පන්ති පාලනයේ නිර්මානයක් වන මත් උවදුරෙන් හා පාතාලයෙන් තරුණ ජීවත රැක ගැනීම උදෙසා, ධනවාදයෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු !
නන්දන නන්නෙත්ති විසිනි.

අන්තරායකාරී මත් ද්‍රව්‍ය (කුඩු) ජාලයක් සමස්ත පෘථිවි ගෝලය වෙලා ගෙන ඇත. මිලියන ගනනින් තරුන ජීවිත එය විසින් බිලි ගනු ලැබේ. එය වර්ධනය වන්නේ මිනිස් ඝාතන ඇතුලු අපරාධ ජාලයක් ද සමග ය. මෙම උවදුර මැඩලීම සඳහා අඩ සිය වසකට වැඩි කාලයක් පුරා එක්සත් ජනපදය හා සෙසු රටවල් තුල දියත් කෙරුනු ව්‍යාපාර මුලුමනින් ම අසාර්ථක වී ඇති අතර, එම ප්රයත්න, පන්ති ප්‍රතිඝතිකතා මර්දනයේ උපකරන පමනක් බව හෙළිදරව් වී ඇත. මෙම ව්‍යසනයෙන් තරුන ජීවිත රැක ගැනීම සඳහා අව්‍යාජ මහජන සංවිධානයක අවශ්‍යතාව ඉස්මතු වී ඇත.
තත්වය ඉතා බරපතල ය. 2024 ජුනි මාසයේ නිකුත් කර ඇති මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වන ලෝක දත්ත, 2022 වසරේදී මිලියන 292ක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් එය පෙර දශකයට වඩා සියයට 20ක වැඩි විමක් බවත් තහවුරු කරයි. එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ කාර්යාලයේ 2025 වාර්තාවට අනුව, 2023 දී ලෝකයේ මිලියන 316ක් මත් ලෝලීන් බවට පත් ව තිබේ. මෙය සමස්ත ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 3.7කි.
අන්තරායදායක මත්ලෝලිත්වය ශ්‍රි ලංකා අග නගරයේ සිට ගම් නියම්ගම අලලා ගෙන වේගයෙන් පැතිරෙමින් පවතී. තමන් මුහුන දී සිටින ආර්ථික සාමාජික ප්‍රශ්නයන්ට පිලිතුරු සොයාගත නො හැකිව අපේක්ෂා භංගත්වයට පත් තරුනයන් සතුට හා සහනය සොයා යන මෙම ගමනේ දී, තව දුරටත් මානසිකව මෙන් ම කායිකවත් බිඳ වැටීමට අමතර ව බොහෝ විට පාදඩ සමාජයක සාමාජිකයන් බවට ද පත් වේ. තරුනයන්ගේ ඇදී යාම කෙසේද යත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලයේ (NDCB) තොරතුරු අනුව 2023 වසරේ වයස අවුරුදු 15-64 අතර පසුවන පුද්ගලයින්ගෙන් ලක්ෂයකට 796ක් එනම් ආසන්න වයෙන් 0.8% ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් ව ඇත. මෙය 2021 දි පැවතියේ 0.6% ලෙස ය.
මේ තත්වය දසදසහස් ගනනින් වින්දිතයන්ගේ දෙමාපියන් සහ පවුල් අන්ත අසරනභාවයට පත් කර ඇත. එනම්, සමාජය ම සැකෙන්, බියෙන් සහ අනාරක්ෂිත බවෙන් පීඩා විඳිති. සිය දරුවන් මත් ද්‍රව්‍යවලට යොමු වුවහොත් තමන් සිය දිවි නසා ගන්නා බව ඔවුන්ට දැනුම් දී ඇතැ යි ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය.
නොවැම්බර් 25 අඟහරුවාදා ජනාධිපති මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවක දී නාකොටික් අංශයේ සහකාර පොලිස් අධිකාරී අශෝක ධර්මසේන කල අනාවරනය අනුව, මෙම වසරේ ජනවාරි 1දා සිට නොවැම්බ්ර 24 දක්වා වූ මාස 11 තුල තහනම් මත් ද්‍රව්‍ය චෝදනා මත අත් අඩංගුවට පත් 219,085 අතරින් 5671 පාසැල් යන හෝ එම වයසේ එනම් අවු 21 අඩු පිරිමි ලමුන් ය. ගැහැනු ලමුන් 93කි. මාසයේ මුල් දින 24 තුල අල්ලා ගනු ලැබූ 27,591ට, විශ්ව විද්‍යාල සිසුන් 7ක් හා අවු 21 අඩු ලමයි 42ක් ඇතුලත් වූහ.
බන්ධනාගාර නිලධාරි ජගත් වීරසිංහ ඔක්තෝම්බර් 27 දින දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගීවෙමින් කල හෙලිදරව්වට අනුව, කොලඹ දිස්ත්‍රික්කය තුල පමනක් පාසල් සිසුන් 230,982ක් මත්ලෝලීන්ව සිටිති. මෙහි පාසැල් සිසුන් ලෙස ඔහු සඳහන් කරන්නේ පාසල් යන වයසේ පසු වන, එනම් අවුරුදු 21ට අඩු තරුනයන් ය.එය කොලඹ දිස්ත්‍රික්කයේ 2,235,000 වන මුලු ජනගහනයෙන් සියයට 10.33කි.

සමාජයේ සෑම ක්ෂේත්රයකම මෙම තත්වය අත්දැකිය හැකි ය. මෙම නොවැම්බර් මාසයේ අත්අඩංගුවට පත් පිරිස අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 24ක්, පොලිසියේ 4ක්, ගුරුවරු 4ක් සහ දේශපාලඥයන් 2ක් ද සිටිති.
නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය ලෙස සැලකෙන පොලිසියට, අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 20%ක පමන පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කලේ ය.
මරන දඬුවම
හෙරොයින් ග්‍රෑම් 2.77ක් සමග 2013 වසරේ අත් අඩංගුවට පත් රමේෂ් ද සිල්වාට මහාධිකරනය විසින් මරන දඬුවම නියම කල බව පසු ගිය සැප්තැම්බර් 14 දිවයින වාර්තා කලේ ය. 2019 දී හෙරොයින් ග්‍රෑම් 152.34 ක් සමග අත් අඩංගුවට ගත් චමින්ද. ආර්. ප්‍රනාන්දු නමැත්තා ඇතුලු පස් දෙනෙකුට ලබා දුන් මරන දඬුවම, අභියාචනා අධිකරනය විසින් නොවැම්බර් 21දා ස්ථිර කරනු ලැබිනි. මෙසේ ලබා ගත හැකි වූ වාර්තා අනුව, මත්ද්‍රව්‍ය චෝදනා නිසා 2025 වසරේ මීගමුව, ගාල්ල හා කොලඹ අධිකරන මගින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලුව, අවම වශයෙන් 11 දෙනෙකුට මරනීය දන්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
2022 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව, “විෂ, අබිං සහ අනතුරුදායක ඖෂධ පිළිබඳ ආඥා පනත 1936 (POISONS, OPIUM, AND DANGEROUS DRUGS ORDINANCE1936)“ට සංශෝධනයක් ගෙන එමින් ග්‍රෑම් දෙකේ සීමාව 5 දක්වා ඉහල දැමී ය. එම සංශෝධනය අනුව, මෝෆීන්, කොකේන්, හෙරොයින් හෝ මෙතම්ෆෙටමින් (අයිස්) ග්‍රෑම් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජාවාරම් කිරීම, ළඟ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා ඕනෑම අයෙකුට මරන දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වේ.
එවන් අවස්ථාවල දී ඉහත පනතේ 54 වගන්තිය යටතේ නඩු පැවරෙන අතර එහි විධිවිධාන අනුව සැකකරුවන්ට වසරක පමන කාලයක් පවා රක්ෂිත බනධනාගාර ගතව සිටීමට සිදු වේ. ග්‍රෑම් 5 හෝ ලොරි 5 ද යන්න නො තකා මරන දඬුවම් නියම කිරීම වැනි දැඩි පියවරයන් මගින් මත් උවදුර දුරීභූත කිරීම යනු මිත්‍යාවකි.
නීතියෙන් තහනම් කිරීම, මරන දන්ඩනය, පුනරුත්තාපනය, දැනුවත් කිරීම හා අත්පත් කර ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම යන ආන්ඩුවේ පියවර තිබිය දී මේ වසරේ මුල් මාස 11 සහ ගෙවී ගිය වසර පහ තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය ටොන් 97.6ක පමන ප්‍රමානයක් අත් අඩංගුවට ගැනුනත් අදාල සියලු දත්තවලින් පැවසෙන්නේ, ජාවරම හා භාවිතය වසරෙන් වසර ඉහල යන බව ය.
වත්මන් ආර්ථික දේශපාලනික පසුබිම තුල නඩු පැවරීම හා සිර ගෙට යැවීම යනු සැකකරුවාට පමනක් නො ව ඔහුගේ පවුලේ සියලු දෙනාට වද දීමකි. ඔවුන් අසහනයට පත් කරන්නකි. මුදල් හදල් ඇති මහා අපරාධකාරයෝ ඉහල මට්ටමේ නිතිඥයන්ගේ සේවය ලබා ගැනීම හා සහ වෙනත් කූට ක්‍රියාවන් උදෙසා දසලක්ෂ ගනන් මුදල් වැය කොට ගැල වී යති. සෙසු මිනිස්සු අන්ත අසරන වෙති. ඇතැම්හු මුදල් උපයා ගැනීම සඳහා කුමන හෝ අයුතුසහගත විධි වුව භාවිත කිරීමට මෙහෙයවෙති.
තව දුරටත් මතට පොලඹවන බන්ධනාගාර

මෙරට මත් ලෝලීන් ගෙන් 4%ක් මුල් වරට ඊට යොමු වන්නේ බන්ධනාගාර තුල දී බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලයේ (NDCB) 2020 සමීක්ෂන වාර්තාව පෙන්නුම් කරයි. එනම් වෙනත් වරදක් පිලිබඳ සැකකරුවකු ලෙස බන්ධනාගාරයට යොමු කෙරෙන ඇතැම් පුද්ගලයෝ, මත් ලෝලියෝ ලෙස සමාජගත වෙති. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත පුද්ගලයන්ගෙන් 70% පමන වන සැක පිට රිමාන්ඩ්ගත වූවන් අතරින් එවන් ගොදුරු සොයා ගැනීම අපහසු නැත.
බන්ධනාගාරගත පාතාල අපරාධකාරයන් ඒවා තුල සිට ම ක්‍රියාත්මක වන බව ද, ඒ සඳහා නව සාමාජිකයන් බදවා ගන්නා බව ද ප්‍රසිද්ධ රහසකි. ඒවා තුල පවතින්නේ ඒ සඳහා අවශ්‍ය මානසිකත්වය ගොඩ නගන වාතාවරනයකි.
2025 සැප්තැම්බර 12, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ජගත් වීරසිංහ වාර්තාකරුවන්ට පැවසුවේ සිරකරුවන් 12,000 ක් පමණක් රඳවා තබා ගැනීම සඳහා නිර්මානය කර ඇති රටේ බන්ධනාගාර යටිතල පහසුකම් දැන් භයානක ලෙස පිරී ඉතිරී ගොස් ඇති බවයි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ජනගහනය 35,000 ඉක්මවා ගොස් ඇති අතර එය පද්ධතියේ අපේක්ෂිත ධාරිතාව මෙන් තුන් ගුනයකි.
2024 කාර්ය සාධන විගනනයට අනුව, බන්ධනාගාර 27 ක වැසිකිලි 187 ක හිඟයක් පැවති අතර, පවතින වැසිකිලි 287 ක් අලුත්වැඩියා කල නොහැකි තත්ත්වයේ ඒවා ය. දිවයින පුරා බන්ධනාගාර 14 ක වර්ග අඩි 108,689 ක ඉඩකඩ හිඟයක් පවතී.
මේ තත්වයන් සම්බන්ධයෙන් විමසූ විට බන්ධනාගාර නිලධාරියෙකු පැවසුවේ සිරකරුවන් නිදා සිටින මැදිරි තුල රාත්‍රිකාලයේ ශරීරකෘත්‍ය සදහා ඇති භාජන නිසා එම මැදිරි උදෑසන විවෘත කිරීමේ දී හමන දුගඳ ඉවසිය නො හැකි බව ය.
මේවා තුල ජීවිතේ සොඳුරුම අවධිය ගත කරමින්, ස්නානයට, නිදාගැනීමට, ශරීර කෘත්‍යයට, මසට ඇති කරන සතෙකුට තරම්වත්, අවකාශ නැතිව ගත කරන යෞවනය යලි යලිත් මතින් සතුට හා නිදහස සොයා ගැනීමට පෙලඹීම වටහා ගත හැකි ය. මෙම දඬුවම්, තරුනයන් මතට යොමු කල අසහනය විසඳනු වෙනුවට වඩාත් ඇවිලවීමට හේතු වෙයි.
ආන්ඩුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ද සිර ගෙවල්වලට වඩා වෙනසක් නැති බව ප්‍රකට ය. ඒව මෙහෙයවන්නේ පුනරුත්ථාපනය පිළිබඳ පුහුණු වෛද්‍යවරුන් ඇතුලු විශේෂඥයන් නො ව හමුදා නිලධාරීන් බඳු පුද්ගලයන් ය. තමන්ට මේ ව්‍යසනයෙන් ගැලවීමට කොතෙක් අවශ්‍ය වුවත් තරුනයන් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.
සමාජ අසමානතාව අපරාධ වගා භූමියයි
අධික ආතතිය, කාන්සාව හා මානසික අවපීඩනය සමනය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතය තෝරා ගැනීම ගැන බොහෝ කරුනු අනාවරනය වී ඇත. එවන් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි ඉඩක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඇතැම් ධීවරයෝ සහ එවන් වෙහෙසකර රැකියාවල නිරත සමහරෙක් නිදි වැරීම, ශක්තිය පවත්වා ගැනීම සහ වේදනාව සමනය කිරීම උදෙසා මෙම තහනම් ද්‍රව්‍ය සහාය පතති. තවත් අය දුප්පත්කම, විරැකියාව, අනාගත අනාරක්ෂිත බව සහ සමාජ අසමානතාව නිසා ඇති වන වේදනාකාරී සිතුවිලි මැඩ සංතෝශය ලගා කර ගැනීම ප්‍රාර්ථනා කරන්නෝ ය.
වත්මන් ධනපති සමාජයට දරුවන්ගේ ජීවන අවශ්‍යතා සපුරාලිය නො හැකි ය. ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ජනගහනයෙන් 29%ක් හෙවත් වයස අවුරුදු 10 ත් 19 ත් අතර තරුන තරුනියන් මිලියන 3.5 ක් පමන පාසැල් නො යන බව ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂනය (GSHS) 2024 ශ්‍රී ලංකා වාර්තාවේ හෙලි කර තිබේ. තවද, 2020 දී 4,063,685 ක් වූ රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව 2023 දී 3,882,688 දක්වා 180,000කින් නාටකාකාර ලෙස පහත වැටී ඇත. 2022 දී 655,729 ක් වූ ඇතුලත් කර ගැනීම් 2023 දී 411,305 දක්වා 37%කින් පහත වැටේ. මේ වනාහී, සියල්ල නැතත් දරුවන්ට හැකි ඉහලම දේ ලබා දීමට වැඩ කරන සමාජයක පීඩිත ජනයාගේ ආර්ථිකය පිලිබඳ වැදගත් දර්ශකයකි.
ඉහත සංඛ්‍යා දත්තවලින් පෙනී යන පරිදි බිඳ වැටෙමින් පවතින නිදහස් අධ්‍යාපනය හා ගොඩ නැගෙන පෞද්ගලික අධ්‍යාපනය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මත හෙලන පීඩනය සුලුපටු නො වේ. අධ්‍යාපනය ක්‍රමයෙන් වත් පොහොසත්කම් ඇති අයට පමනක් ඉහල නැගිය හැකි මාර්ගයක් බවට පත් වෙමින් පවතී. මෙම අස්ථාවර හා අවිනිශ්චිත තත්වයට මුහුන දෙන ලමුන් අතරින් පිරිසක් මත් ද්‍රව්‍යවලට ඇද ගැනීම අසීරු නැත. ඉන් ඇතැමෙක් කුඩු වෙලෙන්දන්ගේ සහකරුවන් වී සිටිති. ඇතැම් ගැහැනු ලමයි මත්ද්‍රව්‍ය සදහා මුදල් උපයා ගැනීමට විවිධ ලිංගික ගනුදෙනුවලට පවා පෙලඹී සිටිති.
අපරාධ රාජධානියකට මග විවර කර, සමස්ත සමාජය ම අනාරක්ෂිතභාවයට හෙලමින් යුද හමුදාව, පොලිසිය පමනක් නො ව බන්ධනගාර නිලධාරීන් ඇතුලු සෑම ක්ෂේත්රයක් ම වසාගෙන පවතින මත් වසංගතය හා පාතාලය අවසන් කිරීම අතිශය හදිසි සමාජ අවශ්‍යතාවකි.
මරනීය දන්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ආන්ඩුවේ මර්දන හස්තය ශක්තිමත් කරනවා මිස මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩ පවත්වන්නේ නැත. නිරන්තරෙන් ඉහල යන මිනිස් අවශ්‍යතා සමාජයේ ධනය හිමි කොටසක් පමනක් අත්විඳින කල, දරුවන් අධ්‍යාපනයෙන් හා සංස්කෘතියෙන් වියෝ කරන කොන්දේසි තුල, ඔවුන් සතුට සොයා ගන්නා අනියම් මාවත් පෝරකය පෙන්වා අසුරා දැමීම කල නො හැකි ය. තමන් පෙලන කොන්දේසිවලට එරෙහිව පැන නගින සමාජ ප්රචන්ඩත්වය ඊට නිසි ක්‍රියා මාර්ගයකින් සන්නද්ධ නො වූ විට සමාජ ව්‍යසනයේ මාවත ගන්නේ ය.
ධනපති ආන්ඩු මේ තත්වයන් මත ක්‍රියාත්මක වෙමින් සිටින්නේ සමාජය මතින් මුදවා ගැනීමට නො වේ. එය එම ආන්ඩුවලට කල නො හැකි බව ඇති තරම් පැහැදිලි ය. පාලක පන්තියේ උපකරනය වන ආන්ඩුව විශේෂයෙන් සමාජ අසමානතාවයේ පීඩනයට එරෙහිව නැගී සිටින කම්කරුවන්, තරුනයන් ඇතුලු සෙසු පීඩිතයනගේ නැගිටීමක් පිලිබඳ බියෙන් පසු වේ. ඒ අනුව එය රාජ්‍ය මර්දන යන්ත්‍රය, ශක්තිමත් කර ගනු ලැබීමට මේ විනාශය අපයෝජනය කර ගනී. මත්ද්‍රව්‍ය උවදුර ඔවුන්ට දෙපැත්තකින් වාසිදායක ය. එක් අතෙකින් එය ධනපති රාජ්‍යයට එරෙහිව නැඟී සිටීමේ විභවයකින් යුත් මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර අරගලවලින් ඉවත් කොට තබන අතර, අනෙක් අතින් මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ නාමයෙන් පීඩිතයන්ගේ දෛනික ජීවිතය මත පොලිස් හමුදා අණසක පැතිරවීමටත්, තම මර්දන යන්ත්‍රය මුවහත් කර ක්‍රියාත්මක කිරීමටත් සාධාරනීකරණයක් සපයා දෙයි.

කම්කරුවන්ට හා පීඩිතයන්ට තෝරා ගැනීමට ඇත්තේ මාවත් දෙකකින් එකකි. එක්කෝ රාජ්‍ය මර්දන ව්‍යාපාරය ප්රශ්නය විසඳනු ඇතැයි බලා හිඳ වැනසී යාමයි. නැතිනම්, සමාජ අසහනයේ උල්පත වන සමාජ අසමානතාවය ආරක්ෂා කරන ධනපති දේපළ ක්‍රමය පෙරළා දමා සමාජ දේපල පුද්ගලික අයිතියෙන් මුදා ගෙන තම පාලනය යටතට ගැනීමේ ක්‍රියා මාර්ගය, එනම්, නිදහසට වෙනත් මගක් නැති පන්තිය වන කම්කරු පන්තියේ ඓතිහාසික ක්‍රියා මාර්ගය මත පිහිටා අරගලය දියත් කිරීම ය.
සෑම ගමක් නගරයක් වැඩපොලක් තුල ම, මත් කුඩු ජාවාරම් විරෝධී සුපරික්ෂාකාරී හා ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම දැන් අවශ්‍ය ය. දැනට පිහිටුවා ගෙන යන පොලිස් ඔත්තුකාර කමිටු වලට පටහැනි ව තම දූ දරුවන් බලා කියා ගන්නට එවන් සංවිධානවලට පුලුවන.
ඒවා, මතට ඇබ්බැහී වූ තරුනයන් පුනරුත්ථාපනයට සෞඛ්‍ය පහසුකම් ඇතුලු අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන ගොඩ නැගීම ඉල්ලා සිටිය යුතු ය. ඒවා තුල තරුනයන්ට සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව හා තිබිය යුතු අතර අධ්‍යාපනය සඳහා ඔවුන් පෙළඹවීමට සමත් උත්තේජකාරී වාතාවරණයක් ඒවායේ පැවතිය යුතුය.
මේ කාර්යයන් නිසි ලෙස සිදු වන්නේ දැයි පරීක්ෂා කිරීම ක්‍රියාකාරී කමිටුවේ වගකීම විය යුතුය. ධනවාදී සූරා කෑමෙන් තොර ඉහලම සංස්කෘතික ජයග්රහනයන් සමානව බුක්ති විදින සමාජයක් ගොඩ නැගීම දක්වා ඉදිරියට යාමේ විභවය මෙම කමිටු සතුය.