කම්කරු තරුණියගේ මරණයට ජපාන ආගමන නිලධාරීන් වගකිවයුතුබව තහවුරු වී තිබියදී ඔවුනට චෝදනා ගොනු කිරීම එරට අධිකරණය යලි ප්‍රතික්ෂේප කරයි

දේහින් වසන්ත

ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවක් වන විශ්මා සඳමාලි රත්නායක, ජපානයේ ආගමන සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය රැඳවුම් මධ්‍යස්ථානයකදී මියයාම සම්බන්ධයෙන් එහි නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම, සැප්තැම්බර් මස 22 වැනිදා, මධ්‍යම ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයා හි අධිකරනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කර ඇත.

විශ්මා සඳමාලි රත්නායක-

33 හැවිරිදි රත්නායක වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් 2020 අගෝස්තු මස සිට රැඳවුම් මධ්‍යස්ථානයේ භාරයට පත්වීමෙන් පසු මුහුනදුන් දැරිය නොහැකි ශාරීරික සහ මානසික වධ වේදනා මැද සෞඛ්‍ය තත්වය පිරිහීමෙන් 2021 මාර්තු මාසයේදී මිය ගියාය. මෙම සිද්ධියත් සමග, ජපාන ආන්ඩුව කෙරෙහි ඇගේ පවුලේ ඥාතීන්ගෙන් පමනක් නොව ලොවපුරා කම්කරු පීඩිතයන් ගෙන් බලවත් විරෝධයක් පැනනැගුනි.

ඇගේ අවසන් කටයුතු සිදුකිරීමටත් යුක්තිය ඉටුකරවා ගැනීමටත් මහජනතාවගෙන් ලැබුනු ආධාර සහිතව ජපානයට ගිය ඇගේ සහෝදරියන් දෙදෙනා අපරාධයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්න වූහ.

2022 මාර්තු මාසයේ නඩුව ඇරඹුනු අතර පවුල වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ, සඳමාලි මියයාමට ආසන්න කාලයේ ඈ සිටි අසාධ්‍ය තත්වය පෙන්නුම් කරන සංවේදී සීසීටීවී දර්ශන වල කොටස් නගෝයා අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මාසයේ දී ජනමාධ්‍ය වෙත නිකුත් කලෝය.

බ්ලැන්කට්ටුවකින් ආවරනය කොට ඉතාම දුර්වල තත්වයෙන් ඇඳේ වැතිරී සිටින සඳමාලි සේවකයන් සමග කතා කරන අයුරු වීඩියෝ පටයේ දැක්වෙයි. ‘මට කිසිම දෙයක් බොන්න බැහැ, මට හුස්ම ගන්න බෑ. මම මැරෙනවා’ යයි ඇය පවසන බව බීබීසී ය වාර්තා කලේය. පෙබරවාරි 23 වන දින, වමනය කිරීමෙන් පසු රෝහලට ගෙන යන ලෙස ඇය නැවත නැවතත් ඉල්ලා සිටිනු වීඩියෝ පට වලින් දැක ගතහැකිබව බව ජපාන මාධ්‍ය පවසති. පාර්ශ්වික නිදහසක් ලබා ගැනීම සඳහා රැඳවියන් කෑම නොගෙන අසනීප බව හඟවන බැවින්, ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව ආගමන නිලධාරීන් තම නිදහසට හේතු ලෙස දක්වා තිබේ.

සඳමාලිගේ මරනය සම්බන්ධයෙන් රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකල අපරාධ නඩුව ඉදිරියට ගෙන යාමට කිසිදු පදනමක් නොමැති බව 2022 ජුනි මාසයේදී නගෝයා අධිකරනය තීන්දු කලේය.

තීන්දුව අභියෝගයට ලක්කරමින්, අහඹු ලෙස තෝරාගත් පුරවැසියන්ගෙන් සැදුම්ලත් පරීක්ෂන මන්ඩලයක් මගින් තීරනය සමාලෝචනය කරන ලෙස පැමිනිලිකරුවන් ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට අනුව අධිකරනය පත්කල මන්ඩලය, මිනීමැරුම් සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා එල්ල කල නොහැකි වුවද, ඔවුන්ගේ වෘත්තීය නොසැලකිල්ල මරනයට හේතු විය හැකි බවත් උසාවියේ තීන්දුව අසාධාරන බවත් ප්‍රකාශ කලේය.

නඩුව දෙවැනි වරට විභාග කිරීම ඇරඹුනේ ඒ අනුවය. එම විභාගය අවසානයේදී පලමු තීන්දුව නිවැරදි බව ප්‍රකාශ කරමින් ආගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම යලි ප්‍රතික්ෂේප කෙරුනි.

සඳමාලිගේ පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉබුසුකි ෂෝයිචි පවසන්නේ නඩුව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරනය පිලිගත නොහැකි බවයි. ඒ මගින් රැඳවියෙකු නොසලකා හැර මියයාමට අතහැර දැමුවද ආගමන බලධාරීන් සාපරාධී වගකීමක් දරන්නේ නැති බව උසාවිය පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති බවත් මෙම අසාධාරන තීරනය පවුලේ අය පිලි නොගන්නා බවත්, වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට දිගටම සටන් කරන බවත් ඔහු පැවසූබව ‘එන්එච්කේ වර්ල්ඩ් ජැපෑන්’ නම් පුවත්පත පසුගිය මස 29වැනිදා වාර්තා කලේය.

ලෝකයේ කම්කරු පීඩිතයන් තීන්දුවේ පක්ෂපාතී භාවය දැක ගනී. ඊට එරෙහිව සටන් කිරීමට ඇති බලවත් ආධ්‍යාසය මරනයට එරෙහි ව ආරම්භයේ සිටම පැනනැගුනු උද්ඝෝෂන මගින් පිලිබිඹු කරයි.

විරෝධය යටපත් කරනුවස්, ජපාන ආන්ඩුව ‘සාධාරනව’ ක්‍රියා කරන බව පෙන්වීමට ව්‍යාජ පියවර කීපයක් ගත්තේය. නගෝයා බලධාරීන් මහජනතාවගෙන් සමාව අයැද සිටි අතර 2021 අගෝස්තු මාසයේදී ජපානයේ ආගමන සේවා ඒජන්සිය විසින් කරන ලද විමර්ශනයකින් රත්නායකගේ අසනීපය පිලිබඳ තොරතුරු වාර්තා කිරීම රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලය නොසලකා, මානව හිමිකම් පිලිබඳ අනවබෝධයෙන් කටයුතු කර ඇති බවත් වාර්තා කෙරුනි.

පුපුරා ගිය මහජන විරුද්ධත්වය සමනය කිරීමට, යෝජිත නව සංක්‍රමනික පනත තාවකාලිකව හකුලා ගැනීම ජපානයේ අගමැති යොෂිහිදේ සුගා ගේ ලිබරල් ඩිමොක්‍රටික පක්ෂ ආන්ඩුව ගත් තවත් පියවරකි. මෙම පනතෙන් සම්මත කිරීමට යත්න දරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිලිගත් සංක්‍රමන කම්කරු අයිතීන්ට මුලුමනින්ම පටහැනි නීති මාලාවකි.

කෙසේ නමුත්, කල්දැමුනු පනත මෙම වසරේ ජුනි 9 වැනිදා ජපාන පාර්ලිමේන්තුව සම්මත කලේය. බුරුතු පිටින් සංක්‍රමනිකයන් ජපානයෙන් පිටුවහල් කිරීමට නව නීති යොදා ගනු ඇත. කම්කරුවන්ගේ තත්වය තවත් රුදුරු වනු ඇතිබව අඟවමින් නිකී ඒෂියා නම් ජපාන පුවත්පත පසුගිය වසරේ සැප්තැම්බර් මස වාර්තා කලේ සංක්‍රමනිකයන්ගේ සරනාගත අයදුම්පත් විභාග වෙමින් පවතින අතරතුර පිටුවහල් කිරීමට අවසරය ආගමන සේවා ඒජන්සිය විසින් ඉල්ලා ඇති බවයි.

සඳමාලි ඝාතකයන්ට දන්ඩ මුක්තිය ලැබී තිබෙන්නේ සංක්‍රමනිකයින්ට එරෙහි රුදුරු පියවර සඳහා අවශ්‍ය යාන්ත්‍රනය ගොඩනැගීමට සපයන පිටු බලයේ කොටසක් ලෙසය. ජපාන ආගමනික බලධාරීන්ගේ අත්අඩංගුවේදී මියගොස් ඇති කම්කරුවන් පෙලේ දාහත්වෙනි ගොදුර සඳමාලි බව බීබීසී අනාවරනය කරයි.

ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය මධ්‍යයේ, බොහෝ රටවල ආන්ඩු සංක්‍රමනිකයන්ට එරෙහි මර්දනය වඩාත් තීව්‍ර කරමින් පවතී. මෙක්සිකෝව හරහා එක්සත් ජනපදයට සංක්‍රමනය වන කම්කරුවන්ට වැට බැඳීමට ට්‍රම්ප් ආන්ඩුව ක්‍රියාත්මක කල දේශ සීමා තාප්පය ඉදිකිරිම බයිඩන් පරිපාලනය විසින් නැවත අරඹා තිබේ. ජීවිතාරක්ෂාව සඳහා පලා එන කැමරුන් ඇතුලු රටවල මහජනයාගේ ජීවිත නොතකා ඔවුන් පිටුවහල් කිරීමට එක්සත් ජනපද ආන්ඩුව සැරසෙන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය සතියේ වාර්තා කලේය. ඉතාලියට සංක්‍රමනය වන ජනතාව නැවත යුද්ධයෙන් විනාශ වූ උතුරු අප්‍රිකාව වෙත පිටුවහල් කිරීම සහ එතෙක් හමුදා කඳවුරුවල රඳවා ගැනීම සඳහා ඉතාලිය ඇතුලු යුරෝපයේ ආන්ඩු පියවර ගනිමින් සිටිති.

කෙසේ වෙතත්, ජපාන අධිකරනයේ තීන්දුව, ජාත්‍යන්තර කම්කරු පංතියට ඉතා වැදගත් පාඩමකි: අර්බුදයෙන් තොර කාල පරිච්ඡේදයන්හි ධනේශ්වර අධිකරනය කම්කරු පංතිය සම්බන්ධයෙන් යම් ආකාරයක යුක්තිය සහ සාධාරනත්වය ඉටු කරන බවක් පෙන්නුම් කලද, ධනපති ක්‍රමය අර්බුදයට යත්ම එහි යථා ස්වභාවය, එනම් එය කම්කරු පංතියට එරෙහිව ගොඩනගා ඇති ධනපති රාජ්‍යයේ උපකරනයක් බව වඩාත් නග්නව විශද වේ. මෙය සෑම රටක් සම්බන්ධයෙන් අදාල වේ.

අනෙක් අතට, විදේශ විනිමය පිපාසයෙන්, කම්කරුවන් විවිධ ආකාරයෙන් දිරි ගන්වා විදේශ රැකියා වෙත යොමු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, සංක්‍රමනික කම්කරුවන්ගේ ජීවිත පවා අහිමිවන රුදුරු කොන්දේසි හමුවේ මුනිවත රැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කම්කරුවන් සම්බන්ධයෙන් එහි සාපරාධී නොතැකීමයි.

රැකියා හිඟය, ජීවන වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහල යෑම, රාජ්‍ය මර්දනය සහ වාර්ගික හිංසන හමුවේ පසුගාමී ධනපති රටවල සිට රැකියා සොයා දියුනු ධනපති රටවලට සංක්‍රමනය වන කම්කරුවන්ට මෙන්ම, දියුනු ධනපති රටවල කම්කරුවන්ට, ධනපති අධිකරනය, මානව හිමිකම් සංවිධාන හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අධිරාජ්‍යවාදී ආයතන හරහා තම අයිතීන් රැකගත නොහැක.

එම අයිතීන් රැකගත හැක්කේ, ජාත්‍යන්තරව ගොඩනගනු ලබන කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ධනපති ආන්ඩුවලටත්, සමස්තයක් ලෙස ගෝලීය ධනපති ක්‍රමයටත් එරෙහිව දියත් කරන දේශපාලන අරගලයකින් පමනි. ඒ වනාහි, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කෙරෙන, කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ නිෂ්පාදන මාධ්‍යයන් ජනසතු කෙරෙන සහ ලාභය වෙනුවට මානව අවශ්‍යතා වෙනුවෙන් සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කෙරෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed