ගැරඩිඇල්ල බස් අනතුර-මානව ජීවිත නොතකන ධනවාදයේ නග්නභාවය හෙලිකරයි

ගැරඩිඇල්ල බස් අනතුර-මානව ජීවිත නොතකන ධනවාදයේ නග්නභාවය හෙලිකරයි
ඩබ්ලිව් .ඒ. සුනිල් විසිනි

ගම්පොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුනයෙකු 14දා මරනයට පත්වීමත් සමග රම්බොඩ, ගැරඩිඇල්ල බිහිසුනු බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහල නැගුනේ ය. තවත් බිහිසුනු අනතුරක් ලෙස මාධ්‍ය විසින් ටික කාලයකින් අමතක කර දැමීමට නියමිත මෙම බස් අනතුර, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන නොතක ධනවාදයට එරෙහි චෝදනා පත්‍රයකි.

පසුගිය ඉරිදා (11) අලුයම 5.00ට පමන නුවරඑලිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොලඹ සිට කිලෝමීටර් 147 ක් පමන දුරින් පිහිටි කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථයක් පාරෙන් ඉවත පැන, අඩි 350 ක පමන ගැඹුරු ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම ඛේදවාචකය සිදුවිනි. කතරගම සිට නුවරඑලිය හරහා වයඹ පලාතේ කුරුනෑගල බලා ගමන් කරමින් තිබූ දිනපතා මගී ප්‍රවාහන බස් රථය අනතුරට පත්වන විට මගීන් 70ට වැඩි සංඛ්‍යාවක් එහි සිටි බව වාර්තා විය. බස් රථයේ ගමන් කල සියලු දෙනා, තම දෛනික වැඩකටයුතු සඳහා මෙවන් අනතුරුදායක ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීමට බලකෙරී ඇති, සාමාන්‍ය කම්කරුවන්, ගෘහනියන් සහ ලමුන් ය.

පොඩි පට්ටම්වූ බස් රථය තුල සිරවීමෙන් ද බස් රථයට යටවීමෙන් ද මරන සිදුවී තිබූ අතර 44 හැවිරිදි බස් රථ රියදුරු ද අනතුරෙන් මරනයට පත්විය. තුවාල ලැබූ 40කට අධික මගීන් පිරිස, ඇතම් අය බරපතල තුවාල ද සහිතව ප්‍රතිකාර සඳහා කොත්මලේ, ගම්පොල, නාවලපිටිය සහ මහනුවර රෝහල්වලට ඇතුලත් කෙරුනි.

මරන සංඛ්‍යාව අතින් ගත්කල, පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කරද්දී, ඉදිරියෙන් පැමිනි දුම්රියක ගැටීමෙන් 37 දෙනෙකු මිය ගිය 2005 පොල්ගහවෙල ඛේදවාචකයෙන් පසු සිදු වූ මාරාන්තිකම අනතුර ලෙස මෙම අනතුර සටහන් වෙයි.

ගැරඩිඇල්ල බස් අනතුර-මානව ජීවිත නොතකන ධනවාදයේ නග්නභාවය හෙලිකරයි
අනතුරින් මිය ගිය අයගේ මල සිරුරු [Photo: Facebook – Newsinlanka]

අනතුර සැලවීමත් සමග එම ස්ථානයට රැස්වූ දහස් ගනන් ගම්වාසීන් බස්රථයේ සිරවී සිටි තුවාලකරුවන් බේරාගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර වෛද්‍යවරුන් ඇතුලු රෝහල්වල කාර්යමන්ඩල ජීවිත බේරාගැනීම සඳහා වෙරදරන ආකාරය මාධ්‍ය වාර්තා කලේ ය. දහවල් 11.30-12.00 ක් අතර අවසන් පුද්ගලයා බේරා ගත් බව සඳහන් කල ගම්වාසීහු, මාර්ගයේ අනාරක්ෂිත තත්වය සහ වින්දිතයින් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට පහසුකම් නොමැතිකම පිලිබඳව සඳහන් කලහ.

අනතුරෙන් දිවි ගලවාගත් තරුනයෙකු මාධ්‍යයට කීවේ, බස් රථයේ රියදුරු වංගුව ගනින්දී බ්‍රේක් කල අවස්ථාවේදී පාරෙන් ඉවතට පැන බසය ඇලවී අනතුරුව පෙරලී ගිය බවයි.

මීදුම් සහිත වැසි දිනවලදී පමනක් නොව සාමාන්‍ය දිනවලදී පවා ගමනාගමනය අතිශය අවදානම් සහගත වන, අනතුරු සිදුවූ මධ්‍යම කඳුකරයේ මෙම කොටසේ මාර්ගය බොහෝ විට පටු, අධික වංගු සහිත ද දෙපස අධික බෑවුම් සහිතද වේ. සිරස මාධ්‍යයට කතා කරමින් ගම්වැසියෙකු කීවේ, බස් රථය පෙරලුන ස්ථානයේ ආරක්ෂිත වැටක් තිබූ බවත් දැන් එය නැති බවත්, එසේ තිබුනා නම් මෙම අනතුර වලක්වා ගත හැකිව තිබූ බවත් ය. කෙසේවෙතත්, සමස්තයක් ලෙස ගත්විට එවන් විධිමත් ආරක්ෂිත වැටවල් එම මාර්ගයේ දැකිය හැක්කේ කලාතුරකිනි.

අනතුරට හේතුව තවමත් අනාවරනය වී නොමැත. නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මාධ්‍යයට ප්‍රකාශ කලේ, සිද්ධිය වාහනයේ යාන්ත්‍රික දෝෂයක් නිසා සිදු වූවක් නොවන බවයි. බස් රථය අධික ලෙස මගීන්ගෙන් පිරී තිබූ බවටත්, අධික තෙහෙට්ටුව නිසා රියදුරුට නින්ද යන්නට ඇති බවටත් ඔහු සැක කරයි. කතරගමට සිට කුරුනෑගල දක්වා දුර කිලෝමීටර 250 කට වඩා වැඩිය. මුලු ගමනටම පැය 10 ක් ගතවන්නේ මිනිත්තු 20 සිට 30 දක්වා විවේක තුනක් සමඟිනි. කෙසේ වෙතත්, පොලිසිය මාධ්‍යයට පැවසුවේ පරීක්ෂනයක් සිදුවෙමින් පවතින බවයි.

කතානායක හා ප්‍රවාහන නියෝජ්‍ය ඇමති මාධ්‍ය පිරිවරා අනතුර සිදූවූ ස්ථානයට ගොස් මෙවන් අනතුරු වලක්වා ගැනීම සඳහා වැඩපිලිවෙලක් හදන බව කියමින් මහජන කෝපය තුනී කිරීමේ වෑයමක නිරත වූයේය. ජනාධිපති අනුර කුමාර දිසානායක වින්දිතයින්ට සිය “ශෝකය” පල කල අතර මියගිය පුද්ගලයෙකුගේ පවුල් ඒකකයක් සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් ලබාදෙන බව නිවේදනය කලේ ය. ධනේශ්වර පාලකයින්ට මිනිස් ජීවිතයක වටිනාකම එයයි.

රට තුල දිනපතා සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහල යාම පිලිබඳව ආන්ඩුව ‘දැඩි කනස්සල්ලට පත්ව සිටින’ බවත්, ‘එවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා වැඩපිලිවෙලක් සකස් කිරීම සඳහා දැනට උනන්දුවෙන් කටයුතු කරන’ බවත් ජනාධිපති දිසානායක ප්‍රකාශ කර තිබේ. මෙම හිස් වැලපිලි හා පොරොන්දුවල කිසිදු අලුත්බවක් ඇත්නේ නැත. ඒවා, මෙවන් අනතුරකදී පැන නගින මහජන වෛරය තුනී කිරීම සඳහා පාලකයන් සෑම විටම සිදුකරන එකම තැටිය නැවත නැවත වාදනය කිරීමක් මිස, නැතිවූ ජීවිත පිලිබඳ කිසිදු කැක්කුමකින් පැනනැගුනක් නොවේ.

මෙරට පොදු මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස්රථ බහුතරයක් ධාවනයට නුසුදුසු බව ජාතික ගමනාගමන කොමිෂම (ජාගකො) උපුටා දක්විමින් 14දා සිරස නිව්ස්ෆස්ට් වාර්තා කලේ ය. ලොරි රථ නිෂ්පාදනය කරන ලොරි චැසි, බස්රථ ලෙස සකස් කර ධාවනය කෙරෙන බවත්, ඒවාට අනතුරකදී සිදුවිය හැකි දේ පිලිබඳ පරීක්ෂන කර ඇත්ද යන්න ප්‍රශ්න සහගත බව සිරස වාර්තා කලේ ය.

මෝටර් රථ පනතට අනුව එලෙස ලොරි චැසි බස් රථ ලෙස සකසා ධාවනය තහනම් වුවත්, ජාගකො, පවසා ඇත්තේ කලක සිට එලෙස භාවිතා කර ඇති තත්වයක් තුල ඒවා එකවරම භාවිතයෙන් ඉවත් කල නොහැකි බවයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන සහ සැපයුම දාම අධ්‍යන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ කීවේ, “ආරක්ෂාව අතින් බලලා ප්‍රමිතිකරනයේ ලොකු අඩුවක් මෙරට (ප්‍රවාහන ක්ෂේත්‍රය) තුල ඇති” බවයි. අවුරුදු 50කට 60කට පෙර මෙරට බස්වල යුරෝපයේ පැවති ප්‍රමිතියම තිබූ නමුත්, ලාභ නිසා ඉන්දියාවෙන් බස් ගෙන්වීමට පටන් ගත් බවත් පසුගිය වසර 5 තුල එවන් ප්‍රමිතිය සහිත එකදු බසයක්වත් ගෙන්වීමට ආන්ඩුවට නොහැකිවූ බවත් ය.

ගැරඩිඇල්ල අනතුර සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතාරමින් මහාචාර්ය කුමරගේ, පැය 10ක් තරම් දීර්ඝ ගමනකට එවැනි බස් රථයක් යොදවා ඇත්තේ ඇයිද යන ප්‍රශ්න නැගුවේ ය. “අඩි 6000කට උඩට නැගලා, ආයෙ අඩි 6000කට පහලට බැහැලා, මහ රෑ, මීදුමේ, වෙන මාර්ග නැද්ද? ඇයි මෙවැනි බස් එකක් මහ රෑ මේ මාර්ගයේ යවන්නේ?” ඔහු විමසුවේ ය. මෙවන් ගමන් වාර නියාමනය කිරීම ඇතුලු කටයුතු පැවරී ඇත්තේ රජයේ ආයතනයක් වන ජාගකො වෙත බව බව සිහිපත් කරමින් මෙම වැරැද්ද පිටුපස යටිතල පහසුකම්වල අඩුව මෙන්ම රජයේ වගකීම ඇති බව සඳහන් කලේ ය.

අවශ්‍ය තරම් ආරක්ෂිත වැටවල්වලින් තොර මෙන්ම පටු, අනාරක්ෂිත මාර්ග පද්ධතියට මෙම ප්‍රමිතියෙන් තොර බස්රථ ද එකතු කල විට කාරනය ඉතා පැහැදිලි ය. සාමාන්‍ය වැඩකරන ජනයා ඇතුලු සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු මාරක අත්දැක්කීමක් බවට ධනේශ්වර පාලක පන්තිය විසින් පත් කර ඇත.

“2030 දක්වා ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව ලබා දීමේ නායකත්ව ප්‍රමුඛතා සහ මුලපිරීම්” යන මැයෙන් මෑතකදී නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් සිදුවන ඒක පුද්ගල වාර්ෂික මරන සංඛ්‍යාව ඉහල ආදායම් ලබන රටවල දක්නට ලැබෙන සාමාන්‍යයට වඩා දෙගුනයක් වන අතර ගෝලීය වශයෙන් ප්‍රමුඛ රටවලට වඩා පස් ගුනයකින් වැඩි බවයි. දත්ත පෙන්වා දෙන්නේ, සෑම වසරකම ආසන්න වශයෙන් අනතුරු 38,000 ක් සිදුවන අතර එමඟින් මරන 3,000 ක් පමන ද, බරපතල තුවාල 8,000 ක් පමන ද සිදුවන බවයි. දකුනු ආසියානු අසල්වැසි රටවල් අතර, ශ්‍රී ලංකාව ඉහලම මාර්ග මරන අනුපාතයක් දරයි.

පොලිස් දත්ත වලට අනුව, 2024 දී මාරක බස් අනතුරු 198 ක් වාර්තා වී ඇත; එයට, රජයට අයත් ඒවා මෙන්ම පෞද්ගලික බස් රථ ද ඇතුලත් වේ. පසුගිය වසර පහ තුල, 2020 සිට 2024 දක්වා, මාර්ග අනතුරු හේතුවෙන් මුලු මරන 12,140 ක් සිදුවී ඇති අතර, වාර්ෂික මරන සංඛ්‍යාව 2,300 ත් 2,500 ත් අතර උච්ඡාවචනය වේ, 2021 මාර්තු මාසයේදී පස්සර දී, පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකින් පෙරලී යාමෙන් 14 දෙනෙකු මිය ගොස් මගීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම වසරේ ජනවාරි සිට මැයි 14 දක්වා කාලය තුල සිදුවූ රිය අනතුරු 1842න් මිනිස් ජීවිත 965ක් අහිමිවී ඇති බව පොලිසිය උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කලේ ය.

මෑත කාලීන වඩාත්ම ඛේදජනක සිදුවීමක් වූයේ 2023 ජනවාරි මාසයේදී නුවරඑලියේ රදැල්ල ප්‍රදේශයේ පාසල් විනෝද චාරිකාවක් අතරතුර සිදු වූ ව්‍යසනය යි. කොලඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක ගැටී අඩි 50 ක ප්‍රපාතයකට පෙරලී යාමෙන් හත් දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබීය.

මගී බස් සේවාවන්හි පිරිහෙන තත්වය, අනුප්‍රාප්තික ආන්ඩු විසින් රාජ්‍ය අයිතිය යටතේ පැවති ප්‍රවාහන පද්ධතිය ක්‍රමානුකූලව විසුරුවා හැර ඇති ආකාරය ඉස්මතු කරන අතර පෞද්ගලික හිමිකාරිත්වයේ ආධිපත්‍යයට මඟ පාදමින්, මගී ගමනාගමනය භයානක පීඩාවක් බවට පත් කර ඇත. 1977 දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව බලයට පත් වූ විට, මධ්‍යගත රාජ්‍ය ප්‍රවාහන පද්ධතිය බිඳ දමා එම අංශය පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීමෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවේ එවකට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධන 2024 මැයි මාසයේදී පැවසුවේ, ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථවලින් අවම වශයෙන් සියයට 52 ක් අබලන් වී ඇති අතර ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට අරමුදල් නොමැති බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථ 7,137 න් මේ වන විට ක්‍රියාත්මක වන්නේ බස් රථ 5,182 ක් පමනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථ 1,955 ක් දැනට සේවයෙන් ඉවත් කර ඇති අතර ඉන් බස් රථ 1,240 ක් අවුරුදු 12 කට වඩා පැරනි ඒවා වේ; 1,105 ක් අවුරුදු 15 කටත් වඩා පැරනි ය.

ලංගම පමනක් නොව,තම ප්‍රවාහන කටයුතු සඳහා දස ලක්ෂ සංඛ්‍යවක් මහජනයා පරිහරනය කරන පෞද්ගලික මගී සේවයේ තත්වය ද කිසිසේත්ම හිතකර නොවේ. බස් රථ 18,000 ක් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසකට අයත් වන අතර ඒවායින් බොහොමයක් නිසි ලෙස නඩත්තු නොකෙරේ. ස්ථාවර කාලසටහන් නොමැති විට, එකම මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ මගීන් සඳහා දැඩි ලෙස තරඟ කරයි. බොහෝ විට මගීන්ගෙන් පිරී ඇති දිගු දුර පෞද්ගලික බස් රථ ඒවායේ වේගවත් හා අවදානම් සහගත උපාමාරු සඳහා ප්‍රසිද්ධය; මන්ද, රියදුරන් තරඟකරුවන් අභිබවා යාමට සහ හැකි ඉක්මනින් ගමන් සම්පූර්න කිරීමට උත්සාහ කරන බැවිනි. ශ්‍රී ලංකාවේ පටු, තදබද සහ දුර්වල ලෙස නඩත්තු කරන මාර්ගවල, මෙම නොසැලකිලිමත් රිය පැදවීම බොහෝ විට අනතුරු වලට හේතු වේ.

මෙම ඛේදජනක සිදුවීම පිටුපස ඇති සැබෑ හේතු සැඟවීමට ආන්ඩුව සහ මාධ්‍යය සැමවිටම උත්සාහ කරන්නේ බස් කාර්ය මන්ඩලයට දොස් පවරමිනි: ප්‍රවාහන පද්ධතියේ පෞද්ගලීකරනය සහ පිරිහීම, පෞද්ගලික බස්රථ රියැදුරන් අතර ඇති දැඩි එදිරිවාදිකම් සහ බස් සේවකයින්ට විඳදරා ගැනීමට සිදුව ඇති දරුනු සමාජ තත්වයන් මීට හේතු වේ.

මෑත කාලීන පර්යේෂනයකින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ බස් රියදුරන්ගේ වෙහෙසකර සේවා කොන්දේසි, අනතුරු සඳහා දායක වන සාධකයක් බවයි. දීර්ඝ වැඩ කරන වේලාවන්, අඩු වැටුප් සහ අනෙකුත් ආතතිසහගත සාධක අනතුරු ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතුවන බව ඒ සම්බන්ධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත. ඔවුන්ට දිනකට පැය 13 සිට 15 දක්වා වැඩ කිරීමට සිදුවේ. අයිතිකරුවන්ගේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වුවහොත්, ඔවුන් සේවයෙන් පහ කිරීමේ අවදානමට මුහුන දෙයි. මෙම තත්වය බොහෝ විට මගීන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට හේතු වේ.

මෑත කාලීන ව්‍යසනයට දිසානායක ආන්ඩුවේ ප්‍රතිචාරයෙන් ඉස්මතු වන්නේ, වත්මන් ආර්ථික ක්‍රමය යටතේ පොදු ජනතාවගේ ප්‍රවාහන සේවයේ තත්ත්වය යහපත් නොවනු ඇති බවයි. ආන්ඩුව විසින් දැනටමත් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරවල කොටසක් ලෙස රාජ්‍ය ආයතන 400කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය කිරීමට නියම කර ඇති අතර මෙයින් විදුලිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට මාරක බලපෑමක් එල්ල කර ඇත. පොදු ප්‍රවාහනය ගැන කියනු කවරේද?

ධනේශ්වර ක්‍රමය කම්කරුවන් ඇතුලු සාමාන්‍ය ජනයාගේ ජීවිත ගැන අබමල් රේනුවක තැකීමක් නැත. මාර්ග පද්ධති ඇතුලු මහජනයාට බලපාන යටිතල පහසුකම් ගැන ධනේශ්වර පාලකයන් කිසියම් අවදානයක් යොමු කලේ නම් ඒ, ශ්‍රම සූරාකෑම වැඩිදියුනු කිරීම සඳහා ධනපති ආයෝජකයන්ට බලපාන ප්‍රමානයට අනුව පමනි. ගැරඩිඇල්ල ඛේදවාචකය සම්බන්ධයෙන්, දැන් ධනපති ක්‍රමයේ භක්තිමත් නියෝජිතයා වන දිසානායක ආන්ඩුවේ ව්‍යාජ උත්සුකය මෙම ප්‍රශ්නය විසඳීමට මොනම හැකියාවක් හෝ වුවමනාවක් ආන්ඩුවට නැති බව පෙන්නුම් කරයි.

මෙය, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා හදිසි අවශ්‍යතාවය අවධාරනය කරයි: එනම්, පුද්ගලික ලාභය සඳහා නොව, මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන හොඳින් අරමුදල් සපයන පොදු ප්‍රවාහන පද්ධතියකි.

සමාජවාදී සමනතා පක්ෂෂයේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *