සත්‍යය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුයි – ජෙහාන් පෙරේරා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන ‘චැනල් 4’ වාර්තා චිත්‍රපටිය
විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ ඇයිද යන්න පිළිබඳව රට තුළ යළි
සංවාදයක් ආරම්භ කර තිබේ. එහි පිළිතුර සරල බව ඔප්පු නොවේ. එය කෝපයට, තර්ජනයට හා මතභේදයට
තුඩු දී ඇත.

ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ඔවුන්ගේ ගොදුරු බවට පත්වූවන් හඳුනාගෙන ඇත.
ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෝ අටදෙනෙක් මියගියහ. අහිංසක මිනිසුන් 269 ක් ද මියගියේය.

බෝම්බ ප්‍රහාර එල්ල කළ සියලුදෙනා මුස්ලිම් ජාතිකයෝ වූහ. ඔවුන්ගෙන් සමහරෙක් උසස් අධ්‍යාපනයක් ලැබූ
අය වූ අතර, සමෘද්ධිමත් පවුල්වලින් පැමිණි අය වූහ. ඔවුන් ඉතා වැදගත් යැයි විශ්වාස කරන අරමුණක් සඳහා
මිස තම ජීවිතය පූජා කිරීමට කැමැති නොවනු ඇත.

විපතට පත්වූවන්ගේ අනන්‍යතාව ද දැනගන්නට ඇත. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සිංහල සහ දෙමළ යන දෙඅංශයෙන්ම කතෝලික වූ අතර, 45 ක් විදේශිකයන් විය. වින්දිතයන් අතර ස්කොට්ලන්තයේ විශාලතම ඉඩම් හිමියාගේ දරුවන් තිදෙනා ඇතුළු ළමුන් විශාල පිරිසක් ද විය. කෙසේ හෝ මෙය අන්තර්ජාතික පරීක්‍ෂණයක් සහ අන්තර්ජාතික යුක්තිය ලැබිය යුතු අන්තර්ජාතික අපරාධයක් විය .

චැනල් 4 වාර්තා චිත්‍රපටයේ නිර්මාතෘවරුන් එම කතා පුවත සකස් කරන්නේ, එවකට බලයේ සිටි ආණ්ඩුව
හෑල්ලූවට ලක්කරමින්, රට පාලනය කළ අය යළිත් වේදිකාවට ගෙනඒමට දියත් කළ කුමන්ත්‍රණයක් පෙන්නුම්
කරන උත්සහයක් ලෙසිනි.

රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රමවේදයන්ගේ දුර්වලකම හුවාදක්වන පාස්කු බෝම්බ ප‍්‍රහාරය, ඉන් මාස හතකට පසුව පැවැති ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජයග‍්‍රහණය කිරීමට මග පෑදීය. චැනල් 4 වාර්තා චිත්‍රපටියට විදේශ රටවල සරණාගතභාවය පතා සිටින තොරතුරු හෙළිකරන්නන්ගෙන් තොරතුරු ලබගෙන් ඇත. එම තොරතුරුවලින් කියා සිටින්නේ, රටේ බුද්ධි අංශයේ පිරිස් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ කුමන්ත්‍රණය කළේ, ගෝඨාභය රාජපක්ෂට මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට බවයි.


මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අය සහ තවත් අය පෙන්වා දී ඇත්තේ මරාගෙන
මැරෙන බෝම්බකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැතිවරණ ජයග්‍රහණය කිරීමට දිවි පිදූ
බවට ප්‍රකාශ කිරීම තර්කානුකූල නොවන බවයි. ඔහුගේ සොහොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ
ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ, රට විශාල මුස්ලිම් විරෝධී කෝලාහලවලට මුහුණදුන් නිසා,
ඔහු ජනාධිපතිවරණය ජයගෙන සර්වබලධාරි වනවාට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කැමැත්තෙන් නොසිටි බව
තර්කය විය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවන් සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර එදිරිවාදිකම් පිළිබඳ ඉතිහාසයක් නොතිබූ බැවින්, සිය කැමැත්ත මත ඔවුන් ඉලක්ක කර ගැනීමට තෝරාගැනීමේ හැකියාව ද, එවැනි තර්ක ක්‍රියාවලියක් මගින් බැහැර කෙරේ. ඔවුන්ට කිසියම් ප්‍රජාවක් ඉලක්ක කර ගැනීමට අවශ්‍ය වූයේ නම්, ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව ඔවුන්ට එරෙහිව බොහෝ අවස්ථාවල කැරලි ගැසූ බෞද්ධයන් විය හැකිව තිබිණි. එබැවින් එම ප්‍රහාරයන් පිටුපස බාහිර “ප්‍රධාන මනසක්” පැවැතිය යුතුය.

අසාර්ථක විමර්ශන

බෝම්බ ප්‍රහාරයේ සම්පූර්ණ විස්මිත අංගය වූයේ, බෝම්බ ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් මාස දෙකක
කාලයක් රට තුළ, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල භීතියේ හැඟීමක් පැවතීමයි. ඉතාම නිවැරදි මරාගෙන
මැරෙන ප්‍රහාර හයක් සිදුකළ සූක්ෂම සැලසුම විසින් ප්‍රදර්ශනය කර ඇත්තේ, රජයට එරෙහිව වසර තිහක්
පුරා යුද්ධයක් දියත් කළ එල්ටීටීඊයට පවා එවැනි එකවර සහ සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාර දියත් කිරීමට
නොපැවති යටිතල පහසුකම් මීට තිබූ බවය.

මෙම හැඟීම නිසාම, බෝම්බ ප්‍රහාරයෙන් පසුව, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ප්‍රජාවට පමණක් නොව, අනෙක් සියල්ලන්ටමද, මීළඟ ගොදුර තමන් විය හැකි බවට නිර්මාණය වුණු අර්බුදකාරී හැඟීම දිගු කලක් පැවැතිණි. එවැනි සාර්ථක පහසුකම් සැලසීමේ ව්‍යුහයක හිමිකරු විය හැකි බවට විශ්වාස කෙරුණේ, එවකට යුරෝපයේ සහ මැද පෙරදිග ඉලක්ක වෙත බෝම්බ හෙළමින් සිටි ISIS සංවිධානයයි. එහෙත් කලබලකාරීත්වය පහව ගොස් ආණ්ඩුව වෙනස් වූ පසු, ISIS කිසිදු උනන්දුවක් නොදැක්වූ අතර, ඔවුන් කිසිදු ආකාරයකින් රට තුළ නැවත පෙනීසිටියේ නැත. එම සංහාරය සිදුවූ දින සිට ගෙවී ගිය වසර හතරක කාලය තුළ රජය විසින් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිතිව, 2019 මැයි 22 වැනි දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක
සභාවක් පත්කරන ලද අතර, එහි වාර්තාව 2019 ඔක්තෝබර් 23 දින නිකුත් කරන ලදී. එහෙත් සෑම විටම සිදුවන
ආකාරයට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රාශියක් සමග එකඟතාවන්ට පැමිණීමේ දුෂ්කරතා සහ නොහැකියාව පැවැතිණි. අනතුරුව, 2019 සැප්තැම්බර් 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන ලදී. එය දැඩි විමර්ශනයන්ගෙන් පසුව විශාල සොයාගැනීම් සිදුකර, 2021 පෙබරවාරි 01 වැනි දින සිය වාර්තාව නිකුත් කළ නමුත්, ආණ්ඩුව විසින් එය සාමාන්‍ය ජනතාවට සහ සම්පූර්ණ වාර්තාව ඉල්ලා සිටි පල්ලියට පවා නිකුත් නොකළේය. මේ අතර, පසුව සිදු වූ පොලිස් පරීක්‍ෂණ නරක අතට හැරුණේ, සමහර ඉහළ පොලිස් විමර්ශකයන්ට, ඔවුන්ට අදාළ නොමැති කාරණා සම්බන්ධයෙන් නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වීමත්, ඔවුන්ගෙන් එක් අයෙක් තමන්ට එල්ලවූ තාඩන පීඩන පිළිබඳවචෝදනා කරමින් රටින් පැන යෑමත් සමඟය. මෙම විමර්ශකයාගේ හඬ ‘චැනල් 4 වාර්තා’ චිත්‍රපටයෙන් ඇසෙනු
ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ශ්‍රී ලංකාවේ සත්‍යය සහ වගවීම සෙවීම පාස්කු ප්‍රහාරයෙන් ඔබ්බට විහිදේ. 1971 සිට ශ්‍රී ලංකාව සත්‍යය
සහ වගවීම සැඟවී ඇති මහා ප්‍රචණ්ඩත්වයේ කාල පරිච්ඡේදවලට මුහුණ දී ඇත. 1988 සිට 1989 දක්වා කාලය
තුළ රට තුළ කැරැල්ලක් ඇති වූ අතර, එහිදී දසදහස් ගණනක් වූ පුද්ගලයන් සංඛ්‍යාවක් මියගියේය. එවැනිම
පිරිසක් අතුරුදහන් විය. එම කැරලිවලින් දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ තවමත් මියගිය
හෝ අතුරුදන් වූ පිරිස් මතකයේ දරා සිටින අතර, සත්‍යය සහ යුක්තිය කෙදිනක හෝ මතුවනු ඇතැයි අපේක්ෂා
කරති. එහෙත් එය පසුගිය දශක හතර තුළ එය සිදුනොවීය. 2009 දී අවසන් වූ සිවිල් යුද්ධය විසින්, මියගිය සහ
අතුරුදහන්වූවන් යන දෙඅංශයෙන්ම ඊටත් වඩා වින්දිතයන් සංඛ්‍යාවක් ඉතිරි කළ අතර, ඔවුන්ගේ පවුල්වල
සාමාජිකයන් අතර සහ සත්‍යය හා යුක්තිය අපේක්ෂාවෙන් සිටින විශාල ප්‍රජාවක් තුළ මතකයන් සහ
බලාපොරොත්තු දිගටම දැවෙමින් පවතී.

විශ්වාසය නැවත ගොඩනැගීම

2009 වසරේ යුද්ධය අවසන් වූ දා සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්වලදී ප්‍රශ්න කරන ලද
රටවල් අතළොස්සක් අතර ශ්‍රී ලංකාව ද එකකි. 2015 සහ 2018 අතර කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාව
එක්සත් ජාතීන්ගේ යෝජනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ අතර, එහිදී රටට හිතකර තත්වයන්
නිර්මාණය විය. එහෙත් නැවත වරක් ශ්‍රී ලංකාව පෙර තත්වයටම පැමිණ ඇති බව පෙනේ. එක්සත් ජාතීන්ගේ
මානව හිමිකම් කවුන්සිලයේ නවතම සැසිවාරයේදී, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පසුගිය සතියේ
ප්‍රකාශ කර ඇත්තේ, වගවීම නොමැතිකම රට මුහුණදෙන ගැටලුවල හරය බවයි.

යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් කඩවීම් හා අපරාධවලට අමතරව, පාස්කු ප්‍රහාරය සහ හදිසි ආර්ථික කඩාවැටීමට හේතුවද විමර්ශනය කර, සත්‍යය සහ වගවීම පිළිබඳ පරීක්‍ෂණවලට ලක්කළ යුතු ජනතාවට එරෙහි අපරාධ ලෙස,
විමර්ශනය සඳහා පවතින කරුණු ලැයිස්තුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැන් එක්කර ඇත.

අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ප්‍රධාන ගැටලුව වන්නේ රට යළි ගොඩනැංවිය යුතු බවට වන විශ්වාසයක්
නොමැතිකමයි. ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බවත්, ආණ්ඩුවට ජනතාව කෙරෙහි විශ්වාසයක්
නැති බවත් පෙනෙන්නට තිබේ. විශ්වාසයක් ඇති වීමට නම් විනිවිදභාවය සහ සත්‍යය පැවැතිය යුතුය. සත්‍යය
සොයාගැනීම සඳහා රජය විසින් දිගින් දිගටම කරන ලද පරීක්ෂණ අසාර්ථක වීම නිසා, රජය කෙරෙහි ඇති
විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් රජය විසින් කරන ලද කිසිදු
පරීක්‍ෂණයක් ප්‍රයෝජනවත් ව්‍යායාමයක් ලෙස ජනතාව විසින් බරපතළව සළකන්නේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන
කමිටුවක් පත්කර ඇති අතර, පාස්කු ප්‍රහාර පිටුපස මහ මොළකරුවකු සිටින බවට හිටපු නීතිපතිවරයා විසින්
කරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදහස් කරන
බවද ප්‍රකාශ කළේය. මෙම පරීක්ෂණ දෙක අවසන් වූ පසු එතැන් සිට ඉදිරියට යා යුතු ආකාරය සම්බන්ධයෙන්
අවසන් තීරණයක් ගැනීම සඳහා එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පවසා
තිබේ.
අහෝ, ජනාධිපති වික්‍රමසිංහගේ මෑතකාලීන යෝජනාද, මීට පෙර අසාර්ථකවූ සහ ක්‍රියාත්මක නොවූ
යෝජනාවලට සමාන බව පෙනේ. ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලියේ සහ වින්දිතයන්ගේ පවුල්වල අඛණ්ඩ
ඉල්ලීම්වල ඇතුළත්ව ඇත්තේ, ප්‍රහාරය පිටුපස සිටි අය හඳුනාගැනීම වෙනුවෙන් හා සත්‍යය සහ යුක්තිය
ලබාගැනීම සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වා, වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනගොස් ඔවුන්ට
දඬුවම් පැමිණවීමයි.

චැනල් 4 හෙළිදරව්වෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අන්තර්ජාතික සහයෝගය ඇතිව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා තිබේ. සත්‍යය අනාවරණය කරගත හැකි ප්‍රබල බලවේග හමුවේ, පාස්කු බෝම්බ ප්‍රහාරය සැබවින්ම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද, නැතහොත් ජනතාව දිනාගැනීමේ දූෂිත ක්‍රියාවක් ද යන්න දැනගැනීමට හැකි වන පරිදි, සැක දුරුකර ගැනීමට විශ්වසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව ඔහු සෘජුව ප්‍රකාශ කරයි. ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරයෙන් නෙරපාහරින ලද ජනාධිපතිවරයා වෙනුවට, පත්කළ නව ජනාධිපතිවරයාද පැරණි මාර්ගයේම ගමන් කිරීමේ උත්ප්‍රාසයද විපක්ෂ නායකවරයා
පෙන්වාදී ඇත.

කතෝලික පල්ලිය වැනි වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ මෙන්ම අන්තර්ජාතික සහයෝගය සහ
ක්‍රියාකාරී මැදිහත්වීම සහිත ස්වාධීනත්වය, විනිවිදභාවය සහ සියල්ල ඇතුළත් පුළුල් පසු විපරම් පරීක්ෂණයක්
පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා
තිබේ. එක්සත් ජාතීන්ගේ ඉල්ලීම, සිවිල් යුද්ධයේදී මියගිය හෝ අතුරුදහන් වූ දසදහස් ගණනකගේ ඉරණම
පිළිබඳ සත්‍යය වෙනුවෙන් දෙමළ ජනතාව සිදුකරන ඉල්ලීමට සමාන වේ. මෙහිදී යමකුට එළඹිය හැකි එකම
තාර්කික නිගමනය වන්නේ, ප්‍රශ්නවලට සම්බන්ධ අය සත්‍යය හෙළි කිරීමට අකමැති වන බවය.

පාස්කු ප්‍රහාරයෙන් පමණක් නොව යුද්ධය සහ ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් වින්දිතයන්ට වගවීම හා යුක්තිය
සහතික කිරීම සඳහා රජයේ සැබෑ අභිප්‍රාය පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවට, වින්දිතයින්ට සහ අන්තර්ජාතික
ප්‍රජාවට ඒත්තු ගැන්වීමට අන්තර්ජාතික සහභාගීත්වය ඇති විමර්ශන උපකාරී වේ. අතිරේක ප්‍රතිලාභයක්
ලෙස උපරිම අන්තර්ජාතික සහාය අවශ්‍ය වන අවස්ථාවක, රටට අහිතකර අන්තර්ජාතික හෙළාදැකීම් සහ
සම්බාධක එමගින් අවම කරගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *