මාධ්‍යවේදීන්ට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 9 දින පල වූ ‘The US-Israeli war on journalists‘ යන හිසින් ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. 

Journalist
අල් ජසීරා මාධ්‍යවේදී වේල් අල්-ඩහ්ඩෝ (Wael Dahdouh) ඔහුගේ පුත් හම්සාගේ අත අල්ලාගෙන සිටී. ඔහු ද අල් ජසීරා වෙනුවෙන් සේවය කල අතර 2024 ජනවාරි 7 වන ඉරිදා ගාසා තීරයේ ර‌ෆා හි (Rafah) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය. යුද්ධයේදී මීට පෙර, අල්-ඩහ්දූහ් ට ඔහුගේ බිරිඳ, තවත් දරුවන් දෙදෙනෙකු සහ මුනුබුරෙක් අහිමි ඔහු අතර, ඔහුමත් ඝාතනය වීමෙන් ගැලවුනේ යන්තමිනි.  (AP ඡායාරූපය/හැටම් අලි)

ඉරිදා, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) අල් ජසීරා වාර්තාකරුවන් දෙදෙනෙකු වන හම්සා අල්-ඩහ්දූහ් සහ මුස්තාෆා තුරායා, වාර්තා කිරීමේ පැවරුමකට ගොස් ආපසු එමින් සිටියදී ඔවුන්ගේ වාහනයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කලහ.

හම්සා අල් ජසීරා ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් අල්-ඩහ්ඩෝ ගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ඔහුගේ බිරිඳ, තවත් දරුවන් දෙදෙනෙකු සහ ලදරු මුනුපුරා ඔක්තෝම්බර් මාසයේදී ඔවුන්ගේ නිවසට එල්ල කල IDF ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කරන ලදී. දෙසැම්බරයේ, තවත් ඉලක්කගත ඩ්‍රෝන ප්‍රහාරයකින් වේල්ට තුවාල සිදු වූ අතර ඔහුගේ කැමරා ක්‍රියාකරු දකුනු ගාසා නගරය වන ඛාන් යුනිස් අසලදී ඝාතනය විය.

අල්-ඩහ්ඩෝගේ පවුල ක්‍රමානුකූලව සහ හිතාමතාම ඝාතනය කිරීම සහ ඔහුව ඝාතනය කිරීමට නැවත නැවතත් දරන උත්සාහයන් මාධ්‍යවේදීන් හිතාමතා ඝාතනය කිරීමේ ඊශ්‍රායල ප්‍රතිපත්තියක කොටසකි. ඉරිදා වන විට, පසුගිය මාස තුන තුල ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 109 ක් වූ අතර එය සඳුදා වන විට තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන අබ්දුල්ලා බ්‍රීස් සහ මොහොමඩ් අබු ඩයර් ඝාතනයත් සමඟ 111 දක්වා වර්ධනය විය.

ඊශ්‍රායලයේ අරමුන වන්නේ ක්‍රමානුකූලව මිනීමැරීමෙන් සහ මාධ්‍ය බිය ගැන්වීමෙන් පලස්තීන ජනතාව මත සෑම දිනකම කරන අපරාධ ගැන ලෝකය දැන ගැනීම වැලැක්වීමයි. ගාසා තීරයේ ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ ජන සංහාර ව්‍යාපාරය විස්තීර්න ලෙස ලේඛනගත කර ඇති අතර එය මාස තුනක් තුල මිනිසුන් 30,000 කට වඩා මරා දමා, ගාසාවේ ජනගහනයෙන් සියයට 90 ක් අවතැන් කර ඇති අතර එහි සිවිල් යටිතල පහසුකම්වලින් සියයට 70 ක් විනාශ කර ඇත.

ඊශ්‍රායලය අපරාධකාරී  පාලන තන්ත්‍රයක් ලෙස මෙහෙය වනු ලබන අතර, එය ජාත්‍යන්තර නීතියට පිටින් ක්‍රියාත්මක වන්නේ යම්කිසි ආකාරයක ඝාතක සංස්ථාවක් ලෙස ය. එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සපයනු ලබන ආයුධ, අරමුදල් සහ දේශපාලන පිටුබලය මගින් ඊට ලේවැකි අපරාධ කිරීමේ හැකියාව ලබා දී ඇත

මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට සමගාමීව  සමුල ජන සංහාරයේ විවේචකයින් හිතාමතා ඝාතනය කිරීම සිදු වේ. සති ගනනක් තර්ජන වලින් පසුව ප්‍රමුඛ පෙලේ පලස්තීන ලේඛකයෙකු, කවියෙකු, මහාචාර්යවරයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන රෆාට් අලරී (Refaat Alareer) දෙසැම්බර් 7දා ඊස්රායල් හමුදාව විසින් ඉලක්ක කර එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් මරා දැමුනි.

ඊශ්‍රායලයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියේ මැර නිර්ලජ්‍යතාව කෙබඳුද යත්, අල්-ඩහ්දූහ් සහ තුරායා ඝාතනය කිරීමෙන් පසුව, IDF විසින් ඔවුන්ව “සැකකරුවන්” ලෙස හඳුන්වමින් ප්‍රකාශයක් නිකුත් කල අතර, ඔවුන්ගේ මෝටර් රථය ඉලක්ක කර ගත්තේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන හසෙම් රජබ් (Hazem Rajab) “ත්‍රස්තවාදී  ක්‍රියාකාරීකයකු වූ නිසා” යයි පැවසීය.

හම්සා ඝාතනය වූ දිනයේදී, බයිඩන් පරිපාලනය විසින් හිතාමතාම මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමේ ඊශ්‍රායල ප්‍රතිපත්තිය හෙලා දකිනවාද යන්න එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් අසන ලදී.

බ්ලින්කන් ප්‍රතිපත්තිය හෙලා දැකීම ප්‍රතික්ෂේප කල අතර, ඒ වෙනුවට ඔහු ඝාතනය සම්බන්ධයෙන් “කනගාටුව”  ප්‍රකාශ කලේය. බ්ලින්කන් ප්‍රකාශ කලේ, “ඔබේ සගයා වන වේල් අල්-ඩහ්ඩෝ විසින් අත්විඳින ලද සිතාගත නොහැකි තරම් පාඩුව ගැන මම ගැඹුරින්, ගැඹුරින් කනගාටු වෙමි. මා ද පියෙක් වෙමි. ඔහු එක් වරක් නොව දෙවරක් අත්විඳි භීෂනය  සිතා ගැනීමට පටන් ගැන්ම පවා මට නොහැක. මේක හිතාගන්නවත් බැරි ඛේදවාචකයක්.”

නැත, හම්සා සහ වේල් අල්-ඩහ්ඩෝ ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ඝාතනය කිරීම අතිමහත් පුද්ගලික “ඛේදවාචකයක්” පමනක් නොවේ, එය බ්ලින්කන් සහ බයිඩන් පරිපාලනය සම්පූර්න වගකීම දරන අමු අමුවේ සිදුකල ලේ වැගිරෙන සාපරාධී ඝාතනයක ප්‍රතිඵලයකි. ඊශ්‍රායලයට කිරීමට ඉඩ දෙනු ලබන අපරාධ සඳහා “රතු ඉරි” නොමැති බව බයිඩන් පරිපාලනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය සමඟ ගුවන් ප්‍රහාර ඉලක්ක පුලුල් ලෙස සම්බන්ධීකරනය කර ඇති එක්සත් ජනපදය, ඝාතනය කරනු ලබන්නේ කුමන මාධ්‍යවේදීන්ද යන්න තෝරාගැනීමේදී ඊශ්‍රායලය සමඟ ඍජුව සහයෝගීව කටයුතු කලා වීමට ඉඩ ඇත.

ඔක්‌තෝබර් 25දා, ඇක්සියෝස්‌ (Axios) වාර්තා කලේ, “ඊශ්‍රායල් විරෝධී උසිගැන්වීම්වලින් පිරී ඇති නිසා අල් ජසීරා ආවරනයේ හඬ අඩු කරන ලෙස” බ්ලින්කන් කටාර්හි අගමැතිගෙන් ඉල්ලා සිටි බවයි.

ඊශ්‍රායලය මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූයේ ගාසා තීරයේ අල් ජසීරා වාර්තාකරුවන් සහ ඔවුන්ගේ පවුල් ක්‍රමානුකූලව ඝාතනය කිරීමෙනි. ඇක්සියෝස් බ්ලින්කන්ගේ ප්‍රකාශය වාර්තා කිරීමෙන් දින තුනකට පසුව, ඔක්තෝබර් 28 දින, ඊශ්‍රායලය අල්-ඩහ්ඩෝගේ නිවසට පහර දීමෙන් ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ ලදරු මුනුපුරා මරා දැමීය.

ප්‍රශ්නය වහාම පැන නගී: ඊශ්‍රායලයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සදහා  වොෂින්ටනයේ සහයෝගීතාවය ඇද ගෙන යන්නේ කොතැනටද? ඊශ්‍රායලයේ අපරාධ සඳහා “රතු ඉරි නොමැති” බව එක්සත් ජනපදය ප්‍රකාශ කරන්නේ නම්, එක්සත් ජනපදය  ඊශ්‍රායල පාලන තන්ත්‍රයට ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ විවේචනාත්මක මාධ්‍යවේදීන් තම භූමියේදීමත්  මරා දැමීමට ඉඩ දෙයිද? එක්සත් ජනපදය ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවන් අනුමත කරන්නේ නම්, එක්සත් ජනපද ආන්ඩුව සහ මිලිටරිය තමන්ගේම දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීමෙන් වලක්වන්නේ කුමක්  ද?

පසුගිය වසර 50 පුරාවට, ඊශ්‍රායල රාජ්‍යයේ ක්‍රියා එක්සත් ජනපද ප්‍රතිපත්තිය සඳහා පූර්වාදර්ශයක් තබා ඇත. වඩාත්ම වැදගත් උදාහරනය නම් “ඉලක්කගත ඝාතන” හෝ රාජ්‍ය සංවිධානාත්මක ඝාතන පිලිබඳ මතවාදය යි.

2000 නොවැම්බර් මාසයේදී ඊශ්‍රාය ඉලක්ක කරගත් ඝාතන ප්‍රතිපත්තියක් විවෘතව පිලිගත් ලෝකයේ පලමු රාජ්‍යය බවට පත් විය. වසර දෙකක් ඇතුලත, 2002 දී යේමනයේදී, යුද කලාපයකින් පිටත සිය ප්‍රථම ඩ්‍රෝන් ප්‍රහාරය දියත් කල එක්සත් ජනපදය විසින් මෙම ප්‍රතිපත්තිය වැලඳ ගන්නා ලදී. වසර 10ක් ඇතුලත, එක්සත් ජනපදය තමන්ගේම පුරවැසියකු ඝාතනය කිරීම සඳහා “ඉලක්කගත ඝාතන”  මතවාදය භාවිතයට ගති.

වෙනත් වචන වලින් කිවහොත්, අද ඊශ්‍රායලය කරමින් සිටින දෑ, එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් නුදුරු අනාගතයේදී සිදු කරනු ඇත.

එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ ආන්ඩු දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති අතර, සමූල ජන සංහාරයට එරෙහි විරෝධතා තහනම් කිරීම සහ සමූල ජන සංහාරයට විරුද්ධ වන්නන් විද්‍යාල මන්ඩපවලින් ඉවත් කිරීමේ ව්‍යාපාර දියත් කර ඇත. ඔක්තෝම්බර් මාසයේදී, එක්සත් ජනපද සෙනෙට් සභාව ගාසා ජන සංහාරයට එරෙහිව මහජන පෙලපාලිවලට සහභාගී වූවන් “ත්‍රස්තවාදීන් සමග සහයෝගීතාවය ප්‍රකාශ කරන” බවට චෝදනා කරනා යෝජනාවක් සම්මත කලේය.

මෙම තර්කනයට අනුව, සමූල ජන සංහාරයට එරෙහි විරෝධතාවලට සහභාගී වන්නන්ට ගාසා තීරයේ මාධ්‍යවේදීන්ට සමාන සැලකිල්ලක් දැක්විය නොහැකිද?

ගාසා ජන සංහාරය එක්සත් ජනපදයේ සහ අනෙකුත් ලෝක අධිරාජ්‍යවාදී ආන්ඩුවල සාපරාධීත්වයේ නව අදියරක් සනිටුහන් කරයි, ඔවුන් ජන සංහාරය සහ සමූහ මිනීමැරුම් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස වැලඳ ගනී. මෙම අපරාධ පසුව කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන තවත් දැවැන්ත ප්‍රහාර සඳහා තවත් පූර්වාදර්ශය සකසනු ඇත.

ගාසා තීරයේ ජනතාවට එරෙහිව එ.ජ.-ඊශ්‍රායල් යුද්ධයේදී සිදුවෙමින් පවතින සමූල ජන සංහාරක අපරාධ සහ ඒවාට එරෙහිව ලොව පුරා පෙර නොවූ විරූ විරෝධතා යන දෙකම, වසං කර ඇති – කිහිපයක් පමනක්  හැරුනු කොට- සංගත මාධ්‍ය විසින් මෙම ක්‍රියාවලිය තුල විශේෂයෙන් නින්දිත භූමිකාවක් ඉටු කරනු ලබයි. එමෙන්ම, මෙම අපරාධ සාමාන්‍යකරනය කිරීමේ ප්‍රයත්නයේ දී, අවස්ථා ගනනාවකදී ඔවුන් සදහා  වාර්තා කිරීම, ඡායාරූප සහ වීඩියෝ ලබා දුන් වාර්තාකරුවන් ද ඇතුලු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, ප්‍රධාන ප්‍රවෘත්ති සංගත විසින් වසන් කර ඇත

ලෝකයේ අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් ඊශ්‍රායලයේ සමූල ජන සංහාරය සහ මහා පරිමාන ඝාතනය අනුමත කිරීම අනතුරු ඇඟවීමක් ලෙස ගත  යුතුය. “ප්‍රජාතන්ත්‍රවාදී” සහ “ෆැසිස්ට්” ධනේශ්වර ආන්ඩු අතර රේඛාව මැකී යමින් තිබේ. සමූල ජන සංහාරයේ සිට සමූහ මිනීමැරුම් සහ දේශපාලන මර්දනය දක්වා සෑම අපරාධයක්ම, බලය දරන අපරාධකාරී  කතිපයාධිකාරීන් විසින් ද්‍රව්‍යමය වශයෙන් (බලපාන පරිදි) සහාය දක්වන අතර නීත්‍යානුකූල කර ඇත.

මේ හේතුව නිසා, ගාසා තීරයේ ඊශ්‍රායල් සමූල ජන සංහාරයට එරෙහි අරගලය, එය සක්‍රීය කරන හා ලොව පුරා වැඩ කරන ජනතාවට එරෙහි ඊටත් වඩා විශාල අපරාධ සඳහා පූර්වාදර්ශයක් තැබීමට සමූල ජන සංහාරය භාවිතා කිරීමට උත්සාහ කරනු ඇති ආන්ඩුවලට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක ස්වරූපය ගත යුතුය.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *