උතුරේ අමතක වූ වින්දිතයන් අතර – ජෙහාන් පෙරේරා
ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම සිහිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ ‘ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකය’ විසින් වාර්තාමය ප්‍රදර්ශනයක් සහ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වීය. 1990 ඔක්තෝබර් 30 වැනි දින, උතුරු පළාතේ ජීවත්වූ සියලුම මුස්ලිම්වරුන්ට පැය කිහිපයක් ඇතුළත තම නිවෙස්වලින් පිටව යන ලෙස එල්ටීටීඊය නියෝග කළේය. දෙමළ ජනතාවගේ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැළකෙන යාපනයේ වාසය කළ මුස්ලිම් පවුල්වලට පිටව යෑමට ලබාදී තිබුණේ පැය දෙකක් පමණි. අනෙකුත් ප්‍රදේශවල, ඔවුන්ට දින එකක් හෝ දෙකක් ලබාදී තිබිණි. මිනිසුන්ට තම ඇඳුම් සහ පෞද්ගලික අයිතම කිහිපයක් පමණක් රැගෙන යෑමට අවසර දෙන ලදී. රජය සමඟ සහයෝගීතාය නැවැත්වීම සඳහා මෙය ‘ආරක්ෂක පියවරක්’ බව එල්ටීටීඊය පැවසීය. එහෙත් මුරපොළවල්වලදී, එල්ටීටීඊ සාමාජිකයෝ ජනතාවගේ මුදල්, ආභරණ සහ දේපළ ඔප්පු ලබාගත්හ. සමහර කාන්තාවන්ගේ මංගල මාල ඔවුන්ගේ බෙල්ලෙන් ඇද කඩාගන්නා ලදී. විරෝධතා දැක්වීමට හෝ අයැදීමට උත්සාහ කළ ඕනෑම අයකුට දෙමළ ඊළමේදී උපයා ගත් සියල්ල දෙමළ ඊළමට අයත් බව කියනු ලැබීය.
75,000 කට අධික පිරිසකට තම නිවෙස් අතහැර යෑමට සිදුවිය. බොහෝදෙනකු දිගු දුරක් පාගමනින් හෝ පිරීගිය බෝට්ටුවලින් පුත්තලම සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට ගියහ. ඔවුහු පාසල්වල, පන්සල්වල සහ ගස් යට පවා නිදාගත් අතර, වසර ගණනාවක් අවතැන්වූවෝ ලෙස ජීවත් වූහ. දිගු සිවිල් යුද්ධය අතරතුර, ලක්ෂ සංඛ්‍යාත දෙමළ සහ සිංහල ජනතාව ද මියගිය, තුවාල ලැබූ හෝ නිවාස අහිමි වූ බැවින් ඔවුන්ගේ දුක්වේදනා බොහෝදුරට අමතක විය. උතුරේ මුස්ලිම්වරුන් පළවාහැරීම, එවන් බොහෝදෙනකු අවතැන්ව සිටි යුද්ධයක තවත් එක් ඛේදවාචකයක් පමණක් බවට පත්විය. පළවාහැරීමෙන් පසු, රජය සහ අන්තර්ජාතික ආයතන ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළේ අවතැන් වූ දෙමළ ජනතාව විශාල සංඛ්‍යාවකට, එනම් මිලියනයකට අධික පිරිසකට උපකාර කිරීම කෙරෙහිය. සීමිත සම්පත් සහිතව, ඔවුන්ට ප්‍රමුඛතා ලබාදීමට සිදුවිය. ඒ අතර තම නිවාස සහ ඉඩම් අහිමි වූ නමුත් ජීවිත අහිමි වූ උතුරේ මුස්ලිම්වරුන් ආධාර ලැයිස්තුවේ පහළින් තබා තිබිණි.
2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව පවා, අවතැන් වූ උතුරේ මුස්ලිම්වරුන්ගේ ගැටළු කෙරෙහි එතරම් අවධානයක් යොමු වී නොමැත. එල්ටීටීඊය තවදුරටත් නොපවතින නමුත්, ඔවුන් නැවත සිය මුල් ගම්බිම්වලට පැමිණීම වැළැක්වීමට බලපාන බොහෝ දුෂ්කරතා තවමත් පවතී. ඔවුන්ට පිටව යෑමට බලකෙරුණු දා සිට, වසර විස්සකට ආසන්න කාලයක් තුළ, මුස්ලිම්වරුන්ට අයත්ව තිබූ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් අතින් අත මාරු වී ඇත. නිදසුනක් වශයෙන්, මුස්ලිම් පවුල් වර්ග කිලෝමීටර් 500ක පමණ භූමි ප්‍රමාණයක ජීවත් වූ මුසලි හි, දැන් ඇත්තේ වර්ග කිලෝමීටර් 70ක් පමණ පමණි. මෙය යුද්ධයෙන් අවතැන් වූ දෙමළ පවුල් සමඟ බෙදාගත යුතුය. එල්ටීටීඊයෙන් ලබාගත් ඉඩම්වලින් සමහරක් දැන් හමුදාව විසින් පාලනය කරනු ලබන අතර, ඒවා උපායමාර්ගික හේතූන් මත තබාගැනීමට අවශ්‍ය වේ. උත්ප්‍රාසාත්මක ලෙස, මුස්ලිම්වරුන් උතුරේ සුළුතරයක් වන නිසාත්, ඔවුන්ට අනාරක්ෂිත බවක් දැනෙන නිසාත්, ඔවුන් බොහෝදෙනෙක් හමුදාව එහි සිටීම ගැන විවෘතව විරුද්ධ නොවෙති.
සමාන ලෙස සැලකීම
අවතැන් වූ මුස්ලිම්වරුන්ගෙන් බොහෝදෙනෙක් රජයේ සහ ආධාර ලබාදෙන ආයතනවල සහාය ඇතිව රටේ අනෙකුත් ප්‍රදේශවල තම ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සමත් වී සිටිති. ඔවුන් පදිංචි වූ ස්ථානවල, විශේෂයෙන් පුත්තලම සහ වයඹ පළාතේ ඉඩම් මිලදී ගෙන නිවාස ඉදිකර ඇත. කෙසේවෙතත්, මෙම සාර්ථකත්වයන් සමහර විට ඔවුන්ට එරෙහිව භාවිත කර ඇත. උතුරේ නිලධාරීන් බොහෝවිට ඔවුන් දකින්නේ, වෙනත් ප්‍රදේශවල දැනටමත් දේපළ හිමි පුද්ගලයන් ලෙස වන අතර, එබැවින් ඔවුන්ට නැවත පැමිණීමට විශේෂ උපකාර අවශ්‍ය නොවන බව සිතති. මෙය ඔවුන්ගේ මුල් නිවාස සමඟ ඇති ගැඹුරු චිත්තවේගීය හා සංස්කෘතික සම්බන්ධතාව නොසලකා හැරීමකි. මෙම පවුල්වලට, උතුරට ආපසු යෑම යනු තම ඉඩම් හෝ නිවාස ලබාගැනීම පමණක් නොවේ. එය ඔවුන්ගේ අනන්‍යතාව සහ අයිතිවාසිකම හා ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නැවත ලබාගැනීමකි.
යුද්ධය අවසන් වූ දා සිට, දකුණේ සහ සමහර සිංහල ප්‍රජාවන් අතර මුස්ලිම් විරෝධී හැඟීම් නැවත නැවතත් පැතිර ගොස් තිබේ. මෙම සිදුවීම් උතුරේ මුස්ලිම්වරුන්ට තවත් කනස්සල්ලට හා අනාරක්ෂිතභාවයට හේතු වී තිබේ. වෛරී ප්‍රකාශ නැවැත්වීමට සහ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බව සහතික කිරීමට රජය දැඩි ලෙස ක්‍රියාකළ යුතුය. එක් කණ්ඩායමකට එරෙහිව අයුක්තියට ඉඩදෙන විට, එය අවසානයේ අනෙක් අයටද හානිකරයි. සැබෑ ආරක්ෂාව බලයෙන් හෝ පාලනයෙන් පැමිණෙන්නේ නැත. එය පැමිණෙන්නේ යුක්තිය ඔවුන්ව ආරක්ෂා කරන බව සෑම පුරවැසියකුම දැන සිටීමෙනි. දේශපාලන වාසි සඳහා වාර්ගික ජාතිකවාදය භාවිත නොකරන බවට ජාතික ජන බලවේග ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඉටුකර ඇත. කෙසේවෙතත්, LTTE පරාජයෙන් පසු ලබාගත් එකමුතුකම තවමත් ජනතාවගේ හදවත් හා මනසෙහි සැබෑ එකමුතුකමක් බවට පත්ව නැත. බොහෝ සුළුජාතීන්, විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජනයාට තමන් තවමත් තීරණ ගැනීමෙන් බැහැර වී ඇති බවක් දැනෙන අතර, ඔවුහු වෙනස්කම්වලට ලක්වීමට හෝ ප්‍රචණ්ඩත්වයට බිය වෙති.
සෑම ප්‍රජාවකම අවශ්‍යතාවන්ට සාධාරණ ලෙස සලකන බවට රජය සහතික විය යුතුය. යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට, දෙමළ, සිංහල සහ මුස්ලිම් යන සියලුම ජනයාට, ඔවුන්ගේ මුල් නිවාස වෙත ආපසු යෑමට අයිතියක් ඇති බව පැහැදිලිව ප්‍රකාශ කළයුතු අතර, මෙය සිදුකිරීම සඳහා විනිවිද පෙනෙන පද්ධතියක් සකස් කළ යුතුය. ජාතික සංහිඳියාවට සහාය වීම සඳහා නිර්මාණය කරන ලද වන්දි ගෙවීමේ කාර්යාලයට මෙම ක්‍රියාවලියේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකිය. වන්දි ගෙවීමේ අරමුණ වන්නේ, වින්දිතයන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සහ හැකිතාක් දුරට ඔවුන් පෙර සිටි තත්වයට නැවත පැමිණීමට උපකාර කිරීමයි.
අසාධාරණය සිහිපත් කිරීම
උතුරේ මුස්ලිම්වරුන් පළවාහැරීම, මිනිසුන් සාමයෙන් එකට ජීවත්වීම නැවැත්වූ විට සිදුවිය හැකි දේ පිළිබඳ වඩාත්ම වේදනාකාරී මතක් කිරීමකි. වාර්ගික ජාතිකවාදය බෙදාගත් මනුෂ්‍යත්වයට වඩා ශක්තිමත් වූ විට සිදුවන්නේ කුමක්ද යන්න එයින් පෙන්නුම් කෙරේ. මෙම ඛේදවාචකය අපට මතක්කර දෙන්නේ, දුක්වේදනා කිසිවිටෙකත් එක් ප්‍රජාවකට පමණක් සීමානොවන බවයි. එය අවසානයේ සෑම කෙනෙකුටම බලපායි. 1990 ඔක්තෝබර් මාසයේදී සිදු වූ දේ මතක තබාගැනීම සියලු ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයකි. එම පණිවිඩය වන්නේ, කිසිවකුට තමන් වෙනස්වන බව පවසා, තම නිවස හැරයෑමට බලනොකළ යුතුය යන්නයි. එය සෑම ප්‍රජාවකින්ම ඉල්ලා සිටින්නේ, තමන්ගේම නිහඬතාව සහ වැරදි ගැන අවංකව සිතන ලෙසයි. සැබෑ සංහිඳියාව ආරම්භ විය හැක්කේ, එක් එක් කණ්ඩායම සෘජුව හෝ වක්‍රව තමන් විසින් සිදුකරන ලද හානිය සඳහා වගකීම පිළිගෙන, අන් අය වෙත අවබෝධයෙන් හා ගෞරවයෙන් ළඟා වූ විට පමණි.
රජය සහ සිවිල් සමාජ කණ්ඩායම් අතර විවෘත සාකච්ඡාවක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම දිගටම කරගෙන යා යුතුය. යුද්ධය සෑම ප්‍රජාවක් තුළම දුක්වේදනා ඇති කළ අතර, සැබෑ සංහිඳියාව යනු සියලු වින්දිතයන්ට සවන්දීම සහ ඔවුන්ට සමානව හා සාධාරණව සැලකීමයි. එක් කණ්ඩායමක වේදනාව නොසලකා හරින විට, කෝපය වර්ධනය වන අතර, ජනතාව රජය කෙරෙහි විශ්වාසය නැතිකර ගනී. උතුරේ මුස්ලිම්වරුන් පළවාහැරීම ජාතික ඛේදවාචකයක් ලෙස සැලකිය යුතුය. එය එක් ප්‍රජාවකට පමණක් බලපෑ ගැටලුවක් නොවේ. වසර 35 කට පසුවත්, උතුරේ මුස්ලිම්වරුන්ට සම්පූර්ණ යුක්තිය ලැබී නොමැති බව හෝ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කර නොමැති බව යන්නෙන් පෙන්නුම් කරන්නේ, සාධාරණ හා එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තවත් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ යුතුද යන්නයි.
මෙම ආණ්ඩුව සහ පෙර පාලනයන් විසින් නිර්මාණය කිරීමට පොරොන්දු වී ඇති සත්‍ය සහ සංහිඳියා කොමිසමට, නෙරපාහරින ලද උතුරේ මුස්ලිම්වරුන්ගේ කථා ඇතුළත් වියයුතුය. ඔවුන්ගේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ පොදු ජාතික ඉතිහාසයේ කොටසක් බවට පත්විය යුතුය. ශ්‍රී ලංකාවට සැබවින්ම සංහිඳියාවක් ඇතිකර ගත හැක්කේ, ඔවුන්ගේ දුක්වේදනා සංසන්දනය කිරීමෙන් හෝ ශ්‍රේණිගත කිරීමෙන් තොරව, සෑම තුවාලයක්ම සහ සෑම ප්‍රජාවකම වේදනාව හඳුනාගැනීමෙන් පමණි. සියලුම ප්‍රජාවන් යුද්ධයෙන් තුවාල ලැබූ අතර, රට එක්සත් වී සංවර්ධනය සමඟ ඉදිරියට යෑමට තරම් ශක්තිමත් වීමට නම් සියල්ලන්ටම සුවය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය ලැබෙන්නේ, එහි සියලුම ප්‍රජාවන් ගෞරවයෙන් හා විශ්වාසයෙන් එකට ජීවත් වූ විටය. සංහිඳියාව ගෙනඒම රජයට තනිවම කළහැකි දෙයක් නොවේ. එයට සෑම කෙනකුගේම සහභාගීත්වය අවශ්‍ය වේ.