මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ ඝාතන සම්බන්ධයෙන් ව්‍යාජ-වම්මු ආණ්ඩුව ආරක්ෂා කරති

0
images (92)

වසන්ත රූපසිංහ විසිනි.

[මෙය Sri Lankan fake lefts defend government over killing of Negombo prisoners  මැයෙන් 2026 ජූලි 30 වැනි දා ඉංග්‍රීසීයෙන් පල විය.]

නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි රැඳවියන් 21 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු ජූලි 5 සහ 6 දිනවල මිය ගිය මීගමුව බන්ධනාගාරයේ ප්‍රචන්ඩත්වය, ධනපති රාජ්‍යයේත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේත් ම්ලේච්ඡ ස්වභාවය හෙලිදරව් කරමින් රටම කම්පනයට පත් කලේ ය.

මිය ගිය සියලු දෙනා ම නඩු විභාගය අපේක්ෂාවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අය වූහ. ඔවුන්ගෙන් 17 දෙනෙකු වෙඩි වැදී මියගිය අතර, සෙසු අය ඝාතනයට ලක් ව තිබුනේ පහර දීමෙනි. ගැටුම් ඇවිලීමට තුඩු දුන් බන්ධනාගාර බලධාරීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා පිලිබඳ වාර්තා  යටපත් කර ඇත. දැන් වාර්තා වන්නේ, “කෝලාහල ඇති කිරීම” යන චෝදනාව යටතේ රැඳවියන් 200කට පමන නඩු පැවරීමට බන්ධනාගාර බලධාරීන් සූදානම් වන බවයි.

අවිහිංසක, නිරායුධ රැඳවියන්ට වෙඩි තැබීම සහ ඔවුන්ට පහර දී ඝාතනය කිරීම යුක්ති සහගත කරමින්, අධිකරන ඇමැති හර්ෂන නානායක්කාර ප්‍රකාශ කලේ, ඔහු විසින්  “අවම” බලය ලෙස හැඳින් වූ බලය භාවිත කිරීම සිදු වූ බවයි. ප්‍රහාරයට ආන්ඩුවේ වගකීමෙන් මහජන අවධානය වෙනතකට හැරවීම සඳහා, බන්ධනාගාර පද්ධතියේ ගැටලු විසඳිය යුතු ආකාරය පිලිබඳ උපදෙස් දෙන පුවත්පත් ලිපි සහ කතුවැකි රැසක් පල වී ඇත. අනාගතයේ මෙවැනි ප්‍රචන්ඩත්වයන් වැලැක්වීම සඳහා යැයි කියන “බන්ධනාගාර ප්‍රතිසංස්කරන” සැලසුම් පිලිබඳව ජනාධිපති දිසානායක ද අමාත්‍යවරුන් සහ බන්ධනාගාර බලධාරීන් සමඟ පසුගිය දා සාකච්ඡා පැවැත්වූවේ ය.

මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ ඝාතන සම්බන්ධයෙන් ව්‍යාජ-වම්මු ආණ්ඩුව ආරක්ෂා කරති
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය [Photo: Facebook/USP]

මෙයට ව්‍යාජ-වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙන්ම ජන අරගල සන්ධානයේ (ජඅස) එහි හවුල්කරුවන් වන සමාජවාදී ජනතා සන්ධානය (සජස), මාඕවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය සහ වෘත්තීය සමිති කිහිපයක නිලධරයෝ ද ඇතුලත් වෙති. පෙසප බිහිවූයේ දශක එක හමාරකට පමන පෙර, දැන් ආන්ඩුවේ සිටින ජවිපෙන් කැඩී වෙන්වීමක ප්‍රතිඵලයක් ලෙස ය. එසප සහ සජස යන දෙක ම තමන් ට්‍රොට්ස්කිවාදී යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන අවස්ථාවාදී ජාත්‍යන්තර සංවිධානවලට අනුබද්ධ ය.

ඔවුන් සියල්ලෝ ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල “අධික තදබදය” කැරැලිවලට හේතුව ලෙස දක්වන නමුත්, රැඳවියන් රඳවා තබා ඇති බිහිසුනු තත්ත්වයන් සහ බන්ධනාගාර තුල පවත්වා ගෙන යන ම්ලේච්ඡ පාලන ක්‍රමය සම්බන්ධයෙන් ආන්ඩුවේ වගකීම පිලිබඳ මුනිවත රකී. රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ ඉඩ පහසුකම් පුලුල් කිරීම මඟින් අධික තදබදය අවම කිරීම සඳහා “ප්‍රතිසංස්කරන” කරන ලෙස ඔවුහු ආයාචනා කරති. මේ සියල්ලේ අරමුන වන්නේ, ආන්ඩුව එහි වගකීමෙන් මුදාහැරීමයි.

සිර දඬුවම් ලැබූ සුලු වැරදිවලට වරදකරුවන් වූවන් හෝ ඇප මුදල් ගෙවීමට නොහැකි ව සිරගත ව සිටින පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මාරු කල යුතු බව එසප නායක සිරිතුංග ජයසූරිය ඉල්ලා සිටියේ ය. එය ද සිරගත කිරීමේ තවත් ආකාරයකි. රැඳවියන්ට “මිනිසුන් ලෙස ජීවත් වීමට” අවශ්‍ය කොන්දේසි සලසා දීම ආන්ඩුවේ වගකීම බව ඔහු ප්‍රකාශ කලේ ය.

යථාර්ථයේ දී, රැඳවියන් රඳවා තබන මෙම නරකාදිවලට සමාන බන්ධනාගාර මෙන් ම, සෑම ක්ෂේත්‍රයක ම රාජ්‍ය වියදම් කප්පාදු කරමින් සිටීම සම්බන්ධයෙන්, දිසානායක ආන්ඩුව ඍජු ව ම වගකිව යුතු ය. බන්ධනාගාර තුල සිදු වෙමින් පවතින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් ආන්ඩුව කම්කරුවන්ට සහ ග්‍රාමීය දුගී ජනතාවට එල්ල කරන ප්‍රහාරයේ ආන්තික ස්වරූපයකි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරන සඳහා වන එසපයේ ඉල්ලීම, සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට කිසිදු අදහසක් නොමැති ආන්ඩුවකට කරන තවත් කනිපින්දන් ගැසීමක් පමනි. 2024දී අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වීම, ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපූ 2022 මහජන  ප්‍රගතීශීලි ප්‍රතිපලයක් ලෙස එසපය ඔජ වැඩුවේ ය.  දිසානායක ආන්ඩුව ඉතා ඉක්මනින් ම තම සීමිත මැතිවරන පොරොන්දු අතහැර දැමූ විට, එසප කලේ ඒවා ඉටු කරන ලෙස ආන්ඩුවෙන් බැගෑපත් ව ඉල්ලා සිටීම පමනි. එය ආන්ඩුව මත කිසිදු සැබෑ බලපෑමක් ඇති කල නොහැකි බලපෑම් කන්ඩායමක් ලෙස ක්‍රියා කරන අතර, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වලක්වමින් ආන්ඩුවට දේශපාලනික ව සේවය කරයි.

මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ ඝාතන සම්බන්ධයෙන් ව්‍යාජ-වම්මු ආණ්ඩුව ආරක්ෂා කරති
සිරගෙදර ප්‍රහාර නම්බන්ධයෙන් මාධ්‍ය අමතන දුමින්ද නාගමුව  [Photo: Facebook/Duminda Nagamuwa]

පෙරටුගාමී සමාජවාදී පක්ෂය  සහ එහි ජන අරගල සන්ධානයේ හවුල්කරුවන් ද ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රගතිශීලී ආන්ඩුවක් ලෙස වගවර්නනාකර තිබේ. පෙසප ප්‍රමුඛ නායකයෙකු වන දුමින්ද නාගමුව ද රැඳවියන් “සමාජය විසින් අත්හැර දමා ඇති කොටසක්” බවට හිස් වාගාලාප කියමින්, ඔවුන්ට “මානුෂීය ලෙස සැලකිය යුතු ය” යැයි ප්‍රකාශ කලේ ය. එහෙත් ඉන් අනතුරු ව නාගමුව බන්ධනාගාර කැරැල්ල මර්දනය කිරීමේ දී ආන්ඩුව, බන්ධනාගාර බලධාරීන් සහ පොලීසිය අනුගමනය කල මිනීමරු ක්‍රියාමාර්ගය විවෘත ව ම ආරක්ෂා කලේ ය.

බොහෝ දෙනෙකුට මතක ඇති ලෙස කැරැල්ල අවස්ථාවේ දී සමාජ මාධ්‍ය පුරා සංසරනය වූ, බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවේ කුඩා නිරීක්ෂන සිදුරක් හරහා පොලිස් නිලධාරියෙකු රැඳවියන් වෙත වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් පුලුල්  මහජන කෝපය ඇවිලවූයේ ය. කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර ම නාගමුව එවැනි ක්‍රියා යුක්තිසහගත කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇතුලෙ ඉඳපු රැඳවියෝ අතර තුවක්කු තිබ්බා කියලා වාර්තා කරනවා. … එතකොට පාලනය කරන්න අමාරුයි. අපිට ඒක පැහැදිලියි. … සමහර නිලධාරියෙකුට පේනවා ඒ ගේට්ටු කඩන් ගියොත් එහෙම තුවක්කුත් සහිත ව ඉතා ම බරපතල තත්වයක් රටට ම මුහුන දෙන්න සිදු වෙනවා; ඒ ප්‍රදේශයට මුහුන දෙන්න සිදු වෙනවා. ඒ නිසා ඔහුගේ සපත්තුවට බැහැල බැලුව ම තේරෙනවා, මේ සිද්ධිය පාලනය කරන්න කුමක් හෝ කල යුතුයි කියලා. ඒක තමයි ඔහුගේ සපත්තුවට බැහැල බැලුවම පේන්නෙ.”

රැඳවියන් අමු අමුවේ ඝාතනය කිරීම යුක්තිසහගත කිරීමට තවත් තර්ක  සොයමින් “…මේ සිද්ධිය පාලනය කරන්න ඕන මුලික ක්‍රියාමාර්ග කල් ඇතුව ගත්ත ද? වාට්ටු කැඩීම කලා ද ඊට පස්සෙ කඳුලු ගැස් පාවිච්චි කරන්න තිබ්බා. රබර් උන්ඩ පාවිච්චි කරන්න තිබ්බා. මේ සියල්ල වුනාට පස්සෙ ද ජීව උන්ඩ පාවිච්චි කලේ, අවම බලය පාවිච්චි කරනවනම් කකුලට වෙඩි තබනවා, ඒවායින් පස්සෙද මෙතනට ආවේ…” යනාදී වසයෙන්- නාගමුව ප්‍රශ්න කරයි . පෙනෙන හැටියට, මේවායින් එකක් හෝ සියල්ල ම භාවිත කර තිබුනේ නම්, රැඳවියන්ට වෙඩි තැබීම නීත්‍යානුකූල යැයි ඔහු සලකයි. මේ දක්වා කිසිදු රැඳවියෙකු සතු ව ගිනි අවි තිබූ බවට හෝ මාරාන්තික නොවන ක්‍රම භාවිත කල බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

ජයසූරිය සහ නාගමුව කිසිවිටෙකත් පිලිතුරු නොදෙන ප්‍රශ්නය වන්නේ බන්ධනාගාර මෙතරම් අසාමාන්‍ය  අධික තදබදයෙන් පිරී ඇත්තේ ඇයි යන්නයි. රැඳවියන් 11,762 දෙනෙකු සඳහා ඉදිකර තිබූ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල මේ වන විට 42,000කට අධික පිරිසක් රඳවා සිටින අතර, එය නියමිත ධාරිතාව මෙන් සිව් ගුනයකට ආසන්නය. රැඳවියන් 900ක් පමන සඳහා ඉදිකර තිබූ මීගමුව බන්ධනාගාරයේ කැරැල්ල සිදුවන අවස්ථාවේ රැඳවියන් 2,400කට ආසන්න පිරිසක් රඳවා සිටියහ.

2024 අවසානයේ ජවිපෙ/ජාජබ බලයට පත්වන විට බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව 28,000ක් විය. පසුගිය වසර දෙක තුල එය 14,000කින් පමන ඉහල ගොස් ඇත. මෙම සියයට 50ක වැඩි වීමට ඍජු ව ම වගකිව යුත්තේ කලින් පැවැති ආන්ඩුව ගෙනගිය ම්ලේච්ඡ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” තවදුරටත් තීව්‍ර කල වත්මන් ආන්ඩුවයි.

පොලීසිය, හමුදාව සහ කුප්‍රකට විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කල රට පුරා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම ආන්ඩුව “රට ම එකට” යන නමින් නැවත නම් කලේ ය. 2026 මැද භාගය වන විට පොලීසිය දිනකට 750–800ක් බැගින් සැකකරුවන් 230,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කර, දඩ නියම කර හෝ පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත. එහෙත් දිලිඳු පවුල්වලින් එන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ සැකකරුවන්ගෙන් සුලු කොටසක්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා දැනටමත් අතිශයින් තදබදයට පත් ව ඇති බන්ධනාගාර වෙත  අඛන්ඩව යොමු කෙරෙමින් පවතී.

රැඳවියන්ගෙන් අතිමහත් බහුතරය සමාජයේ දුප්පත්ම ස්ථරවලට අයත් වන අතර, ඔවුන් රඳවා තබා ඇත්තේ ඇප මුදල් ගෙවීමට හෝ නීතිමය නියෝජනයක් ලබා ගැනීමට නොහැකි නිසා ය. බන්ධනාගාර රැඳවියන්ගෙන් සියයට 75ක් පමන නඩු විභාගය බලාපොරොත්තුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අය වෙති. 2023දී වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබූ රැඳවියන්ගෙන් සියයට 67.8ක් සිරගත කර තිබුනේ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙනි. හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්ගුනනාදන් මෙය නිවැරදි ව හැඳින්වූයේ “දුප්පත්කම සාපරාධීකරනය කිරීම” ලෙස ය.

බන්ධනාගාර ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කොටසකි. රාජ්‍යය සහ විප්ලවය කෘතියේ දී, එංගල්ස්ගේ පවුල, පෞද්ගලික දේපල ක්‍රමය සහ රජයේ සම්භවය (The Origin of the Family, Private Property and the State) කෘතිය මත පදනම් වෙමින්, ලෙනින් රාජ්‍යයේ ස්වභාවය පිලිබඳ මූලික කරුන මෙසේ පැහැදිලි කරයි: “රජය යනු සමහන් කල නොහැකි පන්ති ප්‍රතිවිරෝධතාවන්ගේ නිෂ්පාදනයක් හා ප්‍රකාශනයකි.”

මෙම පන්තිමය පීඩනය ගන්නා නිශ්චිත භෞතික ස්වරූපය එංගල්ස් තවදුරටත් මෙසේ විස්තර කරයි: “මෙම බලාත්කාරී බලය සෑම රාජ්‍යයක ම පවතී. එය සන්නද්ධ මිනිසුන්ගෙන් පමනක් නොව, බන්ධනාගාර සහ සියලු ආකාරයේ බලහත්කාරකම් ක්‍රියාත්මක කරන ආයතන ඇතුලු ඒවාට අදාල ද්‍රව්‍යමය යාන්ත්‍රනයන්ගෙන්  ද සමන්විත වේ.” 

බන්ධනාගාරය යනු වෙනත් ආකාරයකින් මධ්‍යස්ථ යැයි සැලකෙන රාජ්‍යයකට අමුනා ඇති අතිරේක ආයතනයක් නොවේ. එය ස්ථාවර හමුදාව සහ පොලීසිය සමඟ එක් ව, ධනේශ්වර පන්තිය විසින් සූරාකෑමට ලක්වන පන්ති මත තම පන්ති ආඥාදායකත්වය පවත්වා ගෙන යාම සඳහා භාවිත කරන ප්‍රධාන ම මර්දන උපකරනවලින් එකකි. ඒ අනුව, ධනේශ්වර අධිකරන පද්ධතිය ම පාලක පන්තියේ අපරාධවලට අත නොතබන අතර ම,  ධනේශ්වර දේපල සම්බන්ධතා ආරක්ෂා කරමින් දුප්පත්කම සාපරාධීකරනයට ලක් කරයි .

කම්කරු පන්තිය මේවායින් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගත යුතු ය. අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ලියා ඇති පරිදි, “බන්ධනාගාර සමූල ඝාතන අසාමාන්‍ය සිදුවීම් නොවේ; ඒවා ගැඹුරු වන සමාජ අර්බුදයට වඩ වඩාත් ම්ලේච්ඡ මර්දන ක්‍රම මඟින් ප්‍රතිචාර දක්වන ධනේශ්වර රාජ්‍යයක තාර්කික ප්‍රකාශනයයි. බන්ධනාගාර ප්‍රචන්ඩත්වයට සහ රාජ්‍ය ඝාතනවලට එරෙහි අරගලය, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැක.”

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ගෙන පල කරන ලද්දකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *