පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !  

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ඇමරිකා එක්සත් ජනපදයේ හා නැටෝවේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්ණ සහාය ලබමින් ඊශ්‍රායලයේ සියොන්වාදී ආණ්ඩුව දියත් කර ඇති ජනඝාතනය මුළුමනින් හෙලා දකින කොළඹ ක්‍රියාකාරී කමිටුව, මානව වර්ගයාට එරෙහිව සිදු කෙරෙමින් පවතින මෙම අපරාධය වැලැක්වීම සඳහා ලොව පුරා පැන නැඟී ඇති කම්කරු මහජන විරෝධය සමඟ පෙළ ගැසෙන ලෙසත්, සියොන්වාදී තන්ත්‍රයේ ද, එයට මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික පිටුබලය පුදන අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ සට්ටැඹී ධනපති ආණ්ඩුවල ද මිනීමරු අභිලාෂයන් පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මෙහෙයවා ගැනීමේ අරගලයකට එක්වන ලෙසත් සියලු කම්කරු පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය ඔක්තෝබර් 7 වන දින ආරම්භ කරන ලද සමූලඝාතනය නොවැම්බර් 10 වන සිකුරාදා වන විටත් පලස්තීනු වැසියන් 11,000 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බිලි ගෙන තිබූ අතර, ඉන් 4,500 කට වැඩි පිරිසක් දරුවෝ වූහ. තවත් දරුවන් 1,500 ක් ඇතුලු 2,700 ක් ජනයා සුන්බුන් අතර සිරවී  ඇතැයි සැලකේ. ‘රෝහල්වලට එරෙහි යුද්ධයේ දිනය’ ලෙස ගිනිය හැකි නොවැම්බර් 10 වන දින තුල පමණක් ඊශ්‍රායල හමුදා ළමා රෝහල් දෙකක් ඇතුළුව රෝහල් 6 කට පහර දී ඇත. යුද්ධය ඇරඹුණු දා සිට මේ වන විට ගාසා තීරයේ රෝහල් 22 ක කටයුතු මුළුමනින් ඇන හිට ඇත. තවත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 51 ක් මේ වනවිට නිෂ්ක්‍රිය වී ඇති බව වාර්තා වේ.   

නාසිවාදයේ කෲරකම්වලින් මෙපිට සිදු කෙරෙමින් පවතින කුරිරුතම අපරාධ මෙන් ම, එකී අපරාධවලට ද, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ඒවාට ලබා දෙන ද්‍රව්‍යමය හා රාජ්‍යතාන්ත්‍රික සහයෝගයට ද එරෙහිව ලෝකය පුරා පැන නැඟී ඇති අතිශය තීව්‍ර මහජන නැඟිටීම් ද මේ මොහොතේ ලෝකය අත් දකිමින් සිටියි. නොවැම්බර් 11 වන දින ලන්ඩනයේ පැවැති පෙළපාලියට ලක්ෂ 8 ක ජනකායක් සහභාගී වී ඇති අතර, ඒ අනුව එහි රටවැසියන්ගෙන් සෑම 60 දෙනෙකුට ම එක් අයෙක් එම පෙළපාලියට සම්බන්ධ වී ඇත. නිව්යෝර්ක්, කැලිෆෝනියා, චිකාගෝ, මෙල්බර්න්, සිඩ්නි, පැරිස්, බර්ලින්, බාසිලෝනා, කේප්ටවුන්, වැනීසිය, බ්‍රසල්ස්, ඩබ්ලින්, කරච්චි ආදී වශයෙන් ලෝකයේ සෑම දිශාවකම ප්‍රධාන නගරවලින් දැවැන්ත මහජන විරෝධතා වාර්තා වී ඇති අතර, යුදෙව් ජනයා කැපී පෙනෙන සහභාගීත්වයක් දැක්වූ විරෝධතා ද ඒ අතර විය. ජන විලෝපන යුද්ධයේ සහකරුවන් වී සිටින අධිරාජ්‍යවාදී ආණ්ඩු, පෘථිවි ගෝලයේ සියලු මහාද්වීපවලින් වාර්තා වී ඇති මෙම දැවැන්ත මහජන ව්‍යාපාරය පිලිබඳ භීතියෙන් ඇලලී යමින්, එම ව්‍යාපාරය දඬු ගැසීමේ නව නීති සම්පාදනය කිරීමට ප්‍රමුඛත්වය දී ඇති අයුරු ප්‍රකට ය. විරෝධතා නිසා දැනටත් ලොව පුරා සිය ගනනක් ජනයා අත් අඩංගුවේ සිටිති.    

Protest

මේ අනුව, නැඟී එන යුද විරෝධී මහජන ව්‍යාපාරය කෙලින්ම මුහුණට මුහුණ දී සිටින්නේ ධනපති ආණ්ඩුවල රාජ්‍ය බලයට හා එහි මර්දන උපකරණවලට ය. 

මෙම තතු මත, මෙකී යුද්ධයට විරුද්ධ අරගලය සඳහා ධනපති පන්තියෙන් සිය අත් නිදහස් කර ගැනීම තීරණාත්මක වන බව අපි කම්කරුවන්ට සිහිපත් කර දෙමු. මේ සාමාන්‍ය අනතුරක් නොවේ. පලස්තීන පීඩිතයින් මුහුණ දී සිටින ප්‍රශ්නය හුදෙක් ඔවුන්ට සීමා වූවක් නොවේ. නාසිවාදය හමුවේ කෲර වධ හිංසාවන්ට පාත්‍ර වූ යුදෙව් ජනයා සිය සියොන්වාදී යුද අභිලාෂවල දේශපාලන පලිහක් ලෙස යොදා ගනිමින් ඊශ්‍රායල තන්ත්‍රය පලස්තීන ජනයාට එරෙහිව එවැනිම කෲරත්වයක් පවත්වා ගෙන යන්නේ නාසි අපරාධවල උරුමක්කරුවන් සමඟ නොමඳ සහයෝගයක් පවත්වා ගනිමිනි. ඉතාලියේ ෆැසිස්ට්වාදී අගමැතිනි ජෝර්ජියා මෙලනි මෙකී යුද්ධයට සහාය පල කිරීම සඳහා වහා ඊශ්‍රායලයට ගොස් නෙතනියාහු මුණ ගැසුනා ය. ඊශ්‍රායල ජන ඝාතනයට සහාය පුදන කැනඩාවේ සංචාරයකට පැමිණි යුක්‍රේන ෆැසිස්ට්වාදී යරොස්ලාව් හුන්කා, කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඇතුළු එහි සමස්ත පාර්ලිමේන්තුව හුනස්නෙන් නැඟී අත්පොලසන් දී පිළිගත්තේ මීට මාසයකට පමණ ඉහත දී ය. ඇමරිකා එක්සත් ජනපදය ද, සෙසු අධිරාජ්‍යවාදීන් ද ඊශ්‍රායලයට පුදන සහායට යටින් පවතින්නේ පැරැණි යටත් විජිත රටවල් නැවත යටත් කරගැනීමේ ස්වකීය භූ දේශපාලනික අරමුණු සඳහා දඩ බල්ලෙකු ලෙස ඊශ්‍රායලය භාවිතා කිරීමේ උවමනාවයි. අධිරාජ්‍යවාදයට තමන්ට අවශ්‍ය විට පාරා ගැනීම සඳහා මේ ලේ ගලන තුවාලය පවත්වා ගැනීම අවශ්‍ය ය. ඊශ්‍රායල – පලස්තීන ද්වි රාජ්‍ය සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම අරමුණිනි. පලස්තීන ජනඝාතනයට එරෙහි වීම යනු එකී අධිරාජ්‍යවාදී අරමුණට එරෙහි නැඟී සිටීමකි. එබැවින් ම එය ස්වභාවයෙන් ම, තමන්ගේ ම රටවල අධිරාජ්‍ය ගැති ධනපති පන්තියෙන් ස්වාධීන වීමේ අත්‍යවශ්‍යතාව ඉස්මතු කරයි.

මේ නිසා, ජනඝාතනයට එරෙහි අරගලය තුලට ද්වි-රාජ්‍ය කූටෝපාය ගෙන එන අධිරාජ්‍යවාදී බැලයන්ගෙන් ප්‍රවේශම් වන්නැයි අපි කම්කරු පන්තියට හා යුද විරෝධී ව්‍යාපාරයට අනතුරු හඟවමු. මේ ජනඝාතනය වැලැක්විය හැක්කේ පවතින ධනපති ඊශ්‍රායල රාජ්‍යය විසුරුවා හැර, එය මැද පෙරදිග සමාජවාදී සමූහාණ්ඩුවක කොටසක් ලෙස, යුදෙව්වන්ට සහ අරාබි ජාතිකයන්ට පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සහිත ඒකාබද්ධ රාජ්‍යයක් මගින් විස්ථාපනය කිරීම මගින් පමණක් බව කොළඹ ක්‍රියාකාරී කමිටුව පිළිගනී. ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර කම්කරු එකමුතුව ගොඩ නඟා ගැනීමට ධනපති පන්තියෙන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට ඉදිරිපත් වන්නැයි අපි ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ජනඝාතක යුද්ධයට එකදු උපකරණයක් හෝ ලබා නොදීමට තම ආණ්ඩුවලට බල කරන ලෙසත්, එම අවි හා උපකරණ ප්‍රවාහනය ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන්ගෙන් කොළඹ ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටියි. මෙම අරගලය පෙරට ගෙන යාම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර ඇති උද්ඝෝෂණයට කොන්දේසි විරහිතව සහාය දෙන අපි, මෙම වැඩ පිළිවෙලට සටන් වැදීමට සියලු ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුවලට කැඳවුම් කරමු. 

ගාසා තීරයේ ජනඝාතනය නවත්වනු!

අධිරාජ්‍යවාදී යුද්ධය එපා!

ගාසා තීරයේ සමූල ජනඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!  

ප්‍රතිගාමී ද්වි-රාජ්‍ය මර උගුලට එරෙහිව, මැද පෙරදිග සමාජවාදී සමූහාණ්ඩුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදී අරාබි-යුදෙව් ඒකාබද්ධ රාජ්‍යයක් සඳහා සටන් වදිනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *