විවෘත විශ්වවිද්‍යාල පරිපාලනය කලාව සම්බන්ධ දේශපාලන සංවාදය තහනම් කරයි

කපිල ප්‍රනාන්දු

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ “මහා ශිෂ්‍ය සංගමය” විසින් මේ මස 11 සිට දෙසැම්බර් මස 03 දක්වා පවත්වනු ලබන “සිතුවිලි බැඳි විලංගු බිඳ 2023” නම් වූ කලා උලෙලේ කොටසක් ලෙස, කලාව වානිජකරනයට ලක්වීම පිලිබඳව අදහස් දැක්වීම් සඳහා දේශපාලන පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් මේ මස 22 දා ප්‍රසිද්ධ සංවාදයක් සංවිධානය කර තිබුනි. “කලාව කන්නද?” යන්න එම සංවාදයේ තේමාව විය.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය, ජාතික ජනරජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), සමාජවාදී සමානතා පක්ෂය (සසප), එක්සත් සමාජවාදී පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සංවාදයට ආරාධනා ලැබ සිටි දේශපාලන පක්ෂයන් ය.

කෙසේ නමුත්, සංවාදය පැවැත්වීමට පැය 04 ක් පමන තිබිය දී විවෘත විශ්වවිද්‍යාලයේ කලා අනුකමිටුවේ සභාපති බුවනක දුරකථනයෙන් සසප වෙත දන්වා සිටියේ විශ්වවිද්‍යාලයේ උපකුලපති පී.එම්.සී.තිලකරත්නගේ නියෝගය මත එකී සංවාදය තහනම් කෙරුනු බවයි.

“දේශපාලන පක්ෂ සම්බන්ධ වී ගෙන විශ්වවිද්‍යාලය තුල දේශපාලන කටයුතු සිදු කිරීමට අවසර නැති” බැවින්, සංවාදය පැවැත්වීමට ඉඩ ලබා දිය නො හැකි බව උපකුලපති ලේකම් ඇතුලු පරිපාලනයට සම්බන්ධිත පිරිසක් කලා උලෙලේ සංවිධායකයන්ට දන්වා ඇත.

සංවාදය තහනම් කෙරුනේ, කලා උලෙලේ වැඩසටහන් සැලැස්ම විශ්වවිද්‍යාල පරිපාලනයට සති කිහිපයකට පෙර ඉදිරිපත් කර තිබුනු තත්වය තුල බව බුවනක වැඩිදුරටත් සඳහන් කලේ ය.

සසස හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විවෘත විශ්වවිද්‍යාල පරිපාලනයේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැදිහත්වීම තරයේ හෙලා දකී.

දේශපාලනය, ඉතිහාසය, ආර්ථිකය හා කලාව වැනි ඉසව් ඔස්සේ සංවාද පැවැත්වීම, ජාත්‍යන්තරව සහ ජාතිකව විශ්වවිද්‍යාලවල පැවත එන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකි. එපමනක් නොව, තම දේශපාලන ඉදිරිදර්ශනය වෙනුවෙන් විශ්වවිද්‍යාල තුල මැදිහත් වීම දේශපාලන පක්ෂ සහ සංවිධාන සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන අතරම එම අදහස් දැන කියා ගැනීම ශිෂ්‍යයන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. “විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැ”යි ප්‍රකාශ කරමින් ඉහත සංවාදය තහනම් කිරීම මෙම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හා මූලධර්මවලට එරෙහි බලගතු ප්‍රහාරයකි.

විවෘත විශ්වවිද්‍යාල පරිපාලනයේ මෙම මැදිහත්වීම වික්‍රමසිංහ ආන්ඩුව රටපුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දිගේලි කර ඇති පලල් පරිමාන මර්දනයක කොටසකි. විශ්වවිද්‍යාල තුල අත්‍යාවශ්‍ය දේශන ශාලා, නේවාසිකාගාර සහ ආචාර්ය මන්ඩල හිඟයට, ශිෂ්‍යාධාර කප්පාදුවට, අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව මෙන්ම ඉහිලිය නොහැකි ජීවන වියදමට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අඛන්ඩව අරගල වලට අවතීර්න වෙමින් සිටිති.

අතිශය රුදුරු ආකාරයෙන් ක්‍රියාවට දමා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වලට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල අන්දමේ මහජන නැගිටීමක් යලි අවුලුවනු ඇතැයි වික්‍රමසිංහ-පොදු පෙරමුනු ආන්ඩුව භීතියට පත්ව සිටී.

විශේෂයෙන්ම, එම මහජන නැගිටීම තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හා තරුනයන්ගේ සටන්කාමී සහභාගිත්වය ගැන දැනුවත් වික්‍රමසිංහ ආන්ඩුව, සමස්ත කම්කරු-පීඩිත මහජනතාවන්ට එරෙහි ප්‍රහාරයේ කොටසක් ලෙස විශ්වවිද්‍යාල තුල රාජ්‍ය මර්දනය උත්සන්න කිරීමට පියවර ගනිමින් තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා එහි තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු පසුගිය වසරේ මාස තුනකටත් වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තැබුනේ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ය.

එතැන් සිට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මෑත විරෝධතා සියල්ලක්ම පාහේ විසුරුවා හැරීම සඳහා විරෝධතාවයේ යෙදෙන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාවටත් වැඩි පොලිස්, කැරලි මර්දන හා සන්නද්ධ හමුදා භට කන්ඩායම් යොදවා තිබේ. ජල හා කඳුලු ගෑස් ප්‍රහාරවලට සිසුන් ලක් කොට ඔවුන් හඹාගොස් පහර එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියා කර ඇත.

https://www.youtube-nocookie.com/embed/CCJJezFTOcU?si=Ckwv0XQUrAE7bCDL?rel=0වික්‍රමසිංහ ආන්ඩුව වෛද්‍ය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට රුදුරු ලෙස පහර දෙයි (WSWS)

පසුගිය ඔක්තෝබර් 27 දා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ විරෝධතාවයක දී පොලිස් හා හමුදා භටයන් විසින් කොලඹ විහාර මහාදේවි උද්‍යානය තුල දී සිසුන්ට හඹාගොස් පහර දෙන රූපරාමු සමාජ මාධ්‍ය තුල විකාශ කෙරුනි. ඉන් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනි. ඊට දින තුනකට පෙර එනම් 24 දා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති ගුරුවරුන්ගේ විරෝධතාවයකට එල්ල කල කඳුලුගෑස් හා ජල ප්‍රහාරයකින් ද ගුරුවරු කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ සිසුන් 06 කගේ පන්ති තහනම් කිරීමට එරෙහිව පැනනැගි ශිෂ්‍ය විරෝධය හමුවේ එම පීඨය මේවනවිට දින නියමයක් නො මැතිව වසා දමා තිබේ.

විවෘත විශ්වවිද්‍යාලයම සැලකුවහොත් විශ්වවිද්‍යාලය තුල ගාස්තු වැඩි කිරීමට එරෙහිව පසුගිය වසරේ ගෙන ගිය ශිෂ්‍ය විරෝධතාවයක දී ශිෂ්‍යයන් 5 දෙනෙකුට දින 45ක් විශ්වවිද්‍යාල භූමිය තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගෙන තිබුනි.

කම්කරු පන්තිය හා පීඩිත ජන කොටසකගේ ඕනෑම අරගලයක් මැඩීම ඉලක්ක කර ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තවත් විසකවා ප්‍රති-ත්‍රස්ත පනත ක්‍රියාවට දැමීමට ආන්ඩුව උත්සාහ ගනිමින් සිටී. සමාජ මාධ්‍ය හරහා තම අදහස් බෙදාහදා ගැනීමෙන් සහ සංවිධානය වීමෙන් කම්කරුවන් සහ තරුනයන් වලක්වාලීම ද, ආන්ඩුවට විරුද්ධ දේශපාලන සංවිධානවල ප්‍රකාශන වලට වැට බැඳීම ද ඉලක්ක කර ගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ විසඝෝර පනතක් ද ආන්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට යයි.

කෙසේ නමුත්, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වය ගසාකෑමට උත්සාහ ගන්නා සජබ, ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ වලට පමනක් නොව ව්‍යාජ-වාම පෙසප හා ඒ යටතේ ක්‍රියාත්මක අවිශිබමය හා විවිධ අංශවල වෘත්තීය සමිතිවලට ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විකල්ප වැඩපිලිවෙලක් නොමැත.

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදුව හා ආඥාදායක මර්දන පිලිවෙත් ප්‍රහාර පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම තුලින් පමනක් බව සසප හා සසජාතශි අවධාරනය කරයි. ශිෂ්‍යයන් ඇතුලු තරුන ජනයා, ගම්බද දුගීන් තමන් පිටුපස රැලි කර ගන්නා කම්කරු පන්තියේ එවන් ව්‍යාපාරයක් පදනම් විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවක ඉදිරිදර්ශනය යටතේ ය.

“විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩක් නැතැ” යි පවසමින් විවෘත විශ්වවිද්‍යාල පරිපාලනය එල්ල කර ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට අභියෝග කිරීමට අවිශිබමයට හෝ එහි කොටසක් වන විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට කිසිදු හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ඇත්තේ නැත.

කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමට සතුරු අවිශිබමය, විශ්වවිද්‍යාල තුල ගෙන යන ඊනියා “ශිෂ්‍ය දේශපාලනය” මිස “පක්ෂ දේශපාලනය එපා” යන උද්ඝෝෂනය, “විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩක් නැතැ” යි පවසමින් ආන්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනය ගෙනයන මර්දනයට පූර්න පිටුබලය ලබාදෙයි.

1970 ගනන්වල අගභාගයේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකත්වය ඩැහැගත් ජවිපෙ තම ජාතිකවාදී, සිංහල ස්වෝතමවාදී ධනපති දේශපාලනයට ශිෂ්‍යයන් නතු කර ගැනීමේ අන්ඩක් ලෙස අවිශිබමය භාවිතයට ගත්තේ ය. තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රමෝපායන් යොදා ගැනීමේ දී අවිශිබමය ද විශ්වවිද්‍යාල තුල “පක්ෂ දේශපාලනය නැතැ” යි ද ඇත්තේ “ශිෂ්‍ය දේශපාලනය” පමනක් යයි ද කියා සිටියේ ය. 2011 දී ජවිපෙ න් සංවිධානාත්මකව භේද වී සිටින පෙසප හි මෙහෙයවීම යටතේ දැන් ක්‍රියාත්මක වන අවිශිබමය එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රමවේදයන් තවදුරටත් ඉදිරියට ගෙන යයි.

කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමට සටන් වදින සසපට එරෙහි මැර ක්‍රියාවන් එහි ප්‍රමුඛ තැනක් ගනී. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන්ගේ පිටුබලය සහිතව ඊස්රායල් නෙතන්යාහු තන්ත්‍රය විසින් ගසා තීරයේ ගෙනයන ජන සංහාරයට එරෙහි මේ මස මුල සසජාතශි කැලනිය විශ්වවිද්‍යාලයේ කල උද්ඝෝෂනයට අවිශිබමයේ ක්‍රියාකාරීන් එල්ල කල මැර තර්ජනය එහි මෑතම සිදුවීමයි.

අවිශිබම-මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් කන්ඩායම සසජාතශි යුද විරෝධී උද්ඝෝෂනයට බාධා කිරීමට උත්සාහ දරමින්

“විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැ” යි පවසමින් ආන්ඩුව සහ පරිපාලනය ගෙනයන මර්දනයට ද, එයම වමාරමින් පෙසප දේශපාලනයට හැර අනෙක් පක්ෂවල දේශපාලනයට තහංචි පනවන අවිශිබමයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාකලාපයට ද එරෙහිව, දේශපාලන පක්ෂ වලට සහ සංවිධාන වලට විශ්වවිද්‍යාල තුල දේශපාලනයේ නිරත වීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන්, කම්කරුවන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *