රාජ්‍ය මර්දනයට එරෙහිව කොළඹ ක්‍රියාකාරි කමිටුව හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ භාවිතය

නන්දන නන්නෙත්ති විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය පෙබරවාරි 29 දා, “පොලිසිය තමන් නින්දාවට පත් කරන කරුනු පත්‍රිකාවක අඩංගු කල නො හැකි බව කියමින් කොලඹ ක්‍රියාකාරී කමිටුවට (කොක්‍රික) කඩා පනී“ යන මාතෘකාව යටතේ ලිපියක් පල කර තිබින. ප්‍රස්තුත කාරනය වූයේ, ‘යුක්තියේ මෙහෙයුම‘ නමින් දියත් කර ඇති මර්දන ව්‍යාපාරයට එරෙහි ව කොක්‍රික ගෙන යන උද්ඝෝෂනය නතර කිරීමට පොලිසිය කල කඩා පැනීම ය. “සාමය බිඳ දැමීමක් අවුලුවා ගැනීමේ අභිප්‍රායෙන් යුතුව චේතනාන්විත ව නින්දා කිරීම සහ කැරලි ගැසීමේ හෝ ජනරජයට එරෙහි ව හෝ මහජන සාමයට එරෙහි ව වරදක් කිරීමේ අභිප්‍රායෙන් යුතුව සාවද්‍ය වාර්තා බෙදා හැරීම“ පොලිසිය කොක්‍රිකට එල්ල කල චෝදනාව ය. සසප ලිපිය පැහැදිලි ව පොලිසියේ මර්දනයට විරුද්ධත්වය ප්‍රකාශ කර, ඉන් මහජනයාට එල්ල වන අනතුර ද මතු කර ඇත.

“යුක්තිය” නම් මර්දන මෙහෙයුමට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ ආසන්න නිමිත්ත වූයේ කොක්‍රික ලේකම් මෙන් ම මාධ්‍යව්දියෙකු වන ශාන්ත විජේසූරිය සහෝදරයාගේ පුත්‍රයා, අරුන විජේසූරිය නිකරුනේ අත් අඩංගුවට ගත් කැස්බෑව පොලිසිය, ඔහු නිදහස් කිරීමට රුපියල් 10,000ක පගාවක් ගැනීම, ඊට එරෙහි ව පොලිසියට පැමිනිලි කල ශාන්තට එම පොලීසියේම තවත් නිලධාරියෙක් මරන තර්ජන එල්ල කරනු ලැබීම, ශාන්ත සහ පවුලේ අය පොලිසියේ පලි ගැනීමට ලක් වීම, ඒ අනුව ශාන්තගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන අයිස් මත්ද්‍රව්‍යය දමා බොරු නඩු ඇටවීම, ඔහු බැලීමට ගිය ඔහුගේ පෙම්වතිය එහි සිදුකෙරුනු කතා බහ පටිගත කලේ යැයි පොලිසිය තුලට ගෙන නිරුවත් කොට පහර දීම යන කරුනු ය.

කොක්‍රික පෙබරවාරී 17 දින ඉහත සඳහන්, “යුක්තියේ මෙහෙයුම නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු“ යන ප්‍රකාශය නිකුත් කලේ ය. “දුරාචාරයට එරෙහි සදාචාරයේ නියෝජිතයෙකු ලෙස රාජ්‍ය මර්ධන යන්ත්‍රය පෙනී සිටීමට දරන මේ ප්‍රයත්නය වංචනික ය. දුෂ්ට ය. නින්දිත ය. එය ධනපති පන්ති පාලනයේ අර්බුදය පීඩිත මහජනතාව මත පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමේ දී මතුවන කම්කරු පීඩිත ජනයාගේ විරෝධය මැඩ පැවැත්වීමේ මංමුලාසහගත ප්‍රයත්නයකි,” යි එය පෙන්වා දුන්නේ ය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ හා ප්‍රදේශවාසී තරුනයන්ගේ සහාය ඇති ව ප්‍රදේශය පුරා අලවනු ලැබූ පෝස්ටර් මගින් උද්ඝෝෂනය පුලුල් කරන ලදී. පෙබරවාරි 27 දින පිකට් උද්ඝෝෂනයක් සඳහා කැස්බෑව නගරයට එක්වන ලෙස එයින් ආරාධනය කරනු ලැබින. පෙබරවාරි 23 කොක්‍රික පත්‍රිකා බෙදමින් සිටිය දී ශාන්තගේ හා පවුලේ අයගේ පැමිනිලි සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂනයක් පැවැත්වීමට යැයි රත්මලාන පොලිස් අධිකාරී විසින් ශාන්ත පිලියන්දල පොලිසියට කැඳවන ලදී. එය උද්ඝෝෂනය නතර කරවා ගැනීමට ගත් එක් බොලඳ පියවරකි. පසු දින පිලියන්දල නගරයේ පත්‍රිකා බෙදමින් සිටි කොක්‍රිකවේ පුන්‍යවර්ධන සහෝදරයා  බලහත්කාරයෙන් ත්‍රී වීලරයක දමා ගෙන ගියේ එම පොලිස් අධිකාරීගේ ම මෙහෙය වීමෙනි. අධිකාරීවරයා පුණ්‍යවර්ධනට කියා ඇත්තේ, පිලියන්දල සහ කැස්බෑව පොලිසිවලින් කොක්‍රික ප්‍රකාශය විස්තර කර ඇති වර්ගයේ කිසිදු වරදක් සිදු වී නැති බව තමන්ට සහතික බව ය.

Cacps
කොක්‍රික පෙබරවාරි 27 පිකට් උද්ඝෝෂනය

කටඋත්තරයක් ගැනීමෙන් පසු පුන්‍යවර්ධන නිදහස් කෙරුනි. ඒ අතරතුර කොක්‍රීක 2,000කට වඩා පත්‍රිකා නගරය තුල බෙදා හරිමින් පොලිසියේ ක්‍රියාවට විරුද්ධව මහජනයා දැනුවත් කලේ ය. එම අවස්ථාවේම පිලියන්දල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා ශාන්තගේ පවුලට සිදු වූ දේ ගැන පරීක්ෂනයක් පැවැත්වෙන නිසා පොලිසියට හා යුක්තියේ මෙහෙයුමට විරුද්ධ නො වන ලෙස අවවාද කලේ ය. නමුත් එදින (24) සවස කැස්බෑව පොලිසිය ශාන්තගේ නිවසට අධිකරනයෙන් සෝදිසි නියෝගයක් ලබා ගෙන කඩා වැදී කොක්‍රික පත්‍රිකා 500 පමන සමග උද්ඝෝෂනය සදහා සූදානම් කර තිබූ ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තේ ය.

මේ දක්වා මෙම ප්‍රචන්ඩ රාජ්‍ය මර්දන ව්‍යාපාරයට එරෙහි ව මෙවන් විවෘත අරගලයක නිරත ව සිටින්නේ කොක්‍රික ම පමනක් වීම පොලිසියේ අවධානයට ගැනුනු අතර අන් කිසිදු සංවිධානයක් යුක්තියේ මෙහෙයුම මෙලෙස අභියෝගයට ලක් නො කල තතු යටතේ එය මර්දනය කිරීම පහසු වනු ඇතැයි පොලිසිය කල්පනා කලේ ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය පවා හුදෙක් ජුනි සහ ජනවාරි මාසවල ලොසවෙ අඩවියේ ලිපි දෙකකින් විරෝධය පෑවා පමනි. එහෙත් මහජන විරෝධය බලවත්ව නැගෙමින් පවතී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික පිරිසක් මෙම අරගලයට නන් අයුරින් සහාය වීමට ස්වාධීන ව මැදිහත් වීම මෙම කැකෑරෙන තත්වයේ පිලිබිඹුවකි.

එල්ල වී ඇති තර්ජනය පැහැදිලි කිරීමට හා ඊට එරෙහි ව සහාය ගොනු කර ගැනීම සඳහා  මාධ්‍ය සාකච්ඡාවක් කොක්‍රික විසින් එම 26 දින කැඳවනු ලැබුනේ මේ තතු තුල ය. ලංකාවේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනවල නියෝජිතයන් පැමින සිටිය ද ප්‍රධාන ධනපති මාධ්‍ය ආයතනවලින් වැඩි ගනනක් එම වාර්තා පල කිරීම මඟ හැරියේ ය. මේ අතර ශ්‍රී ලංකාවේ සසප කොක්‍රික කෙරෙහි පවත්වාගෙන යන ආත්මීය නොමනාපය නිසා මාධ්‍ය සාකච්ජාවට පැමිනෙන ලෙස ලෝසවෙඅ සිංහල අංශයෙන් කොක්‍රික කල ඉල්ලීම නො තකා හැරියේ ය.

සියල්ල එසේ තිබිය දී කොක්‍රික යොදාගත් පරිදි පිකට් උද්ඝෝෂනය කැස්බෑව නගරයේ 27 සවස සිදු කරන ලදී. පොලීසිය උද්ඝෝෂනයට විරුද්ධව ලබා ගෙන තිබූනා යැයි කියන උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූයේ නැත. අරගලය අත් නො හැර ගෙන යන තතු යටතේ පුලුල් ප්‍රචාරයක් ඊට ලැබීම වැලැක්විය හැකි වූයේ නැත. පසුව, ශාන්තට හා පවුලේ අයට තර්ජනයක් වූ කැස්බෑව පොලිසියේ පෝල්සන් නමැති කොස්තාපල්වරයා හා සැරයන් අල්විස් මොරටුව හා ගල්කිස්ස පොලිසිවලට මාරු කර යවමින් “හොඳ නම රැක ගන්නට“ පොලිසිය ක්‍රියා කර ඇත.

අරගලය තුල දී කොක්‍රික සඳහන් කල පරිදි, “ආන්ඩු සමාජ මාධ්‍ය වාරන පනත්, ප්‍රති-ත්‍රස්ත පනත් ගෙන එමින් ප්‍රදර්ශනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධය සහ භීෂනය පැතිරවීම, කිසිසේත් ධනපති ආන්ඩුවල ශක්තියේ ප්‍රකාශනය නො ව, ඒවායේ ඓන්ද්‍රීය දුර්වල කමේ ප්‍රකාශනයක් වේ…ලෝකයේ කො තැනක වුවත්, එවන් තන්ත්‍රයන්ට තව දුරටත් පැවතීමට හැකියාව ලැබී ඇත්තේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පෙරමුනු විසින් මහජන අරගල කඩාකප්පල් කිරීම, පාලනය කිරීම හා සම්මුති ගැස්සවීම සඳහා පන්ති අරගලයේ සෑම සිද්ධියක් තුලට ම කඩා වැදීම නිසා ය. කම්කරුවන් ගොවීන් සහ සෙසු පිඩිතයන් වන අපි ස්ව-ආරක්ෂාව නිල ධනපති ආයතනවලින් කිසිසේත් නො ලැබෙන බවත්, ඒ වෙනුවට, එම සංස්ථාපිතයන්ට එරෙහිව කම්කරු පන්ති විප්ලවවාදී ක්‍රියා මාර්ගය යටතේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම තුලින් හැර අන් මගකින් නිදහස සහ ආරක්ෂාව සහතික නොවන බවත් වටහා ගත යුතු වෙමු.“   

සසප සිය චකිතය හා චපලත්වය පිලිබිඹු කල, කතෘ අඥාත ප්‍රස්තුත ලිපිය මගින් කොක්‍රික යෙදීගෙන සිටින මෙම සප්‍රතිපත්තික අරගලය හිතා මතා ම අඳුරේ තබා ඇත. මේ ලිපියේ ඉදිරියේ දී පැහැදිලි කරනු ඇති පරිදි, ඒ සමග ම එය කොක්‍රික හෙලා දැකීමට ද අමතක නො කෙලේ ය. කෙසේ වුවත්, මෙය ලියන අවිනිශ්චිත හා ඊනියා “අපේ ලියුම්කරුවා” කියා සිටින්නේ, “යුක්තියේ මෙහෙයුම හරහා සවිමත් කරගත් මර්දනකාරී හස්තය ආන්ඩුවේ වැඩපිලිවෙල මොන යම් ආකාරයෙන් හෝ විවේචනය කරන්නන් දඬු ගැසීමට යොදාගනිමින් සිටී.“ යනුවෙනි.

එහෙත් මෙසේ, “යුක්තියේ මෙහෙයුම හරහා මර්දනකාරී හස්තය සවිමත් කර ගත්“ බවක් පාලක පන්තියවත් විශ්වාස කර ඇතැයි පෙනෙන්නට නැත.  යුද හමුදාව ද මෙම මෙහෙයුම සඳහා සහභාගී කරවන බව පොලිසිය සඳුදා (11) නිවේදනය කලේ ය. ධනපති මාධ්‍ය, වෘත්තීය සමිති, ව්‍යාජ වමුන් විවෘත සහ ආවෘත සහයෝගය ඊට ලබා දී ඇතත්, කම්කරු පීඩිත මහජනතාවගේ අප්‍රසාදයට හා වෛරයට පාත්‍රව තිබෙන රාජ්‍ය තන්ත්‍රයට ඒ තරම් පහසුවෙන් ශක්තිමත් විය හැකි යයි සිතිය හැකි වන්නේ පන්ති අරගලයට හා පංති සම්බන්ධතාවල ගාමකයන්ට අසංවේදී බෙලහීන මනසකට පමනි. ආන්ඩුවත්, එහි පොලිසිය හා හමුදාවත් පාතාලය මඩිනෙමැයි මැත දොඩවමින්, යුක්තිය නමින් දියත් කර ඇති ව්‍යාපාරය පෙන්නුම් කර ඇත්තේ පාලක පන්තියේ මංමුලාවයි. මේ වන විට යාචකයන් බන්ධනාගාරගත කිරිම ද ‘යුක්තියේ’ කොටසක් වී ඇත. 

විප්ලවවාදීන්ගේ වගකීම වන්නේ මෙම තත්වය හෙලිදරව් කර කම්කරු පන්තිය ඊට එරෙහි ව බලමුලු ගැන්වීම යි. කොක්‍රික සිය අරගලය තුල හෙලිදරව් කල පරිදි, සත්‍යය නම්, යුක්තියේ මෙහෙයුම දැඩි මහජන විරෝධයක් ඉස්මතු කරමින්, කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස සංවිධානය කිරීමට මග පාදමින් තිබේ. සියලු වැඩපොල, ගම් නියම් ගම් අලලා මෙම විරෝධය අසංවිධානාත්මකව වැඩෙමින් පවතී. මෙම තත්වයට මැදිහත් වීම වෙනුවට පාලක පන්තියේ මංමුලාව ශක්තියක් ලෙස හුවා දැක්වීම මොන ම අර්ථයකින්වත් යුක්තිසහගත නොවේ. එවන් ක්‍රියා හැම විටම අවස්ථාවාදයට ඉඩ දී, ඒ මගින් ධනවාදය අනතුරෙන් මුදවා ගනී.

හතරවන වන ජාත්‍යන්තරයේ ජාතන්තර කමිටුව පෙන්වා දී ඇති පරිදි, අප ගෙවමින් සිටින්නේ විප්ලවවාදී දශකයක සිව් වන වසර ය. ශ්‍රී ලංකාවේ 2022 වසරේ පුපුරා ගිය විප්ලවවාදී අරගලය අලු යට ගිනි මෙන් ඇවිලෙමින් පවතී. මෙවන් අවධියක, “ජනතාව බලමුලු ගන්වනු වස්, විප්ලවවාදී අර්බුදයක වාසිදායක කොන්දේසි උපයෝගී කර ගැනීම අවශ්‍ය ය. ජනතාවගේ පවතින ‘පරිනතකම ‘ ආරම්භක ස්ථානය කර ගනිමින් ඔවුන් පෙරට තල්ලු කිරීම අවශ්‍ය ය. සතුරා මොන ම අයුරකින්වත් සර්ව බලධාරී නො වන බව ද, පරස්පර විරෝධයන්ගෙන් වැහැරී සිටින බව ද, මතුපිටින් පෙනෙන වෙස් පෑමට යටින් සන්ත්‍රාසය හා කුලප්පුව රජයන බව වටහා ගන්නට ජනතාවට ඉගැන්වීම අවශ්‍ය ය“ (ලියොන් ට්‍රොට්ස්කි, පන්තිය පක්ෂය හා නායකත්වය). කොක්‍රික අනුගමනය කරන්නේ මෙම විප්ලවවාදී පිලිවෙත යි. 

කොක්‍රිකවේ මෙම අරගලය නොතකා හරින සසප ලිපිය හැරෙන්නේ එය හෙලා දැකීම වෙත ය. එය මෙසේ ලියයි. “සමාජවාදී සමානතා පක්ෂය මෙම කොලඹ ක්‍රියාකාරී කමිටුව සමග ගැඹුරු දේශපාලන වෙනස්කම් තිබිය දීත් ඔවුන්ට එල්ල කර ඇති මෙම රුදුරු ප්‍රහාරයට විරුද්ධත්වය පල කරයි.“  කිසි දා පැහැදිලි නො කල මෙම “ගැඹුරු දේශපාලන වෙනස්කම්” එකක්වත් සොයා ගැනීමට නො හැකි ව අසරන වන සසප ලියුම්කරු, “කොලඹ ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගෙන ඇත්තේ විනය චෝදනා මත සසපයෙන් නෙරපා හරින ලද කන්ඩායමකි“ යි කියා අත සෝදා ගනිමින්, “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය“ කියවන ලෙස පාඨකයාට නිර්දේශ කරයි. 

ඒ අතරම එය මෙසේ කියා සිටී, “කම්කරු පන්තියට එරෙහිව මෙසේ වික්‍රමසිංහ ආන්ඩුව පන්ති යුද්ධය තියුනු කිරීමට කම්කරු පන්තියේ ප්‍රතිචාරය විය යුත්තේ තම පන්ති අරගලය වර්ධනය කිරීම යි. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනා ගත හැකි ය යන වෘත්තීය සමිතිවල පචය වික්‍රමසිංහ ආන්ඩුව දිගේලි කරමින් සිටින මර්දනය හරහා හෙලිදරව් වේ. ඒ මගින් ආන්ඩුව පෙන්වන්නේ තමන්ගේ කප්පාදු වැඩපිලිවෙලින් මොනම ලෙසකින්වත් පියවරක් පස්සට ගැනීමට තමන් සූදානම් නො මැති බව ය. කම්කරු පන්තිය මෙම වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමේ හදිසිභාවය ඉන් මතු වේ.“

විප්ලවවාදී පක්ෂයේ මූලික වගකීම ඉදිරි දර්ශන වර්ධනය කිරීම ය යනු ජ්‍යොතිෂවේදී කටයුත්තක් නො වේ. ඓතිහාසික කටයුත්තකි. විප්ලවවාදියා තමන් විශ්ලේශනය කරන දෙයට මැදිහත් වේ. අපෝහක භෞතිකවාදය තුල ලෝකය විශ්ලේෂනය කරගන්නා විප්ලවවාදියා, ලෝකයේ විස්තර කර බලා නොසිට, ලෝකය වෙනස් කිරීමට කැපවේ. සසප මේ සා බරපතල ලෙස සලකනවා යයි කියන දේශපාලන සිද්ධියට කිසිදු ක්‍රියාශීලී මැදිහත් වීමක් නො කලේ ය. දැනුදු එහි ලියුම්කරු අසවල් අපල දුරු කර ගැනීම සඳහා අසවල් පිලිවෙත් අනුගමනය කල යුතු යැයි මහජනයාට නිර්දේශ කරයි.

නමුත් හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය සාක්ෂාත් කරගත හැකි වන්නේත්, “මහජනතාවගේ විඥානයෙන් සාම්ප්‍රදායික යටහත්භාවය හා නිෂ්ක්‍රීයත්වයන් මුලිනුපුටා දැමිය හැකි වන්නේත්, සියලු වැඩ කරන්නන් හට ආදර්ශයක් විය හැකි වීර සටන්කරු භටකායන් පුහුනු කල හැක්කේත්, ප්‍රති විප්ලවයේ මැරයන් වෙත උපායාත්මක පරාජයන් මාලාවක් ලබා දිය හැක්කේත්, සූරා කැවෙන්නන්ගේ හා පීඩිතයන්ගේ ආත්ම විශ්වාසය නංවාලිය  හැක්කේත්, සුලු ධනේශ්වරයේ ඇස් ඉදිරියේ ෆැසිස්ට්වාදය බාල්දු කොට නිර්ධනපන්තිය විසින් බලය දිනා ගැනීම සඳහා මග පෑදිය හැක්කේත් සෑම විට ම මහජනතාවන්ගේ ම අත් දැකීම් පදනම් කොට ගත් එබඳු ක්‍රමානුකූල, අඛන්ඩ, වෙහෙස කියා දෙයක් නො දන්නා හා ධෛර්ය සම්පන්න උද්ඝෝෂනාත්මක හා සංවිධානාත්මක වැඩ වහල් කොට ගෙන පමනකි.“  (ධනවාදයේ මර ලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, පිටුව 18)

සසප නායකත්වය පාඨකයාට නිර්දේශ කරන නෙරපීම පිලිබඳ පිලිකුල් සහගත ප්‍රකාශනය ගැන නැවත ලිවීම මෙහිදී අපගේ අරමුන නො වේ. නමුත් සසප නායකත්වය සම්මේලන වැනි ඉතා වැදගත් කාරනාවල සිට, සාමාජිකයන් 12ක් සාකච්ඡාවකට හෝ ඉඩ නො දී, විනය පරීක්ෂනයකින් තොරව පක්ෂයෙන් නෙරපීම දක්වා අවස්ථා විශාල ගනනක දී පක්ෂ ව්‍යවස්ථාව හා විනය අමු අමුවේ උල්ලංගනය කල බවත්, නෙරපීමට බඳුන් වූ සාමාජිකයන්ට එම තත්වයට එරෙහි ව සටන් වැදීමේ ලිඛිත ඉතිහාසයක් ඇති බවත් පමනක් සඳහන් කරමු. 2022 අරගලය සමග සිටගන්නා බව කියමින් ප්‍රකාශ නිකුත් කල සසප නායකත්වය, අරගලයට සහභාගී වීම විනය විරෝධී යයි සංජය සහෝදරයා නෙරපුවේ, ඔහු අදාල මැදිහත් වීම තුල පක්ෂ ක්‍රියා මාර්ගය ද්‍රඩතර ලෙස ආරක්ෂා කර තිබිය දී ය. ක්‍රියා මාර්ගය හා ඉදිරි දර්ශනය සඳහා සටන් කිරීමට උඩින් පිහිටන විනයක් නැති අතර, ඒ කාරනාව  නිසා සහෝදරවරු කන්ඩායමක් නෙරපා හැරීමේ වාර්තාව ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවේ සසප විසින් තබනු ලැබ ඇත.

සසප නායකත්වය කොක්‍රික කෙරෙහි දක්වන නොරිස්සුම්සහගතභාවය, හුදෙක් කොක්‍රික හෝ එහි සාමාජිකයන් පිලිබඳ ප්‍රශ්නයක් නො වන බව මේ අනුව පැහැදිලි විය යුතු ය. සසප මෙම තත්වය බැරෑරුම්ව සලකා බැලිය යුතු ය. වෛශයික සත්‍ය යටපත්කිරීමට අවස්ථාව සැලසූ කොන්දේසි එකිනෙක බිඳ වැටෙමින් පවතී. වර්ධනය වන පන්ති අරගලය සත්‍යය ඉස්මත්තට ගෙන එනු ඇත.  

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *