අනීතිකව විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විදුලි පාවිච්චිකරන්නගේ සංගමය නීති මගට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල පනතට අනුකූල නොවන බවත් විදුලිබල පනතේ 5 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශයට අනුව විදුලි බිල් ඉහල දැමිය හැක්කේ වසරකට දෙවතාවක් පමණක් බව විදුලි පාවිච්චිකරන්නගේ සංගමය සදහන් කරයි.

මේ වසරේ විදුලි ගාස්තු සංශෝධන දෙකක් මේ වන විටත්  සිදු කර ඇති බවත්  මීළග ගාස්තු සංශෝධනය සිදු කළ හැක්කේ ලබන වසරේදී බවත් දැනට බලපවත්වන ප්‍රතිපත්ති මාර්ගෝපදේශයට අනුව මේ වසරේ දී තෙවන විදුලි ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවත් විදුලිබල ඇමතිවරයා හා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් විදුලිබල පනත සහ රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝණය කර ඇති බව විදුලි පාවිච්චිකරන්නගේ සංගමයේ මාධය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි .

යෝජිත අනීතික විදුලි ගාස්තු ඉහල නැංවීමේ යෝජනාව වහා හකුලා ගන්නැයි ආණ්ඩුවට බල කරන එම සංගමය එසේ නොවුණහොත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සදහා නීතිය හමුවට යාමට තීරණය කර ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ  සංගමය නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ සදහන් වේ .

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ .

මේ වසරේ ලංවිමට රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුවන බව ලංවිම පවසයි. මේ පාඩුවට ප්‍රධාන හේතුවක් වශයෙන්  ඔවුන්ම පෙන්වා දෙන්නේ අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමයි. හදිසි විදුලිය මිලදී ගැනීම විදුලිබල අමාත්‍යවරයාගේ ආශිර්වාදය යටතේ සිදු කෙරේ. අඩු වියදම් සහිත පුනර්ජනනීය බලගාර සහ වහල මත සවිකරන සුර්ය බල පද්ධති ව්‍යාපෘති ඉතා මන්දගාමීව සිදුකෙරේ. මෙය විදුලිබල අමාත්‍යංශයේ කූඨ උපක්‍රමයකි. එසේනම් ලංවිමට පාඩු කර ඇත්‌තේ වෙන කිසිවකු නොව විදුලිබල අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් හා නිලධාරීන් පිරිසකි. . එසේනම් මුල්‍ය රෙගුලාසි 119 අනුව රජයට පාඩු කල අයගෙන් එම මුදල අධිභාරයක් ලෙස අයකර ගත හැකියි. එහි වගකීම පැවරෙන්නේ විගණකාධිපතිට හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාටයි. මේ නිලධාරීන් දෙදෙනා තමන්ට පැවරී ඇති වගකීම වහා ඉටු කල යුතු ය. නැතිනම් ඔවුන්ගෙන් මෙම අධිභාරය අය කර ගත යුතු බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පෙන්වා දෙනවා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් යන දෙපිරිසම මෙරට විදුලිබල කර්මාන්තය පිලිබද අබ මල් රේනුවක දැනුමක් නොමැති පිරිසකි. පාඩුවක් පියවීම සදහා ඔවුන්ගේ විසදුම ගාස්තු ඉහල නැංවීමකි. ගමේ සිල්ලර කඩ මුදලාලි මහතෙකුට ද එවැනි විසදුම අකාර්යක්ෂමතාවය හා නාස්තිය වැඩි වන තරමට මුල්‍ය අරමුදලේ නිර්දේශය වනුයේ ගාස්තු ඉහල නැංවීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙවර ලංකාවට එවා ඇත්තේ දේශපාලන පත්වීම් ලත් පිරිසක් දැයි සැක සිතෙන බව සංජීව ධම්මික මහතා ප්‍රකාශ කලා. කෙසේ වෙතත් ලංවිම පිරිවැය හා වියදම් සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැහැදිලි කර දීම සදහා ඔවුන් හමුවීමට ද විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *