තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂණයට සහාය පල කරති

අපේ වාර්තාකරු

තම කලා නිර්මානයක් නිසා වර්ගවාදීන්ගේ හා ආන්ඩුවේ දඩයමට ලක්ව සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරගැනීම හා කලාවේ හා ප්‍රකාශයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඉදිරියට ගෙන ඇති උද්ඝෝෂනයට සහාය පල කරමින් කලාකරුවන් අප වෙත ප්‍රකාශ එවමින් තිබේ. 

ඇයගේ ප්‍රහසනක් අතරතුර කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට අපහාස කලේ යැයි චෝදනා නගා ශ්‍රි ලංකා ආන්ඩුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව නතාෂා මැයි 28 දින අත්අඩංගුවට ගෙන අධිකරනයට පමුනුවනු ලැබූ අතර, ඇය ජුනි 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බැවින් පහල අධිකරනයෙන් ඇයට ඇප ලැබෙනු නැත.

ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහිව හා නිදහස් අදහස්  මැඩීමට බෞද්ධ වර්ගවාදීන් හා සිංහල ස්වෝතතමවාදීන් ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය ඩැහැනිමින් ධනපති ආන්ඩු  එල්ල කරම්න් ඇති අනවරත ප්‍රහාරයේ සිඳ බිඳ දැමිය යුතුය.

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජුනි 01දා නිකුත් කල ප්‍රකාශයේ ඇය නිදහස් කර ගැනීම සඳහා කම්කරුවන් පෙරටගත් උද්ඝෝෂනයකට එක්වන ලෙස කලාකරුවන්,  ගොවියන්, පීඩිතයන් හා තරුනයන් වෙතින් ඉල්ලා සිටියේය. 

මෙම කැඳවුමට ප්‍රතිචාර වශයෙන් අපවෙත එවන ලද, මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක් හා සමාජ ක්‍රියාකාරියෙක් වන අශෝක චන්ද්‍රසේකර, ප්‍රවීන රංගධර ඩබ්ලිව්. ජයසිරි හා කවිවර අහ්නාෆ් ජසීම් යන හිතවතුන්ගේ ප්‍රකාශ  මෙහි පහත පලකරමු. 

මෙම උද්ඝෝෂනය පෙරට ගැනීම සඳහා ඔබගේ විරෝධතා ප්‍රකාශය ද ‘ද සෝෂලිස්ට්’ වෙත එවන්න.

අශෝක චන්ද්‍රසේකර

ch
අශෝක චන්ද්‍රසේකර

අයිසීසීපීආර් පනත පිලිබඳ මහජනතාව දැනගත්තේ ඒ පනත යටතේ ලංකාවෙ පලමු වරට ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගත්තට පස්සෙ. ආන්ඩු දිගින් දිගටම මෙම පනත කැත විදියට අවභාවිතා කරල තියෙනවා, අයිතීන් ආරක්ෂා කිරීමට නොවෙයි ඒවා මැඩීමට. 

නතාෂගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කලාකරුවො, සාහිත්‍යකරුවො, නිදහස් නිවහල් චින්තකයො විදියට අපි පෙනී සිටින්න ඕන. ප්‍රකාශනයේ, භාෂනයේ නිදහස ආරක්ෂා කරගැනීමට සිවිල් ක්‍රියාකාරිකයො විදියට, සාහිත්‍යකරුවො විදියට අපි බලමුලු ගැන්විය යුතුයි, එකතු විය යුතුයි, සංවිධානගත විය යුතුයි. ඒ සඳහා අප පොලඹවනු ලැබ තියෙනවා මේ මර්දනය විසින්. 

කලා නිර්මානවල අදහස් විකෘතියට ලක්කරල අහිංසක නිර්මානකරුවො දේශපාලන උවමනාවන් වෙනුවෙන් දඩයම් කරනව.  අද නතාෂට, ඊයෙ ශක්තිකට, සේපාලට වගේම අනාගතයෙ ඔබට, මට ඕනෑම කෙනෙකුට මේ ඉරනමට මුහුන දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි සියලු දෙනා අපේ අයිතීන් වෙනුවෙන් පෙල ගැසෙමු!

ඩබ්ලිව්.ජයසිරි

ja
ඩබ්ලිව්. ජයසිරි

මාධ්‍ය නිදහස සීමාකිරීමේ උත්සාහයේ තීරණාත්මක දිගුවක් ලෙස කලාත්මක ප්‍රකාශනය බන්ධන අඩස්සියේ කොටුකර තැබීම ආරම්භ වී ඇත.

හිටිවන ප්‍රහසණ කලාකරුවෙක් වූ නතාෂා එදිරිසූරිය පොලොව නො උසුලන අපරාධකරුවකු සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට එරෙහිව මෙරට සෞන්දර්ය කලාවේ නියැලෙන ප්‍රජාව පෙරමුණ ගැනීමට  තවමත් ප්‍රමාද වීම  මම පුදුමයට පත්කරන කාරනයක් නොවේ. එහෙත් එකිනෙකාට බලපාන පුද්ගලික කාරණා පුම්බමින් ඒවා තමං කැමති දේශපාලන පක්ෂවල සටන් පාඨ කර ගනිමින් එම කල්ලි පසුපස යමින් පහුගිය කාලයේ මහාසටන්කාමීන් වූ බොහෝ ඊනියා කලාකරුවන් අද නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ඉදිරිපත් නොවේ. ඒ ඇය බුද්ධාගමේ හරයට ගැරහූ බවට පාලකයන් මූලිකව කලා පොලිස්කාරයින් නගන මුග්ධ ප්‍රකාශයන්ට රැවටීම නිසා යයි මම සිතමි.

අහ්නාෆ් ජ‍සීම් 

ah
අහ්නාෆ් ජ‍සීම් 

ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරගත කර තිබීම හද කම්පා කරවන සුළුය.  ශ්‍රී ලංකාව භාෂණයේ නිදහසක් නැති රටක් බවට පත්ව ඇත.  එබැවින් මෙහි සිතන පතන කිසිම මිනිසෙකුට සිරගෙයින් පිටත ජීවත් විය නොහැක.  හිරගෙදර කොයිතරම් කුරිරුද, ඒකෙන් මනුස්සයෙක්ව මානසිකව මරන හැටි මම දන්නවා.

ශ්‍රී ලංකාව වසර හැත්තෑපහක් පුරා බ්‍රිතාන්‍ය පීඩනයෙන් මිදී ධනපති කෲර පාලකයන්ගේ ග්‍රහණයේ සිරවී ඇත.  ඒ නිසා පාලකයන් තමන්ගේ වාසි තකා ජනතාව බෙදලා, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා, රට පහතට ඇද දමා තියෙනවා.    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ICCPR පනත වැනි කුරිරු නීති යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික නිදහස උදුරා ගනිමින් මර්දනකාරී පාලකයින් රට සූරාකෑම දිගටම කරගෙන යයි.

බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභයගේ ජාතිවාදී පීඩාකාරී ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්මක් ලෙස අදත් ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ පාලනය ජනතා සමගියට පහර දීම නතර කර නැත. රජය තම අතේ තබා ගැනීම සඳහා, වික්‍රමසිංහ, මහජන අරගල, හා ප්‍රකාශනයේ නිදහස යටපත් කර,  ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවට පරිවර්තනය වී ඇත.

“නවරසම්” කවි පොත ලියූ නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මා අත්අඩංගුවට ගෙන මාස දහනවයක් සිරගත කළා.  මම තවමත් මේ පීඩාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.  මට විරුද්ධව තවමත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා.  මට තවමත් රැකියාවක් කරන්න අවස්ථාවක් නෑ, මා ත්‍රස්තවාදී ලයිස්තුවකට ඇතුලත් කරල තියෙනවා. මේ ආකාරයට බොහෝ ලේඛකයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කථිකයන්, තරුණයින්, සමාජයේ විවිධ පුද්ගලයින් සිරගත කර වධ බන්ධනයට ලක් කරනවා.

නතාෂා කිසිම කොන්දේසියකින් තොරව වහාම නිදහස් කරන ලෙස මම බලකර සිටිනවා.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා එක්ව සටන් කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *