ජවිපෙ දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරය විසින් විකොස ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කරනු ලැබීමෙන් වසර තිස් හයකට පසු

ජවිපෙ දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරය විසින් විකොස ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කරනු ලැබීමෙන් වසර තිස් හයකට පසු

4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරු) තරුන සාමාජිකයෙකු වූ, ග්‍රේෂන් ගීකියනගේ, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ‘දේශප්‍රේමීන්’ විසින් ඝාතනය කරනු ලැබිමෙන් වසර 36 ක් ගතවීමේ සැමරුම අද දිනට (ජූනි 24) යෙදී ඇත. ග්‍රේෂන්ට වෙඩි තැබීම සිදු කලේ 1989 ජූනි 23දා සවස ය. ඔහු සිය ඉතා තරුන බිරිඳගෙන්, බිලිඳු පුතුගෙන් හා තම මව ඇතුලු ඥාතින්ගෙන් සදහට ම සමු ගත්තේ පසු දිනයේ, කොලඹ මහ රෝහලේ දී ය.

ග්‍රේෂන් 1988-1989 කාලය තුල ජවිපෙ දේශප්‍රේමීන් විසින් බිලි ගනු ලැබු තුන් වන කම්කරු පන්තික ජාත්‍යන්තරවාදියා ය. සෞන්දර්ය ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවෙල වැලිමඩ හඟුන්නාවේ දී ද, 1988 දෙසැම්බර් 23 සරසවි අනධ්‍යන සේවකයෙකු වූ පී.එච්. ගුනපාල පේරාදෙනිය සරසවියේ දී ද මෙම ඊනියා දේශප්‍රේමීන්ගේ ඉලක්ක බවට පත් විය. ඔවුන් කල වරද වූයේ දෙමල ජන ඝාතක යුද්ධයට, ජවිපෙ ද ඇතුලු පක්ෂ හා සංවිධානවල දේශපාලන නිදහස ඇහිරීමට, රාජ්‍ය මර්දනයට සහ ලංකාවේ මෙන් ම ලෝක ධනේශ්වර පාලනයට ද එරෙහිව සටන් කිරීම ය.

1971 කැරැල්ලෙන් පසු ලසසප, කොප සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව ජවිපෙ තහනම් කල අතර, ඊට එරෙහිව සටන් වන් එකම පක්ෂය විකොස විය. ජවිපෙ නායක රෝහන විජේවීර නිදහස ලබා පැමිනි වහාම සිරගත කල ජවිපෙ කැරලි කරුවන් නිදහස් කරන තුරු නො නැවති උද්ඝෝෂනය කල විකොසට ශීර්ෂ ප්‍රනාමය කරන බව ප්‍රකාශ කලේ ය. විකොස සම්බන්ධයෙන් මෙය යුතුකම් පිලිබඳ කාරනයක් නො ව පන්ති ප්‍රශ්නයකි. කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය අව්‍යාජ – එනම් කම්කරු පන්තික – ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන අතර, ධනවාදය පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තමන්ට අනුගත නො වන සියලු ජනයාට එරෙහි මර්දනය ගෙන එන්නේ ය.

සුලු ධනේශ්වර පක්ෂයක් වූ ජවිපෙ ගමන් මාර්ගය මුල සිටම දිශාගත වී පැවතියේ අධිරාජ්‍ය ගැති ධනවාදී පාලනයක් දෙසට ය. එය විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, ‘ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය’ යන සිය කෘතියෙන් පැහැදිලි ලෙස පෙන්වා දී තිබිනි. කම්කරු පන්තිය පිලිබඳ විශ්වාසය බිඳ ගත් සුලු ධනේශ්වරයට වෙනත් මාවතක් ගත හැකි නො වේ.

විකොස, 1983 සිට දියත් කෙරුනු කොලඹ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට එරෙහිව, ඊට “එක සතයක්, එක මිනිහෙක්, එක ලේ බිඳක් නො දෙනු” යනුවෙන් සටන් කරමින් සිටියේ ය. එහි ඉදිරි දර්ශනය වූයේ, ධනේශ්වර පාලනයට එරෙහිව සිංහල හා උතුරු නැගෙනහිර දෙමල කම්කරු පන්තියේ එකමුතුවෙන්, ධනවාදය පෙරලා දමා ඊලම් ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩ නැඟීමයි. 1987 ඉන්දු ලංකා ගිවිසුම, එයට එරෙහිව පෙනී සිටි මෙම ඉදිරි දර්ශනය, උතුරේ මෙන් ම දකුනේ ද කම්කරු පීඩිත ජනයා වෙත සමීප කිරීමට ලැබුනු අවස්ථාවක් විය. එය සුවිශේෂ ලෙස ඉන්දු උප මහද්වීපයේ ද ලෝක කම්කරු පන්තියේ ම ද අවශ්‍යතාවයක් විය.

ජවිපෙ මාරාන්තික ලෙස විරුද්ධ වූයේ මෙම ඉදිරි දර්ශනයට ය. විකොස ඉදිරි දර්ශනය පිලි ගැනීම නිසා කොලඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරන 1986 දෙසැම්බරයේ දී ඝාතනය කිරීම මෙම දෙවන කැරැල්ලේ ජවිපෙ සිදු කල ප්‍රථම ඝාතනයයි.

ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව නීච වර්ගවාදී හා ධනේශවර ජාතිකවාදී ව්‍යාපාරයක් දියත් කල ජවිපෙ අරමුන වූයේ කම්කරු පන්තියේ එකමුතුවට තිබෙන සියලු මාවත් අහුරා දමා, සිය සුලු ධනේශ්වර අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා පාලනයක් පිහිටුවා ගැනීමයි. එහිදී ඔවුහු ‘පලමුව මව්බිම දෙ වනුව වැඩ බිම’, ‘දෙවනුව පාසල’, වැනි සටන් පාඨ මතු කලෝය. මෙම අනාඥාවන් පිලි නොගත් දසදහසකට ආසන්න ප්‍රමානයක් ඔවුන් විසින් ඝාතනය කරන ලදී. ග්‍රේෂන් ඇතුලු විකොස සාමාජිකයන් ඝාතනය කෙරුනේ පක්ෂයේ සප්‍රතිපත්තික ක්‍රියා මාර්ගය වෙනුවෙන් ඔවුන්ගේ නිර්භය කැප වීම නිසා ය. අවසානයේ දී ආන්ඩුවත් ජවිපෙත් යන දෙපාර්ශවය විසින් 60,000 ට වැඩි ජනකායක් මරා දමා තිබිනි.

මේ ගැටුම් පවතිද්දී ම ජවිපෙට ආන්ඩුවේ ඇමතිකම් තුනක් පිරිනැමීමට ජනාධිපති ප්‍රේමදාස සූදානම් ව සිටියේ ය යන්න දැන් රහසක් නො වේ. එපමනක් නො ව ඒ ආසන්න කාලයේ ම ඔවුහු, හිටපු අගමැති සිරිමා බන්ඩාරනායක හෝ ඇගේ නියෝජිතයන් සමග ද සාකච්ඡාවලට සහභාගී වූහ. ඔවුනොවුන් අතර ලේ වැකි ගැටුම පන්ති පාලනය පවත්වා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ සන්නද්ධ විවාදයක් මිස, කිසිසේත් ම එය පෙරලා දැමීම පිලිබඳ කරුනක් නො වී ය. එහි කොටසක් ලෙස දෙමල ජාතිය සමූලඝාතනය කිරීමේ වර්ගවාදී යුද්ධය පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව ද ඔවුන් අතර මතභේද තිබිනි. අවසානයේ ජවිපෙ තමන් පූර්න පාර්ලිමේන්තුවාදී ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී, චන්ද්‍රිකා ආන්ඩුවේ ඇමතිකම් දරමින් ද, රාජපක්ෂ ආන්ඩුව සමඟ සමීප සබඳතා පවත්වමින් ද දෙමල ජන සංහාරයට සෑම අතින් ම සක්‍රියව සහභාගී වූයේ ය.

මෙම ඝාතන ව්‍යාපාරයට වෘත්තීය සමිති හා හිටපු වම්මුන් වග කිව යුතු ය. ජවිපෙ ප්‍රහාරය දියත් වන විට ම ඒවායේ නායකයෝ කම්කරු පන්තිය, තරුනයන් හා පීඩිත ජනයා ජවිපෙ ‘දේශප්‍රේමීන්’ගේ හා ආන්ඩුවේ වධකයන්ගේ මර්දනයට අත් හැර දමා තමන්ට ආන්ඩුවේ ආරක්ෂාව සපයා ගත්තෝ ය.

දිනෙන්දින වඩවඩාත් අධිරාජ්‍යවාදී පර්යායේ සෙවනැල්ල තුලට වැදෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුන, පසුගිය වසර කිහිපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තුරුලට ම වැදෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කල හැකි සියල්ල කරමින් සිටියෝය. මානව ඉතිහාසය අත් දැක ඇති දරුනුතම යුද්ධය කරා තල්ලුවීමෙන් මෙපිට විසඳා ගත නොහෙන අර්බුදයකින් මිරිකී සිටින ලෝක ධනේශ්වර රාජ්‍යයෝ ද, දේශීය හා විදේශීය ධනපතීහු ද දැන් ශ්‍රී ලංකාවේ ජාජබ ආන්ඩුවෙන් බොහෝ දේ අපේක්ෂා කරති. මෙම තතු යටතේ එකී ධනපති අවශ්‍යතා හා මහජන අවශ්‍යතා යන දෙකින් එකක් පමනක් තෝරා ගැනීමට ආන්ඩුවට බල කෙරේ. එහි දී ඔවුන් ගන්නා ගමන් මඟ, කම්කරු, පීඩිතයන්ගේ ජීවන මට්ටම් තලා මට්ටම් කිරීම බව දැන් සැඟවිය හැකි නො වේ.

මෙරට පාලක පන්තිය දිගින් දිගට ම මහජන නැගිටීම්වල දී වර්ගවාදය හා ආගම්වාදය ආන්ඩුවේ පිහිටට කැඳවා ගත්තේ ය. ජාජබ ආන්ඩුවේ සීනි තැවරූ සමානතා කතාවල සීනි දිය වී යාම නො වැලැක් විය හැකි ය. බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ තබා සෙසු ආගම් දෙවන තැනට දමා තිබීම වර්ගවාදය ව්‍යවස්ථාගත කර පවත්වා ගැනීමේ පදනමයි. එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂෙප කිරීම ඔවුන් කවර කලෙකවත් කරනු නැති බව පැහැදිලි ය. ඉතින් වර්ගවාදයට හා ආගම්වාදයට විරුද්ධ වන්නේ කෙසේ ද?

1971 දී ජවිපෙ රැකියා විරහිත හා ගම්බද පීඩිත තරුනයන්ගේ වධ වේදනාවල ප්‍රකාශකයා විය, අද ජවිපෙ දේශපාලන නායකත්වය ලබන ජාජබ ආන්ඩුව අධිරාජ්‍යවාදී ප්‍රග්ධනයේ නියෝජිතයා ලෙස මෙම තරුනයන්ගේ මර්දකයා ය.

ආන්ඩුව වාරු වී සිටින්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට ය. ඒ අනුව ආන්ඩුවට ලබා දිය හැකි ව ඇත්තේ රාජ්‍ය වියදම් අඩු කිරීම සදහා සේවක පුරප්පාඩු නොපිරවීම, විශ්‍රාම වයස් සංශෝධනය යනාදී කප්පාදූන් ය. රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය, ආන්ඩුවේ ව්‍යාපාර පෞද්ගලිකරනය හෝ ඒවා ආයෝජකයන්ට විවෘත කිරීමේ උත්සාහ රැකියා අස්ථිරතාවය, සේවය අහිමි වීම මහජනයාට උරුම කරමින් ඇත. බදු ඉහල දැමීම මගින් එක් අතකින් මහජනයා පීඩාවට පත් කරන අතර විදුලි ගාස්තු, ඖෂධ මිල, වැනි අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල දැමීම මහජනයා මත පටවමින් සිටී.

මෙය කම්කරු පන්තිය මැඩ තබා ගැනීමේ අවශ්‍යතාව මතු කරයි. ආන්ඩුව දැන් වාරු වී සිටන්නේ විශේෂයෙන් ම, කලක් තමන්ගේ ම සාමාජිකත්වයට එරෙහිව භාවිතා කෙරුනු ත්‍රස්තවාදය වැලැක් වීමේ පනත වැනි මර්දන නීති මත ය. කලක් පුරා සිදු වන පොලිසිය විසින් සැකකරුවන් අධිකරන ක්‍රියාවලියකින් තොරව මරා දමනු ලැබීමට පවා මේ ආන්ඩුවේ අනුග්‍රහය ලැබී ඇති බව කුප්‍රකට ය. 1971 සහ 1988-1990 කාලයේ තරුන ඝාතනවලට ආන්ඩු යොදා ගත් මෙම මර්දන අනපනත් සහ ක්‍රියාමාර්ග තව තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මේ ආන්ඩුව හමුවේ පැහැදිලිව මතු වී ඇත.

අද දින ග්‍රේෂන් සහෝදරයා සැමරීමේ එකම අරුත නම් මෙසේ පවතින ජවිපෙ – ජාතික ජන බලවේගය ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති වැඩ පිලිවෙලට හා වර්ගවාදී ධනපති ව්‍යවස්ථාවට හා මර්දනයට එරෙහිව කම්කරු පන්තිය සූදානම් කිරීම ය.

සමාජවාදී සමානතා පක්ෂය – වම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *