රහස් කියන කඳු : දෘෂ්ටිමය සීමාවන් හේතුවෙන් සැබෑ රහස එළියට ගැනීමට අසමත් වූ චිත්‍රපටයක්.

ජස්ටින් පියරතත විසිනි

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ, ඔහු සහ නාමල් ජයසිංහ දෙදෙනා එකතුව තිර රචනය සම්පාදනය කළ රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයකි. මා එසේ කියන්නේ එය “මෑත භාගයේ තිරගත වූ හොඳ ම චිත්‍රපටය” ලෙසින් මහත් ඝෝෂාවක් පවතින තතු තුළ ය. එහෙයින් මගේ නිගමනයට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු වේ.

රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක වී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලා ඔහු සතු ශිල්පීය දක්ෂතාවේ මදියාවක් නිසා නො වේ; ඇත්තෙන් ම ඔහු සිනමා තාක්ෂණයෙහි ලා සිය හැකියාව චිත්‍රපටය පුරා ප්‍රදර්ශනය කොට තිබේ. අරමුණු වශයෙන් ගත් කල ද මේ කලාකරුවන්ගේ ප්‍රවේශය සෞඛ්‍ය සම්පන්න ය; ඔවුහු පවතින සමාජ තත්වයන් කෙරෙහි විවේචනාත්මක ආස්ථානයක් ගනිති. පවතින සමාජ ක්‍රමය තුළ සිදු වන දෑ පිළිබඳ නිර්මාණකරුවන් තුළ කැකෑරෙන අව්‍යාජ විරෝධතාවක් ඇත. මෙතතු තුළ ඔවුහු “රාජ්‍ය භීෂණය” නමින් අප දන්නා සමාජ ප්‍රපංචය තේමාව කොට ගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අත ගසා ගනිති. මෙබඳු අර්ථභාරී තේමාවක් පසුපස හඹා යාමට ගත් වෑයම නිසා ම මේ තරුණ කලාකරුවන් කෙරෙහි අප තුළ ගෞරවයක් ද උපදී. එහෙත් එම ගෞරවය පිරිනමන අතරේ ම, නිර්මාණකරුවන්ගේ එම වෑයම අසාර්ථක වී ඇත්තේ ඔවුන්ගේ දෘෂ්ටිමය සීමාවන් නිසා බව, වඩාත් නිවැරදි ව කිව හොත් දෘෂ්ටිමය බංකොළොත් භාවය නිසා බව කීමට අපි මැළි නොවෙමු.

ඇත්තෙන් ම “රාජ්‍ය භීෂණය” වූකලි බරපතළ දේශපාලනික තේමාවකි. එහෙයින් ම බරපතළ දෘෂ්ටිමය නිරවද්‍ය භාවයක් ඉන් ඉල්ලා සිටී. තිර රචකයන් සපුරා අසමත් වී ඇත්තේ ඒ අංශයෙනි. චිත්‍රපටයේ සමස්ත අසාර්ථකත්වයේ අක්ෂය වී ඇත්තේ ඔවුන් සැබෑ පීඩකයා හඳුනා ගැනීමට අසමත් වීම ය. මෙය කෙතරම් ප්‍රතිවිපාක ඇති කරන්නේ ද කිව හොත් ප්‍රේක්ෂකයා මංමුලාවට පත් කරයි.

සැබෑ පීඩකයා කවු ද?

ජගත් මනුවර්ණ එක් වීඩියෝවක ප්‍රකාශ කර තිබුණේ “ලංකාවෙ සිද්ධ වුණු මනුෂ්‍ය ඝාතන, මර්දනයන්, අපරාධ, සමූහ ඝාතන ගැන අපි හැම තිස්සෙ ම වින්දිතයාගේ පැත්තෙ ඉඳන් තමයි බලන්නෙ. පීඩකයාගෙ පැත්තෙ හිට ගත්තොත් මේක අපට කොහොම පෙනෙයි ද කියලා” ඔවුන් දෙදෙනා තිර පිටපත ලියද්දීි මුල ඉඳල ම සිතූ බව යි. ඒ අනුව, ඔවුන් කතාවට කේන්ද්‍ර කර ගන්නේ භීෂණය දියත් කරමින් තරුණතරුණියන් ඝාතනය කරන ඝාතක කල්ලියකි. ප්‍රේක්ෂකයාට 1988-89 කාලයේ සිටි රාජ්‍ය පිටුබලයෙන් පිහිටු වූ “කළු බළල්ලු” වැනි ඝාතක කණ්ඩායම් ගැන නිරායාසයෙන් සිහිපත් වෙයි. පීඩකයාගේ පැත්තෙන් හිට ගෙන රාජ්‍ය භීෂණය දෙස බලන්නට යන නිර්මාණකරුවෝ මේ ඝාතක කල්ලියේ දෛනික චර්යාවන් -උන්ගේ නරුමත්වය, අශ්ලීලත්වය, කෲරත්වය හා මෘගත්වය- පෙන්වීමට රූප රාමු පෙළගස්වති. නිර්මාණකරුවන්ගේ දෘෂ්ටිමය සීමාව මතු වන්නේ මෙතැන දී යි. ඔවුන් පීඩකයා ලෙස හඳුනා ගෙන ඇත්තේ ඇත්ත පීඩකයා නො වේ; ඇත්ත පීඩකයා “ධනපති රාජ්‍ය යන්ත්‍රය” යි. පොලිසි, හමුදා හෝ යටි බිම්ගත ඝාතක කල්ලි නො වේ. ඒවා ධනපති රාජ්‍ය යන්ත්‍රය විසින් නඩත්තු කරන හා ධනේශ්වර පාලනයට එරෙහි වන්නන් මත මෙහෙයවන මර්දන උපකරණ වෙත්. චිත්‍රපටයේ නිරූපිත ඝාතක කල්ලිය නඩත්තු කරන්නේත් ඔවුනට අණ දෙන්නේත් මෙම ධනපති රාජ්‍ය යන්ත්‍රය යි. මේ ඝාතන කල්ලිවල සිටින්නෝ කුලී ඝාතකයෝ වෙත්. ඔවුන්ගේ චර්යාව හා සිතුම් පැතුම් පාතාල නායකයන් විසින් යොදවනු ලැබෙන කුලියට මිනී මරන්නන්ගේ චර්යාවෙන් හා සිතුම් පැතුම්වලින් වෙනස් වන්නේ නැත. දෙගොල්ලෝ ම කුලියට මිනී මරන්නෝ වෙති. මූලික වෙනසකට ඇත්තේ රාජ්‍ය යන්ත්‍රයේ මෙහෙයුමෙන් මිනී මරන්නන්ට නීතිමය රැකවරණය ලැබීම පමණි. එහෙයින් එබඳු කුලී ඝාතක කල්ලියක් “පීඩකයා” ලෙස හඳුන්වා දෙමින් ඔවුන්ගේ හැසිරීම් හා මනෝ ගති පෙන්වීමෙන් නො දැනුවත් ව වුව, සිදු වන්නේ ඇත්ත පීඩකයා ප්‍රේක්ෂකයාගෙන් වසං කිරීම යි.

මෙලෙස සැබෑ පීඩකයා වන ධනේශ්වර රාජ්‍යය යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය චිත්‍රපටයේ පරිධියට තල්ලු කරමින් “විශේෂ ඝාතක කල්ලිය” චිත්‍රපටයේ කේන්ද්‍රය බවට පත් කර ගැනීමෙන් සිදු වන ප්‍රතිඵලය කුමක් ද? ප්‍රේක්ෂකයා තුළ “රාජ්‍ය භීෂණයට” උල්පත මේ මිනීමරු අශිෂ්ට, නරුම ඝාතන කල්ලි බවට හැඟීමක් ඇති වීම යි. හරියට “රාජ්‍ය භීෂණය” ලෙස අප හමුවට පැමිණෙන්නේ සමාජයේ වෙසෙන මානව ගුණධර්ම සිඳුණු නරුමයන් රැළකගේ ක්‍රියාවන් මෙනි! ඉතින් කළ යුත්තේ කුමක් ද? මොන දහිරියක් දමා හෝ මෙවැනි නරුමයන් බිහි වීම වළක්වා ලීම ය.

අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ කලින් සඳහන් වීඩියෝවේ ම මෙසේ සඳහන් කරයි: “නාමල්ටයි (සම තිර රචක) මටයි මේක ලියන කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද මිනිස්සුන්ට කියන එක.” ප්‍රශ්නය එසේ මතු කර ගන්නා විට ම ඔවුන්ට මේ ගැටලුව පෙනී යන්නේ හුදු සදාචාර ප්‍රශ්නයක් ලෙස ය; මානව ගුණධර්ම පිරිහී ගිය මිනිසුන් රැළකගේ වැඩක් ලෙස ය. නිර්මාණකරුවන්ගේ බංකොළොත් දෘෂ්ටිවාදය විසින් පන්ති සමාජයීය දේශපාලන ප්‍රශ්නයක් හුදු සදාචාර ප්‍රශ්නයක් බවට ඌනනය කෙරේ. එමඟින් ප්‍රේක්ෂකයා මත පටවන්නේ මෙබඳු විඥානයකි: “ඇත්ත තමා. මිනිසකු විසින් තව මිනිසකු නොමරණ සදාචාර සම්පන්න මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහි කර ගත්තොත් තමයි අපට භීෂණයන්ගෙන් තොර ව ජීවත් වෙන්න පුළුවන්.”

සැබෑ පීඩකයා වූ “ධනපති රාජ්‍ය යන්ත්‍රය” කොක්කෙන් ගලවන මෙවැනි චිත්‍රපටවලට ධනපති පන්තිය විසින් නඩත්තු කරන සම්මාන මණ්ඩල සිය සම්මාන පුදා තිබීම අරුමයක් නො වේ. අනාගතයේ දී ද එවැනි පිදුම් ලබනු නොඅනුමාන ය.

ආකෘතික ගැටලුව

මේ චිත්‍රපටය බ්ලැක් කොමඩි නම් ශානරය යටතට වැටෙන බව කියැවේ. එහි අරුත චිත්‍රපටය “රාජ්‍ය භීෂණය” බඳු ප්‍රකම්පනකාරී තේමාවක් ගෙන එන නමුදු එතුළ ම උත්ප්‍රාසය හා හාස්‍යය ගෙන එනු ලබන බව යි. අපේ අදහස නම් එබඳු ආකෘතියක් රහස් කියන කඳු වැනි චිත්‍රපටයකට නොගැළපෙන බව යි; නිර්මාණකරුවන් අන්තර්ගතය වරදවා ගත්තා සේ ම සිය චිත්‍රපටයට මෙම අනුචිත ශානරය යොදා ගන්නට ගොස් ආකෘතික පාර්ශ්වය ද වරදවා ගත් බව යි. මෙම නිර්මාණකරුවන් සිය විෂය ලෙස “රාජ්‍ය භීෂණය” තෝරා ගෙන ඇත. මෙබඳු ගැඹුරු වස්තු විෂයක් ඥානනය කිරීමෙහි ලා යට කී උත්ප්‍රාසය හා හාස්‍යය බාධාවක් වෙයි. ප්ලෙකානොව් පෙන්වා දුන් පරිදි, කලා කෘතියක අන්තර්ගතය කලාත්මක ව සුප්‍රකාශ කළ හැක්කේ ඊට උචිත, එකිනෙක අපෝහක ව පෝෂණය කෙරෙන ආකෘතියක් තෝරා ගැනීමෙන් පමණි. නිදසුනකට, වධකාගාරය තුළ එක් ඝාතකයකුගේ කකුල බිම දමා තිබු අලවංගුවක වදී. ඔහු කුණුහරුපයක් කියමින් දඟලයි. මෙබඳු හාස්‍යයකින් එන තේමාත්මක ඥානය කුමක් ද? වධකාගාරය තුළින් එන ආතතිමය මනෝභාවයන් එලෙස සිඳ බිඳ දැමීම (ඇල් කිරීම) අවසාන විග්‍රහයේ දී කවර පන්තියකට සේවය කරන්නේ ද? ප්‍රසන්නගේ මවගේ නිහඬ බව, ඇය පුතු වෙනුවෙන් බෝධියේ හුදෙකලාව කොඩියක් ගැට ගැසීම වැනි රූප රාමු මෙවැනි ඛේදවාචකයකට මුහුණු දුන් මවකගේ ජීවිතය ඉතා හොඳින් සංවේදී බවක් ගෙන එමින් පෙන්වයි. එහි ව්‍යාජ උත්ප්‍රාසයන් හාස්‍යයන් නැත. අතුරු තේමාවකට බැඳී ගත් ඒ රූප රාමු සරණිය ප්‍රේක්ෂකයා තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට සමත් වෙයි. එහෙත් මහින්දගේ පියාගේ හැසිරීම විකාර සහගත ලෙස පෙන්වීම තුළින් (අර්ධ හාස්‍යයක් සහිත ව) ප්‍රේක්ෂකයා තුළ එවැනි බලවත් වේදිතයක් පහළ නො වේ.

ජගත් මනුවර්ණ පෙර සඳහන් කළ වීඩියෝවේ දී මෙසේ කියයි: “ එහෙම සමාජයක් තියනවනෙ අපට පේන්න? අතන හැට දාහක්, 83 කළු ජූලියෙ මෙහෙම මැරුවා, සමුහ මිනීවලවල් හම්බ වෙනවා. ඉතින් හත්තිලව්වෙ මොකද්ද මේ තියන නොගැළපීම. අපි ඉන්නෙ විකාර සහගත හීනෙක ද? මොකද්ද මේ දකින ලෝක දෙක? එහෙම එකක් එනව නෙ? ඝාතකයන්ගෙ පැත්තෙන් බැලුවහම තමයි ඒකෙ තියන බ්ලැක් කොමඩි එක මතු වෙන්නෙ. ඒක ඇත්තෙන් ම කොමඩි එකක්. ඒ මිනිසුන්ගේ හැසිරීම විහිළුවක්.”

ගැඹුරු දේශපාලනික සම්බන්ධතාවන් පිළිබඳ විවරණයකට නො යා, සරල ව, මේ ඝාතක කල්ලිවල ඉන්න මිනිසුන්ගේ හැසිරීම “විහිළුවක්” යැයි කියා පාමින් චිත්‍රපටය තුළට එවැනි ආකෘතියක් ගෙන ඒම මඟින් නිර්මාණකරුවන්ගේ දෘෂ්ටිවාදාත්මක සීමා සහිත බව යළිත් අපට ප්‍රදර්ශනය කෙරෙයි. නාසි සංහාරය ආශ්‍රිත චිත්‍රපටයක නාසි හමුදා බල ඇණිවල හැසිරීම විහිළුවක් යැයි ගැනීමෙන් අපට අත් කර ගත හැකි සමාජ විඥානය කුමක් ද?

ආගමික සංස්ථාව හා රජය

රහස් කියන කඳු චිත්‍රපටයේ අතුරු තේමාවක් වන්නේ “රාජ්‍ය භීෂණය” හමුවේ ආගමික සංස්ථාවේ ක්‍රියා කලාපය යි. පොදුවේ ගත් කල්හි ආගම හා ධනේශ්වර රාජ්‍යය අතර ඇත්තේ අත්‍යන්ත සම්බන්ධයකි. චිත්‍රපටය තුළ භික්ෂූහු දෙනමක් සිටිති. තරුණ ගෝල භික්ෂුව දුසිල්වත් ය; භීෂණයට සහයෝගය දෙන්නේ පන්සල ලොකු කර ගැනීමට දත කන, සැටලිම විකුණා ගැනීමටත් තමන්ට වූ පාඩුව ගැනත් කම්පා වන, දේපළ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන ඒ දුසිල්වත් භික්ෂුව ය. වයස්ගත නායක භික්ෂුව නියම නිවන් මඟ කරා එල්ල වූ සිත් ඇති වයස්ගත සිල්වත් භික්ෂුවකි. අවසානයේ සැටලිමට ගිනි තියන නායක භික්ෂුව “නිර්වාණ රාජ්‍යයට” එන ලෙස ගෝල භික්ෂුවට ඔවදන් දෙයි. ගෝල භික්ෂුව කිසිදු විරෝධයක් නො පා කරබා ගනී. මෙකී නිරූපණය ආගම හා රාජ්‍යය අතර ඇති යථා සම්බන්ධය එළිමහනට ගැනීමට වළ කපයි. ආගමික සංස්ථාව හා ධනේශ්වර රාජ්‍යය අතර සම්බන්ධය එක් එක් භික්ෂුවගේ සුසිල්වත්කම හෝ දුසිල්වත්කම හෝ අනුව නිර්ණය වන්නක් නො වන බැවිනි. ලෙනින් මෙසේ ලිවී ය: “අප කිසිදු තත්වයක් යටතේ, ආගමික ප්‍රශ්නය පන්ති අරගලයට සම්බන්ධ නැති “බුද්ධිමත්” ප්‍රශ්නයක් වශයෙන්, වියුක්ත විඥානවාදී ආකාරයකින් ඉදිරිපත් කිරීමේ වරදට ඇද වැටිය යුතු නැත….මිනිස් වර්ගයා මත බර පටවන ආගමේ වියගස සමාජය තුළ පවත්නා ආර්ථික වියගසෙහි හුදු නිෂ්පාදිතයක් සහ පරාවර්තනයක් බව අමතක කිරීම ධනේශ්වර අගතිගාමී පටු කල්පනාවක් වනු ඇත.” (ලෙනින්, සමාජවාදය සහ ආගම, පි.11) මෙබඳු නිරූපණයන් තුළින් ද එළිමහනට එන්නේ නිර්මාණකරුවන්ගේ දෘෂ්ටිමය හීනතාව ම යි.

සැඟවුණු දේශපාලන සෙවණැලි

චිත්‍රපටය අවසන් වන්නේ රාජ්‍ය මර්දනයෙන් බේරී පළා යන ප්‍රසන්න කුමාර ද සොයිසා අවසානයේ කඳු දෙසට යාමෙනි. මෙයින් ගත හැකි එක් දේශපාලන ගම්‍යයක් වන්නේ කෙතරම් දරුණු භීෂණයක් මුදා හැරිය ද යළි රාජ්‍යයට විරුද්ධ ව පෙළ ගැසීමක් ඇති වීම නො වැළැක්විය හැකි ය යන්න යි. එහෙත් අධ්‍යක්ෂවරයා තමන් හිතපක්ෂපාතීත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ නව පිබිදීමක් ඉන් අඟවන්නට යන බවක් පෙනේ. අප එසේ කියන්නේ කිසි සේත් ජගත් මනුවර්ණගේ දේශපාලනය රහස් කියන කඳු චිත්‍රපටයට බලෙන් එබ්බවීම මඟින් නො වේ. මන්ද, කලාකරුවකුට කලා නිර්මාණයක දී සිය දේශපාලන අදහස් ඉක්මවා යමින් යථාර්ථය ස්පර්ශ කිරීමේ හැකියාව ඇති බව අප දන්නා බැවිනි. එහෙයින්, අප එවැනි නිගමනයකට එන්නේ චිත්‍රපටයේ ම එන එක්තරා දර්ශනයක් ඊට දෙස් දෙන හෙයින් බව අවධාරණය කළ යුතු

kiniraya.org ‌ ඩෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *