දේශපාලන විසඳුමකින් තොරව සංහිඳියාව ඒත්තු ගැන්විය නොහැක – ජෙහාන් පෙරේරා

යුද්ධය නිමා වී වසර 15ක් සම්පුර්ණ වන විට, තවදුරටත් රටේ යුද්ධයක් නොපවතින නමුත්, ඊට අදාළ ගැටලු එසේ අවසන්වී නැති බව පැහැදිලිව දැකගත හැක. මිලිටරි යාන්ත්‍රණ ක්‍රියාත්මක වූ උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවලින් පිටතදී, යුද්ධය පසුබැස යන මතකයක් වීමත් සමඟ සාමාන්‍ය තත්ත්වයක හැඟීමක් පවතී. විශේෂයෙන් විශාල බහුතරයකගේ ජීවිතවලට අඛණ්ඩව බලපා ඇති ආර්ථික කඩාවැටීම හමුවේ රට පීඩාවට පත්කරන අනෙකුත් ගැටලු කෙරෙහි රජයට ප්‍රමුඛත්වය ලබාදිය හැකි බවට විශ්වාසයක් ඇති කිරීමට මෙම තත්වය හේතු වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සහ බටහිර ප්‍රබල රටවල නායකයන් සමඟ ඇති සමීප සබඳතා යටතේ මානව හිමිකම් කණ්ඩායම්වලින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ලවන අන්තර්ජාතික බලපෑම් ජයගත හැකි බවට බලාපොරොත්තුවක් ද තිබිණි.

කෙසේවෙතත්, අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි සිය අවධානය තවදුරටත් පවත්වාගෙන යන බව මෑත කාලින සිදුවීම්වලින් පෙන්නුම් කෙරේ. එක්සත් ජනපද සුපිරි බලවතා සමඟ වෙළඳ නැව් ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා නාවික නෞකාවක් රතු මුහුදට යැවීම වැනි ආණ්ඩුව භාවිත කර ඇති භූ දේශපාලන උපාය මාර්ග අන්තර්ජාතික මානව හිමිකම් සංසදවලදී වාසිදායකවී නැත. ඇත්ත වශයෙන්ම, ආණ්ඩුවේ ඉදිරි සැලසුම් හමුවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව පෙනේ. අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමත්, යුද්ධයේ අවසන් භුමියට ඇය කළ සංචාරයත් විශේෂත්වයකි. ක්ෂමා සංවිධානයේ ප්‍රධානි ඇග්නස් කැලමාර්ඩ්, අපරාධ අධිකරණයේ පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමුකර තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටියාය.

යුධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව නඩු පවරන ලෙසට මෙලෙස අන්තර්ජාතික ප්‍රජාවට කරන ආයාචනයන්, ඔවුන් විසින්ම ගාසා තීරයේදී සහ යුක්රේනයේදී අහිමි වී ඇති බටහිර රටවල සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය තවදුරටත් පවත්වා ගැනීමට ඇති ආශාව ප්‍රදර්ශනය කිරීමකි. ගාසා තීරයේ සහ යුක්රේනයේ ගැටුම් තවදුරටත් තිබියදීත් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අවධානය අත්නොහරින්නේ මන්දැයි මෙයින් පැහැදිලි කරගත හැකිය. එසේම ඊට පටහැනිව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තත්වයේ උත්සන්න වීමක් පවතින බව පෙනෙන්නට තිබේ. දෙමළ ඊළම පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත්වූ ද්විපාර්ශ්වික යෝජනාව සහ කැනේඩියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට වාර්ෂිකව පුනරුච්චාරණය කිරීම හුදෙක් විදේශීය දේශපාලනඥයන්ගේ මැතිවරණ සම්බන්ධ කූටෝපායන් හේතුවෙන් සිදුවූවක් ලෙස සරලව බැහැර කළ නොහැකිය. අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ ප්‍රකාශයේ පෙනෙන පරිදිම මෙම ප්‍රකාශ සහ යෝජනා ඔවුන්ගේ සැබෑ පිළිබිඹුව ප්‍රදර්ශනය කරනු ලබයි.

දෙපසකින් දැකීම

ආණ්ඩුව මෙම අන්තර්ජාතික අභියෝගයට ප්‍රතිචාර දක්වන්නේ දෙයාකාරයකින් බව පෙනීයයි. පළමු ප්‍රවේශය වන්නේ අන්තර්ජාතික විවේචකයන් විසින් නිකුත් කරන ප්‍රකාශයන්ට දැඩි ප්‍රතිචාර දැක්වීමයි. “ප්‍රතිසන්ධාන උත්සාහයන් මාලාවක නියැලී සිටි අවස්ථාවක”, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිකුත් කර ඇති වාර්තාව “දෝෂ සහිත” බවත් එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරානොගැනීම යන මූලික සිද්ධාන්තවලට පටහැනි බවත්, රජය සිය ජිනීවාහි තානාපතිවරයා හරහා පවසා තිබේ. ජන සංහාරය පිළිබඳ කැනේඩියානු චෝදනාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, කැනඩාව ශ්‍රී ලංකාව කෙරෙහි අසමානුපාතික ලෙස අවධානය යොමුකිරීම “ද්විත්ව ප්‍රමිතීන්ට” පැහැදිලි උදාහරණයක් වන බැවින්, එය “වෙනත් තැන්වල අප දකින දෛනික දරුණු මානුෂීය තත්වයන් සම්බන්ධයෙන් හිතාමතාම අපැහැදිලි” ස්වරුපයක් ප්‍රදර්ශනය කරන බවයි.

මෙරට රාජ්‍ය පරිපාලනය සහ සිවිල් බුද්ධිමතුන් සමඟ සම්බන්ධවීමට උතුරු පළාතට කිහිප වතාවක්ම ගමන් කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්ම ආණ්ඩුවේ දෙවැනි ප්‍රවේශය මෙහෙයවා ඇත. පසුගිය වෙසක් නිවාඩුවේ දින දෙකක් යාපනයේ ගතකිරීමටත් ජනතාව හමුවීමටත් ජනාධිපතිවරයා කාලය වෙන්කළේය. උතුර මහා පරිමාණ සංවර්ධනයේ කේන්ද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරවන සංවර්ධනය පිළිබඳ දැක්මක් ඔහු ප්‍රකාශ කළේය. “උතුර-නැගෙනහිර ගැටුමින් පැනනැගුණු දීර්ඝ කාලීන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, අගමැති සහ ජනාධිපති යන තනතුරු දෙකම දරමින් මම යාපනයට පැමිණීම පුරුද්දක් කර ගත්තෙමි. සංවර්ධනය දෙසට අපගේ අවධානය යොමුකළ යුතු කාලය එළඹ ඇත. රැකියා සොයන පිරිසක් මෙහි සිටින අතර “යාපනයේ දියුණුව සඳහා ඇති හැකියාව විශාලය” එම යෙදුම භාවිත කිරීමට හැකියාව ඇත. මෑත වසරවල සීමිත සංවර්ධනයක් දක්නට ලැබුණු යාපනයේ, වර්ධනය සඳහා ඉමහත් විභවයක් ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. “ඉදිරියට යන විට, අපි ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්ට ප්‍රමුඛත්වය දිය යුතු අතර, අතුරුදන්වූවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබාදී, වන්දි ගෙවීමට සහ සත්‍යය හා ප්‍රතිසන්ධානය සඳහා යාන්ත්‍රණ සකස් කළ යුතුයි. මම හිතන්නේ මේ සියලු ප්‍රශ්න සමඟ කටයුතු කළ යුතු කාලය මෙයයි. මේවා සියලු පාර්ශ්වකරුවන්ගෙන් සාමූහික සහයෝගීතාව සහ මැදිහත්වීම ඉල්ලා සිටින සංකීර්ණ ගැටළු වේ. මම මේ ගැන උතුර නැඟෙනහිර මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා, අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා”. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) පිහිටුවීමට රජය කැපවී සිටින නමුත් අධිකරණ බලතල පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නය විසඳිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

බලය බෙදාගැනීම

කෙසේවෙතත්, ඔහුගේ උත්සාහය නොතකා, උතුරේ ජනතාව වෙත ළඟාවීමට ජනාධිපතිවරයා ගත් උත්සාහයේ අඩුපාඩුවක් පැවති අතර එය සැලකිල්ලට ගතයුතුය. උතුරේ මාධ්‍යවලට සහ බුද්ධිමතුන්ට අනුව, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන පරිදි  දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභා ක්‍රමය තුළ වත්මන් ස්වරූපයෙන් කේන්ද්‍රගතවී ඇති බලය බෙදාගැනීම සහ බලය බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය නොකළේය. ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සංවර්ධනය සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව පමණක් නොව, මෙම ප්‍රශ්නය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. ජනවාර්ගික ගැටුමේ මූලයන් පවතින්නේ, බහු වාර්ගික, බහු ආගමික සහ බහුවිධ ජනයා වෙසෙන මෙරට, වාර්ගික ප්‍රජාවන් (ජාතිකයන්) අතර සාධාරණ ලෙස බලය බෙදාගන්නේ කෙසේද යන ප්‍රශ්නය තුළ බව දේශපාලනයේ තීක්ෂණ ක්‍රීඩකයකු ලෙස ජනාධිපතිවරයා හොඳින් දනී.

ජනාධිපතිවරයා මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධූරයට තේරී පත් වූ විට ඔහු ඒ ගැන නිර්භීතව කතා කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා පමණක් නොව, මෙතෙක් කිසිදු පාලනයක් විසින් ක්‍රියාත්මක නොකළ ඉඩම් හා පොලිස් බලතල බෙදාහැරීමේ ප්‍රතිපාදන ද ඇතුළත්ව එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. එහෙත් දැන් මාස හයකටත් අඩු කාලයක් ඇතුළත, ජනාධිපතිවරණයේදී ජනතාවට මුහුණදීමට අපේක්ෂා කරන අපේක්ෂකයකු ලෙස, උතුර සහ නැඟෙනහිරෙන් පිටතදී තමන් යැපෙන දේශපාලන පක්ෂවල සහයෝගය ගැන ඔහුට විශ්වාසයක් නැති බව පෙනේ. කෙසේවෙතත් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬව සිටීම, දෙමළ කතාකරන ජනතාව බහුතරයක් වෙසෙන උතුර සහ නැගෙනහිර පළාත්වල ඔහුට වාසිසහගත ඡන්දය අනතුරේ හෙළීමට හේතු විය හැක.

ඊට හාත්පසින්ම වෙනස්ව, ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනාගෙන් කෙනකු වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමා ප්‍රමුඛ අනාගත ආණ්ඩුවක් කැපවන බව සෘජුව ප්‍රකාශ කළේය. අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) නිමිත්තෙන් කොළඹ පැවැති සමගි ජන බලවේගයේ රැලියට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය. “අපගේ බංකොලොත් රට පීඩාවට පත්කරන බරපතල දේශපාලන ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් ලබාදීමට අපි බහුතර සිංහල ජනතාව වෙත ළඟා වන්නෙමු. එසේම විශේෂයෙන් අවධානය යොමුකරමින් සිංහල නොවන ප්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් ලබාදීමටද පියවර ගන්නෙමු”. රටට සැබෑ සහ තිරසාර සංහිඳියාවක් ඇති කිරීමට නම්, සංවර්ධනයත් සමඟම අවශ්‍ය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත්, අතීතය සමඟ ගනුදෙනු කිරීමත් මෙයට ඇතුළත් වන බව ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *