අසූ එක් වන උපන් දිනය සමරන අයිවන් වීරසේකර සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කළ ආදර්ශමත් සටන්කරුවෙක්

නන්දන නන්නෙත්ති විසිනි.

මහනුවර ප්‍රදේශයේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා මහජනයා අතර විප්ලවවාදී දේශපාලන උද්ඝෝෂකයෙකු හා සටන්කරුවෙකු ලෙස අඩ සියවසක කීර්තිමත් වාර්තාවකට හිමිකම් කියන අයිවන් වීරසේකර සහෝදරයා අද දිනයේ සිය 81 වන උපන් දිනය සමරයි. 1964 දී කම්කරු පන්තිය ධනපති සභාගයකට කුදලා දුන් අවස්ථාවාදී කම්කරු නායකයන්ගේ පාවාදීමට එරෙහිව සිදු කෙරුනු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් අරගලයකින් ගොඩ නැඟූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස, වත්මන සමාජවාදී සමානතා පක්ෂය -සසප)1972 දී බැඳුනු ඔහු එවක් පටන් අද දක්වා ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් සටන් වැදී සිටියි. ඒ අර්ථයෙන් ගත් කල, අයිවන් සහෝදරයා, 1964 මහා පාවාදීමට එරෙහි කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයේ අඛන්ඩත්වය හා දේශපාලන ජෛව ගුනයේ ජීවමාන සංකේතයකි.


අයිවන් සහෝදරයා (දකුනේ සිට දෙවැන්නා) 2023 ඔක්තෝම්බර් 26 පලස්තීන පීඩිත මහජනයා ආරක්ෂා කිරීමේ කොලඹ කොටුව පිකට් උද්ඝෝෂනයට සහභාගී වීමෙන් අනතුරුව සසප වාම පාර්ෂවයේ සහෝදරවරුන් කිහිප දෙනෙක් සමග
1972 වන විට රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට ආකර්ශනය කර ගනු ලැබුනේ රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU) තුල විකොස ගෙන ගිය අරගලය විසිනි. මූලධර්මවලට හා ප්‍රතිපත්තිවලට කැප වූ ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුල, ඔහු කිසිදු බාධකයකට යටත් නොවූ සටන්කරුවෙකු වූ බව ඔහු දන්නා හඳුනන අයගේ වැටහීමයි.

1980 මහා වැඩ වර්ජනයේ ක්‍රියාකාරී සටන්කරුවෙකු වූ අයිවන් සහෝදරයා, ජේ. ආර් ජයවර්ධනගේ යුඑන්පී ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ලද රැකියා අහිමි කිරීමේ ප්‍රහාරයට ගොදුරු වූ 80,000ත් 100,000 අතර කම්කරුවන් අතරින් අයෙකු විය. සෙසු රැකියා අහිමිවූවන් මෙන් ම ඔහු ද අතිශය පීඩාකාරී ජීවිතයක් ගත කල ද, හුස්ම ගැනීමට ලද සෑම අවකාශයකදීම ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා තමන් වෙත පවරා ගත් වගකීම වෙනුවෙන් ඔහු නිබඳව ක්‍රියාශීලි විය.


1987 දියත් කල ජවිපෙ දේශපාලන මදාවිකාරය ව්කොස පක්ෂ සාමාජිකයක් තිදෙනෙකුගේ ජීවිත බිලි ගත්තේය. ජවිපෙ ප්‍රහාරයට මෙන් ම රාජ්‍ය මර්ධනට ද එරෙහි කම්කරු පන්තියේ එක්සත් පෙරමුනක් ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ සහය ඇතිව පක්ෂය ලංකාවේ හා ලෝකයේ කම්කරුවන් අතර ගෙන ගිය උද්ඝෝෂනයට සියලුම වාම පක්ෂ සහ වෘත්තීය සමිති නියකත්වය විරුද්ධව වී ඝාතක ආණ්ඩුව සමග පෙළගැසුණි .එය 60,000ක් ඝාතනය කිරීමට ආණ්ඩුවට අවකාශ සැලසීය . ගම්බද ඝාතන යූඑන්පී ආන්ඩුවේ මර්දනය නතර කිරිම සඳහා දියත් කල අරගලයේ දී අයිවන් නොසැලෙන සටන්කරුවෙකු සනාත කළේය .

2021 දී මාස ගනනක් ඇදී ගිය ගුරු අරගලයේ දී, මාක්ස්වාදයෙන් ලද අවබෝධය මත පදනම් ව ඔහු, මෙය මතු පිටින් ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී වුව ද විප්ලවවාදී අන්තර්ගතයක් අත්කර ගන්නා බව පෙන්වා දෙමින්, රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ජෙනරල් ස්ට්‍රයිකයක් කැඳවීමට සූදානම් කල යුතු බවට වූ සසප වාම පාර්ශ්වයේ අදහස වෙනුවෙන් පෙනී සිටියේ ය. පක්ෂ තන්ත්‍රය තමන් ඊට සූදානම් නැති බව කියමින් අයිවන්ට එරෙහි ප්‍රකෝපකාරී මැදිහත් වීමක් දියත් කලේ ය. මාක්ස්වාදය අමු අමුවේ විකෘති කරමින් ඔවුන් එය හඳුන්වා දුන්නේ, “මෑත දී නන්දන හා අයිවන් යන සහෝදරවරුන්ගෙන් ප්‍රකාශ වූ පක්ෂ වැඩ කටයුතුවලට හානිකර දේශපාලන ව්‍යාකූලත්වයන්” ලෙසිනි (2021 ඔක්තෝම්බර් 7 සසප දෙශපාල කමිටුව විසින් බෙදා හරින ලද අභ්‍යන්තර නිවේදනය). අයිවන්ට සිය ආස්ථානය අත් හරින ලෙස කොතෙක් බලකිරීම්, තර්ජන එල්ල වූව ද, ඔහු ඒවාට යටත් වීම ප්‍රතික්ෂේප කලේ ය. එම ලිපිය මෙසේ ද සඳහන් කලේ ය: “අයිවන් සහෝදරයා විසින් පන්ති අරගල රූපය ධනේශ්වර ලෙස උපුටා පෙන්වීම තුලින් සිදු කරන්නේ විප්ල්ව්වාදී සමාජවාදීන් විසින්, එනම් පක්ෂය විසින්, පන්ති අරගලය තුල කල යුතුව ඇති සටන වලලා දැමීම ය.. එය මාක්ස්වාදයට ආගන්තුක” බව එහි සඳහන් විය.

අසු එක්වන වියේ පසුවන යිවන් සහෝදරයා

මේ සංකල්පය වූ කලී, කල යුත්තේ කුමක් ද නමැති ලෙනින්ගේ කෘතියේ පෙන්වා දෙන පරිදි, කම්කරු පන්තියේ ස්වභාවික විඥානය වන ධනේශ්වර විඥානයට එරෙහි සටන මුලුමනින් පාවා දීමක් වන බව අයිවන් එහි දී ආරක්ෂා කල ආස්ථානය යි.

එකී සංකල්පවලින් ප්‍රකාශයට පත් වූ පරිදි ම, ගුරු අරගලයේ දී පක්ෂය කෙතරම් පසු බැස්සේ ද යත්, කොරෝනා වසංගතය අවසන් කරන තෙක් පාසල් වසා දමා දුරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයයි ජාත්‍යන්තර කමිටුව දියත් කල උද්ඝෝෂනය අත හැර, ගුරු සංගම්වල ප්‍රතිගාමී ඉල්ලිම වූ, ‘වැටුප් ප්‍රශ්නය විසඳා පාසල් විවෘත කරනු’ යන ප්‍රතිගාමී සටන් පාඨයට ඉඩ හරින ලදී. පක්ෂය පාසල් වැසීම සම්බන්ධ උද්ඝෝෂනයට යොමු වූයේ ගුරු අරගලය අවසන් වූ පසුව ය.

2022 ශ්‍රී ලංකාවේ දැවැන්තම මහජන විප්ලවවාදී අරගලය මඟ හැරීමට පක්ෂය යොමු වීම මෙබඳු කොන්දේසි යටතේ සිදු වූවකි. ඊට අභියෝග කලේ අයිවන් සහෝදරයා ද ඇතුලු සසප වාම පාර්ශවය යි. කොලඹ ක්‍රියාකාරී කමිටුව එම අරගලයේ ප්‍රතිඵලයකි. මෙම මූලධර්ම ආරක්ෂා කිරීම නිසා, පක්ෂය විනය විරෝධී චෝදනා මත ඔහු පක්ෂයෙන් නෙරපා හැරියේ ය. ඒ, විනය පරීක්ෂනයකට පෙනී සිට සිය නිර්දෝශීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අවස්ථාව පවා අහිමි කරමිනි. තන්ත්‍රය කියා සිටියේ, “පරීක්ෂන ඕනෙ නෑ, කරුනු පැහැදිලියි” යනුවෙනි.

81 වියේ අයිවන්, තරුන දේශපාලන ජවයකින් යුතු ය. සසප වාම පාර්ෂවය සිය න්‍යායික දේශපාලන අත්දැකීම්වලින් පෝෂනය කිරීම අද දවසේ ඔහු සිදු කරන සුවිශේෂී කාර්‍යයයි.

අයිවන් වීරසේකර සහෝදරයාගේ ජීවිතය වත්මන් තරුන පරපුරට ඉමහත් පාඩමකි. මිනිසෙකුගේ ජීවිතයේ ගෞරවනීයම කටයුත්ත මානව ප්‍රගතියේ ඉතිහාසය ගොඩ නැගිමට දැනුවත්ව හා විප්ලවවාදීව සහභාගී වීම ය. අයිවන් සහෝදරයා එම ගෞරවය නො මඳව ලැබීමට සුදුසුකම් දැනටමත් සපුරා ඇත.

ප්‍රිය සහෝදරය, ඔබට දිගාසිරි වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *