දුප්පතුන් එල්ල කරගත් ආණ්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව ක්‍රියාකාරී කමිටු  උද්ඝෝෂණයේ

පරාක්‍රම කුරුප්පු විසිනි

‘යුක්තියේ මෙහෙයුම’ නමින් තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව උත්සන්න ආකාරයකින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනයට එරෙහි පිකට් උද්ඝෝෂනයක් ඊයේ (පෙබරවාරි 27 දින) පස්වරුවේ කැස්බෑව බස් නැවතුම්පොල ඉදිරියේ පවත්වන ලදී.  කොලඹ ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් යුතුව, කැස්බෑව ක්‍රියාකාරී කමිටුව හා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ හා ප්‍රදේශවාසී පිරිසකගේ ද සක්‍රිය සහභාගීත්වයෙන් එය පැවැත්විනි. මෙම උද්ඝෝෂනය කැස්බෑව ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමේ ආරම්භක ලක්ෂ්‍යයක් වන අතර, එය කම්කරුවන් ඇතුලු පදිකයන් හා බස් මගීන් ප්‍රමුඛ මහජනයාගේ බරපතල අවධානයට ලක් විය.  කැස්බෑව ප්‍රදේශවාසී තරුනයන් හා වාම දේශපාලනික ක්‍රියාකාරීන් පෝස්ටර් ඇලවීමේ කටයුතුවලට හා උද්ඝෝෂනයට සම්බන්ධ වෙමින් සහාය දුන්නෝය.

පිලියන්දල ප්‍රදේශවාසී වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන අරුන ඉන්දික විජේසූරියට එල්ල වූ හා පසුගිය පෙබරවාරි 17 දින thesocialist.lk හි වාර්තා කරන ලද මර්දන ක්‍රියාවලිය ගැන ප්‍රදේශවාසීන් අතර පවතින විරෝධය මෙකී අවධානයේ කේන්ද්‍රයේ පිහිටා පැවතීය. එකී ලිපියෙහි අප විසින් පෙන්වා දුන් පරිදි, ඊනියා ‘යුක්තියේ මෙහෙයුම’ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නක් නොව තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන භීෂනකාරී උපකරනයක් බව දැන් මහජනයා සිය දෛනික අත්දැකීම් හරහා වටහා ගනිමින් සිටිති. කල් තබා පෝස්ටර් මඟින් මෙම උද්ඝෝෂනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යටත් විජිත සමයේ නීති යටතේ උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අතැතිව කොක්‍රික ලේකම් ශාන්ත විජේසූරියගේ නිවෙසට කඩා පැන එහි තිබූ රැස්වීම් පෝස්ටර් හා පත්‍රිකා පැහැර ගන්නා ලදී. මෙසේ උද්ඝෝෂනයට එරෙහිව උත්සන්න කෙරුනු භීෂනය, ඊට සහභාගී වීමට එරෙහිව පොලිස් තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් කරා ද පෙරට ගෙන ගිය බවට වාර්තා ලැබී ඇත. උද්ඝෝෂනයට එරෙහි තහනම් නියෝගයක් ලබා ගත් බවට වාර්ථා වී පැවති නමුදු, එවැනි නියෝගයක් පෙන්වීමට හෝ උද්ඝෝෂනය අවස්ථාවේ ඊට එරෙහිව මැදිහත් වීමට පොලිසිය කටයුතු කලේ නැත. සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ගනනාවක් උද්ඝෝෂනය දුරින් සිට නිරීක්ෂනය කල බව දක්නට ලැබින.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට, මිලිටරි පොලිස් රාජ්‍ය භීෂනයට, මර්දනකාරී අනපනත්වලට හා ධනවාදයට එරෙහි පුවරු අතැති ව තරුනයෝ, කම්කරුවෝ හා ගෘහනීහු උද්ඝෝෂනයට සහභාගී වූහ. ඒවායේ සටහන් වූ පහත දැක්වෙන පාඨ මහජන අවධානය දිනා ගත්තේය:

  • අහිංසකයන් අත්අඩංගුවට ගැනීම නතර කරනු!
  • “යුක්තියේ මෙහෙයුම” සැබෑ පාතාලයට එරෙහිව නො වේ!
  • දුගීන්ට එරෙහි හමුදා-පොලීසි කෲරත්වය පරාජය කරනු! 
  • දුගී බව අපරාධීකරනය කිරීමට ඉඩ නොදෙනු!
  • මත්කුඩු ජාවාරමේ ඵල නෙලන්නේ ධනවාදයයි. ධනවාදය අහෝසි කරනු!
  • IMF එපා! කප්පාදුව එපා!
  • මර්දක අන පනත් එපා!
  • ගාසාවේ ජන සංහාරය නවතනු!
  • අධිරාජ්‍යවාදය හා ලෝක යුද්ධය එපා!
  • සමාජවාදය සඳහා සටන් වදිමු!
  • කම්කරු ගොවි ආන්ඩුවක් සදහා පෙරට!

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට උපත දී ඒවා පවත්වා ගෙන යනු ලබන්නේ ම ධනපති පන්ති පාලනය විසින් බවට ඔවුන්ගේ සටන්පාඨ වලින් හඬ ගා කියන ලදී. එකී සටන් පාඨ පහත දක්වා ඇත:

* මහජන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් – ආරක්ෂා කරව්!

* ⁠ප්‍රකාශනයේ නිදහස – රැකගනිව්!

* ⁠‍යුක්තියේ මෙහෙයුම නමින් එන ධනපති උගුල- හෙලි දරව් කරව්!

* ⁠සූදානම් වන රාජ්‍ය මර්දනය – පරාජය කරව්!

තරුන ලමයි- බිලි ගන්නා

විෂ මත් කුඩු – පාතාලය

ඉදි කෙරුවේ -ධනවාදය

වැඩි වැඩියෙන් – ලාභ සොයා

රැකියාවට – ජීවිතයට

සුභසාදන – සේවාවට

පහර දීපු – ධනවාදය

මුකවාඩම් නීති එපා

රාජ්‍ය භීෂණය එපා

පාතාලෙට මුවා වෙලා

අපේ දරුවො මඩිනු එපා !

* ධනපති මිලිටරි පොලිස් භීෂනයට- ඉඩ නොදෙව්!

* පොලිස් ප්‍රජා ආරක්ෂක කමිටු – එපා!

* කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු – ගොඩ නගව්!

* සියලු මර්දන නීති- අහෝසි කරව්!

* සුබ සාධන සේවා- රැක ගනිව්!

* ⁠ධනවාදය – පෙරලා දමව්!

* ⁠කම්කරු ගොවි ආන්ඩුවක් – ගොඩ නගව්!

උද්ඝෝෂනය ආරම්භයේ කථා කල කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති, ලෝක පරිමානවම ධනය බෙදී යාමේ බිහිසුනු අසමතාවය සංඛ්‍යා ලේඛන සහිත ව පෙන්වා දෙමින්, මේ තත්ත්වය තරුනයන් අපේක්ෂා භංගත්වයට ඇද දමන ආකාරය පැහැදිලි කලේය. බොහෝවිට අඩු මාත්‍රාවෙන් කායික වේදනා නාශක ලෙස භාවිතා කෙරෙන රසායනයන් මත්ද්‍රව්‍ය ලෙස ස්වකීය මානසික වේදනාවන් යටපත් කිරීමට භාවිතා කිරීමට මෙසේ අපේක්ෂා භංගත්වයට ඇද වැටෙන තරුන ජනයා යොමු වෙති. විෂ මත්ද්‍රව්‍ය යනු ලෝකයේ දැවැන්ත ලෙස ලාභ ලබන ව්‍යාපාරයකි. එය දැන් ලෝකයේ ආන්ඩු පාලනය කිරීමට සමත් ය. එම ව්‍යාපාරයේ මුල් පවතින්නේ ධනවාදය තුල ය. දරුවන් මත් උවදුරින් මුදා ගැනීමට නම් ධනවාදය පෙරලා දැමිය යුතු බව පෙන්වා දුන් නන්නෙත්ති, ඒ සඳහා ස්වාධීන කමිටු ගොඩ නඟමින් සංවිධානය වන ලෙස සියලු පීඩිතයන්ට ආරාධනා කලේය.

උද්ඝෝෂනය ඇමතූ කොක්‍රික ලේකම් ශාන්ත විජේසූරිය, යුක්තියේ මෙහෙයුම මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුමක් නොව මහජනයාට එරෙහි මෙහෙයුමක් බව පැහැදිලි කලේය. තම පුත් ඉන්දික විජේසූරියට හා තමන්ට ද එරෙහිව එල්ල වූ තර්ජන පිලිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරමින්, එකී සිදුවීම් කම්කරු දුගී මහජනයාට එරෙහිව මුදා හැරෙමින් පවත්නා ප්‍රහාරයේ සන්දර්භය තුල තබා දැක්වීය. මේ මෙහෙයුම පසුපසින් පවතින්නේ මහජන විරෝධය පාගා ත්‍රස්ත කර නිහඬ කිරීමට දැරෙන ප්‍රයත්නය බව ඔහු පෙන්වා දුන්නේය.

උද්ඝෝෂනය ඇමතූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ  කැඳවුම්කරු මෙකී මෙහෙයුම් මහජන නිදහස පාගා දැමීමක් බවත්, යුක්තියේ මෙහෙයුම නම් මෙම අයුක්තියට එරෙහිව, රාජ්‍ය භීෂනයට එරෙහි උද්ඝෝෂන සෑම නගරයක් පාසා පැවැත්වීමට කොලඹ ක්‍රියාකාරී කමිටුව සමඟ ක්‍රියාත්මක වීමට තමන් සූදානම් බවත් කියා සිටියේ ය.

උද්ඝෝෂනය අවසානයේ උද්ඝෝෂකයන් අමතා කථා කල කොක්‍රික සභාපති සංජය ජයසේකර උද්ඝෝෂනයට සහභාගී වූවන්ට සිය ස්තුතිය පල කලේය. IMF නියෝග වලට අවනත ව මහජනයා මත දැවැන්ත පීඩනයක් මුදා හරින ආන්ඩුව, ඊට එරෙහිව නැඟෙන අරගල මර්දනය කිරීම සඳහා, පාර්ලිමේන්තුව හරහා සමාජ මාධ්‍ය වාරනයට ද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හා අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා සිරගත කිරීමට ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට ද රුදුරු නීති පනවමින් සිටින බව කියා සිටියේ ය. එහි නවතම ක්‍රියාවලිය ‘යුක්තියේ මෙහෙයුම’ නමින් අරඹා ඇත. මෙම වැඩ පිලිවෙල විසින් දිගටම සිදු කලේ ගම්බද හා නගරබද තරුනයන් දඬු ගැසීම බව ඔහු පෙන්වා දුන්නේය. කොක්‍රික උද්ඝෝෂනයේ පත්‍රිකා පැහැර ගැනීම උද්ඝෝෂනය පිලිබඳ ආන්ඩුවේ භීතිය ප්‍රකාශයට පත් කරන්නක් බව පෙන්වා දුන් ඔහු, මහජන අයිතිවාසිකම් පාගා දැමීමේ මෙම ප්‍රහාරවලට එරෙහිව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේත්, සියලු ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධතාවයේත් අවශ්‍යතාවය අවධාරනය කලේය.      

රාජ්‍ය භීෂනයට එරෙහිව කම්කරු පීඩිත ජනයා ස්වාධීන ව බලමුලු ගැන්වීම වශයෙන් මෙම උද්ඝෝෂනය විසින් ගනු ලැබ ඇති ප්‍රාරම්භය පෙරට ගෙන යමින් තම ප්‍රදේශවල සිදු කෙරෙන රාජ්‍ය භීෂන කටයුතු පිලිබඳ වාර්තා theSocialist.lk වෙබ් අඩවිය හරහා හෙලිදරව් කිරීමට ද, එම භීෂනයෙන් ආරක්ෂා වීමට ස්වාධීන කමිටු ඇති කර ගැනීමට ද අපි අපේ පාඨකයන් දිරි ගන්වමු. අදම කොලඹ ක්‍රියාකාරී කමිටුව හා කැස්බෑව ක්‍රියාකාරී කමිටුව සමග සබඳතා ගොඩ නගන්න.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *