පොලිස් අත්අඩගුවේදී මිය ගිය නිමෙිෂ්ගේ මෘත දේහය ගොඩගෙන වෛද්‍ය මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන්නැයි නියෝග

පසුගිය දින වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වු සත්සර නිමෙිෂ්ගේ මෘත දේහය යළි ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පුර්ණ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා වාර්තාවක් කරන ලෙස කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය (09) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයට නියෝග කළේය.
අගතියට පත් පාර්ශ්වය මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා එම නියෝගය නිකුත් කළේය.
එහිදී, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනි, වැලිකඩ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් තිබෙනවා. නමුත් මෙම තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්වන්නේ නෑ. මොක ද ඔහුගේ මවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දීලා නෑ. ඒ නිසා, මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතිනවා. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වගන්තිය යටතේ අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ණ බලය පවරා දී තිබෙනවා. එම නිසා මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළේ ය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වූ නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ” ස්වාමීනි, මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ මවට සැකයක් තිබෙනවා. ඇය ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙනුත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. මොක ද මිය යන්නට පෙර අදාළ තරුණයා ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා තමන්ට පහර දීමක් සිදුවූ බව. පසුව මව කෑම රැගෙන පොලිසියට ගිය අවස්ථාවේදී ඇයට දැනගන්නට ලැබී තිබෙනවා, ඔහු මියගොස් තිබෙන බව” එහෙයින් මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සේනක පෙරේර සඳහන් කළේ ය.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණයට අදාළව මුලින් ම නුගේගොඩ පොලිස් කොට්ඨාසය මාර්ගයෙන් විමර්ශන කළ බව පැවසීය.
” ස්වාමීනි… වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. අප විමර්ශන භාර ගත්තාට පස්සේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිසියට රැගෙන ආ අවස්ථාවත්, පොලිසියේ සිට අංගොඩ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවත් දක්වා අවස්ථා ආවරණය වන පරිදි විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ යටතේ මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයින්ගෙන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේ ම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේත් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. එසේ ම මිය ගිය තරුණයාගේ ලේ සාම්පල් හා මෘත ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගතියට පත් පාර්ශවය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවත් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
මරණකරු වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් , නීතිඥ සේනක පෙරේරා , නීතිඥ ප්‍රබෝධ රත්නායක සහ නීතිඥ ධනුෂ්ක සිල්වා යන අය පෙනි සිටියහ. නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනී සිටියේ නීතිඥ සංගමය නියෝජනය කරමින්ය.
අධිකරණ කටයුතු යන අතරේ නිමෙිෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සහ පොලිස් වධ හිංසා වහා නතර කරන්නැයි ආණ්ඩුවට බල කර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ. සැලකිය යතු පිරිසක් එම නිහඩ විරෝධතාවය සදහා සහභාගි වි සිටියහ.



