පොලිසිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු අත්අඩංගුවටගැනීම හා වර්ගවාදී ප්‍රචාර

එන්.රංගේෂ්

මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු, මාදවනයි ප්‍රදේශයේ ගොවි විරෝධතාවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී නොවැම්බර් 05 වැනිදා යාපනය විශ්වවිද්‍යාල සිසුන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මඩකලපුවේ තනබිම් ආක්‍රමනය කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ගව ගොවීන් පිරිසක් -ඡායාරූප-facebook

තම ගවයන් සඳහා වන තනබිම් ආරක්ෂා කර ගැනීම පිනිස උද්ඝෝෂනයක යෙදී සිටි ගොවීන්ගේ විරෝධතාවයකට සිසුන් සහභාගී වී තිබුනි. රාජ්‍ය බලධාරීන් විසින් තන බිමෙන් අක්කර 150ක් පමන සිංහල ගොවීන්ට වෙන්කර දෙමින් ඔවුන් පදිංචි කිරීමට එරෙහිව සැප්තැම්බර් 15 දා සිට (මඩකලපුව දිස්ත්‍රික්කයේ) ගොවියෝ විරෝධතාවයේ යෙදී සිටිති. සිසුන් අත්අඩංගුවට ගෙනේ ඇත්තේ මෙම උද්ඝෝෂනයට සහභාගී වී ආපසු යමින් සිටියදීය.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ (ජේයූඑස්යූ) ප්‍රකාශයකට අනුව පොලිසිය සිසුන් ගමන් කරමින් සිටි බස් රථයක් නවතා ඔවුන් පිලිබඳ තොරතුරු සපයන ලෙස නියෝග කර ඇත. අත්අඩංගුවට ගැනුනු සිසුන්ට පොලිසිය පහර දුන් බව ජේයූඑස්යූ චෝදනා කරයි.

මඩකලපුවේ තනබිම් අල්ලා ගැනීමට එරෙහිව සිසුන් පිරිසක් පා ගමනක් – ඡායාරූප-facebook

එලෙස අත්අඩංගුවට ගැනුනේ එන්. විදූෂන්, ටී. ලජිතාර්, එස්. සින්තුජන්, ටී. ගජන්, නෙවිල් කුමාර් සහ කේ. රොබින්සන් යන සිසුන්ය.

ඔවුන් සන්දිවේලි පොලිස් ස්ථානයේ කූඩුවල සිරකරන ලදී. පසුදින එරාවුර් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිසුන්ට ඇප නියම වූ නමුත් ඔවුන්ගේ පදිංචිය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව පවසමින් පොලිසිය ඔවුන් නිදහස් කලේ නොවැම්බර් 7 වැනිදායි. ‘නීතිවිරෝධී රංචුගැසීම’ සහ මහාමාර්ග පනත යටතේ මාර්ගයට ‘හානි සිදුකිරීම’ යන චෝදනා ගොනු කරනු ලැබ ඇති නඩුවකට ද ඔවුහු මුහුන දී සිටිති. නඩුව නොවැම්බර් 17 වැනිදා එරාවුර් මහේස්ත්‍රාත් අධිකරනයේදී විභාගයට ගැනීමට නියමිතව තිබිනි.

මඩකලපුවේ තනබිම් ආක්‍රමනය කිරීමට එරෙහිව පැවති විරෝධතාවයට සහභාගී වීම නිසා අත්අඩංගුවට ගත් සිසුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි-ඡායාරූප-facebook

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මයිලත්තමඩු දිලිඳු ගොවීන්ට සහාය පල කිරීමට සිසුන්ට ඇති නීත්‍යානුකූල හා දේශපාලන අයිතීන් උල්ලංඝනය කරමින් පොලිසිය විසින් දියත් කෙරුනු මර්දනකාරී ක්‍රියාව හෙලා දකී. සිසුන්ට එරෙහිව ගොතන ලද මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි බලකර සිටිමු.

කිරි සැපයුම මඩකලපුවේ ගොවියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. මහවැලි ගං ඉවුර අසල පිහිටි මයිලත්තමඩු, මාදවනයි වැනි ප්‍රදේශ, ගවයින් සහ මී හරකුන් ලක්ෂ 3කට පමන තනබිම් සපයයි.

1972 දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තන බිම් දෙක ගවයන් ඇතිකරමින් එම කර්මාන්තයේ යෙදී සිටි දෙමල ජනතාව සඳහා වෙන් කෙරිනි. 1983 සිට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව අනුප්‍රාප්තික කොලඹ පාලන තන්ත‍්‍රයන්ගේ 26 වසරක වාර්ගික යුද්ධයේදී ඔවුහු මර්දනයට මුහුන දුන්හ.

2007-2008 අතර නැගෙනහිර පලාතේ පැවති කුරිරු වාර්ගික යුද්ධයේ අවසාන අදියරේදී, පලාතේ අනෙකුත් සියලුම ජනතාව මෙන් මෙම ප්‍රදේශයේ ගොවීන්ද තම වාසස්ථානවලින් පලවා හැරුනි.

.2009 මැයි මාසයේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, 2010 දී, සිය පැරනි ජනාවාස වෙත ආපසු පැමිනි ගොවීහු රජයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝගය යටතේ මෙම ඉඩම් පෙර පරිදිම භාවිතා කලහ. තම එදිනදා ජීවිතය ගැටගසා ගැනීමේ අරගලයක යෙදී සිටින ඔවුහු දිලිඳු බවේ ගිලි සිටිති. මිලිටරිය සහ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් සමහර දිලිඳු සිංහල ගොවීන් සාරවත් තනබිම් කොටසක පදිංචි කරනු ලැබ ඇත.

ගොවීන් චෝදනා කරන්නේ 2010 වසරේ සිට තමන්ගේ ගවයින් 4,000ක් පමන හොරෙන් ඝාතනය කරනු ලැබ ඇති බවයි. සීමිත තනබිම් හේතුවෙන් ඔවුන්ගේ කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 300 දක්වා පහත වැටී ඇත. ඒ අතරම සත්ව ආහාර ද්‍රව්‍ය ඉහල මිලට ගනිමින් කිරි නිෂ්පාදනය අඩු මිලට අලෙවි කිරීමට ඔවුන්ට සිදු වී ඇත.

2020 සිට අර්බුදය උග්‍ර වූයේ අලුතින් පත් වූ නැගෙනහිර පලාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත් අක්කර 150ක් සිංහල ගොවීන්ට ලබාදීමට අවසර දීමත් සමගය.

ඇය, 2019 නොවැම්බර් ජනාධිපතිවරනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පිහිටුවන ලද දක්ෂිනාශික වියත්මග නම්වූ සංවිධානයෙහි ක්‍රියාකාරිනියකි. යහම්පත් ඇයගේ ක්‍රියාව හැඳුන්වූයේ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ පියවරක් ලෙසය. මෙම ප්‍රකාශය අසත්‍යයකි.

යහම්පත්, හමුදාව, පොලිසිය සහ ස්වෝත්තමවාදී කන්ඩායම් මැදිහත් වී සිංහල ගොවීන් පදිංචි කර ඇත්තේ මෙම දුප්පතුන් කෙරෙහි ජනිත වූ අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ මැදිහත්වීම කොලඹ සිංහල පාලක ප‍්‍රභූවේ දිගුකාලීන පිලිවෙත පෙන්වා දෙයි.

1948 නිදහසින් පසු, සිංහල පාලක ප‍්‍රභූව ඉඩම් නොමැති දුප්පත් සිංහල ගොවීන්ගේ දුක්ගැනවිලි ගසා කමින්, විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වූ බහුතරයක් වූ දෙමල සහ මුස්ලිම් ජනතාව අතර ඔවුන් සඳහා ජනපද යෝජනා ක්‍රම දියත් කලේය. ඔවුන්ගේ දුෂ්ට අරමුන වූයේ දෙමල සහ මුස්ලිම් දුප්පතුන් සහ සිංහල දුප්පතුන් අතර කාකොටා ගැනීම් ඇති කිරීමයි.

මෙය කම්කරු පන්තිය සහ දුගීන් ද බෙදා තමන්ගේ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා වාර්ගික ආතතීන් අවුලුවාලීම කොලඹ ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස පාලක පන්තියේ මූලෝපායේ කොටසක් විය. 1948 දී එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනය, දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරමින් ජාතිවාදී වෙනස්කම් කිරීම් උත්සන්න කල අතර ඊලඟ දශකවල බලයට පත්වූ ආන්ඩු මෙය තවතවත් උග්‍ර කොට, 1983 වර්ගවාදී යුද්ධයක් ඇවිලවූයේය .

ඇවිලෙන වාර්ගික ගින්නට තෙල් වක් කරමින්, මෙම වසරේ ඔක්තෝබර් 15 වන දින, මඩකලපුව විහාරස්ථානයේ අම්පිටිය සුමනරතන භික්ෂුව, හිටපු ආන්ඩුකාර යහම්පත්ගේ සහභාගීත්වයෙන් තනබිම් ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර ඇත. ඔහු දෙමල ජනයාට එරෙහිව කල ප්‍රකෝපකාරී ප්‍රකාශ වීඩියෝ පට මගින් සංසරනය වෙමින් පවතී. ඔහු පැවසුවේ සෑම දෙමල ජාතිකයෙක්ම කෑලිවලට කපා දමන බවයි.

නමුත් මේ භික්ෂුවට එරෙහිව රජය හෝ පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැත. භික්ෂුව අත්අඩංගුවට නොගන්නා ලෙස බලකරමින් බෞද්ධ සංස්ථාපිතය වහා මැදිහත් විය. අස්ගිරි පාර්ශ්වයේ මැදගම ධම්මානන්ද භික්ෂුව ද මෝනිං පුවත්පත වෙත පැවසුවේ “ඔහුගේ [සුමනරතන] හැසිරීම පිලිගත නොහැකි නමුත්, ඔහු සහ ඔහුගේ ප්‍රජාව මුහුන දෙන සුවිශේෂී ප්‍රශ්න කිහිපයක් නිසා ඔවුන් එසේ කර ඇති” බවයි.

බෞද්ධ සංස්ථාපිතය රටේ දෙමල සහ මුස්ලිම් සුලු ජාතීන්ට එරෙහිව සිංහල ස්වෝත්තමවාදය ඇවිලවීමේ ප්‍රධාන බලමධ්‍යස්ථානයකි. බුද්ධාගමට නිගා කල බවට බොරු චෝදනා කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට භික්ෂූන් උද්ඝෝෂනය කර ඇත.

2019 දී, සම්මානලාභී ශ්‍රී ලාංකික කතුවර ශක්තික සත්කුමාර ඔහුගේ ෆේස්බුක් පිටුවේ පල කරන ලද කෙටිකතාවකින් බෞද්ධයන්ට අපහාස කල බවට බෞද්ධ අන්තවාදී කන්ඩායම් විසින් කරන ලද පැමිනිලි අනුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නා ලදී.

2020 දී, මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කරන බවට සාවද්‍ය චෝදනා කරමින් කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබිනි.

උසාවියේ පැවැත්වූ නඩු වලදී, ඒවා බොරු චෝදනා බව ඔප්පු විය.

2023 මැයි මාසයේදී ශ්‍රී ලාංකික ප්‍රහසන විකට රංගන ශිල්පිනියක්වන , නතාෂා එදිරිසූරිය අප්‍රේල් මාසයේ “මෝඩාභිමානය” (මෝඩයන්ගේ ආඩම්බරය) නම්වූ විකට වැඩසටහනේ රඟ දැක්වීමේදී “බෞද්ධාගමට අපහාස” කල බවට බොරු චෝදනා එල්ල කරන ලදුව ඇය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

මයිලත්තමඩු, මාදවනෙයි ගොවීන්ට එරෙහි මර්දනකාරී ක්‍රියාමාර්ග හුදකලා වර්ධනයක් නොවේ. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යා ස්ථාන සෙවීමේ නමින්, ආන්ඩුවේ අනුග්‍රහය ඇතිව බෞද්ධ භික්ෂූන් වැඩපිලිවෙලක් අරඹා ඇත. සැබෑ අරමුන පුරාවිද්‍යාත්මක ස්ථාන සොයා ගැනීම නොව බෞද්ධ විහාරස්ථාන ගොඩ නගමින් වාර්ගික සතුරුකම් ඇති කිරීම ය.

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශය අවට දැඩි මැදිහත්වීමක් සිදු කෙරෙමින් පවතී. මතභේදයට තුඩු දී ඇති මෙම ස්ථානයේ පැරනි විහාරස්ථානයක් තිබූ බව පවසමින් සිංහල බෞද්ධ කන්ඩායම් නව විහාරස්ථානයක් ඉදිකිරීමට උත්සාහ කරති. ඔවුන්ට ආන්ඩුවේ, හමුදාවේ සහ පොලිසියේ පිටුබලය ලැබෙයි. මෙම ස්ථානය හින්දු භක්තිකයන්ට ශිව දෙවියන් වන්දනාමාන කරන ස්ථානයක් වේ.

මයිලත්තමඩු සහ මාදවනෙයි මැදිකරගෙන මතුවී ඇති ගැටුම්කාරී තත්වය මධ්‍යයේ, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), හා දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) ඇතුලු දෙමල ජාතිකවාදී පක්ෂ, දෙමල දුප්පතුන්ගේ දුක්ගැනවිලි ගසා කමින් ඔවුන් දුගී සිංහල ගොවීන්ට එරෙහිව පිහිටුවීමට මැදිහත් වෙති.

දෙමල කම්කරුවන් හා ගොවීන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නැති ඔවුහු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ඇතිව උතුරු නැගෙනහිරට බලය බෙදීම සඳහා කොලඹ පාලනය සමග කේවල් කිරීමේ උද්ඝෝෂනයට දෙමල දුගීන්ගේ දුක්ඛිත තත්වය ගසා කෑමට උත්සාහ කරති.

ටීඑන්පීඑෆ් හි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙසේ පැවසීය: “මම මේ (ගොවි ප්‍රශ්නය) ගැන ජිනීවා මානව හිමිකම් කමිටුවට, ඉන්දු පැසිෆික් කොමසාරිස්වරුන්ට සහ යුරෝපීය රටවල විදේශ ලේකම්වරුන්ට පෙන්වා දුන්නා. මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අයිටීඒකේ හි නායකයෙකු වන එම්.ඒ සුමන්තිරන්, පැවසුවේ මහාධිකරනයේ ගොනු කෙරුනු නඩුවක තීන්දුවක් මගින් මෑතකදී පදිංචි කෙරුනු ගොවීන් ඉවත් කිරීමට නියෝග කෙරුනු බවයි. නමුත් එය නොසලකා හරිනු ලැබ ඇත. ගොවි ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කල බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. ඔහු ඔවුන්ව ඉවත් කිරීමට පොරොන්දු වූ නමුත් කිසිවක් සිදු නොවීය. “මහාධිකරන නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපි නැවතත් අධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කරනවා“ යැයි සුමන්තිරන් පැවසීය.

සිංහල පාලක ප්‍රභූවේ වාර්ගික ප්‍රතිපත්ති ප්‍රතිරාවය කරන මෙම පක්ෂ ජාත්‍යන්තර බලවතුන් ඉදිරියේ හිඟමනෙහි යති. ඔවූහු දෙමල ප්‍රභූවේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජනපදයේ පිටුබලය අපේක්ෂා කරමින් චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතාවලට සහාය දක්වති.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අනුගමනය කරන්නේ, මෙම පක්ෂ සහ ඔවුන්ගේ වාර්ගවාදී ප්‍රතිපත්තින්ය.

මතුවී ඇත්තේ 1948 ඊනියා නිදහසේ සිට පාලක පන්තිය විසින් දෙමල සුලුතරයට එරෙහිව දීර්ඝ කාලීනව කරන ලද දුෂ්ට වාර්ගික වෙනස්කම් කිරීමයි. එය, යොදා ගන්නේ දෙමල හා සිංහල කම්කරුවන් බෙදීමටත්, සියලු ජනතාව දරිද්‍රතාවයේ සහ මර්දනකාරී තන්ත‍්‍රය යටතේ තබා ගනිමින් ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කිරීමටත් ය.

වත්මන් ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයේ කාලපරිච්ඡේදය තුල පාලක පන්තිය වාර්ගික ආතතීන් ඇවිලවීමේ විසකුරු අවිය ඔසවාගෙන සිටි. නැඟෙනහිර පලාතේ ගොවි ප්‍රශ්නය එහි කොටසකි. මෙම දුගීන්ට එරෙහි මර්දනකාරී ක්‍රියාමාර්ගවලට කම්කරුවන් විරුද්ධ විය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) මුර්ග කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගලයේ නව පිපිරීමක් ගැන පාලක පන්තිය බිය වී සිටී. දෙමල ධනේශ්වර පක්ෂ ද ජාමූඅ විසින් නියම කරන ලද ප්‍රහාරවලට සහාය දක්වති.

ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත්වල පදනම මත ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සටන් කිරීමට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ සමාජවාදී සමානතා පක්ෂය දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට ද දුගී ගොවීන් එම අරගලය වටා පෙලගස්වීමට ද සටන් වදිති.

වාර්ගික වෙනස්කම් කිරීම රුදුරු ලෙස යොදා ගන්නා ධනේශ්වර ක්‍රමය තුලින් එය ඉවත් කල නොහැක. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස අපි ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන් කිරීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ එබැවිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed