ධනපති ආණ්ඩු සහ ධනපති මාධ්‍ය උද්ධමනය පහත වැටි ඇතැයි ප්‍රචාරය කළ ද කොළඹ දිස්ත්‍රීක්කය තුළ දරුවන් 320 ක් මන්දපෝෂණයෙන් සහ දරුවන් 64 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වෙයි

එස්.කේ. කීර්ති, එස්.කේ අයිරාංගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවත් ධනපති මාධ්‍යයත් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටී ඇති බවත් එය මහජනතාවට විශාල සහනයක් වී ඇති බවත් පුන පුනා ප්‍රචාරය කරයි.

කෙසේ වුවද පසුගිය මාසය අවසානයේ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ දී කොලඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි කොලඹ නගරයේ මන්දපෝෂන සම්බන්ධයෙන් ඉදිරිපත් කල වාර්තාවකින් පෙන්වා දුන්නේ, දරුවන් 320ක් මන්දපෝෂනයෙන් පෙලෙන අතර ඉන් 64 දෙනෙකු උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙන බවයි. එයට පිලියමක් ලෙස ඔවුන් වෛද්‍යවරුන්ගේ අධීක්ෂනයට යොමු කර පෝෂනීය ආහාර ලබා දීමට කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කලේ ය.

කොම්පඤ්ඤවීදියේ ගැලනි පැසේජ්හි පැල්පත් නිවාස (ලෝසවෙඅ)

මෙය කොලඹ නගරයට සීමා නොවන බව දිස්ත්‍රික්ක 4ක මන්දපෝෂනයෙන් පෙලෙන දරුවන් පිලිබඳ සංඛ්‍යා ලේඛනවලින් ඔහු පෙන්වා දුන්නය. ඒ අනුව, ගම්පහ 1439ක්, කුරුනෑගල 1432ක්, රත්නපුර 960ක් හා පුත්තලම 909ක් ලෙස මන්ද්පොෂනයෙන් පෙලෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කොලඹ කොම්පඤ්ඤවීදියේ ගැලනි පැසේජ්හි පැල්පත්වාසී කම්කරුවන් හා පීඩිතයන් හා කල සාකච්ඡාවක දී අනාවරනය වූයේ උද්ධමනයේ පහත වැටීම පිලිබඳව කෙරෙන ප්‍රචාරය කෙසේ වෙතත්, ඔවුන්ගේ ජීවන තත්වයන් බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

මෙහි බොහොමයක් නිවාසවලට සින්නක්කර ඔප්පු තිබුනි. ඒවා කාමරයකින් හා මුලුතැන්ගෙයකින් පමනක් සමන්විත වසර 50කට වඩා පැරනි විය. සමහර නිවහන් තුල හත් අට දෙනා දිවි ගෙවති. එහි ඇති නිවාස 40ට ම ඇත්තේ ඉදිරිපිට වත්තේ ඇති වැසිකිලි 4කි. නල මගින් ජලය සැපයෙයි. වැසි සමයේ කානු උතුරා නිවාස තුලට වතුර ගලයි. සමහරුන්ට බිල් ගෙවාගත නොහැකිව විදුලිය කපා ඇත. මෙවැනි ම වැසියන් ඉවත් කර තැනූ ඉදිරිපස නව මහල් ගොඩනැගිල්ල විවෘත කරන විට මෙහි සිටින ජනයා වෙනත් ස්ථානයක පදිංචි කිරීමට නියමිත ය.

දශක ගනනාවක් තිස්සේ විවිධ පොරොන්දු දී බලයට පත් ආන්ඩු තමන්ගේ ඉල්ලීම් කුනු කුඩයට දැමීමෙන් අපේක්ෂා බිඳ වැටුනු ඔවුහු පහසුකම් සහිත නිවසක්, ජිවත්වීමට සරිලන වැටුපක් සහිත රැකියාවක් අපේක්ෂාවෙන් පසුවෙති. මෙහි සිටින බොහෝ දෙනා එදිනෙදා රැකියාවක් කර දිවි ගැට ගසා ගන්නෝ වෙත්. ඔවුහු, රෝගී වූ විට රජයේ ඩිස්පෙන්සරිවලින් ලැබෙන බෙහෙත් වර්ග හැර තවත් රෝගයට අවශ්‍ය ඖෂධ මිල අධික නිසා මිල දී නොගනිති.

38 වියැති ත්‍රීවීල රියැදුරු අබ්දුල් රෂීඩ් සිව් දරු පියෙකි. ක්ලිනික් ඔෆීසියක රැකියාවක් කල ඔහුට කොරෝනා වසංගතයෙන් රැකියාව අහිමි කෙරුනි.

“මට විතරක් නෙමෙයි බොහෝ දෙනෙකුට රස්සා නැති වුනා. ඊට පස්සෙ අපේ ආර්ථිකය පහලට වැටෙන්නෙ පටන් ගත්තා. අවුරුදු කාලෙට අපි පරන ඇඳුම් ඇඳගෙන ඉන්නෙ. කොහොම හරි ජීවත් වෙන්න ඕනැ නෙ.”යි පැවසී ය.

දෛනික වියදමට රුපියල් 1500ක් 2000ක් පමන අවශ්‍ය බවත් එය සොයා ගැනීම අතිශය දුෂ්කර බවත් සමහර දිනවලට උපයා ගත් රු 1500ට තවත් රු 500ක් සොයා ගැනීමට කුමක් හෝ කරන බව පැවසූ ඔහු තම පවුලේ ආහාර රටාව විස්තර කලේ ය.

“අපි දවසක් ව්‍යංජන ඉව්වොත් කොටසක් පසුවදාට තියාගෙන රත් කරල කනවා. එදාට බත උයනවා. මැනේජ් කර ගන්නෙ එහෙම. බිත්තර, කුකුල් මස් දරුවන්ට දෙන්න තියා හිතන්න වත් බැහැ. ලෙඩකට බෙහෙත් පිටින් ගන්න බැහැ. එහෙම කලොත් එදාට කන්න වෙන්නෙ නැහැ. පැනඩෝල් දෙකක් බීල ඉන්නවා.”

යතුරු කපන්නකුගේ බිරිඳ රිස්වියා (ලෝසවෙඅ)


යතුරු කපන්නකුගේ බිරිඳ රිස්වියා පස්දරු මවකි. “කවුරු හරි යතුරු කපන්න ආවොත්, ලැබෙන ගානෙන් ජීවත් වෙනවා. වැඩි ගානක් ලැබුනොත් ටිකක් හොඳට කනවා. ඊයෙ බත් ඉව්වෙ නැහැ. රෑට පිට්ටු කෑවා. ඉව්වොත් කෑම දවස් දෙකකට ෂේප් කර ගන්නවා. බිත්තර ගනන් නිසා සතියකට දවසක් දෙකක් මස් හරි මාලු හරි කනවා. එලවලු ගනන් නිසා කන ප්‍රමානය අඩුයි.’ දරුවන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට නය වන බව ද ඇය පැවසුවා ය.

ත්‍රීවීල් රථ රියදුරු අලි ගේ බිරිඳ සිය දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙලීම බරපතල වීම ගැන කතාකරමින් ((ලෝසවෙඅ)

තිදරු පියෙකු වන අලි ත්‍රීවීල් රියදුරෙකි. “ලමයින්ගෙ අනාගතය ගැන හිතන්න වෙලාවක් නැහැ, දවසේ වියදම හොයාගන්න ගියාම. විදුලි, ජල බිල් ට්‍රිබල් වෙලා. මං කටාර් රෙස්ටුරන්ට් එකක වැඩ කලා. පාපන්දු තරගයෙන් පස්සෙ ඒක ලොස්ට් වෙලා වැහුවා. මාස දෙකක් රස්සාවක් හොයා ගන්න ට්‍රයි කලා. බැරි වුනා. කටාර්වල ජිවත් වෙන්න අමාරුයි. කාමරයකට ලංකාවේ රුපියල්වලින් මාසෙකට රුපියල් 60,000ක් යනවා. ලංකාවට ඇවිත් අතේ තිබුනු සල්ලි ටිකෙන් මේ ත්‍රීවීල් එක ගත්තා.”

ඔහුගේ බිරිඳ පැවසුවේ ඇගේ දෙවන දරුවාගේ බර අඩු නිසා ක්ලිනික් එකට ගෙන යන්නැයි පාසලෙන් ලිපියක් දී ඇති අතර තෙවන දියනියගේත් බර අඩු වී ඇති බව ය. “ක්ලිනික් එකෙන් පෝෂදායී ආහාර, මල්ටි විටමින් දෙන්න කිව්වත් ක්ලිනික් එකෙත් ඒව නැහැ. අපි කන්නෙ සල්ලි තියන හැටියට නෙ.”

දවසට රුපියල් 1800ක වැටුපක් ලැබුන ද ආර්ථික ප්‍රශ්න නිසා හැම මාසෙම නය වන බැවින් සිය බිරිඳ මාස 7කට පෙර ක්වේටයට ගියේ දරුවන්ගේ ටියුෂන් ෆීස්, පොත්පත්වලට හා සපත්තුවලට යන වියදම දැරිය නොහැකි නිසා යයි වායුසමීකරන කම්කරුවෙකු පැවසුවේ ය.

“ගෑස් ගන්න බැරි නිසා දර ලිපේ උයන්නෙ. දවසකට කෑමට රුපියල් 2500ක් විතර යනවා.” කෙසේ හෝ රුපියල් 500ක් පමන සොයා ගෙන හාල් පොල් මිල දී ගෙන මොනවා හෝ අනුභව කරන බව පැවසුවේ තවත් ගෘහනියකි.

ගොඩනැගිලි වැඩබිමක රැකියාව කල හේමන්ත විදුලි බිල ගෙවා ගත නොහැකි ව (ලෝසවෙඅ)


විදුලි බිල ගෙවා ගත නොහැකි ව රුපියල් 17,000ක් එකතු වී ඇති බව ඇගේ සැමියා හේමන්ත පැවසී ය. ඔහු ගොඩනැගිලි වැඩබිමක රැකියාව කල අයෙකි. දැන් ඔහු කොස් මැල්ලුම් ආදිය කපා විකුනා තම පවුල ජීවත් කරවයි. කොස් ගෙඩි ගනන් කාලෙට ඔහුට රැකියාවක් නැත.

අධ්‍යාපනය අතහැරිමට සිදුවූ නිම්හාල්තුල්ලා 10 වසර -ඉටිපන්දම් දැල්ලෙන් ආහාරය සඳහා රොටියක් තනමින් (ලෝසවෙඅ)

නිම්හාල්තුල්ලා 10 වන ශ්‍රේනියෙන් අධ්‍යාපනය අතහැරි, තවමත් පාසල් යාමට කැමැත්තෙන් සිටින දරුවෙකි. “ලයිට් බිල ගෙවාගන්න බැරුව ලයිට් කපල මාස දෙකක් විතර වෙනවා. අපි හුඟක් නය වෙලා ඉන්නෙ. මගෙ තාත්ත නාටාමි කෙනෙක්. අම්මා ක්ලීිනින් වැඩ කරන්නෙ. ලයිට් නැති නිසා අයිය ඉන්නෙ යාලුවෙකුගෙ ගෙදර.” ලෝසවෙඅ වාර්තාකරුවන් එම නිවසට යද්දී ඔහු ආහාර සඳහා රොටියක් තනමින් සිටියේ ඉටිපන්දම් එලියෙනි.

පැල්පත්වල හා මුඩුක්කුවල ජීවත්වන බහුතරයක් සෘ ජු රැකියාවල නොයෙදෙන, නුපුහුනු, නිශ්චිත ආදායම් මාර්ග නැති කම්කරුවන් ය. නාටාමිවරුන්, පදික වෙලඳුන්, කුලීකරුවන් හා ආදායම් මාර්ග නැති මේ ජනයා ආන්තික දරිද්‍රතාවයේ ගිලී සිටිති. ඒ නිසා ඔවුනට තම දරුවන්ට නිසි ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූලික පහසුකම් සම්පාදනට ප්‍රවේශයක් නැත. නිශ්චිත සංඛ්‍යා ලේඛන නැති, විවිධ දුෂ්කරතා යටතේ ජීවත්වන වීදි දරුවන් 15,000ක් පමන කොලඹ සිටින අතර ඔවුන් අයත් වන්නේ සියල්ලම අහිමිවීමේ කොට්ඨාශයට ය.

බන්ඩාරවෙල අයිස්ලැබි වත්තේ රාමලිංගම් ලෝසවෙඅයට පැවසුවේ “අපේ ලමයින්ට දැන් කිසිම ගුනයක් තියන කෑමක් දෙන්න විදියක් නැහැ. ලේ අඩුයි කියල දොස්තරල කියනවා. එලවලු, පලතුරු, මස්, මාලු, බිත්තර දෙන්න ලු. මේ හැම එකක ම මිල දරන්න අපට බැහැ.”

ශ්‍රී ලංකාවේ වතු දරුවන් අතර මන්දපෝෂය වර්ධනය වී ඇති බව “පෝෂන මාසය” වාර්තාව රාමලිංගම්ගේ ප්‍රකාශයෙන් තවත් තහවුරු වෙයි. එහි සඳහන් වූයේ වතු කම්කරුවන් බහුතරයක් වෙසෙන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය 2023 දී සියයට 25.4ක් බව ය. සේව් ද චිල්රන් “කුරු බව සියයට 22.8කි”යි සටහන් කර තිබුනි.

දිවයින පුරා අවුරුදු 5ට අඩු දරුවන් 15763 දෙනෙකු උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙයි. 2022 බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15.3, 2023 දී සියයට 17.1 දක්වා වර්ධනය වී ඇත. 2022 වසර හා සසදන විට වවුනියාව හැර අනෙක් සෑම දිස්ත්‍රික්කයක ම අඩු බර ප්‍රතිශතයේ වැඩිවීමක් පෙන්නුම් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කල 2023 ”පෝෂන මාසය” වාර්තාවේ සඳහන් ය.

හෝමාගම පවුල් සෞඛ්‍ය සේවිකාවක් තම ජීවන තත්වය පිලිබඳව මෙසේ අදහස් පල කලාය: “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පෙර පරිභෝජනය කල ආහාරවලින් 1/3ක් වත් දැන් ගන්න බැහැ. බිත්තර මිල ඉහල යාම නිසා අපිට දෙන්න පහසු ප්‍රෝටීන් ටික වත් දෙන්න බැරි වුනු එකත් දරුවන්ට බලපාන විශාල ප්‍රශ්නයක්. ලෝක ආහාර සංවිධානයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ පෙන්වා දුන්නේ පෝෂනීය ආහාර වේලක සාමාන්‍ය මිල සියයට 156කින් ඉහල ගිය බවයි. මේක පෝෂනයක් නැති බඩගින්නට කෑම කන යුගයක්. ප්‍රෝටීන් හිඟය මන්දපෝෂනයට හේතුවක් ලෙස වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.”

සෞඛ්‍ය හා පෝෂනය පිලිබඳ මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකරට අනුව “වෙලඳ පොලේ ඇති ඉහල ම තත්වයේ හා දැරිය හැකි ප්‍රෝටින් ප්‍රභවය බිත්තර ය. ප්‍රෝටීන් නැතිකම නිසා ඇති වන මන්දපෝෂනය දරුවන්ට දිගු කාලීනව බලපායි. අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල අවුරුදු 5ට අඩු දරුවන් අතර මරනවලින් සියයට 45ක් මන්දපෝෂනයට සම්බන්ධ ය.”

ආහාර නිෂ්පාදනයේ නව විද්‍යාත්මක විධි ක්‍රම හා පෝෂන විද්‍යාවේ වර්ධනය ඉහල ගොස් ඇති තත්වයක සමාජ අසමානතාව විසින් කුසගින්න නිදන්ගත තත්වයට පත් ව ඇත. මෙය ලාභ සූරාකෑම මත පදනම්වූ ධනපති ක්‍රමයේ ප්‍රතිඵපලයකි.

ජාමූඅලේ දෙවෙනි නය වාරිකය ලැබුනු පසු අමාරු කාලය අවසන් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා ඇත. . ඔහු සඳහන් කලේ මහජනයා අත්විඳින ‘අමාරු කාලය’ ගැන නොවේ. විදේශ නය හිමියන්ට නය ගෙවීමට නොහැකිවීමෙන් ආන්ඩුවට මුහුන පැමට සිදුව ඇති අමාරු කාලය ගැනයි.

දෙවන නය වාරිකය මුදාහරින බව ජාත්‍යන්තර මුල්‍යා අරමුදල ප්‍රකාශකල විගස රාජ්‍ය ඇමතියා ප්‍රකාශ කලේ, ඉන් ලැබෙන මුදල් විදේශ නය වාරිකය ගෙවීමට යොදවන බවයි. කම්කරුවන්ට හා දුගීන්ට ලැබෙන්නේ විදුලි හා ජාල ගාස්තු නැවීම, බදුබර ඉහල දැමීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැගීම හා රැකියා විනාශය හා ලෙබෙන සොච්චම් ආදායමක් ඇත්නම් එය සිඳීයාම යි.

මෙමගින් පටවමින් තිබෙන විනාශ කාරී තත්වය නතර කල හැක්කේ, අතලොස්සකගේ ලාභ තර කිරීමට කැපවූ ධනේශ්වර පද්ධතිය පෙරලා දමා, සමාජයේ බහුතරයේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා නිෂ්පාදනය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමට හැකි කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට අරගලය කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අබඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *