ඊශ්‍රායලය කටාර්හිදී හමාස් සාකච්ඡාකරුවන්ට එල්ල කල ප්‍රහාරය “සටන් විරාම” සාකච්ඡාවල ප්‍රෝඩාව හෙලි කරයි

ආන්ද්‍රෙ ඩේමන් විසිනි.
[මෙය, Israeli attack on Hamas negotiators in Qatar exposes fraud of “ceasefire” talks මැයෙන් සැප්තැම්බර් 9දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
හමාස් සාකච්ඡාකරුවන් සමඟ නාමිකව “සටන් විරාම” සාකච්ඡා පවත්වන අය මරා දැමීමේ වෑයමකින්, ඊශ්‍රායලය අඟහරුවාදා කටාර් අගනුවර වන දෝහා වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කලේය. හමාස් සාකච්ඡාකරුවන් දිවි ගලවා ගත් නමුත්, හමාස් ප්‍රධාන සාකච්ඡාකරු වන කලීල් අල්-හයියාගේ පුතා ඇතුලු අවට සිටි සිවිල් වැසියන් හය දෙනෙක් ප්‍රහාරයෙන් මරනයට පත් වූහ.
ඊශ්‍රායල දේශපාලන සංස්ථාපිතයේ සියලු ම කොටස් ප්‍රහාරය අනුමත කලහ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඒ ගැන පුරසාරම් දොඩමින් මෙසේ පැවසී ය: “යුද්ධයේ ආරම්භයේ දී ම, ඊශ්‍රායලය, එම භීෂනය සිදු කරන්නන් වෙත එන බව මම පොරොන්දු වුනා. අද සිද්ධ වුනේ ඒක.”
කටාර් රාජ්‍යයට එල්ල කරන ලද ප්‍රහාරය, මෑත මාස කිහිපය තුල ඊශ්‍රායලය විසින් සිදු කල දෙවැනි ප්‍රධාන ජාත්‍යන්තර ද්‍රෝහී ක්‍රියාව යි. ඉරානයේ මිලිටරි සහ සිවිල් නායකත්වයේ විශාල කොටසක් ඝාතනය කිරීමට කඩතුරාවක් ලෙස, ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා යොදා ගත්තේ ය.
හමාස් සාකච්ඡාකරුවන් ඝාතනය කිරීමට ගත් උත්සාහය, නැවත වරක්, ඔවුන් “යුද්ධයක්” ලෙස හඳුන්වන ජන සංහාරයට සාකච්ඡාමය විසඳුමක් සොයන බවට එක්සත් ජනපද සහ ඊශ්‍රායලය සිදුකරන ප්‍රකාශවල සම්පූර්න වංචාව හෙලිදරව් කරයි. යථාර්ථයේ දී ගත් කල, සාකච්ඡා යනු ප්‍රබන්ධයකි; එක්සත් ජනපද මාධ්‍ය විසින් එය මතුරන්නේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද “යුද්ධය”, මුලු ගාසා තීරය ම යටත් කර ගැනීමට සහ පලස්තීන ජනගහනය මරා දැමීමට හෝ නෙරපා හැරීම සඳහා හුදු කඩතුරාවක් පමනකිය යන කාරනය වසන් කිරීමට ය.
ඉරිදා ට්‍රම්ප් පැවසුවේ, යටත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද-ඊශ්‍රායල කොන්දේසි පිලිගැනීමට හමාස් සංවිධානයට “අවසාන අනතුරු ඇඟවීමක්” ලබා දෙන බව යි. “පිලි නොගැනීමේ ප්‍රතිවිපාක ගැන මම හමාස් සංවිධානයට අනතුරු ඇඟෙව්වා. මෙය මගේ අවසාන අනතුරු ඇඟවීමයි, තවත් එකක් කෙරෙනු නැත!” ට්‍රම්ප් පැවසීය. හමාස් සාකච්ඡාකරුවන් රැස්වීමක් පවත්වමින් සිටියේ, ට්‍රම්ප් විසින් නියම කරන ලද කොන්දේසි ගැන සාකච්ඡා කිරීම සඳහා ය.
කටාර් අගනුවර වන දෝහා ඉලක්ක කර ගත් ප්‍රහාරයන් සිදු වූයේ පාසල් සහ තානාපති කාර්යාල අසල ම ය. කටාර්, එක්සත් ජනපදයේ ප්‍රධාන කලාපීය සගයෙකු වන අතර ඇමරිකානු සොල්දාදුවන් දහස් ගනනක් එරට අල් උඩයිඩ් ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇත.
ජන සංහාරය පැවැති කාලය පුරා ම, “සටන් විරාම” සාකච්ඡා සඳහා මධ්‍යස්ථානයක් වසයෙන් දෝහා සේවය කලේ ය.
ඊශ්‍රායල ගුවන් විදුලි නාලිකාවක් වන චැනල් 12 සමඟ කතා කල ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කලේ, “කටාර්හි ඊශ්‍රායල ප්‍රහාරය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොල එලිය දල්වා තිබූ” බවයි.
ප්‍රහාරය පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලැබුනු බව ට්‍රම්ප් තහවුරු කලේ ය. ඔහු කීවේ, අගනුවර තුල “ඊශ්‍රායලය හමාස්වරුන්ට ප්‍රහාර එල්ල කරමින් සිටි” බව කටාර්හි ආන්ඩුව විසින් එක්සත් ජනපදයට දැනුම් දී ඇති බව යි. “මෙය අගමැති නෙතන්යාහු විසින් ගත් තීරනයකි. මා විසින් ගත් තීරනයක් නොවේ” යැයි ට්‍රම්ප් ඊට එකතු කලේ ය.
ප්‍රහාරය, “ඊශ්‍රායලය හෝ ඇමරිකාවේ ඉලක්ක ඉස්මත්තට ගෙන යන්නේ නැති” බව කියන අතරේ, ට්‍රම්ප් එය මුලුමනින්ම හෙලා දැකීමක් කරා ගෙන නොගියේ, “ගාසා තීරයේ ජීවත් වන අයගේ දුක්ඛිත තත්ත්වයෙන් ලාභ ලැබූ හමාස් සංවිධානය තුරන් කිරීම ප්‍රයෝජනවත් අරමුනක්” යැයි කියමිනි.
සතියකට පෙර, ඊශ්‍රායල හමුදා මාන්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් පැවසුවේ, ඊශ්‍රායලය මැද පෙරදිග පුරා ම හමාස් සාමාජිකයින් ඝාතනය කිරීමට බලාපොරොත්තු වන බවයි. “අපි මුලු මැද පෙරදිග පුරාම ක්‍රියාත්මක වෙනවා,” ඔහු සංචිත සොල්දාදුවන්ට පැවසීය. “හමාස් සංවිධානයට අපෙන් සැඟවීමට තැනක් නැහැ. අපි ඔවුන්ව කොතැනක සොයා ගත්තත්, ඔවුන් ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ පුද්ගලයින් වේවා – අපි ඔවුන් සියල්ලන්ට ම, සෑම විට ම පහර දෙනවා.”
මැයි මාසයේ දී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස්, හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කලීල් අල්-හයියාට තර්ජනය කලේ ය.
“ එය ආරම්භ කලේ ඊශ්‍රායල යි, එය මෙහෙයවූයේ ඊශ්‍රායලය යි, ඒ අනුව, එහි සම්පූර්න වගකීම ඊශ්‍රායලය භාරගන්නවා” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කටාර් ප්‍රහාරයෙන් එක්සත් ජනපදයට සම්බන්ධයන් නැති බවට ඇඟවුම් කිරීමට තැතනුවේ ය.
.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, මෙම ප්‍රහාරය හෙලා දුටුවේ, “කටාර්හි ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙසිනි.
“අද සිදුවු දේ වනාහී රාජ්‍ය ත්‍රස්තවාදය යි. ඒ වගේ ම, එය කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය අස්ථාවර කිරීමේ උත්සාහයක් වන අතර, නෙතන්යාහු, කලාපය ඇදගෙන යමින් ඇත්තේ, ආපසු හැරවිය නොහැකි මට්ටමකට ය” යැයි, කටාර් අගමැති මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි රූපවාහිනී දේශනයක දී පැවසී ය. “මෙම මිසයිල භාවිතා කලේ, අනෙක් පාර්ශවයේ සාකච්ඡා නියෝජිත කන්ඩායමට පහර දීමට යි. මෙය පිලිගත හැකිවන්නේ, කුමන සදාචාරාත්මක ප්‍රමිතීන් අනුව ද?” ඔහු තවදුරටත් විමසී ය.
ඊශ්‍රායලය, තුර්කිය ඇතුලු අනෙකුත් රටවලට ද ප්‍රහාර එල්ල කල හැකි බවට පලවන මාධ්‍ය සමපේක්ෂන මධ්‍යයේ, කටාර් ප්‍රහාරය, “රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ත්‍රස්තවාදය වැලඳ ගැනීම” සනිටුහන් කල බව, නිවේදනයක් නිකුත් කරමින් තුර්කිය කියා සිටියේ ය.
කටාර් ප්‍රහාරයට පැය කිහිපයකට පෙර, ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා නගරය සම්පූර්නයෙන්ම අත්පත් කර ගැනීමේ මෙහෙයුම වේගවත් කරන බැවින්, ගාසා නගරයෙන් පරිපූර්නයෙන් ජනයා ඉවත් කරන ලෙස නියෝග කලේ ය. ආසන්න වශයෙන් දස ලක්ෂයක ජනතාවක් ගාසා නගරයේ රැඳී සිටී. ඊශ්‍රායලය ඔවුන් දකුනට පලවා හැරීමට බලාපොරොත්තු වන අතර, එහිදී ඔවුන් පලස්තීනයෙන් බලහත්කාරයෙන් නෙරපා හැරීම සූදානම් කිරීම සඳහා, රෆා අසල රැඳවුම් කඳවුරුවල සිර කර තබනු ඇත.
“මම ගාසා තීරයේ පදිංචිකරුවන්ට කියනවා, මේ අවස්ථාව අරගෙන මට හොඳින් සවන් දෙන්න: ඔබට අනතුරු අඟවා තිබෙනවා – එතනින් ඉවත් වනු!” නෙතන්යාහු අඟහරුවාදා ගිගිරුවේ ය.
පසුගිය මාසයේ දී, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් සාගතය නිරීක්ෂනය කරන්නා වන, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරනය (අයිපීසී), ගාසා තීරයේ සාගතයක් නිල වශයෙන් ප්‍රකාශ කලේ ය. අද වන විට, සිය ගනනක් ජනයා දැනටමත් සාගින්නෙන් හා මන්දපෝෂනයෙන් මිය ගොස් ඇති අතර, එම සංඛ්‍යාව තවත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, ඊශ්‍රායලයේ ගාසා අවහිරය බිඳ දමා ආහාර බෙදා හැරීමට උත්සාහ කරන ග්ලෝබල් සුමුද් කුඩා නැව් කන්ඩායමෙහි නියෝජිතයින් පැවසුවේ, පසුගිය පැය 24 තුල තම නැව් දෙකට වෙන ම ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වූ බවත්, එහෙත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවත් ය. දේශගුනික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් ද නැව්කන්ඩායමට එක්ව සිටී.
ගාසා සංහාරයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනට එක්වන්න!
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.