මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මරණයට
වසන්ත රූපසිංහ විසිනි.
[මෙය Sri Lanka: Negombo Prison riots leave at least 27 people dead මැයෙන් 2026 ජූලි 8 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජූලි 6දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් සිරකරුවන් 20 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් –මෙයින් වැඩි වශයෙන් සිරකරුවන් ය– තුවාල ලැබූහ. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අතීත බන්ධනාගාරවල සිදුකෙරුනු සංහාරයන් පිලිබඳ අඳුරු මතයකයන් සිහියට නංවන්නකි.
ජූලි 5දා එම බන්ධනාගාර පරිශ්‍රයේ ම ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පැය ගනනාවකට පසු ව මෙම සංහාරය සිදු වූ අතර, එම නොසන්සුන්තාවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 27 දක්වා ඉහල ගියේ ය. මියගිය අයගෙන් හත් දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් ය (ලිපිය පලවීමෙන් පසු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් හා බන්ධනාගාර නිලධාරියෙක් මරනයට පත් විය. ඒ අනුව 9දා වනවිට වාර්තා වී ඇති සම්පූර්න මරන 29කි).
බරපතල තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු විශේෂඥ ප්‍රතිකාර සඳහා කොලඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර, අනෙක් අය මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි. ගැටුම් සහ මරනවලට හේතු පිලිබඳව පරීක්ෂන ආරම්භ කර ඇති බව ආන්ඩුව පවසන අතර, දැනට ලැබී ඇති සාක්ෂිවලින් පෙනී යන්නේ අවම වශයෙන් සමහර රැඳවියන් මරනයට පත් ව ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි. මීගමුව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් ඒජන්ස් ෆ්රාන්ස්-ප්‍රෙස් වෙත මෙසේ කීවා ය: “වෙඩි තැබීමේ තුවාල ඇති සමහර වින්දිතයින්ට වෙඩි වැදීමෙන් තුවාල සිදු ව තිබෙන අතර, සමහරුන්ට කැපුම් තුවාල සහ දරුනු තැලීම් සිදුව ඇත.”
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායකට අනුව, නිල වාර්තාව මෙ සේ ය: පාතාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ලදැයි කියන බන්ධනාගාර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් හෙලිදරව් වීමෙන් පසු, රිමාන්ඩ් සිරකරුවන් සහ වරදකරුවන් වූ සිරකරුවන් අතර ජූලි 5දා ප්‍රථම වරට ප්රචන්ඩ ගැටුම් හට ගැනිනි. නොසන්සුන්තාව තාවකාලික ව පාලනය කල ද, පසු දා උදෑසන ආහාර ගන්නා අවස්ථාවේ ගැටුම් නැවත ආරම්භ විය. බලධාරීන් පවසන්නේ, රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ප්‍රධාන ගේට්ටුව කඩා දැමීමට උත්සාහ කල බවත්, එමඟින් නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම බලය ලෙස නිලධාරීන් විස්තර කල දේ ක්රියාවේ යෙදවීමට පෙලඹවූ බවත් ය.
සිදුවීම් සම්බන්ධ මෙම කතාන්දරයේ බරපතල හිඩැස් තිබිය දී ත්, සංගත මාධ්‍යවල කාර්ය වී ඇත්තේ එම කතාව ම කිසිදු වගවිභාගයකින් තොර ව වැමෑරීම යි. පලමු දිනයේ (5) පාලනය කල බව කියන තත්වයක්, එම තත්වය “පාලනය” කිරීම සඳහා යැයි කියමින් ගෙන එන ලද කුප්‍රකට විශේෂ කාර්ය සාධක බලකායේ (එස්ටීඑෆ්) සාමාජිකයින් ඇතුලු සැලකිය යුතු ආරක්ෂක හමුදා පරිශ්‍රය තුල සිටිය දී ත්, පසුදා (6) මෙය මාරාන්තික ගැටුමක් බවට පත් වූයේ කෙසේ ද යන්න ගැන පැහැදිලි කෙරෙන්නේ නැත. බන්ධනාගාර සහ ජන කන්ඩායම් තුල හිතාමතා හෝ තකතීරු ලෙස ප්රචන්ඩත්වය අවුලුවාලීමේත් (මාරක මර්දනය, ඒවා ක්රමානුකූල ව වසන් කිරීම සහ එම අපරාධවලට කිසිදු දඬුවමක් නොලබා නිරුපද්‍රිත ව සිටීමේත්) ලේඛනගත ඉතිහාසයක් එස්ටීඑෆ් හා ශ්‍රී ලංකා පොලිසියට තිබේ.
ජූලි 5දා සිදු වූ මුල් ගැටුම් පිලිබඳ පුවත් පැතිර යාමත් සමග, රැඳවියන්ගේ ඥාතීන් සිය ගනනක් තම ආදරනීයන්ගේ තොරතුරු සෙවීමට මීගමුව බන්ධනාගාරයෙන් පිටත රැස් වූහ. ජනතා විමුක්ති පෙරමුන ප්රමුඛ ජාතික ජන බලවේගය (ජේවීපී/ජාජබ) ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, ආරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍යයැයි කියමින්, හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සිය ගනනක් නිලධාරීන් දිගේලි කරමිනි. බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද කලාපයකට සමාන තත්වයකට පරිවර්තනය වූ අතර, පිටත රැස් ව සිටි අය බිය ගැන්වීම සඳහා දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක හමුදා, සන්නද්ධ වාහන, හමුදා ජීප් රථ සහ ඩ්‍රෝන යානා යොදා ගැනුනි.
ප්රචන්ඩත්වය උත්සන්න වෙත් ම, වේදනාවෙන් පෙලුනු පවුලේ සාමාජිකයන් දහස් ගනනක් කෑගසමින්, හඬා වැලපෙමින්, තම ආදරනීයයන්ගේ ඉරනම පිලිබඳ තොරතුරු නැවත නැවතත් ඉල්ලා සිටියේ, බන්ධනාගාර සංකීර්නය හරහා දෝංකාර දෙන වෙඩි උන්ඩවලට ඇතුලත සිටි තම ඥාතීන් නිරාවරනය වී ඇති බව දැන සිටි බැවිනි. ඔවුන්ගේ බලාපොරොත්තු විරහිත ආයාචනා ගනනකට ගැනුනේ නැත. සජීවී රූපවාහිනී විකාශන අතරතුර වෙඩි හඬ දිගට ම ඇසුනි. අධිකරන ඇමැති හර්ෂන නානායක්කාර පසු ව කියා සිටියේ, තත්වය “පාලනය” කිරීම සඳහා හමුදා නිලධාරීන් “අවම බලය” පමනක් භාවිතා කර ඇති බවයි.
සමාජ මාධ්‍යවල පුලුල් ලෙස සංසරනය වෙමින් දැඩි ලෙස කතාබහට ලක්වෙන වීඩියෝවකින් පෙන්නුම් කෙරුනේ, වසා දැමූ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත සිට බන්ධනාගාර නිලධාරියෙකු ගැටුම් සිදුවන ප්‍රදේශය දෙසට පටු විවරයක් හරහා වෙඩි තබන ආකාරයයි. එම දර්ශනය පිලිබඳව ජූලි 7දා ප්‍රශ්න කල විට, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර එම නිලධාරියාගේ ක්‍රියාවන් ආරක්ෂා කරමින් කියා සිටියේ,රැඳවියන් බන්ධනාගාර දොර කඩාගෙන එලියට විත් සිදු විය හැකි ව තිබූ ඉමහත් විනාශයක් වැලැක්වීමට සහ ඇතුලත සිර වී සිටින නිලධාරීන් ආරක්ෂා කිරීමට වෙඩි තැබූ බවයි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ප්‍රධාන ගේට්ටුව අසල රැස් ව සිටි සිරකරුවන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ හිතාමතාම වෙඩි තැබූ බවයි.
සිරකරුවන්ගේ මව්වරුන් සහ භාර්යාවන් ඇතුලු කෝපයට පත් ඥාතීහු (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දුප්පත් ගම්වැසියන් ය) සිරකරුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ කිසිදු තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රජය සහ පොලිසියට දෙස් දෙවොල් තැබූහ.
ආන්ඩුව “මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරවලට යන එක වලක්වන්න තද පියවර අර ගැනීමෙන්” පසු, “ප්‍රිසන් එක දුවන එක අඩාල කිරීමට” සිරකරුවන් උත්සාහ කල බව කියමින්, අධිකරන ඇමැති නානායක්කාර මාරාන්තික බලය පාවිච්චි කිරීම යුක්ති සහගත කිරීමට උත්සහ කලේ ය. ගැටුම අතරතුර බොඩි ස්කෑනරය සහ සීසීටීවී කැමරා පද්ධති විනාශ කර ඇතයි ඔහු කීවේ ය.
මෙම නිල කතාන්දරය, ආන්ඩුව තීව්ර කරමින් තිබෙන “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ“ කොටසක් ලෙස, ඝාතන සඳහා දේශපාලන ආවරනයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
මීගමුවේ ඝාතන “ඛේදවාචකයක්” බව නානායක්කාර ජූලි 7දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කල අතර, කාර්ය මන්ඩල හිඟය සහ බන්ධනාගාරවල තදබදයට විසඳුම් ලබා දීමට පොරොන්දු විය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඇතුලු පරීක්ෂන කිහිපයක් මීගමුව සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති බව ඔහු නිවේදනය කලේ ය. මීට ඉහත දී බන්ධනාගාරවල සිදු කෙරුනු සංහාරවලින් අනතුරු ව දියත් කරන ලද මෙවන් පරීක්ෂන මෙන් ම, මෙම පරීක්ෂන ද දේශපාලන වසන් කිරීමක් ලෙස සේවය කරනු ඇති අතර, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට වඩා බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක හමුදා වගකීමෙන් ආරක්ෂා කරනු ඇත.
ජූලි 7දා, සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව (සීපීආර්පී) චෝදනා කලේ, ප්රචන්ඩ ක්‍රියාවලින් අනතුරුව මීගමුව බන්ධනාගාරයෙන් මාරු කර යවන ලද රැඳවියන් ඔවුන් නැවත ස්ථානගත කරන ලද බන්ධනාගාර තුල දී වධහිංසාවලට ලක් කරන බවයි. සිරකරුවන් 700කට අධික ප්‍රමානයක් රට පුරා බන්ධනාගාරවලට එලෙස මාරු කර යවා ඇත. ගැටුමට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වී ඇති ලසන්ත ප්‍රදීප් කුමාර ඇතුලු රැඳවියන් පස් දෙනෙකු රහසිගත ව හුදකලාවේ තබා ඇති බවත්, එමඟින් “ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්” ඇති වී, ඔවුන් වධහිංසාවට ලක්වීමේ ඉහල අවදානමකට නිරාවරනය වන බවත් සීපීආර්පී අනතුරු ඇඟවී ය.
බන්ධනාගාරවල සංහාරයන් කල්ලි අතර ප්රචන්ඩත්වය හෝ මත්ද්‍රව්‍ය ආශ්රිත කුමන්ත්රන නිසා සිදුවන්නේ යැයි කියන කතාන්දරය ශ්‍රී ලංකාවේ රාජ්‍ය යහමින් භාවිතා කරන ලද උපක්රමයකි. 2020 නොවැම්බර් මාසයේදී මහර බන්ධනාගාරයේ දී රැඳවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කල විට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මනෝචිකිත්සක ඖෂධ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අදිසි කුමන්ත්‍රනකරුවන්ට දොස් පැවරී ය. බන්ධනාගාර ප්රතිසංස්කරන ඇමැතිනි සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ හාස්‍යජනක ලෙස, “හදිසියේ ම ක්‍රියාත්මක වූ අදෘශ්‍යමාන හස්තයක්” පිලිබඳව මැතිරුවා ය.
මනෝචිකිත්සක ඖෂධ සහ ප්‍රචන්ඩකාරී හැසිරීම් අතර ඇති සම්බන්ධය “කිසිදු තාර්කික පදනමකින් තොර” බව සඳහන් කරමින්, මෙම බොරු චෝදනා නිෂ්ප්‍රභ කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලයට බල කෙරුනි. ආන්ඩුවේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වා ම බොරුවක් වූ අතර, එය ගොතා තිබුනේ, කෝවිඩ්-19 වසංගතයෙන් තමන් ආරක්ෂා කර දෙන ලෙස ආයාචනා කල නිරායුධ රැඳවියන්ට බන්ධනාගාර ආරක්ෂකයින් සහ එස්ටීඑෆ් නිලධාරීන් වෙඩි තැබුවේය යන කරුන වසන් කිරීමට ය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිරී ඉතිරී ගොස්, මූලික පහසුකම්වලින් තොර ව මිහිපිට අපායන්ට සමාන අතර, ආතතීන් පහසුවෙන් ගැටුම් බවට පත්විය හැකි තත්වයන් මෙයින් නිර්මානය කර තිබේ. රැඳවියන් 900 ක් පමන නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද මීගමුව බන්ධනාගාරයේ දැනට රැඳවියන් 2,400 කට ආසන්න සංඛ්‍යාවක් සිටී.
මේවායේ පවතින දැඩි තදබදය බෝවන රෝග පැතිරීමේ අවදානම ද ඉහල නංවා ඇත. ජූලි 5දා, ගැටුමට සමගාමී ව, කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුල ඩෙංගු රෝගය පැතිරී යාමට විරෝධය පල කරමින් ද ඩෙංගු ආසාදිත රැඳවියන් 20 දෙනෙකුට පමන ප්‍රතිකාර ඉල්ලා බන්ධනාගාර වහල මතට නැග්ගෝ ය. අත්‍යවශ්‍ය ඖෂධ ලබා දී නොතිබූ අතර, වාර්තාවන ආකාරයට ආසාදිත සිරකරුවන් හුදකලා කර නැත. සමාජ මාධ්‍යවල සංසරනය වූ වීඩියෝවකින් දැකගත හැකිවූයේ, කාන්තාවන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉල්ලා සිටින අකාර ය. කෙසේ වෙතත්, ආන්ඩුවට පක්ෂපාතී මාධ්‍ය ව්‍යාජ ලෙස නිරූපනය කලේ, මෙම කාන්තා විරෝධතාව ප්‍රතිවාදී සිරකරු කන්ඩායමකට සහාය දැක් වූ එකක් ලෙසිනි.
සමස්තයක් වශයෙන්, සිරකරුවන් 11,762 දෙනෙකු පමන රඳවා තබා ගැනීමට හැකි ආකාරයෙන් ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැන් 42,000 කට වඩා පිරිසක් සිටින අතර, එය ඒවායේ අපේක්ෂිත ධාරිතාව මෙන් හතර ගුනයකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ (යූආර්සීඑස්එල්) 2021 වසරේ පිටු 850 කින් යුත් වාර්තාවේ, සිරකරුවන්ට සිට ගෙන නිදා ගැනීමට, පොලිතීන් බෑග්වලට මලපහ කිරීමට සහ එක් රැඳවියෙකු පැවසූ පරිදි, “බල්ලන් බලලුන්” පවා නොකන ආහාර මත පන රැක ගැනීමට බල කෙරෙන තත්වයන් වාර්තා කර ඇත.
සිරකරුවන්ගෙන් අතිමහත් බහුතරය සමාජයේ දුප්පත් ම කොටස්වලට අයත් වන අතර, බොහෝ දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ඇප හෝ නීතිමය නියෝජනයක් ලබා ගැනීමට නොහැකි නිසා පමනි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත පිරිසෙන්, සියයට 75 ක් පමන නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින රිමාන්ඩ් සිරකරුවන්ගෙන් සමන්විත වේ.
අනුප්‍රාප්තික සෑම ආන්ඩුවක් ම බන්ධනාගාරවල සිදු කෙරුනු ප්රචන්ඩ ක්‍රියාවන්ට ප්‍රතිචාර ලෙස ප්රතිසංස්කරන පොරොන්දු ඉදිරිපත් කර තිබේ—මේවා නම්, මහින්ද රාජපක්ෂගේ පුනරුත්ථාපන පොරොන්දුවල සිට, ගෝඨාභය රාජපක්ෂගේ පස් අවුරුදු බන්ධනාගාර ප්රතිසංස්කරන සැලසුම් දක්වා; සිරිසේන ආන්ඩුවේ සංක්‍රාන්ති යුක්තියේ පොරොන්දු සිට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ‘ක්‍රම වෙනස’ ප්රඥප්තිය යනාදිය යි.
එවැනි පොරොන්දු හිස් දේශපාලන වතාවතකි: මහජන කෝපය සමනය කිරීමේ ප්රයත්නයක් ලෙස කමිටු පත් කර සැලසුම් ප්‍රකාශයට පත් කරනු ලැබේ. මේ අතර, ප්රචන්ඩත්වය ඇති කරන කොන්දේසි – බන්ධනාගාර තුල අධික තදබදය, දරිද්‍රතාවය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත වීම සහ සිය අපරාධවලට දඬුවම් නොලබා ක්‍රියාත්මකවීමට ආරක්ෂක හමුදාවන්ට අවසර ලැබී තිබීම යනාදිය – තවදුරටත් නරක අතට හැරෙමින් තිබේ.
මීගමුවේ ඝාතන සිදුවන්නේ, 2020 දී මහර, 2012 දී වැලිකඩ, 2011 දී අනුරාධපුර සහ 2000 දී කලුතර බන්ධනාගාර කෝලාහල සහ සමූලඝාතනවලින් පසුවය. මේ අනුව, මෙම ඝාතන 2024 දී බලයට පත්වූ තැන් පටන්, වැඩෙන මහජන නොසන්සුන්තාවට සීග්‍ර පරිමානයෙන් ම්ලේච්ඡ බලය යෙදීම හරහා ප්‍රතිචාර දක්වමින්, පොලිස් රාජ්‍යයක සැලසුම ශක්තිමත් කර ඇති ආන්ඩුවක තාර්කික ප්රකාශනය යි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.