මාධ්‍ය නියාමනය ඇතුළු නීති හදන්න පාර කපන ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය

ලසන්ත රුහුණගේ විසිනි
ජාතික ප්‍රතිපත්තියක් යනු නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණ ගැනීමේදී මඟ පෙන්නීම සඳහා රජයක් විසින් අනුගමනය කරනු ලබන පුළුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සහ ක්‍රියාමාර්ගයක් ලෙස ඒ පිළිබද වන නිර්වචන අනුව හඳුනාගත හැකිය. එමෙන්ම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් යනු රටක මාධ්‍ය ආයතතනවල මෙහෙයුම් පාලනය කරන නීති මාර්ගෝපදේශ හා මූලධර්මවල පුළුල් රාමුවක් වශයෙන් හඳුනාගත හැකිය. ඒ අනුව රටකට මාධ්‍ය සම්බන්ධයෙන් වේවා වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වේවා ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවයක් වෙනුවෙනි.
මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කළ අප රටේ පවතින්නේ පෞද්ගලික මාධ්‍ය පමණක් නොවන අතර රජයේ හිමිකාරිත්වය ඇති මාධ්‍යයද පවතී. මේ පෞද්ගලික හා රාජ්‍ය යන මාධ්‍යවල ගැටළු ද පවතී. එම සමහර ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා නීති අවශ්‍ය විය හැකි අතර සමහර ගැටළු නිරාකරණයට එකඟතා අවශ්‍ය විය හැකිය. ඒ අනුව ජාතික ප්‍රතිපත්තියක් නීතියක් නොවේ යැයි බාහිරින් බලා කිව හැකි වුවද එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ නීති රීති සමුදායක් රටේ මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයක් විසින් පැනවීමට පාර කැපීමය.
ඉහත පැහැදිලි කිරීම කිරීමට හේතුව වන්නේ තවත් මාස තුනක පමණ කාලයකින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කටයුතු අවසන් වීමට නියමිත බවට ජනමාධ්‍ය විෂය භාර ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අමතමින් පසුගිය දිනෙක කරනු ලැබූ ප්‍රකාශයයි. එහිදී ඇමතිවරයා කියනු ලැබුයේ මාධ්‍ය පිළිබද එම ජාතික ප්‍රතිපත්තිය තම ආණ්ඩුව යටතේ පටන්ගත් එකක් නොවන බව හා 2023 වර්ෂයේ මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ පටන්ගත් එකක් බවය. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට යම් කණ්ඩායමක් තීරණය කර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එකතුවී කමිටුවක් සාදාගෙන එම කටයුත්ත ආරම්භ කර ඇති බව ඇමතිවරයා කියනු ලැබූ අතර ඒ සඳහා තවත් අදහස් එකතු කිරීමට අවස්ථාව දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් අනුව ඒ සඳහා අවස්ථාව දුන් බවද කියනු ලැබීය.
එම ජාතික ප්‍රතිපතත්තිය පනතක් නොවන බවත් ක්ෂේත්‍රයේ උන්නතියට මාධ්‍යවේදියාගේ සුරක්ෂිතභාවයට හා මාධ්‍ය මගින් බලපෑමට ලක්වන පුරවැසියා ආරක්ෂා කිරීම සඳහා එය ගෙන එන බවද ඔහු කියනු ලැබීය. ඊට අමතරව එහිදී ඇමත්‍්‍යවරයා කියනු ලැබුයේ ජනමාධ්‍යවේදීන් සඳහා වන වරලත් ආයතතනයක් ඇති කරනු ලබන බවත් එය මීට වසර 15කට පෙර ඇති කළ යුතුව තිබූ එකක් බව හා ඒ සඳහා රුපියල් ලක්ෂ 260 මුදලක් අයවැයෙන් වෙන් කළ බවත්ය. එමෙන්ම එය රජයේ ආයතනයක් නොවන බව හා රජය එයට පහසුකම් සැපයීම පමණක් සිදුකරන බවද ඔහු කීය.
ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් නොදන්නා හෝ දැන නොදන්නා සේ හැසිරෙන කරුණ වන්නේ 2023 රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී හෝ ඊට පෙර පාලන කාලවලදී රටට ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට ජනමාධ්‍ය සමාජය නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් හෝ කර්තෘවරුන් හෝ හිමිකරුවන් නොඉල්ලූ බවයි. එය තනිකරම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වුවමනාව පරිදි ඔහුට හිතවත් ඔහුගේ ආණ්ඩුවේ නිල හා නොනිල තනතුරු දරන ජාතත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කරන පිරිසකගේ සහභාගිත්වයෙන් රහසිගතව සිදුකෙරුණු එකක් බවය. ඒ සඳහා පොදුවේ ජනමාධ්‍ය සමාජයේ ප්‍රමුඛ පාර්ශවකරුවන් වන ජනමාධ්‍ය සංවිධාන කර්තෘ සංවිධාන හා හිමිකරුවන්ගේ සංවිධානවලට ආරාධනාවක් නොතිබුණි. ඊට හේතුව එම ඉල්ලීම ජනමාධ්‍ය සමාජයේ එකක් නොවීමය . ඒ සඳහා පිළිගත් ජනමාධ්‍ය හා කර්තෘ සංවිධානවල සහභාගිත්වයක් තිබුණ බව මේ වනවිට ප්‍රකාශයට පත්වී ඇති ලියවිල්ල අනුව
හඳුනාගත හැකිය. එහි ඇත්තම කරුණ වන්නේ එහි සඳහන් ඇතැම් සංවිධානවල තනතුරු දරන්නන් ඒ සඳහා සහභාගි
වී තිබුනේ පැවති පෞද්ගලික හිතවත්කම් හෝ දේශපාලන හිතවත්කම් වලට යන්න වීමය .
ඒ මගින් පෙන්නුම් කිරීමට උත්සාහ කර ඇත්තේ එයට සහභාගි වූ පුද්ගලයන් අයත් සියළුම සංවිධානවල එකඟතාවය එම ලියවිල්ලට ඇති බවයි. එහි නම් සඳහන් කර ඇති ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාර්ශවකරුවන් සමඟ හා සහයෝගයෙන් කටයුතු කරන වෙනත් ජනමාධ්‍ය සංවිධාන සමඟ මේ වනවිට ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ එම ලියවිල්ල සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවයක් නැති බවයි.
සාාකච්ඡාවකට එන ලෙස කියා සහභාගිත්වය සම්බන්ධයෙන් අත්සන් ලබා ගැනීමෙන් පසු එකඟතාවය ලබාදුන්
සංවිධාන වශයෙන් එම පුද්ගලයන් නියෝජනය කර සංවිධානවල නම් පාවිච්චි කිරීමේ මෙම උපක්‍රමය මීට පෙරද
මෙම පුද්ගලයන් විසින් යහපාලන ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ යටතේ සිදුකරන ලද්දක් විය. එහිදී සිදුවූයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන ගැටළු සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම්දී ඊට පෙර වෙනත් පාර්ශවයක් විසින් ජනමාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සකස් කරන ලද ලියවිල්ලක් එම සාකච්ඡාවලට යොමුකර එය තීරණය කරනු ලැබුයේ ආණ්ඩුව නොව සහභාගි වූවන් යැයි ප්‍රකාශයට පත් කිරීමය.
ඒ කෙසේ වෙතත් එම ලියවිල්ලේ ඇති කරුණු අනුව එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වසර 10ක කාලයක් සඳහා පමණය. වසර 3න් 3ට එහි යාවත්කාලීන කිරීම් සිදුකෙරේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ජාතික ප්‍රතිපත්තියක් යාවත්කාලීන කිරීම් සිදුකරමින් අඛණ්ඩව පවත්වා ගැනීම වුවද මෙහිදී එය සිදුවන්නේ නැත .
ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන ආණ්ඩුවකට අවශ්‍ය නීති සම්මත කර ගැනීමෙන් පසු එම නීති නොවන එකඟතා වෙනුවෙන්
වගකීමෙන් මිදීමට ඒ අනුව එහි පාර්ශවකරුවන්ට හැකිවේ. එම ලියවිල්ලේ තාර්කික පදනම යටතේ සඳහන් කරන්නේ ‘එබැවින් මෙම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ තාර්කික ප්‍රවේශය වන්නේ ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ශක්තිමත් සහ වගවීමෙන් යුතු මාධ්‍ය කර්මාන්තයක් සහ මාධ්‍ය වෘත්තියක් බිහිකර ගැනීමට සහ තිරසාර කර ගැනීමට අවශ්‍ය සංකල්පීය රාමුව සහ නිල සහතික කිරීම ලබාදීමයි. මෙහි යෝජිත ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක වීම ඇරඹුණු පසු භාෂණයට ප්‍රකාශනයට සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට අදාළ සියලුම නීති හා නියාමන ය)කඑති සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට මෙහි අඩංගු මූලධර්ම හා විශ්ලේෂණ ප්‍රයෝජනවත් වනු ඇත.
එම තාර්කික පදනමේ අවශ්‍යතාවය ආණ්ඩුවට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට හා අලුත් නීති සම්පාදනයට අනුමැතිය ලබාදීම බව පැහැදිලිය. එහි අභිමතාර්ථ 16ක් දක්වා ඇති අතර අදහස් ලෙස ගත්කළ ඒවා මනරම්ය . එහෙත් එම හැම අදහසක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විස්තර කරන්නේ නැත . නමුත් එම අදහස්වලට අයත් ආණ්ඩුවට අවශ්‍ය නීති හා යාන්ත්‍රණ සම්බන්ධයෙන් වන දේවල් සිදුවන්නේ කෙසේද යන්න නම් දක්වා විස්තර කර තිබේ . ඒවා ප්‍රතිපත්ති සිද්ධාන්ත 7 යටතේ මෙසේ සඳහන් කර ඇත . ‘ මාධ්‍ය ආයනවල වගවීම සහ සාමාජීය වගවීම සඳහා මාධ්‍ය ආචාරධර්ම පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර අගතිදායක මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ මහජන පැමිණිලි විසඳීම සඳහා ආයතනික යාන්ත්‍රණයක්ද අවශ්‍ය වේ’
සිද්ධාන්ත 8 යටතේ මෙසේ සඳහන් කර ඇත. ‘ මාධ්‍ය නිදහස වඩාත් හොඳින් සහතික කරනු ලබන්නේ පාර්ලිමේන්තු නීතියක් මගින් බලාත්මක කරන එහෙත් සෘජු රාජ්‍ය පාලනයට නතු නොවී මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ බහු පාර්ශවකරුවන් ( රාජ්‍යය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, මාධ්‍ය වෘත්තීය සහ ශාස්ත්‍රීය ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කරන සහයෝගී නියාමන යාන්ත්‍රණයක් ( ජද-රුටමක්එදරහප) මගිනි.
විද්‍යුත් චුම්භක පරාසයේ භාවිතය ප්‍රශස්ත කිරීම යනුවෙන් සංඛ්‍යාත පිළිබදව සඳහන් කර ඇතත් රාජ්‍යය භාරයේ තිබිය යුතු එම කරුණ දේශපාලන අතපෙවීම්වලින් ස්වාධීනව පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබදව පවතින යාන්ත්‍රණයට විකල්ප යෝජනාවක් වත් ඉදිරිපත් කර නැත. එසේම පොදු මහජන දේපලක් වන රාජ්‍ය මාධ්‍ය බලයට පත්වන ආණ්ඩුවල හොරණෑ බවට පත්වීමෙන් බැහැරව ස්වාධීනව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවද නිශ්චිත අදහසක් එහි සඳහන් කරන්නේ නැත. ජනමාධ්‍යයට එරෙහිව පසුගිය කාලයේ සිදුවුන අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අවසන් කළ යුතු බව හා අධිකරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු යැයි සඳහන් කළත් ඒ සඳහාද යාන්ත්‍රණයක් යෝජනා කරන්නේ නැත.
ඇත්ත වශයෙන්ම අධිකරණය හමුවේ ඇත්තේ ජනමාධ්‍යයට එරෙහි අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වන නඩු පමණය. අති බහුතරයක් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවී නැතිවා පමණක් නොව අධිකරණයට කරුණු වාර්තා කරද නැත. ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළ අතර දිගින් දිගටම ඒ සඳහා බලපෑම් කළේය. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපතිත්යක් ගැන එසේ කියමින් යන අතර දැන් ආණ්ඩුව එයින් බැහැරව ජනමාධ්‍ය සම්බන්ධයෙන් අලුත් වැඩකටද අත ගසා ඇත. ඒ දැනට පවතින පුවත්පත් මණ්ඩල නීතිය අහෝසි කර හෝ සංශෝධනයට ලක්කර මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඔබ්බට විද්‍යුත් හා අනෙකුත් මාධ්‍ය ක්ෂේත්‍රවලටද ආදාළ වන පරිදි පුළුල් සහ බලතල සහිත නියාමන යාන්ත්‍රණයක් සැකසීම සඳහා නීතියක් සම්පාදනය කිරීමටය. ශ්‍රී ලංකා ජනමාධ්‍ය මණ්ඩලය හෝ සුදුසු ආයතනයක් පිහිටුවීම යනුවෙන් එය නම්කර ඇති අතර රජයට අයත් වානිජමය නොවන ආයතන පිළිබද සමාලෝචන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කි්රීම යටතේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව එය සිදුකෙරේ.
ඒ සඳහා අධ්‍යයනය කර නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් නම්කර ඇති අතර එහි බහුතරය රජයේ හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ. එහි අරමුණ නම් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ සඳහන් ආකාරයට මාධ්‍ය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගී නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම නොවන අතර මාධ්‍ය සම්බන්ධයෙන් වන රාජ්‍ය නියාමන යාන්ත්‍රණය මුද්‍රිත මාධ්‍යයට සීමා නොකර අනෙකුත් මාධ්‍ය කරාද පුළුල් කිරීමය. පසුගිය අයවැයේ ජනමාධ්‍ය වැය ශිර්ෂ පිළිබද විවාදයේදී ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි කීවේ ආණ්ඩුව ජනමාධ්‍ය නියාමනයකට ලක් කළ යුතු බවට තීරණය කර ඇති බවයි. වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඇය වැඩිදුරටත් කීවාය. එම පාර්ලිමේන්තු විවාදයේදී එම මන්ත්‍රීවරිය මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආණ්ඩුවේ අනෙක් නියෝජිතයින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් කී ප්‍රධානම කරුණු කිහිපයෙන් එකක් වුයේද ජනමාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ අවශ්‍යතාවයයි.
ඉහතින් සඳහන් කළ ආකාරයටම ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තිය පාර කපන්නේ හා
අනුමැතිය ලබාදෙන්නේ ආණ්ඩුවේ එම අවශ්‍යතාවයටයි.