ජ්‍යෝතිෂවේදියා බන්ධනාගාරගත කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

නන්දන නන්නෙත්ති විසිනි 

ඔක්තෝබර් 6දා, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදියෙකු වන ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. ඔහු ඔක්තෝබර් 20දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් නියෝග කළේය .

ඔහු “මුස්ලිම් ආගමට, අල්කුරානයට හා නබී නායකතුමාට” අපහාස කළේ යැයි ධනපති දේශපාලඥයන් හා පූජකයන් විසින් පරිගනක අපරාධ කොට්ඨාශයට හා පොලිසියට පැමිණිලි 12ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. තොටවත්ත “ක්‍රිස්තියානි ආගම හා මුස්ලිම් ආගම යන දෙක ම එකම අම්මාගේ චාටර් දරුවන් දෙදෙනෙකි” යි සිය සත්‍යාව්ලොග් නැමති යුටියුබ් නාලිකාවෙන් ප්‍රකාශ කර ඇත. නබීනායකතුමා බාල වයස්කාර දැරිවියක් විවාහ කර ගත් බව කුරානයේ සඳහන් වී ඇතැයි කියන ඔහු, ඒ නිසා, කුරානය ඉගැන්වීම නතර කිරීම සඳහා පව උද්ඝෝෂනය කර ඇත. තොටවත්ත මෙබඳු කරුනු ගැන ඉස්ලාම් සහ වෙනත් බැතිමතුන් සමඟ ද, මෙකී නාලිකාව මෙන් ම වෙනත් එබඳු නාලිකා හා ප්‍රසිද්ධ රුපවාහිනී චැනලයන් තුල ද වාද විවාද කර ඇත. 

දුගී පවුලක උපන් දෘශ්‍ාබාධිත දරුවෙකු වන ඉන්දික තොටවත්ත ජීවනෝපාය සදහා දෛවඥයෙකු හා විවිධ හාස්කම් කළ හැකි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමත් සමඟ, “සිරස” වැනි ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය යොදා ගනිමින් කළ කූටෝපායික වැඩ සටහන් තුලින් සමාජය තුල විශේෂ චරිතයක් ලෙස ඔසවා තැබිණ.  

මේ වන විට ඔහු ජ්‍යොතිෂය මෙන් ම යූටියුබ් වැඩ සටහන් මගින් මුදල් උපයන්නෙකි. ඔහු පවසන පරිදි තමන් ජ්‍යෙතිෂයට වඩා මුදල් උපයන්නේ සමාජ මාධ්‍යය තුලිනි. විශේෂයෙන් ආගමික හා විවිධ විශ්වාසයන් පිළිබද පන්ඩිතමානී හා විද්‍යා විරෝධී, නමුත් උනුසුම්, විතන්ඩවාදී තර්ක විතර්ක පවත්වමින් පසුගාමී හා ගතානුගතික සමාජ ස්ථරයන් තුළ තත්වයක් නිර්මානය කර ගැනීමට ඔහුට හැකි වී ඇත. මේ සඳහා මහායාන බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින තොටවත්ත, ථේරවාද බුද්ධාගමේ සමහර දේ සමඟ ගැටෙන අතර, විශේෂයෙන් ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වලට  ප්‍රකෝපකාරී ලෙස දොස් තබයි. 

ආගම් විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතුයයි කියන තොටවත්ත, එසේ විවේචනය කරන අයට දඬුවම් දීම නොකල යුතු ය යි ද එම විවේචන තර්කයෙන් බිඳ දැමිය යුතුය යි ද ප්‍රකාශ කරන විට ඔහු සිදුකරන්නේ අධිපති සිංහල-බෞද්ධ පාලක පන්තියේ කර මත වාරු වෙමින් සිය ජනප්‍රියත්වය හා එමඟින් ඉහල යන ආදායම ගැන ද සිතා බලා ය යන්න සත්‍යයකි. 

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රිසාද් බදියුදීන්, වත්මන් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ඇතුලු දේශපාලනඥයන්, ඉස්ලාමීය පූජකයන් ඔහුට විරුද්ධව පැමිනිලි කර ඇත්තේ එබඳු විවේචන මගින් ජාතික සංහිදියාවට බාධා පැමිනවීම ගැන ය. 

තොටවත්තගේ ප්‍රකාශය හෙළා දකිමින්, ඔක්තෝබර් 7දා ජනමාධ්‍ය ඇමතූ සමස්ත ලංකා ජමියාතුල් උලමා – All Ceylon Jamiyyathul Ulama (ACJU), “එබඳු දුෂ්ඨ කොටස්වලට එරෙහිව පියවර ගන්නා මෙන්” වර්ගවාදී ආන්ඩුවේ ජනාධිපතිගෙන් හා පොලිස්පතිගෙන් ඉල්ලා සිටි අතර, “අපේ මව්බිමේ මහජනයා අතර සමගියසහජීවනය හා සාමයේ ආරක්ෂාව සහතික කරමින් ඊට වග කිවයුතු බලධාරීන් ඒ පිලිබඳ ව නිවැරැදි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යි සඳහන් කලේය.

එම ප්‍රකාශය කල මවුලවීවරයා, දැනටමත් මුස්ලිම් හා දෙමල තරුනයන් සහ ලේඛකයන් රොත්තක් අත්අඩංගුවට ගෙන, ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා, දිගු කලක් ඇප නොදී රඳවා ගැනීමට  යොදවා ගැනුනු නීතිමය උපකරණය වන අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ ඔහුට දඬුවම් දෙන මෙන් ආණ්ඩුවේ ඉල්ලා සිටියේ ය. නතාෂාට, සේපාල අමරසිංහට හා ජෙරම් ප්‍රනාන්දුට දඬුවම් දුන්නා මෙන් දැඩි දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලූ ඔහු, දැඩි නීති ක්‍රියාත්මක කලොත් “ආගම් ගැන තියෙන ප්‍රශ්න මතු කරන්නෙ නැහැ” යි සිය අරමුණ විවෘතව ම පෙරට දැමුවේ ය. මේ සඳහා, එනම් ආගම විවේචනය කිරීම මැඩීම තහුරු කිරීම සඳහා, ලංකාවේ ආගම් 4 ම අන්‍යොන්‍ය සහයෝගයෙන් මැදිහත් විය යුතු බවට ද ඔහු යෝජනා කලේ ය. 

මේ වනාහී මහජනයාගේ පිබිදෙමින් පවතින විචාර බුද්ධියට ම එරෙහි ව දැනටමත් මහජන වෛරයට පාත්‍ර වී ඇති මර්දනීය රාජ්‍ය යන්ත්‍රනය ඔසවා තැබීමට යත්න දැරීමකි.   

‍‍‍‍‍‍‍‍‍‍පැමිණිලිකාරයන් හා විත්තිකාරායා නියෝජනය කරන පන්ති අවශ්‍යතා ගැන අපට ඉතා පැහැදිලිව මෙසේ කිව හැකි ය: 

ධනපති පන්තියට නොවෙනස් ලෙස පැවිද්දෝ ද මහජනයා මුහුන දී සිටින පරිහානියෙන් දනූගත්කමින් හා පීඩනයෙන් ද ලාභ ප්‍රයෝජන ලබමින් මහජනයාගේ පිටේ නැග ගෙන වෙසෙති.”  (රෝසා ලක්සෙම්බර්ග්, Socialism and the Church, 1905) 

තොටවත්ත ධනපතියෙකු, ධනපති දේශපාලනඥයෙකු හෝ පැවිද්දෙකු නො වන බව සැබෑ වුවත්, කූටෝපායයිකයෙකු ද, ආගමික අභුත ලෝකයක සමාජ ප්‍රශ්න සඟවා තැබීම සඳහා කැප වූ පුද්ගලයෙකු ද වන ඔහුගේ පැවැත්ම ද එම පන්තිමය ස්වභාවයෙන් වෙනස් වන්නේ නැත. අනික් දෙපාර්ශවය මෙන් ම ඔහු ද මිනිසුන්ගේ ජීවිතයේ කටුකබව ජීවනෝපාය කර ගනී. ධනවාදී සමාජය තුල ඒ සඳහා අවශ්‍ය තරම් අවකාශ හා අවස්ථා ඇත. මූල්‍ය ප්‍රාග්ධනයේ පාලනය පාදඩකම රජකරවන බව කාල් මාක්ස් 1848 ප්‍රංශයේ තෙවන විප්ලවය ගැන කල විශ්ලේෂනයේ දී මත් පෙන්වා දුන්නේ ය.

ආගමික සංහිඳියාවේ නාමයෙන් දරුනු නීති ක්‍රියාත්මක කරන ලෙස කෙරී ගෙන යන උද්ඝෝෂණය තරුණ හා සෙසු මධ්‍යම පන්තික කොටස්වල සැලකිය යුතු ආකර්ෂනයක් දිනාගෙන ඇති බව පෙනී යයි. නිදසුනක් ලෙස එස්එල් ස්ටෝරි නිවුස් නම් යූටියුබ් චැනලය පල කල මව්ලවිගේ අදාල පුවත්පත් සාකච්ඡාව මේ වන විට 5000ට වැඩි සංඛ්‍යාවක් විසින් ශෙයාර් කරනු ලැබ ඇත. මෙම උනන්දුව වටහාගත හැකි ය. 75 වසරක් ලංකාවේ ධනපති පාලනය ඉදිරියට ගොස් ඇත්තේ මහජනයා ආගමික වාර්ගික රේඛාවන් ඔස්සේ බෙදා පාලනය කිරීමේ මූලෝපාය යොදාගෙන ය. රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙමින් ආගමික හා වාර්ගික සුලුතරයන්ට ප්‍රහාර මාලාවක් එල්ල කල බොදු බල සේනා, සිහල රාවය වැනි ෆැසිස්ට් කල්ලි මහජන විරෝධයට පාත්‍ර වී ඇත. පසු ගිය වසරේ පැන නැඟුනු මහජන අරගලය, මෙම උගුල් ප්‍රතික්ෂේප කර මහජන එකමුතුව වර්ධනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි ව ඉස්මතු ක‌ළේ ය. අනතුරුව ගෙවී ගිය කාලය තුල ආන්ඩුව හා ධනපති ගැති ප්‍රතිගාමී කන්ඩායම් එම බෙදීම් යලි අවුස්සා ගැනීමට ගත් උත්සාහයන් මහජන පිලිකුලට ලක්ව අකුලා ගැනීමට සිදු විය. පාලක පන්තියේ එම දැනුවත් පීඩනය තොටවත්තට එරෙහි ඉහත යෝජනාවට අත්දැකීම් විරහිත තරුණයන්ගෙන් හා සෙසු මධ්‍යම පන්තික කොටස්වලින්  සහයෝගය ගොනු කිරීමට ආධාර විය.

මේ තතු යටතේ, මහජනයා අතර නිදහස් අදහස් පැවතීම හා හුවමාරු වීම මාරාන්තික අනතුරක් ලෙස සලකන පාලක පන්තිය නව මර්දදනනීති මඟින් ඒවා මැඩලීමට දැනටමත් ක්‍රියාත්මක වී ඇත. මහජනයා ඒවාට එරෙහි අරගලයක ද නිරත ය. එක තැනක දී දරුනු නීති ක්‍රියාත්මක කරන ලෙසත් තවත් තැනක දී ඒවා අහෝසි කරන ලෙසත් එකම ආණ්ඩුවකට බල කිරීම අප වටහා ගන්නේ කෙසේ ද? එබැවින්, වර්ගවාදය පරාජය කළ හැකි වන්නේ සිංහල, දෙමල, මුස්ලිම් ජනයා ආණ්ඩුවේ සියලු මර්දන නීති හා පියවර පරාජය කිරිම සඳහා ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීම වෙනුවෙන් ගෙන යන නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී සටන තුලින් ම පමණි. 

ආගම විවේචනය කළේ ය යන චෝදනාව යටතේ ඉන්දික තොටවත්තට විරුද්ධ දඩයම පරාජයට පත් කිරිම එහි එක් පියවරකි. මන්ද යත් ප්‍රහාරය එල්ල වී ඇත්තේ හුදෙක් ප්‍රතිගාමී සංකල්ප වෙනුවෙන් පෙනී සිටින තොටවත්තටවත්, ඔහු නියෝජනය කරන එම සංකල්පවලටවත් නො ව පොදුවේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ය. 

පුලුල් ම ප්‍රජාතන්ත්‍රවාදය යෝජනා කරන විට අප, ෆැසිස්ට්වාදයට වුව අදහස් සදහා පෙනී සිටීමේ නිදහසක් තිබිය යුතුය යි කියන්නේ දැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක. නැත. අප කතාකරන්නේ සූරා කෑමේ අයිතිය සුරකින ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව ය. ෆැසිස්ට්වාදය යනු, ධනවාදයට එම ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පවා දරාගත නො හැකි ලෙස ගැඹුරු වන අර්බූදය විසඳා ගැනීම සඳහා, කම්කරු පන්තිය තලා මිරිකා එහි සියලු ශක්තිය උරා ගන්නා මධ්‍යම පන්තික ව්‍යාපාරයකි. ඒ අනුව වර්ගවාදය මැඩ පැවැත්වීම සඳහා ධනපති ආණ්ඩුව මෙහෙයවා ගැනීම යනු, දැනටමත් සිඳී බිඳී ගොස් ඇති ව්‍යාජ-වාම නපුරු ස්වප්නයකි. 

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *