දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති

0
46832cc0af02d32ebaccb8008e1a9d92edd7f8c9

වසන්ත රූපසිංහ විසිනි.

[මෙය Sri Lanka: Over 330 dead from Cyclone Ditwah, hundreds of thousands impacted යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති
2025 නොවැම්බර් 29දා ගංවතුරෙන් කොලඹ වීදි ජලයෙන් යට විය

දශක ගනනාවකින් ශ්‍රී ලංකාවට බලපෑ දරුනුතම ස්වාභාවික විපත් වලින් එකක් වන දිට්වා සුලි කුනාටුවෙන් ඉරිදා සවස වන විට පුද්ගලයින් 334 කට වැඩි පිරිසක් මිය ගොස් දිවයින පුරා දසලක්ෂයකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබේ. 370 කට අධික පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති අතර, සෝදිසි මෙහෙයුම් අඛන්ඩව සිදුවෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී මරන සංඛ්‍යාව තවත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිට්වා සුලි කුනාටුව රට පුරා හමා යමින්, විනාශකාරී ගංවතුර සහ දැවැන්ත නායයෑම් ඇති කල අතර, එමගින් ඇතැම් පලාත්වල,  විශේෂයෙන් වැඩියෙන්ම පීඩාවට පත් මධ්‍යම පලාතේ,ගම්මාන පිටින්ම  ගසා ගෙන ගොස් පවුල් පනපිටින් වලලා දැමී ය. 

දිස්ත්‍රික්ක 25ම අවතැන් වූ, 120,000  කට අධික පිරිසක් තාවකාලික නවාතැන් මධ්‍යස්ථාන 919 ක ආරක්ෂිතව රඳවා ඇත. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව (කාවිදෙ) සහ ආපදා කලමනාකරන මධ්‍යස්ථානය (ආකම) අනුව, දිස්ත්‍රික්ක 20 ක්ම දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. පවුල් 309,607 කට අයත් පුද්ගලයින්, 1,118,929 ක් පීඩාවට පත්ව ඇති බව කාවිදෙ වාර්තා කරයි.

ධාරානිපාත වර්ෂාවෙන් තෙත බරිත වූ මධ්‍යම කඳුකරයේ  බෑවුම් අස්ථාවර වූ අතර එය තත්වය මාරාන්තික නායයෑම්වලට හේතු විය. දිට්වා සුලි කුනාටුව රට අභ්‍යන්තරයට පොලාපැන්න විට, ඇතම් ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 500 ද ඉක්මවා ගියේ ය.  පිටාර ගලන ජලාශ සහ ගංගා අඩි 10 සිට 20 දක්වා උඩ ජලකඳන් නංවා ගම් නියම්ගම් මෙන්ම නගර ක්ෂනයෙන් ගිලගත්  අතර, පදිංචිකරුවන්ට ආරක්ෂිතව පලා යාමට ලැබුනේ ඉතා සුලු කාලයකි. මෙනයින්,  ඵලදායී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් කොහෙත්ම නොතිබු  බව හෙලි කලේ ය.

නොවැම්බර් 27දා රාත්‍රියේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගරයේ සිදු වූ ඉතාමත් ඛේදජනක සිදුවීමකින් එකක් වූයේ, හදිසියේම අඩි 13 ක් උස ජලකඳක් පවුල් 100 ක් පමන පදිංචිව සිටින, නගරයට යාබදව පිහිටි කුඩමාකේ ගම්මානයක්ම ගිල ගැනීමයි. බොහෝ දෙනෙක් අසීරුවෙන් පීනාගොස් දිවිගලවා ගත්ත ද, පුද්ගලයින් 66 දෙනෙකු මිය ගිය අතර, තවත් බොහෝ ගනනක් තාමත් අතුරුදන්ව සිටිති.

දිස්ත්‍රික්ක කිහිපයකම නගර ජලයෙන් යටවී ඇත, ප්‍රධාන පාලම් ගනනාවක් ගසාගෙන ගොස් ඇති අතර, තීරනාත්මක යටිතල පහසුකම් සුන්බුන් බවට පත්ව ඇත. නායයෑම් හේතුවෙන් මාර්ග සහ දුම්රිය මාර්ග සිය ගනනක් විනාශ වී හෝ අවහිර වී ඇති අතර, එනයින් ගලවා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත. ගංවතුරෙන් පීඩාවට පත් බොහෝ ප්‍රදේශවලට දැන් ප්‍රවේශ විය හැක්කේ බෝට්ටුවකින් හෝ හමුදා හෙලිකොප්ටරයකින් පමනි.

දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති
2025 නොවැම්බර් 30දා ගංවතුරෙන් යට වූ ගම්පහ මහ රෝහල ඉදිරිපිට පාර

දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ කිහිපයක පැය 48 කටත් වැඩි කාලයක් පුරා අල්ලා හිටින විදුලිය ඇනහිටීම් සහ විදුලි සංදේශ පද්ධතිවල බිඳවැටීම් හේතුවෙන් බොහෝ ප්‍රජාවන්ට ප්‍රවේශය සම්පූර්නයෙන්ම විසන්ධි වී ඇති අතර, ඔවුන්ට අවශේෂ පෙදෙස්වලින් හුදකලාව ජීවත් වීමට සිදු වී ඇත. මිලිටරි හෙලිකොප්ටර් මගින් දුසිම් ගනනක ස්ථානවල වහලවල් වලින් මිනිසුන් ගලවා ගන්නා ආකාරය රූපවාහිනි දසුන්වලින් පෙන්නුම් කෙරින. දහස් ගනන් ජනයාට එලැඹෙන ව්‍යසනය පිලිබඳව කල්තබා කිසිදු අනතුරු ඇඟවීමක් නොලැබුනු බවත්, තමතමන්ගේ ආරක්ෂාව පතා වහලවල් සහ ගස් මතට නැග සිටීමට බලකෙරුනු බවත් මෙම සිදුවීම් පෙන්නුම් කරයි.

කල්තබා මහජනයා අනතුරුදායක පෙදෙස්වලින් ඉවත් නොකිරීම, මරන සංඛ්‍යාව ඉහල යාමට හේතු වී තිබේ. බොහෝ අවස්ථාවන්හිදී, බොහෝ පිරිස් හදිසි  නායයෑම්වලට ගොදුරුවූයේ, බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අපොහොසත් වීම හෝ එවන් අනතුරු ඇඟවීම් අවසාන මොහොතේ සිදුකිරීමෙන් නිවැසියන්ට පලා යාමට තරම් කාලයක් නොතිබීම හේතුවෙනි.

දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති
2025 නොවැම්බර් 28දා හපුතලේ කහගල්ල වතුයායේ සිදු වූ නායයෑමකින්, දරුවන් ඇතුලු එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් මරනයට පත් වූහ [Photo: Facebook: mariyan.teran]

සෙනසුරාදා සවස මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ රඹුක්ඇල ගම්මානයේ සිදු වූ දැවැන්ත නායයෑමකින් නිවාස 50ක් පමන වැලලී ගියේය. ආසන්න වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි බිය පල වේ. වෙනත් සමාන සිදුවීම් මෙන්ම, අයහපත් කාලගුනය හේතුවෙන් ගලවා ගැනීමේ කන්ඩායම් නියමිත වේලාවට එම ස්ථානයට ලඟා වීමට නොහැකිවූ අතර, එනයින් අනතුරෙන් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ බලාපොරොත්තුව වියැකී ගියේය. 

ගලවා ගැනීමේ මෙහෙයුම් මත් අනතුරුදායක  බවට පත්ව ඇත ඇත. ගවරම්මන ප්‍රදේශයේදී, වැලිමඩ-නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කඩා වැටුනු පස් කන්දක් ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් කන්ඩායමක් යවන ලදි. මෙහෙයුම අතරතුර බුරුල්වූ පස්කන්ද කඩාපාත්වී, එක් සේවකයෙකු අතුරුදහන් වූ අතර, පස්‍ යට වැලලී සිටි තවත් සේවකයෙකු යාන්තමින් පනපිටින් එලියට ඇද ගැනුනි. 

පිරිසිදු ජලය, ආහාර, ඇඳුම් පැලඳුම් සහ අනෙකුත් අවශ්‍යතා සඳහා කරන ලද සිය ගනනක් ආයාචනාත්මක ඉල්ලීම් රට පුරා අතරමං වූ ජනතාවගෙන් සමාජ මාධ්‍ය ජාලා, විශේෂයෙන් ෆේස්බුක් හරහා ගලා එමින් තිබේ. ගංවතුරෙන් සිර වී සිටින අය බේරා ගැනීම සඳහා බොහෝ දෙනෙක් ගලවා ගැනීමේ කන්ඩායම්, බෝට්ටු සහ හෙලිකොප්ටර් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. ආන්ඩුවේ සහනාධාර ආධාර අතිශයින්ම අප්‍රමානවත් බවට හෝ එවැන්නක් කොහෙත්ම නොලැබෙන බවට කෙරෙන පැමිනිලි කඳු ගැසෙමින් තිබේ. 

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජේවීපී/ජාජබ) ආන්ඩුව භට පිරිස් 25,000ක් යොදවා ඇති අතර, බොහෝ සිවිල් වැසියන් සහාය වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුව ද, ව්‍යසනයේ විශාල පරිමාන ගත්කල ඉල්ලා සිටිනේ, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරනය කල වැඩපිලිවෙලකි. මේ දක්වාත්, අවශ්‍ය  කෙරී තිබෙන ආධාර මට්ටමට ආසන්නයටවත් ඒමට හැකි ආකාරයෙන් එවන් වැඩපිලිවෙලකට මුල පිරීමටවත් ආන්ඩුව සමත් වී නැත.

රජයේ විනාශකාරී ප්‍රතිචාරය කෙරෙහි මහජන කෝපය අඛන්ඩව වැඩෙන තත්වය යටතේ, ජනාධිපති දිසානායක සෙනසුරාදා හදිසි නීතිය ප්‍රකායට පත් කලේ ය. ඒ, මානුෂීය අර්බුදය විසඳීමට නොව, වර්ධනය වන සමාජ නොසන්සුන්තාව මැඩපැවැත්වීමට තමාටම අතිමහත් බලතල පවරා ගැනීමට ය. මහජන කෝපය පුපුරා යනු ඇතැයි බියෙන්, විපක්ෂ සමගි ජන බලවේගය  සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විරුද්ධ පක්ෂ ඒ වන විටත් එවැනි පියවරයන් ඉල්ලා තිබිනි.

දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති
2025 නොවැම්බර් 29 වන දින ශ්‍රී ලංකාවේ කොලඹ පාසලක ආහාර ලබාගැනීමට රැඳී සිටි, ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව

රුදුරු හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම, දිසානායක සියලු අවතැන් කඳවුරු මිලිටරියේ අධිකාරිත්වය යටතට පත් කර තිබූ අතර ඛනිජ තෙල්, ගෑස්, විදුලිය, සෞඛ්‍ය, වාරිමාර්ග සහ මාර්ග සහ දුම්රිය නඩත්තු යන ප්‍රධාන අංශ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතට ගෙනවිත් තිබිනි. එක් සිදුවීමක දී, හමුදා නිලධාරියෙකු ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස නියෝග කරමින්, කැලනි ගඟේ ජල මට්ටම ඉහල යන බවට අනතුරු ඇඟවී ය.

දිට්වා සුළි කුණාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරණයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති

හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම සහ අවතැන් කඳවුරු මත හමුදා පාලනයේ අරමුන, පැහැදිලිවම මහජන විරෝධය මැඬ පැවැත්වීමයි. කම්කරු පන්තියේ වැඩෙන විරෝධය හමුවේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීමට, ජවිපෙ/එන්පීපී පාලනාධිකාරිය දරන පුලුල් උත්සාහයන් ද එයින් පිලිබිඹු වෙයි.

ඉරිදා රාත්‍රියේ රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ දිසානායක, තම රජය වින්දිතයින්ට උපකාර කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන බව පෙන්වීමට මංමුලා සහගත උත්සාහයක් ගත්තේ ය. අර්බුදය “සුලුපටු අභියෝගයක් නොවන” බව පවසමින් ඔහු කියා සිටියේ පරිපාලනයේ ප්‍රමුඛතාවය “කෙටි, මධ්‍යම හා දිගු කාලීනව රට නැවත ගොඩනැගීම” බවයි. යථාර්ථයේ දී, මෙය ව්‍යසනය කලමනාකරනය කිරීමට සහ ප්‍රමානවත් ආධාර සැපයීමෙහිලා ඔහුගේ ආන්ඩුව දක්වා තිබෙන දැඩි අසාර්ථකත්වය පිලිබඳ නරුම වසන් කිරීමකි.

හදිසි නීතිය පැනවීමේ තීන්දුව ආරක්ෂා කරමින් දිසානායක කියා සිටියේ, “අපේ රට පෙරටත් වඩා හොඳින් ක්‍රියාකාරීව යලි ගොඩනැංවීමකට” අවශ්‍ය “නීතිමය රැකවරනය සහ ප්‍රතිපාදන” සඳහා හදිසි නීතිය අවශ්‍ය බවත්, එය “කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර ගන්නේ නැති” බවත් ය. මෙය සම්පූර්න බොරුවකි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදු පියවරයන් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින තත්වයක් තුල, දිසානායකගේ සහතික කිරීම් පැහැදිලිව ම අරමුනු කලේ, පාලක කවයන් සහ ජාත්‍යන්තර ආයෝජකයින් තුල ඔහුගේ විවේචකයින් සැනසීම සඳහා ය.

නොවැම්බර් 30දා සන්ඩේ ටයිම්ස් වාර්තා කල පරිදි , ප්‍රධාන සුලි කුනාටුවක් දක්වා වර්ධනය විය හැකි වායුගෝලීය තත්ත්වයන් පිලිබඳව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් මැද භාගයේ සිට ම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුනි.

නොවැම්බර් 12 වන දින අද දෙරන “බිග් ෆෝකස්” වැඩසටහන අතරතුර, ජාත්‍යන්තර  කාලගුන විද්‍යා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිත අතුල කරුනානායක ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීම් නිකුත් කලේය. “එහෙත්”, ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුවට අනුව, “වසර ගනනාවකින් පසු රට එහි දරුනුතම ස්වාභාවික විපතකට ඇද දැමූ ව්‍යසනයේ සම්පූර්න පරිමානය ඇස්පනාපිට පේන තෙක්ම,  (ආන්ඩුව) ඒ සඳහා පෙර  සූදානම් වීම් ගැන රැස්වීම් නොකැඳවූවා පමනක් නොවේ, ඒ ගැන ප්‍රසිද්ධ නිවේදන කිසිවක් නිකුත් කලේ ද නැත.”

සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඉන්දුනීසියාවේ දේශගුනික පර්යේෂන මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය තසුන් අමරසිංහ මෙසේ පැවසී ය: “ස්වභාවික ව්‍යසන කියා දෙයක් නැත. මේවා ආන්ඩුපාලන ව්‍යසනයන් ය. ශ්‍රී ලංකාව තමන් ආරක්ෂා කල එම පද්ධතීන්ම  විනාශ කලේය. දැන් සිදුවෙමින් පවතින්නේ සදොස් දේශපාලනමය කලමනාකරනයේ පුරෝකථනය කල හැකි ප්‍රතිඵලයකි.” ඔහුගේ ප්‍රකාශයන් නිවැරදි වුවත්, දිට්වා සුලි කුනාටුවේ තීව්‍රතාවයට සෘජුවම දායක වූ ගෝලීය උනුසුමට වැටබැඳීමට ජාත්‍යන්තරව ආන්ඩු විසින් ගනු ලබන අප්‍රමානවත් පියවරයන් ගැන නොසලකා හරියි.

“සැලසුම් නොකල සංවර්ධනය, තෙත්බිම් විනාශය සහ දේශපාලන මැදිහත්වීම්” යනාදිය ගැන සුලි කුනාටුවට ගොදුරු වූ අය   ප්‍රසිද්ධියේ දොස් පැවරූ බව සඳහන් කල අමරසිංහ, යටත් විජිත යුගයේ වතු ව්‍යාපෘතිවල කාර්යභාරය  ගැන නොකියා මඟ හැරියේ ය. මධ්‍යම කඳුකරයේ මාරාන්තික නාය යෑම් යටත් විජිත පාලනය යටතේ ගනු ලැබූ තීරනවල ගැඹුරින් මුල් බැස ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කිසිදු විද්‍යාත්මක තක්සේරුවක් නොකර තේ සහ රබර් වගාවන් ස්ථාපිත කිරීම සඳහා ස්වදේශික වනාන්තර එලි පෙහෙලි කර, ගැඹුරට මුල් බැසගත් වෘක්ෂලතාදිය, නොගැඹුරු මුල් සහිත ඒකවර්න (තේ/රබර් යනාදී බෝග විශාල යායක වගා කිරීම) වගාවන්ගෙන් විස්ථාපනය කලහ. බෑවුම් සහිත බෑවුම්වල ඉදිකරන ලද වතු යටිතල පහසුකම් නිසා කඳු ඛාදනයට හා කඩා වැටීමට බෙහෙවින් ගොදුරු විය.

අද වන විට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මෙම ව්‍යුහාත්මක දුර්වලතා බෙහෙවින් උග්‍ර කරමින්,  කලකදී ලාභදායීවූ වගාවන් ඝාතක භූමි බවට පත් කරමින්, සිය ගනනක් ජීවිත බිලිගැනීමට දායක වෙමින් ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *