ය. අඩි පනහට වැඩි යාත්‍රාවක් දියත් කිරීම සඳහා එක් වරකට රුපියල් මිලියන 6 – 8 අතර මුදලක් වැය වේ. යාත්‍රාවේ සේවයේ යෙදෙන ධීවර කම්කරුවන් 6 දෙනා හෝ 7 දෙනා, අනිවාර්යයෙන් ම මෙම වියදම ප්‍රාග්ධන හිමියාට උපයා දිය යුතු ය. එය කල නො හැකි වුවහොත් ඔවුන් මිලියන ගනනක නයකට කර ගැසිය යුතු වේ. මෙහිදී වැයකිරීමට සිදු වන වැඩිම මුදල ඩීසල් සඳහාය. එය ලීටර් 14,000ක් පමන වේ. ඩීසල් සහනාධාරයක් සමග අත්‍යවශ්‍ය උපකරනවල බදු බර අඩු කලහොත් වියදම අඩු වී, තමන්ගේ කොටස වැඩි කර ගෙන තමන්ට යම් සහනයක් ලබා ගත හැකි යයි ධීවරයෝ විශ්වාස කරති.
කර්මාන්තය තුල ඇති තරගය මුහුදේ මසුන් ඇල්ලීමේ දී ම සිදු වන කායික ගැටුම් බවට ද සේන්දු වෙමින් පවතී. ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මසුන් අල්ලන විදේශීය ධීවර නැව් මගින් භාවිතා කෙරෙන උපක්‍රමය වන්නේ මසුන් රැස් කර ගැනීමට යකඩෙන් තනන ලද දැවැන්ත බෝයාවලට කේබල් මගින් සම්බන්ධ කර ඇති උගුල් දිය යටට යැවීමයි. ශ්‍රී ලාංකික ධීවරයන් මසුන් ඇල්ලීමට භාවිතා කරන ඇම් සහිත බිලිකටු වැල් මෙම කේබල්වල පැටලී කැඩී යයි. ඒවා බේරා ගැනීම අනතුරුදායක ය.
2023 එම බෝයා අසලින් යාත්‍රා කිරීමේ දී එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලැබ හලාවත රෝහලේ ප්‍රතිකාර ලැබූ, තොඩුවාවේ පදිංචි පෝරුතොටගේ නිමල් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ, මහා පරිමාන ධීවර යාත්‍රා මගින් දමා ඇති බෝයා කපා දමන්නේ යයි සැක කොට මෙවන් ප්‍රහාර එල්ල කෙරෙන බවයි. එනම් කර්මාන්තය නිදහසේ පවත්වා ගැනීමට තමන්ට ඉඩ නැති බවයි. ඔනෑම අවස්ථාවක එල්ල විය හැකි මෙම ප්‍රහාරවල අන්තරායයෙන් ආරක්ෂා වී කර්මාන්තය පවත්වා ගැනීමට රජයේ මැදිහත් වීමක් ඉල්ලා සිටින්නේ එබැවිනි.

පැවති සෑම ආන්ඩුවක් ම ධීවර කර්මාන්තයේ ප්‍රගතිය ගැන වාර්තා ද අනාගත සැලසුම් ද ඉදිරිපත් කර ඇත. 2024 එම වාර්තාව මෙසේ ද කියයි:
“නිසි විද්‍යාත්මක ක්‍රමවේද හා ප්‍රායෝගික උපක්‍රම තුලින් තිරසාර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කලමනාකරනය කිරීමටත්, ඒ තුලින් මත්ස්‍ය නිෂ්පාදන සුලභ කිරීම හා පාරිභෝගිකයාට සාධාරන මිලකට ලබාගත හැකි තත්ත්වයකට පත් කිරීමත්, කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් අරමුනු කොට නව රජයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති රාමුවේ තිරසර කළමනාකරනයත් -ගුනාත්මක මත්ස්‍ය සම්පත ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස දක්වා ඇති අතර ඒ අනුව වැඩසටහන්/ව්‍යාපෘති ධීවර කර්මාන්තය නංවාලීම සඳහා 2025 වසර තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.”
ධීවරයන්ගේ මූලික ඉල්ලීම් ඉටු කර ඔවුන්ගේ ජීවන කොන්දේසී හා තත්වයන් නගා සිටුවිය හැකි කවර හෝ ශක්‍ය ක්‍රියා මාර්ගයක් මෙම වැඩ සටහන් තුලින් ඉස්මතු නො වන්නේ අහම්බයකින් නො වේ. දුප්පතුන් නගා සිටුවීම කුමන ධනපති ආන්ඩුවකවත් අරමුන නො වේ.
අභිනවයෙන් පිහිටුවා ගත් සමස්ත ලංකා බහු දින ධීවරයන්ගේ වෘත්තීය සංගමය ද ඇතුලත් වෘත්තීය සංගම්වලට කම්කරු ඉල්ලීම් ජය ගැනීම සදහා පිලිගත හැකි ක්‍රියා මාර්ගයක් යෝජනා කල නො හැකි ය. අප දන්නා ඉතිහාසයට අනුව, ඒවායේ පිලිවෙත වන්නේ, සාකච්ඡා ඉල්ලා සිටීම, ඒ සඳහා උද්ඝෝෂනය කිරීම, අවස්ථාව ලැබුනොත් කේවල් කිරීම සහ ආන්ඩුව ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නේ නම් අකුලාගෙන සිටීම ය.
බහු දින ධීවරයන්ගේ වෘත්තීය සමිතිය, “වෘත්තීය අරගලයට දේශපාලනය එපා” යන ධනේශ්වර සටන් පාඨයට නතු වී තිබේ. තමන්ගේ ම අතීත අත්දැකීම් දෙස හැරී බලන ලෙස අපි ධීවරයන්ට ආරාධනා කරමු.
2012 පෙබරවාරී 16දා ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුනු හලාවත වැල්ලේ ධීවරයන් හට එල්ල කල පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප‍්‍රහාරයෙන් වර්නකුලසූරිය ඇන්ටනී ප‍්‍රනාන්දු ධීවරයා මරනයට පත් වූ අතර තවත් තිදෙනෙක් බරපතල තුවාල ලැබූහ. ඉන් ආබාධිත වූ හතලිස් වියැති සිව් දරු පියෙකු වන ඩබ්ලිව්. ජේසුමරිය කිංග්ස්ලි ප‍්‍රනාන්දු 2012 ජුනි 15 දා සිය නිවසේදී ම ගෙල වැල ලා ගනිමින් සියදිවි හානි කර ගත්තේ සිය පවුලට හා තමන්ට ජීවත් වීමට මගක් නො වූ බැවිනි. එම සතියේ ප්‍රතිකාර ලබා ගැනීම පිනිස කොලඹ මහ රෝහලට යාමට අවශ්‍ය මුදලවත් නොතිබීම මෙම මරනයට හේතු වී ඇත. අරගලයේ මුදුනට පැනගෙන සිටි කතෝලික පල්ලිය අවසානයේ දී මෙම මර්දනකාරී ප්‍රහාරයට එරෙහිව නැගී සිටි දසදහස් ගනන් ධීවර ජනයාට පිටුපා ආන්ඩුව සමග ගිවිසුම්ගත විය. මෙයමත් සාක්ෂි වන්නේ ධීවරයන්ගේ ජීවන අවශ්‍යතා උදෙසා අරගලය ධනපති ආන්ඩුවට දේශපාලන කාරනයක් වන බව ය.
ඉක්බිති අවස්ථා ගනනකදී ඉන්ධන මිල අඩු කර ගැනීම උදෙසා අරගල මාලාවක් සිදු වී ඇත. මේ අරගලවල අත්දැකීම් අතර, ආන්ඩුවේ අවධානය දිනා ගැනීමට හා ආන්ඩුව සමග සාකච්ඡා ලබා ගැනීමටත්, සාකච්ඡා කිරීමටත් වෘත්තීය සමිති මෙහෙය වූ අරගලවල ඉරනම ගැන අවබෝධ කර ගැනීමට නිමක් නැති අවස්ථා පවතී.
2013 ඔක්තෝම්බර් මාසයේ හම්බන්තොට ධීවර වරායේ අනාරක්ෂිතභාවය හේතුවෙන් සිදුවූ ධීවර මරනයකට එරෙහිව, සිකුරාදා පැවති ධීවර උද්ඝෝෂනය ද වැදගත් නිදසුනකි. සංවේගයට හා කෝපයට පත් ජනයා මියගිය තම සහෝදර ධීවරයාගේ අලාභහානි වූ බෝට්ටුව යොදාගෙන මහමාර්ගය අවහිර කරමින් තවත් ජීවිත බිලි ගැනීමට ඉඩ නොතබා වරාය පිවිසුම නිසි ලෙස සකස් කර දියයුතු යයි බලකිරීමේ උද්ඝෝෂනයක නිරත වුහ. මෙහි දී කැඩීගිය බෝට්ටුවට ගිනි තබන ලදී. ඔවුන් එසේ කලේ රජයේ අවධානය යොමු කර ගැනීම පිනිස ය. රාජ්‍ය දේපලවලට හානි සිදු කලේය යන චෝදනාව මත, ප‍්‍රදේශවාසී ධීවරයන් 14 දෙනෙකු හම්බන්තොට පොලීසිය විසින් 12 දා අත්අඩංගුවට ගනු ලැබිනි. මෙවන් දේශපාලන මැදිහත් වීම්වලට මුහුන දිය නො හැකි නම් අරගල ජය ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපි කම්කරු පීඩිත ජනයා හමුවේ තබමු.
‘දේශපාලනය එපා’ යන සටන් පාඨය, ධනපතීන් හා එම ආන්ඩුවලට එරෙහිව නිර්ධන පන්තිය කරන අරගලය පන්ති අරගලයක් ය යන සත්‍යය වසන් කිරීම උදෙසා නිර්මානය කල පාලක පන්තියේ මෙවලමකි. එකී සටන් පාඨයට අනුව දේශපාලනය යනු හුදෙක් පාර්ලිමේන්තුව තුල හෝ මැතිවරන වෙනුවෙන් කෙරෙන දේවල් පමනක් සේය. නැත, දේශපාලනය යනු සම්පත්, බලය හා පන්ති අවශ්‍යතා සඳහා අරගලය වේ.
සේවා ස්ථාන, පාසල්, වෘත්තීය සමිති, සංස්කෘතික අවකාශයන් ආදියෙහි “දේශපාලනයක් නැත”, යන අදහස පාලක පන්තිය බොහෝ විට ප්‍රවර්ධනය කරයි. ඒ ඇයි? මන්දයත්, කම්කරුවන්, සිසුන් හෝ ප්‍රජාවන් දේශපාලනය කතා කරන්නේ නම්, ඔවුන් පවතින සමාජ ක්‍රමය; එනම්, ධනවාදය, සූරාකෑම, අසමානතාවය; ප්‍රශ්න කරනු ඇත.
එබැවින් “දේශපාලනයක් නැත” යන්න මධ්‍යස්ථ නො වේ. එය පවතින තත්වයට පක්ෂපාත වීමයි.
“දේශපාලනයක් නැත” යන සටන් පාඨය මතු කිරීමමත් දේශපාලන ක්‍රියාවකි. එය පන්ති අරගලය නිහඬ කිරීමේ සහ මධ්‍යස්ථභාවයේ වෙස් මුහුන යටතේ පාලක පන්තියේ ආධිපත්‍යය පවත්වා ගැනීමේ මාර්ගයකි. මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ තහවුරු කර ඇති පරිදි, සෑම පන්ති අරගලයක් ම දේශපාලන අරගලයක් වේ.
සමස්ත ලංකා බහු දින ධීවරයින්ගේ වෘත්තීය සමිතිය දියත් කිරීමේ අවස්ථාවේ දී ම මතු වූ පරස්පර විරොධයන් පොදුවේ කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා සෙසු පීඩිතයන්ගේ අවධානයට යොමු විය යුතු ය. එතැනට සහභාගී වී එහි මුල් පුටු දරා සිටි අය අතර කතෝලික හා බෞද්ධ ආගමික පූජ්‍ය පක්ෂය ද, කුප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටැලින් හා නිතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න ඇතුලු සමාජ ක්‍රියාකාරීහු කිහිප දෙනෙක් ද වූහ.
කිසිදු අරගලයකට සිය වෘත්තීය සමිතිය සහභාගි නො කල හා ගුරු අරගලය පාලක පන්තිය සමග සම්මුති ගැස්සවීමට වැඩ කිරීමේ ඉතිහාසයක් ඇති ජෝසප් ස්ටැලින් ධීවරයන්, සංවිධානය වීමට බිය වී ඇතැයි පෙන්වා දීමට උත්සාහ කලේ ය. ඒ අනුව ධීවරයන් ඒකාබද්ධ කිරීම අභියෝගයකැයි කී ඔහු, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම සංවිධානය වීමේ අයිතිය හා කම්කරු සංවිධාන එක්කාසු වී කේවල් කිරීමේ අයිතිය රජය පිලි ගෙන සිටින බැවින් සංවිධානය වීමට බිය නො වන්නැයි ධීවරයන්ට උපදෙස් දුන්නේ ය. බිය නො වී සංවිධානය වීමෙන් පසු කරන්නේ කුමක්දැයි ස්ටැලින් පෙන්වා දුන්නේ නැත.

සංගමය නිසා ධීවරයන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන ඉන්ද්‍රසිරි සේනාරත්නගේ සුරංගනා කතාව අනුව, ඒ හරහා ධීවරයන්ට පහත දැක්වෙන ප්‍රතිලාභ හිමි වනු ඇත.
- සමිතිය නිසා දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම සමාන මිලකට මසුන් අලෙවි කිරීමේ අවස්ථාව ලැබේ. (දැනටමත් මෙය වෙලඳපොල තරගය තුල සිදු වන අතර ධීවර ඉල්ලීම වන්නේ ජීවත්වීමට තරම් ආදායමක් ලැබෙන ක්‍රමයකි.)
- මුහුදු සීමාව තුල ජාත්‍යන්තර නැව් මගින් සිදු කරන නීති විරෝධී මසුන් බා ගැනීමේ ක්‍රම සම්බන්ධයෙන් විරුද්ධ වීම සහ ඒ ගැන රාජ්‍ය යාන්ත්‍රනය සමග සාකච්ඡා කිරීම,
- උපයන මුදල් විධිමත් ලෙස කලමනා කිරීමට ධීවරයින්ට ඉගැන්වීමේ වැඩ සටහනක්,
- ආම්පන්න සමිති ව්‍යාපාරය මගින් විදේශයෙන් සෘජුව ගෙන්වා සාධාරන මිලකට ලබා දීමටත් එයින් ලැබෙන ලාභය සියලුම සාමාජිකයන් අතර සමානව බෙදා හැරීමටත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම.
ඔහු තව දුරටත් සඳහන් කලේ “මේක රජයත් එක්ක හැප්පෙන, බහුජාතික සමාගම් එක්ක හැප්පෙන, සමහරවිට මැරුම් කන්න පවා වෙන්න පුලුවන්“ තත්වයක් නිසා, ඊට සූදානම්ව සිටිය යුතු බවයි. රජය ගෙන එන ධීවරයන්ට එරෙහි විවිධ අනපනත් පරාජය කිරීමට සටන් කිරීමට සිදු වන බව ජෝසප් ස්ටැලින්ද කී ය. ධීවරයන් සිය පන්ති අවශ්‍යතා සදහා ගෙන යන සටන දේශපාලනයට මුහුන පා සිටින බව දේශපාලනය එපා කියන මේ ව්‍යාජ වම්මුන් අනියමින් පිලි ගන්නේ එසේ ය.
බහු ජාතික සමාගම් සමග තරගයට ආම්පන්න ගෙන්වා බෙදා හැර ලාභය බෙදා ගන්නා අයට වඩා බහු ජාතික සමාගමට තරගයට මුහුන දිය හැකි බව නම් නිසැක ය. මෙමවන් වංචනිකයන්ගෙන් සිය අරගලය ආරක්ෂා කර වර්ධනය කර ගැනීම, පීඩිත ධීවරයන්ගේ ඉල්ලීම් ජය ගැනීමේ ප්‍රථම පියවර වන බව අපි අවධාරනය කරමු.
ආන්ඩුව එක දිගටම අවධාරනය කරන දෙයක් ඇත. ඒ කුමන අරගලයක් නිසාවත් තමන් ආරම්භ කර ඇතිිි පියවරයන් ආපසු හරවනු නැති බව ය. රැකියා හා වැටුප් සඳහා අරගලය කරන කම්කරුවන්ට, “බැරි නම් ගෙදර යනු” යැයි එය කියයි. උක් ගොවීන්ගේ උද්ඝෝෂනයේ දී ආන්ඩුවේ සහකරුවෙකු යෝජනා කලේ ලෙඩා නො දැනීම මැරී යන වර්ගයේ ඉන්ජෙක්ෂන් එකක් දීම අවශ්‍ය බව ය. ආන්ඩුව මහජන අරගලවලට එරෙහිව රාජ්‍ය හමුදාවන්ට අමතරව එවන් සමාජ තට්ටුවක් ද උසිගන්වයි.
වෘත්තීය සමිතිවලට තව දුරටත් කේවල් කිරීම මඟින් සැබෑ ජයග්‍රහනයක් ලැබිය නො හැකි ය. ඒවා ලැබී ඇති නීත්‍යානුකූල සීමාව ඉක්මවන්නේ ද නැත. සියලු කම්කරුවන්ට, පීඩිත ගොවීන්ට ධීවර කම්කරුවන් හා පීඩිත ධීවරයින්ට අවශ්‍ය වන්නේ තම ඉල්ලීම ජය ගන්නා තෙක් සීමා බිඳ දමමින් ඉදිරියට යා හැකි සටන් සංවිධානයකි. නිදහස් සටන්කාමී හා කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී -ධනේෂ්වර ප්‍රජාතන්තුවාදය නො වේ- මූලධර්ම මත පදනම් වන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මග නො හැරීය හැකි අවශ්‍යතාවක් බව මේ අනුව වටහාගත හැකි ය. ඒවා හරහා, කම්කරුවන් අතර සිදු වන නිදහස් සාකච්ඡා මගින් තම ඉල්ලීම් නීර්නය කිරීමත්, ඒවා ජය ගන්නා ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමත් කල හැකි ය.
මහා සමාගම්වල හා ධනපති ආන්ඩුවේ අධිෂ්ඨාන බිද ජය ගැනීමට නම්, මෙම කමිටු හරහා සමස්ත ධීවර ජනයා හා කාර්මික කම්කරු පන්තියේ එකමුතුව ගොඩ නැගිය යුතු ය. එය දේශපාලන අරගලයක් බවට පත් වීම නො වැලැක් විය හැකි ය. එවන් අරගලයකට ධශේවර සමාගම්වල සූරා කෑම හා ගසා කෑම අවසන් කිරීම දක්වා පෙරට යා හැකි ය. ධීවරයෝ ඊට සූදානම් විය යුත්තාහ.WhatsappPost navigation