ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ කේන්ද්‍රයෙහි පවතින මිලිටරිවාදී න්‍යාය පත්‍රය

නික් බීම්ස් විසිනි
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
මෙම ලිපිය 2025 අගෝස්තු 1 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ පළ වූ The militarist agenda at the centre of Trump’s tariff war against the world නම් ලිපියේ පරිවර්තනයකි.
එක්සත් ජනපදයේ සෑම වෙළඳ ගනුදෙනුකරුවෙකු ම පාහේ ඇතුලත් වන පරිදි පුළුල් ආකාරයකින් තීරු බදු පනවමින් එජ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කෙරුණු විධායක ආඥාව, ඇමරිකානු හා ගෝලීය ධනවාදය ජරාජීර්ණවීමේ හා බිඳ වැටීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
එය විසින් දැන් යලිත් නිර්මානය කරනු ලැබ ඇත්තේ, ව්‍යසනකාරී ආර්ථික හා දේශපාලනික ප්‍රතිවිපාක දනවමින් හා මානව ඉතිහාසයේ විශාලතම රුධිර ස්නානය ලෙස හැඳින්විය හැකි දෙවැනි ලෝක යුද්ධය සඳහා කොන්දේසි නිර්මාණය කිරීමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් එක්සත් ජනපදය 1930 ගණන්වල මහා අවපාතය සමයේ දී ඉදි කළ තීරුබදු පවුරට සමාන බදු පවුරකි.
ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ ආර්ථික යුද්ධයේ ප්‍රතිවිපාක එදා ප්‍රතිවිපාකවලට වඩා නොඅඩු වැදගත්කමකින් යුතු වනු ඇත. එය යුද්ධය පැතිර යාම කරා නිර්දය ලෙස මඟ පාදන තීව්ර ආර්ථික ගැටුමක් වෙත ශීඝ්‍ර පල්ලම් බැසීමකට මාවත සකසනු ඇත.
ඇත්තෙන් ම පවත්නා තතු 1930 ගණන්වල පැවැති තත්ත්වයන්ට ද වඩා බැරෑරුම්වීමේ විභවයකින් යුතුය. එකල ජාත්‍යන්තර වෙළඳාම බොහෝදුරට සමන්විත වූයේ අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ අපනයනයෙන් හා ආනයනයෙනි. නිෂ්පාදනය බොහෝදුරට ම ජාතික දේශසීමා තුළ සිදු කෙරිණි.
අද දවසේ, කිසියම් නිශ්චිත රටක් තුළ නිෂ්පාදනය වීයැයි කිව හැකි වෙළඳ භාණ්ඩ කිසිවක් නො පවතී. සරලතම භාණ්ඩයේ සිට සංකීර්ණතම එක දක්වා සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කෙරෙන්නේ ලෝක ගෝලීය පරිමාණයක ය. ලෝකය සමෝධානික ආර්ථික ජීවියෙකු බවට පත්ව ඇති අතර, එපරිද්දෙන් ම කම්කරු පන්තිය ද වෛෂයික වශයෙන් සමෝධානය වූ හා ඒකාබද්ධ දේහයක් බවට පත් වී ඇත.
එහෙත් නිෂ්පාදනය ගෝලීයකරණය වීමේ හා රටවල් සහ මහාද්වීප එකිනෙක හරහා සංකීර්ණ සැපයුම් දාම වර්ධනය වීමේ මෙම වර්ධනය, එකිනෙකාට සතුරු ජාතික රාජ්‍ය සහ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගෝලීය ආර්ථිකය හා ලෝකය බෙදී තිබීමේ ලෝක ධනේශ්වර පර්යායයේ කේන්ද්‍රීය ප්රතිවිරෝධය එහි තීව්‍රතාවයේ නව මස්තකයකට නංවා ඇත.
ට්‍රම්ප්ගේ පියවර විසින් සංඥා කෙරෙන්නේ, 1930 ගනන්වල ව්‍යසනයෙන් පසුව හා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, ඉහත කී ප්රතිවිරෝධයන් දරාසිටිය හැකි මට්ටමක රඳවා තැබීමේ ප්රයත්නයක් ලෙස හඳුන්වා දෙන ලද පශ්චාත් යුද කාලීන වෙළඳ පර්යාය, මුළුමනින් ම සිඳ බිඳ වනසා දැමීමයි. එක් පරිපාලන නිලධාරියෙකු එය හැඳින්වූ පරිදි, “මෙය වෙළඳාමේ නව ක්රමයකි.”
නිසැකව ම එය එසේ ය. ට්‍රම්ප්ගේ පියවරවල සම්පූර්ණ අර්ථභාරය ග්‍රහණය කළ හැක්කේ සහ වටහා ගත හැක්කේ, එම පියවරවල ඓතිහාසික සන්දර්භය තුල ඒවා පිහිටවූ කල්හි ය.
පශ්චාත් යුදකාලීන වෙළඳ පර්යාය පදනම් වූයේ තීරුබදු පැනවීම් පහත දැමීම හා සීමාවන් ඉවත් කිරීම මත ය. මෙකී යාන්ත්‍රණයන් හුදෙක් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම පමනක් ඉලක්ක කළ ඒවා වූයේ නැත. ඒවාට ප්රගාඪ භූ දේශපාලනික අන්තර්ගතයක් ද පැවතින. 1930 ගනන්වල සෑම රටක් ම තීරුබදු හා වෙළඳ සීමාවන් හරහා තම ජාතික උත්සුකයන් ආරක්ෂා කිරීමට හා පෙරට ගෙන යාමට ප්රයත්න දැරූ ලෝක ආර්ථික පර්යායක් තුල උකහා ගන්නා ලද අත්දැකීම් මත ඒවා පදනම් කෙරී තිබින. එදා එකී තීරුබදු හා සීමා නිර්දය ලෙස පාර කපා තිබුනේ යුදමය ගැටුම් කරා ය.
පශ්චාත් යුදකාලීන පර්යාය ඉදි කෙරී තිබුනේ එක්සත් ජනපද ධනවාදයේ ආර්ථික ආධිපත්‍යයේ පදනම මත ය. එම ධනේශ්වරය, තමන් අත්‍යවශ්‍යයෙන් රැඳී සිටි ලෝක වෙළඳපොල යලි ගොඩ නැංවීමට තම දැවැන්ත කාර්මික ධාරිතාව යොදා ගත්තේය. එහෙත්, පැක්ස් ඇමරිකානාව හෙවත් ඇමරිකානු ආධිපත්‍යයේ සංකල්පය තුළ, විසඳිය නොහැකි ප්රතිවිරෝධයක් ගැබ්ව තිබිණ. ලෝක ආර්ථිකයේ පුනරුත්ථානය ම ද, ඉන්පසුව පැමිණි එහි ප්රසාරනය ද එක්සත් ජනපදයේ ආධිපත්‍යය අනවරත ලෙස ඛාදනය කලේය. දශක ගනනාවක් පුරා පැතිර ගිය මෙකී ප්‍රමාණාත්මක දිරාපත්වීම දැන් ගුණානාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් කරා මඟ පාදා ඇත. එහි දී එක්සත් ජනපදය හුදෙක් යුරෝපය හා ජපානය වැනි පැරනි සතුරන්ට පමනක් නොව චීනය වැනි නව සතුරන්ට ද මුහුන දී සිටී.
ට්‍රම්ප් විසින් ආරම්භකත්වය දෙන ලද ආර්ථික යුදකරණය වූ කලී, හුදෙක් ඔහුගේ හෝ ඔහුගේ ෆැසිස්ට්වාදී උපදේශකයන්ගේ හෝ විකල මෂ්තිෂ්කයන්හි නිර්මාණයක් නො වේ.
ඔහුගේ ක්‍රියා, ඔහු කරලියට පිවිසීමට බොහෝ කාලයකට ඉහත සිට වර්ධනය වෙමින් පැවැති, එක්සත් ජනපදය මුහුන දී සිටින පැවැත්ම පිලිබඳ අර්බුදයේ ප්රකාශනයකි.
එක්සත් ජනපදය ලෝකයේ කාර්මික බලාගාරයේ තත්ත්වයේ සිට මූල්‍ය පරපුටුභාවයේ කේන්ද්‍රය බවට පරිවර්තනය වීම තුල මෙය නිරූපිත ය. 1987 ඔක්තෝබරයේ කොටස් වෙළඳපොළ බිඳවැටීමේ සිට 2000-2001 තාක්ෂණික බිඳවැටීම, 2008 මූල්‍ය කඩාවැටීම සහ වසංගතය ආරම්භයේදී 2020 මාර්තුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළ අත්හිටුවීම දක්වා විහිදෙන කුණාටු සහ අර්බුද මාලාවකින් එය හෙළිදරව් විය.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට, තීරුබදුවලින් වේවා, අන් කිසියම් පියවරකින් වේවා මෙම අර්බුදය විසඳිය හැකි ආර්ථික වැඩ පිලිවෙලක් නොමැත. ඒ වෙනුවට එය දිවැවෙන්නේ යාන්ත්‍රික උපක්‍රම භාවිතා කිරීම කරා ය.
විධායක ආඥාව මුළුල්ලේ ම දෘශ්‍යමාන වන්නේ ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ මිලිටරිවාදී ස්වභාවයයි.
“දේශීය නිෂ්පාදන පදනම, තීරණාත්මක සැපයුම් දාම සහ මූලික ආරක්ෂක නිෂ්පාදන” සම්බන්ධයෙන් විදේශීය වෙළඳ ගනුදෙනුකරුවන්ගේ අන්යොන්යතාවයක් නොමැතිවීම ගැන එහි සඳහන් ය.
සමස්ත ආඥාව පුරා ම, එක්සත් ජනපදය සමඟ වෙළඳාම් කිරීමට අපේක්ෂිත සියලු රටවල් “ආර්ථික කරුණු හා ජාතික ආරක්ෂාව සමඟ බැඳුනු කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පෙළගැසීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් වේ. වෙනත් වචනවලින් කිවහොත්, ආධිපත්‍යය දරන අධිරාජ්‍යවාදී බලය ලෙස තමන් දරන ස්ථානය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය විසින් දරනු ලබන ප්රයත්නය සමඟ – අන් සියල්ලටමත් වඩා චීනයට එරෙහි යුද්ධය තුල – ඔවුහු පෙළගැසිය යුත්තාහ. නො එසේ නම් ඔවුන්ට ආර්ථික වශයෙන් කුළුගෙඩි පහර එල්ල කෙරේ.
උදාහරණයක් ලෙස, ඉන්දියාව සම්බන්ධ කාරනාවේ දී ට්‍රම්ප්, මෝඩි ආන්ඩුව දෝෂ දර්ශනයට ලක් කර ඇත්තේ, “රුසියානු තෙල් හා ආයුධ මිල දී ගැනීම” සම්බන්ධයෙනි.
බ්‍රසීලයට සියයට පනහක තීරුබදු පැනවීම විසින් ආඥාවට යටින් පවතින න්‍යාය පත්‍රය වඩාත් ම පැහැදිලි ලෙස හෙළිදරව් කෙරී ඇත. එක්සත් ජනපදය සතුව වෙළඳ අතිරික්තයක් පවතින රටවල් අතලොස්ස අතරින් බ්‍රසීලය ද එකකි. එය නො තකා, බ්‍රසීලයට සියයට 50 ක තීරුබදු ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහෙත් බ්‍රසීලය ට්‍රම්ප්ගේ ඉලක්කයක් වී ඇත්තේ ඔහුගේ ෆැසිස්ට් අනුචරයා වන ස(z)හීර් බොල්සොනාරෝගේ කුමන්ත්රන ප්රයත්නය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ග ගැනීම නිසා සහ, ඩොලර් පද්ධතියෙන් පිටත ජාත්‍යන්තර මූල්‍යකරන විකල්ප සොයා ගැනීමට යත්න දරන බ්‍රික්ස් (BRICS) කණ්ඩායමේ වඩාත් ම ප්රමුඛ සාමාජික රටවලින් එකක් බ්‍රසීලය වන නිසා ය.
ට්‍රම්ප් අවස්ථා ගනනාවක දී කියා ඇති පරිදි, දැවැන්ත නය බරක් දිගට ම පවත්වා ගෙන යාමට එක්සත් ජනපදයට ඇති ධාරිතාව සඳහා අත්‍යවශ්‍ය වන ඩොලරයේ ආධිපත්‍යය අහිමිවීම යනු, එය යුද්ධයකින් පරාජය වීමට සම වූවක් වනු ඇත.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය වඩාත් ම විවෘත ලෙස හා වඩාත් ම ප්රචණ්ඩ ලෙස ප්‍රකාශයට පත් වනු ඇත්තේ උත්පාතයේ කාල පරිච්ඡේදයක් තුල දී නො ව අර්බුද ග්රස්ත සමයක දී යැයි මීට ශත වර්ෂයකට ම පාහේ ඉහත දී ලියොන් ට්‍රොට්ස්කි පැහැදිළි කළේය.
ඒ දූරදර්ශී අනතුරු ඇඟවීම සනාථ වී ඇත. සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස නො ව, සෙසු රටවල් විසින් එක්කෝ අවනත විය යුතු, නැතහොත් ට්‍රම්ප් විසින් පනවනු ලබන අඩපන කරන සුළු සම්බාධකවලට මුහුන දිය යුතු නියෝගයේ ප්‍රතිඵල ලෙස නිර්ණය වන ඊනියා ගනුදෙනුවල ස්වභාවය තුල මෙය නිදර්ශනය වී ඇත.