ඊශ්‍රායලයේ ගාසා “සටන් විරාමය”: පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ මීළඟ අදියර සඳහා තුවක්කු නැවත පිරවීමේ විරාමයක්

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 22 දින පල වූ ‘Israel’s Gaza “truce”: A pause to reload the guns for the next stage in the genocide against the Palestinians ’ යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

බ්‍රහස්පතින්දා , ප්‍රාදේශීය වේලාවෙන් පෙ.ව. 10:00 ට ආරම්භ කිරීමට නියමිත කරගත්, ගාසා තීරයේ අනාරක්ෂිත සිවිල් ජනතාවට එරෙහි ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරයේ කෙටි නිහැඬියාව පුළුල් ලෙස,“සටන් විරාමයක්” හෝ අවම වශයෙන් “මානුෂීය විරාමයක්” ලෙස ඉදිරිපත් කෙරේ.

කිසිසේත්ම සහතිකයක් නැති ගිවිසුම ඉටු වනු ඇතැයි උපකල්පනය කළහොත්, එය පලස්තීන ජනතාවට එරෙහිව සමූල ජන ඝාතනයක් සිදු කරමින් , ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීමෙහි යෙදෙන , ඊශ්‍රායලයේ හමුදා ප්‍රහාරයේ මෙහෙයුම් විරාමයකට වඩා මඳක් පමනක් වැඩි වනු ඇත.

කටාර් සහ එක්සත් ජනපදය විසින් මැදිහත් වූ ගිවිසුමේ කොන්දේසි වලට, ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට ආක්‍රමණය කිරීමේදී හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගන්නා ලද ,ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීමෙහිහමාස් විසින් නිදහස් කිරීම ඇතුළත් වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීන රැඳවියන් 150ක් නිදහස් කර, ගාසා තීරයේ දින හතරක් සටන් නවත්වන අතර, ආධාර රැගෙන එන ට්‍රක් රථ 200කට සෑම දිනකම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙනු ඇත. නිරන්තර වධ බන්ධන ඇතුළු ඉතාමත් ම්ලේච්ඡ කොන්දේසි යටතේ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින 10,000කට අධික පලස්තීනුවන් හා සසඳන විට නිදහස් කෙරෙන පලස්තීන රැඳවියන් සංඛ්‍යාව ඉතා අල්පය.

පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 24ක් දක්වා ප්‍රමාද වන අතර එය සිදුවනු ඇත්තේ සිකුරාදා වන විට පමනක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජාතික ආරක්ෂක උපදේශක විසින් බදාදා දින අවසානයේ දී , ප්‍රකාශ කිරීම මගින් මෙම ගිවිසුම ඉතා අස්ථායීව බව පෙන්නුම් කරයි. දින හතරක විරාමය අතරතුර, ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට ඉහළින් ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකිනු ඇති නමුත් උතුරේ ඔවුන් එසේ කරන්නේ ,සෑම දිනකම උදේ 10:00 සිට සවස 4:00 දක්වා කෙටි කාල පරාසයක් තුළ පමණි. 

මොහොතක දැනුම්දීමකින් නැවත සටන ආරම්භ කිරීමට සූදානම්ව සියලුම ඊශ්‍රායල භූමි හමුදා එම ස්ථානගතවම පවතිනු ඇත. බදාදා සවස මාධ්‍ය හමුවකදී නෙතන්යාහු පැවසූ පරිදි, “විරාමය අවසන් වූ විට, අපි නැවත යුද්ධය ආරම්භ කරමු. සමහර විට ඊට බොහෝ පෙරම කිරීමට අපට බල කෙරෙනු ඇත. ” ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින , ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවට මෙම විරාමය අදාළ වන බවට වන කිසිදු යෝජනාවක් ඔහු ප්‍රතික්ෂේප කළේය. මෙම කරුණ අවධාරනය කරමින්, “උතුරු ගාසා තීරයේ දැන් සිදුවෙමින් පවතින දේ දකුනු ලෙබනනයේ සහ බීරූට්හි ද සිදුවිය හැක” යනුවෙන් එම මාධ්‍ය හමුවේදීම යුද කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් පැවසීය.

සටන්වල ​​විරාමය අල්ලා පැවතියද , එය ඊශ්‍රායලයේ හමුදා තත්ත්වය ශක්තිමත් කරනු ඇත. සති හයකට පෙර බෝම්බ හෙලීම ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයේ, ඒකාබද්ධ සෘජු ප්‍රහාරක ආයුධ ස්මාර්ට් බෝම්බ කට්ටල ( direct attack munition smart bomb kits ) 2,500 ක් පමණ භාවිතා කර ඇති බැවින්, ඊට දින 10 ක සටන් සඳහා පමණක් සුනම්‍ය-නියමු යුධෝපකරණ (precision-guided munitions ) තොග ඇති බව සමහර හමුදා විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත. ජර්මනියේ එක්සත් ජනපද රැම්ස්ටයින් ගුවන් කඳවුරේ සිට ඊශ්‍රායලයට දිනපතා පැමිණෙන C-17 ගුවන් ගමන් බොහෝ අවශ්‍ය මිලිටරි සැපයුම් රැගෙන ඒමත් සමඟ, දින හතරක කාලසීමාව IDF හට එහි තොග නැවත සපයා ගැනීම කාලය ලබා දිය හැකිය.

භූමියේ ඇති මිලිටරි තත්වයද ඊශ්‍රායලයට සිය ජන සංහාරක ප්‍රහාරයේ මීළඟ අදියර සූදානම් කිරීම සඳහා ඉඩ හසර මෙම විරාමය භාවිතා කිරීම මගින් ලබා දිය හැකිය. වෝල් ස්ට්‍රීට් ජර්නල් සගරාව බදාදා කතුවැකියක ලියා ඇති පරිදි, ගිවිසුමේ මුහුර්තනය ( කාල නිශ්චය) “ ඊශ්‍රායලයට නරක නැත. ගාසා තීරයේ උතුරේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමෙන් පසුව, එය දකුණට හැරීම සදහා සූදානම් විය යුතුය.”

අර්බුද ග්‍රස්ත නෙතන්යාහු ආන්ඩුව ගිවිසුම ගැන එතරම් උනන්දුවක් නොදක්වයි. නෙතන්යාහු ගාසා යුද්ධයේ ඔහුගේ ප්‍රධාන ඉලක්කය හමාස් “තුරන් කිරීම” හෝ “විනාශ කිරීම” බව යලි යලිත් අවධාරනය කර ඇත, එනම් යථාර්ථයේ දී පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීමයි. නෙතන්යාහුගේ ෆැසිස්ට් සභාග හවුල්කරුවා වන යුදෙව් බලය පක්ෂය , අඟහරුවාදා රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීමට ඡන්දය දුන්නේය.

කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා තවත් බොහෝ දේ කරන ලෙස පසුගිය දිනවල ඔවුන්ගේ පවුල් වලින් එල්ල වන පීඩනයට නෙතන්යාහු ලක් විය. ඔහු ඊශ්‍රායලය තුළ ගැඹුරින්ම ජනප්‍රියත්වයෙන් තොර චරිතයකි. ජනගහනයේ පුලුල් කොටස් අවම වශයෙන් , ඔක්තෝබර් 7දා ඊශ්‍රායල සිවිල් වැසියන්ගේ මරණවලට අර්ධ වශයෙන් ඔහු වගකිව යුතු බව පිළිගනී. නෙතන්යාහුගේ වඩ වඩාත් අවිනිශ්චිත තත්ත්වය නිසා ඔහු ඕනෑම වියදමකින් යුද්ධය නැවත ආරම්භ කිරීමට සහ තීව්‍ර කිරීමට උත්සාහ කරනු ඇත. මක්නිසාද යත් විකල්පය නිසැකවම ඔහුගේ අගමැති ධූරයේ අවසානය වන අතර පසුව ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම වනු ඇති හෙයිනි. 

ඊශ්‍රායලයේ ගුවන් බෝම්බ ප්‍රහාරය ආරම්භ වී සති හයක කාලය තුළ පලස්තීන සිවිල් වැසියන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩක් විනාශ වී හෝ හානි වී ඇත. ගාසා හි රෝහල් 36 න් 10 ක් පමණක් ක්‍රියාත්මක වේ. කලින් ගාසාවේ විශාලතම රෝහල වූ අල්-ෂිෆා රෝහල ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර එහි කොටස් හමුදා බැරැක්කයක් බවට පත් කර ඇත. හිතාමතාම බේකරි ඉලක්ක කර ගැනීම නිසාත්, ඒවා ක්‍රියාත්මක වීම නතර කර ඇති නිසාත්, ජල පිරිපහදු පහසුකම් බල ගැන්වීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසාත් ජනගහනය අතර මන්දපෝෂණය සහ රෝග බහුලව පැතිරී ඇත.

මෙම මානව ව්‍යසනය ගැන අනවධානයෙන්, ආයතනික පාලිත මාධ්‍ය, බයිඩන් පරිපාලනය නෙතන්යාහුගේ හස්තය ඇඹරූ බවත්, “මානුෂීය විරාමයක්” ලබා ගැනීම සඳහා කටාර් සමඟ සාකච්ඡාවලට මැදිහත් වූ බවත් සියලු දෙනා විශ්වාස කරවීමට තැත් කරනු ඇත. වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහා අදහස් සටහනක ලියා ඇත්තේ “විරාමය” යනු “අපට ඒ මත ගොඩනගත හැකි බලාපොරොත්තු තැබිය හැකි පළමු පියවරක්” බවයි.සති දෙකකට පෙර සටන් විරාමයක් පිලිබඳ කිසිදු කථාවක් ප්‍රතික්ෂේප කල සෑන්ඩර්ස්, “සැලකිය යුතු, දීර්ඝ කරන ලද මානුෂීය විරාමයක්” සහ “ද්වි-රාජ්‍ය විසඳුමක්” සඳහා වැඩ කිරීම, ඉල්ලා සිටීමට පෙරට ආ අතර, “ඒ සියල්ල,ඊශ්‍රායලය කෙරෙහි ඇමරිකාව සතු ලීවරනය භාවිත කිරීමෙන් සාක්ෂාත් කරගත හැකිය” ලෙස ලිවිය.

මැදපෙරදිග, මධ්‍යම ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ දශක තුනකට වැඩි අඛණ්ඩ යුද්ධවලින් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඊශ්‍රායල පාලන තන්ත්‍රය මත යම් ආකාරයක සංයමනකාරී බලපෑමක් ලෙස ක්‍රියා කරයි යන යෝජනාව අභූත ය. ගාසා තීරයට සති හයක බෝම්බ හෙලීම පුරාවටම, ඊශ්‍රායල හමුදාවට වොෂින්ටනයේ සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින්ගේ කොන්දේසි විරහිත සහයෝගය, දිනපතා යුද අපරාධ සිදු කිරීමට නෙතන්යාහු ආන්ඩුව ධෛර්යමත් කර ඇත. රෝහල්, පාසල් සහ තීරණාත්මක පොදු යටිතල පහසුකම් විනාශ කිරීම, එක්සත් ජාතීන්ගේ සහන සේවකයන් 100කට වඩා මරා දැමීම සහ ගාසාවේ මිලියන 2.3 ක වැසියන්ට විදුලිය, ඉන්ධන සහ ජලය කපා හැරීම මේවාට ඇතුළත් ය.

“ද්වි-රාජ්‍ය විසඳුම” සම්බන්ධයෙන් ගත් කල, ඊශ්‍රායල පාලන තන්ත්‍රය පලස්තීනුවන්ට එරෙහි සිය සමූල ජන සංහාරක අභිප්‍රායන් විවෘතව ප්‍රකාශ කර ඇති අතර, බයිඩන් පරිපාලන නිලධාරීන් දිහින් දිගටම ඊශ්‍රායලයේ යුද්ධයේ හැසිරීමට කිසිදු ආකාරයක “රතු ඉරි” නොපමුණුවන බව ප්‍රකාශ කර ඇත. ඔක්තෝම්බර් මාසයේදී කාන්දු වූ බුද්ධි අමාත්‍යාංශයේ ලේඛනයකින් හෙළි වූයේ ගාසා තීරයේ ජනගහනය ඊජිප්තුවේ සීනායි කාන්තාරයේ කූඩාරම් කඳවුරුවලට පලවා හැරීමේ සැලසුම් ය. වඩාත් මෑතක දී මුදල් ඇමති බෙසලෙල් ස්මෝට්‍රිච් ගාසා ජනගහනයට “ලෝකයේ රටවල්” වෙත “ස්වේච්ඡා සංක්‍රමණය” සිදු කිරීමට ඉල්ලා සිටියේය.

අධිරාජ්‍යවාදීන් විසින් නාසීන්ගෙන් පසුව නොදුටු යුද ක්‍රම අනුමත කිරීම තේරුම් ගත හැක්කේ වේගයෙන් වර්ධනය වන තුන්වන ලෝක යුද්ධයක සන්දර්භය තුල පමනි. ගාසා තීරයට ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ප්‍රහාරය, අන් සියල්ලටත් වඩා එහි කලාපීය ආධිපත්‍යය රඳවා ගැනීමේ අරමුන ඇතිව වොෂින්ටනය විසින් උසිගන්වන ලද මැද පෙරදිග පෙරමුනේ කොටසකි. බයිඩන් පරිපාලනය ඉරානය සමඟ මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ගුවන් යානා ප්‍රවාහන යුධ නැව් කණ්ඩායම් දෙකක් සහ න්‍යෂ්ටික ධාරිතාව සහිත සබ්මැරීනයක් කලාපයට යොදවා ඇත.

ඒ අතරම, වොෂින්ටනය රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ දී අන්ත දක්ෂිනාංශික යුක්‍රේන තන්ත‍්‍රයට එහි පිටුබලය නොකඩවා ලබා දෙන්නේ, රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත් කොල්ලකෑම අරමුනු කර ගෙනය. ආසියා-පැසිෆික් කලාපයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ චීනයට එරෙහි එහි කලාපීය සහචරයන්ගේ නිත්‍ය ප්‍රකෝප කිරීම් දිගටම පවතියි.පලස්තීනුවන් 14,000කට අධික සංඛ්‍යාවකගේ මරණ සම්බන්ධයෙන් බයිඩන්, ජර්මනියේ ෂොල්ස්, ප්‍රංශයේ මැක්රොන් සහ බ්‍රිතාන්‍යයේ සුනැක් විසින් පෙන්නුම් කරන ලද දයා විරහිත උදාසීනත්වය අවධාරනය කරන්නේ, දැන් හොඳින් සිදුවෙමින් පවතින ප්‍රධාන බලවතුන් අතර ලෝකයේ මෙම නව නැවත බෙදීම තුළ, ඔවුන් විසින් මිනිස් ජීවිතය ලාභදායී හා වියදම් කළ හැකි දෙයක් බවට සලකන බවයි.

ගාසා තීරයේ ජන සංහාරය නැවැත්විය හැකි එකම මාර්ගය වන්නේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි. ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරය සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් එයට ලැබී ඇති සහයෝගය සම්බන්ධයෙන් සෑම රටකම පුලුල් පිලිකුලක් හා කෝපයක් පවතින බව පසුගිය සති හය පුරා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ උද්ඝෝෂන මගින් පෙන්නුම් කර ඇත.

අවශ්‍ය වන්නේ ගාසා තීරයේ සහ කලාපය පුරා මිලිටරි මෙහෙයුම් නැවැත්වීමේ අරගලය තුල බලමුලු ගැන්විය යුතු කම්කරු පන්තිය වෙත තීරනාත්මක හැරීමකි. ඊශ්‍රායලයට මිලිටරි සැපයුම් අවහිර කළ යුතු අතර, දේශපාලන ජීවිතයට කම්කරුවන්ගේ සක්‍රීය මැදිහත්වීම හරහා මිලිටරි උපකරණ සහ අනෙකුත් තීරණාත්මක නිෂ්පාදන , නිෂ්පාදනය කිරීම නතර කළ යුතුය. දශක ගනනාවක් කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාර සහ ලේවැකි යුද්ධවල අඛණ්ඩව නියැලීමේ හේතුවෙන් ගැඹුරින් පිළිකුලට ලක්ව ඇත, ඊශ්‍රායල පාලන තන්ත්‍රයට පිටුබලය දෙන අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානයේ දේශපාලන මහා වැඩ වර්ජනයක් සඳහා සූදානම් විය යුතුය. මෙම අරගලයේ සාර්ථකත්වය සියල්ලටත් වඩා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මත රඳා පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *