වරාය කම්කරුවෝ වැටුප් ඉහලදමා ගැනීමට සටන් වදිති

කොලඹ වරායේ කම්කරුවෝ, ‘වැටුප් ඉහල දමනු!’ යන තේමාව යටතේ, ඔක්තෝබර් 26 දින දිවා විවේකයේ දී ඛාන් ඔර්ලෝසු කනුව අසල උද්ඝෝෂනයක නිරතවූහ. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ (වපොසේස) මූලිකත්වයෙන්, වෘත්තීය සමිති 14ක් එකතුව ගොඩනගාගෙන ඇති වරාය වෘත්තීය සමිති එකමුතුව (වවෘසඑ ) විසින් සංවිධානය කෙරුනු මෙම උද්ඝෝෂනයට කම්කරුවන් සිය ගනනක් සහභාගි වූහ.

2023 ජනවාරි 30 වැනි දින කොලඹ වරාය සේවකයෝ රජයේ ආදායම් බදු වැඩි කිරීමට එරෙහිව දිවා ආහාර වේල තුල විරෝධතාවයට එක්වීමට [වැඩබිමෙන්] එලියට එන අයුරු. [ඡායාරූපය: ලෝසවෙඅ]

ජාමුඅ හි විධානයන් මත ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව එල්ල කරන රුදුරු ප්‍රහාර මධ්‍යයේ වැටුප් ඉහල දමා ගැනීම කම්කරුවන්ගේ දැවෙන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා සටන් කිරීමේ සූදානම ඔවුන් යලියලිත් පෙන්වා ඇත. වසර තුනකට පසු වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සමිති නිලධරය විසින් මෙම උද්ඝෝෂනය කැඳවා ඇත්තේ, කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය ආන්ඩුවට පීඩනය යෙදීමේ පුහු විරෝධතාවන් තුල දියකර හැරීමේ අරමුනෙනි.

වරාය වෘත්තීය සමිති නිලධරය, කම්කරුවන්ගේ විරෝධය නොතකා, 2006 වසරේ සිට පාලකයන් සමග ‘සාමූහික ගිවිසුම්’ වලට එලැඹී ඇති අතර, එමගින් කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම වසර තුනකට වරක් පමනක් සිදුකල හැකි පරිදි සීමා කෙරුනි. මෙම ගිවිසුම් මගින් සොච්චම් වැටුප් වැඩි කිරීම් සිදුවූ නමුත්, ශ්‍රේනි අතර වැටුප් පරතරයන් වර්ධනය කෙරුනි. සමිති සහ පරිපාලනය අතර වැටුප් වැඩිකිරීමේ සාකච්ඡා අවසන් වරට පවත්වා ඇත්තේ 2021 වසරේදීය.

උද්ඝෝෂනය අවසානයේ පැවැත්වූ රැස්වීමේ දී, වපොසේස ලේකම් නිරෝෂන් ගොරකාන, තම සමිති එකමුතුවේ ඉල්ලීම් මාලාව ඉදිරිපත් කලේය. 2024 සිට වසර 3ක් සඳහා වාර්ෂිකව සියයට 36කින් වැටුප් වැඩි කිරීම, රු 20000 ක මාසික දීමනාවක් ලබාදීම, වැටුප් වර්ධකය දෙගුනයකින් ඉහල දැමීම සහ ප්‍රසාද දීමනාව ලාභයෙන් සියයට 10ක් වන සේ වැඩි කිරීම එම ඉල්ලීම් අතර වේ. එම වැටුප් ඉල්ලීම් ඇතුලු සියලු ඉල්ලීම් එලැඹෙන ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක කලයුතුයැයි ආන්ඩුවට බල කරන බව ඔහු කියා සිටියේ ය.

පහලම ශ්‍රේනියේ වරාය කම්කරුවෙකුගේ මූලික මාසික වැටුප රු 27,000ක් හෝ 30,000ක් පමන වේ. සමිති විසින් ඉල්ලා සිටින සියයට 36ක වැටුප් වැඩිවීම ලබා දුන්න ද ඔවුනට මාසිකව වැඩි වන්නේ රු 10,000 ක් වැනි සොච්චමකි. ඒ අනුව ඉල්ලා සිටින මූලික වැටුප් වැඩිවීම සහ රු 20,000 දීමනාව ලැබුනද එම ශ්‍රේනියේ කම්කරුවෙකුගේ මාසික වැටුපේ සමස්ත වැඩිවීම රු 30,000 ක් පමනි.

නමුත්, මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන වලින්ම පෙන්වා දෙන පරිදි 2021 අගෝස්තු මාසයේ ජීවන වියදම් අංකය 100 සේ සැලකුවහොත්, 2023 අගෝස්තු වන විට එම අංකය 170.9 කි. එනම් 2021 අගෝස්තු සිට 2023 අගෝස්තු දක්වා කාලය තුල සියයට 70.9 කින් ජීවන වියදම ඉහල නැග ඇත. ඒ අනුව සැලකුවහොත් පහලම ශ්‍රේනියේ වරාය කම්කරුවෙකුගේ මූලික මාසික වැටුප අවම වශයෙන් රු 20,000 කින් පමන වැඩිවිය යුතු වේ.

මේ තත්වය තුල, සමිති නිලධරය ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම් කිසිසේත් ප්‍රමානවත් නොවන බව වරාය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

විරෝධතාව පැවති දිනයේම පෙරවරුවේ, පාලකයන් විසින් සියලු වෘත්තීය සමිති නායකයන් සාකච්ඡාවකට කැඳවා තිබූ අතර, ගොරකාන නායකත්වය දෙන වවෘසඑ හා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (වවෘසඒස) මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුනි. වවෘසඒස යනු, ශ්‍රී ලංකා සේවක සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති ගනාවකින් සමන්විත වූවකි. මේ සියලු වෘත්තීය සමිති පාලකයන්ට බලපෑම් දැමීමේ වැඩ පිලිවෙලකට කම්කරුවන් කොටු කර වැටුප් සටන යලිත් පාවාදීමට සූදානම්‍ ය.

එම සාකච්ඡාවෙන් පසු උද්ඝෝෂනයට පැමිනි ගොරකාන ඉහත රැස්වීම අමතා කියා සිටියේ, 2006 සිට පැවති වැටුප් “සාකච්ඡා හයක් ජයග්‍රහනයකින් තොරව කෙලවරවූ” බවයි. එහි අර්ථය වනුයේ, ඔහු ද ඇතුලු වෘත්තීය සමිති නායකයන්, කම්කරුවන්ගේ වැටුප් සටන් පාලකයන් සමග ඊනියා සාකච්ඡා වලට කොටුකොට පාවා දී ඇති බවයි. අනතුරුව ඔහු මෙසේ පැවසීය: ‘මේ හත්වන සාකච්ඡාවයි. මේ සටන පරාජය කර බැස යාමට අපි සූදානම් නැහැ. . මේ සටන ජය ගන්නාතෙක් ඉදිරියට යනවා. , නොහැකි වුනොත් වැඩ වර්ජනයක් කැඳවනවා.” මේ වනාහි, එම පාවාදීමේ මාවතේම ඉදිරියට යන බවට දෙන සපථයකි.

කම්කරුවන් මුහුන දෙන්නේ ජාමුඅ හි ප්‍රහාරයන් වලට බව කියා සිටි ඔහු, එහි මූලිකම ප්‍රහාරය වන පුද්ගලීකරනය සම්බන්ධව කිසිවක් සඳහන් නොකිරීමට වගබලා ගත්තේය. ගොරකාන සම්බන්ධ ජවිපෙ හි නායකයෝ, ජාමුඅ හි වැඩපිලිවෙල හැර අන් විකල්පයක් නොමැති බව යලියලිත් කියා සිටියහ. ඔවුහු ඒ සඳහා ජනවරමක් ඉල්ලා සිටිති.

මේ අතර, වවෘසඒස පසුගිය 26 දා ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය: ‘රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන තුල වැටුප් වැඩිකර ගැනීමේ අරගල රාශියක් ක්‍රියාත්මක වූවත්, ඒවායේ කලමනාකාරිත්වය සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඒකාධිපතිත්වයෙන් කටයුතු කරන වාතාවරනයක් තුල වැටුප් වැඩි කිරීමට අප ආයතනයේ පාලනාධිකාරිය කමිටුවක් පත් කිරීම සතුටුවිය හැකි කරුනකි.’ ආන්ඩුව සහ සමිති නිලධරය එක්ව අටවන මෙම ඊනියා කමිටු වටවංගුවල කම්කරුවන් සිරකොට, ඔවුන්ගේ අව්‍යාජ අරගලයක් වර්ධනයවීම වැලැක්වීම මෙම ප්‍රශස්තියේ අරමුනයි.

වෘත්තීය සමිති නිලධරය පාලකයන් සමග ඒකාබද්ධව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නැති භංගකර අති බවට කම්කරුවෝ චෝදනා කරති. අවම වශයෙන් කම්කරුවෙකුට වෘත්තීය සමිති කාර්යාලයට ගොස් ප්‍රශ්න කිරීම පවා කල නොහැකිය. කෙසේ නමුත්, දැන් කම්කරුවෝ වෘත්තීය සමිති නිලධරය විවෘතව විවේචනය කරති.

මුදල් අංශයේ කම්කරුවෙක් කියා සිටියේ පසුගිය වසර වලදී වෘත්තීය සමිති නිලධරය පාලකයන් සමග සාකච්චා කරමින් අලුත් පත්වීම් ලබාදීම උසස්වීම් ලබාදීම හා ස්ථානමාරු පවා ඔවුනට අවශ්‍ය පරිදි සිදු කල බවය. ඒ නිසා සුදුසු කම් අනුව උසස්වීම් නොලැබුනුබව ඔහු පැවසීය.

තවත් කම්කරුවෙක් කියා සිටියේ, පසුගිය කාලය පුරා සිදුකෙරුන වැටුප් වැඩිකිරීම් පිලිබඳව සමීක්ෂනයක් සිදු කලයුතු බවය. 2021 වැටුප් ඉහල දැමීම කිසිසේක් ප්‍රමානවත් නොවන බව කියා සිටි එම කම්කරුවා එම සාකච්ඡාවලට සම්බන්ධවූ සමිති නායකයන් කෙරෙහි තම වෛරය ප්‍රකාශ කලේය.

ජාමුඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමත් සමග වර්ධනය වී ඇති රුදුරු කොන්දේසි යටතේ කම්කරුවන්ගේ කෝපයට සාධාරන හේතු ඇත. එහෙත් කම්කරුවන් මෙම විනාශයේ හා වෘත්තීය සමිති නිලධරයේ වඩ කටයුතුවල මූලයන් අධ්‍යයනය කරමින් ජයග්‍රහනය සඳහා නිවැරදි දේශ්පාලන වැඩපිලිවලක් මත සංවිධානය විය යුතුය.

ධනේශ්වර ලාභ පද්ධතිය පෙරනොවූවිරූ ගැඹුරු අර්බුදයකට මුහුන දී ඇති අතර, එහි තීව්‍රම ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් තත්වයකට ඇදවැටී පවතී. රටෙහි සමස්ත ආර්ථිකය ජාමුඅ නයමත රඳවා ඇත. ජාමුඅ බලකර කියා සිටින්නේ ආර්ථිකයේ සමස්ත බර කම්කරු පීඩිත මහජනයා මත පැටවිය යුතු බවයි.

මේ අනුව, කම්කරු පංතියේ සෑම අරගලයක්ම අභිමුඛ වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට යි. එබැවින් එම සෑම අරගලයක්ම ජයගත හැක්කේ, ප්‍රාග්ධනයේ නියෝජිතයන් වන ධනපති ආන්ඩු වලට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක් තුලිනි. එම අරගලය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනේ කොටසක් ලෙස, මහා පරිමාන බැංකු, වතු සහ කම්හල් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කෙරෙන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිලිවෙලක් මත පාදක විය යුතු ය.

සියලු ධනපති පක්ෂවලින්, ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම සංවිධාන වලින් සහ වෘත්තීය සමිති නිලධරයෙන් බිඳී වෙන්වී තමාගේම ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථාවන් ලෙස ක්‍රියකාරී කමිටු ගොඩනගා ගැනීමට වරාය කම්කරුවන් ඇතුලු සියලු කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. සෑම වැඩපොලකම, කම්හලකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම එවන් කමිටු ගොඩනගමින් සහ ඒවා සන්ධානගත කරමින්, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු අතර එය වටා ගම්බද පීඩිතයන් සහ තරුනයන් රැලිකර ගත යුතු වේ.

එම ව්‍යාපාරය පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතු වේ:

*සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

*2021 සිට ඉහල ගිය ජීවන වියදම ගනනයකොට එය පූරනය වන පරිදි
මූලික වැටුප සකස් කරනු!

*එනම් මූලික වැටුප සියයට 70.9 කින් වැඩි කරනු!

*වැඩිවන ජීවන වියදමට සමානුපාතිකව වැටුප් වැඩි කරනු!

*රු 20,000, මාසික දීමනාවක් ලෙස නොව, මූලික මාසික වැටුපට එකතු
කරනු!

*ශ්‍රේනි අනුව වැටුප් ලබාදීම වෙනුවට යහපත් ජීවිතයක් ගත කිරීමට
අවශ්‍ය වැටුපක් සියලු කම්කරුවන්ට සහතික කරනු!

*කම්කරුවන් ලබාගෙන ඇති නය ආපසු අයකර ගැනීම නතර කරනු!

*පුද්ගලීකරනය නතර කරනු!

*උපයනවිට බදු ඇතුලු කම්කරුවන් මත පටවන බදු අහෝසි කරනු!

මෙම ඉල්ලීම් යතාර්ථයක් බවට පත්කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කරනු ලබන ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්, එනම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සම්මේලනයක් ගොඩ නැගීමට සටන් වැදිය යුතුය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *