සසපට යැවූ විවෘත ලිපිය වාරනයට එරෙහිවන ලෙස theSocialist.Lk සසපට ලියා යවයි

නොවැම්බර් 29 දින අප theSocialist.lk වෙබ් අඩවියේ පල කල, “සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි යන ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අමතා ලියන ලද ලිපිය ෆේස්බුක් ආයතනය විසින් වාරනය කිරීමට එරෙහිව හා එම වාරනයට පිටුපසින් සිටින දේශපාලන නිවටයන්ට එරෙහිව සිටගන්නා ලෙස  කම්කරුවන්, පීඩිතයින් හා අප පාඨකයින්  කැඳවමින් අප කර්තෘ මන්ඩලය, ඊයේ (02),  “සසප වෙත ලියූ විවෘත ලිපිය වාරනය හෙලා දකිනු! යන ප්‍රකාශය පල කලෙමු.

මිට සමගාමීව, මෙම උද්ඝෝෂනය සමග සිටගන්නා ලෙස ඉල්ලමින් අප ප්‍රධාන කර්තෘගේ ලිපියක් සසප ප්‍රධාන ලේකම් වෙත යැවීමු. එම ලිපිය අපි පහත පල කරමු.

දීපාල් ජයසේකර, 

ප්‍රධාන ලේකම්

සමාජවාදී සමානතා පක්ෂය (සසප)

කොලඹ

දෙසැම්බර් 02, 2023

ප්‍රිය සහෝදරය, 

නොවැම්බර් 29 දින අප theSocialist.lk වෙබ් අඩවියේ පල කල  “සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි යන විවෘත ලිපිය පිලිබඳ ඔබගේ අවධානය යොමුව ඇතැයි මම සිතමි. එය සසප මුහුන දී සිටින බවට අපට පෙනී ගොස් ඇති දේශපාලන ප්‍රශ්න කිහිපයක් විශ්ලේෂනාත්මකව පැහැදිලි කිරීමට අප ගත් පියවරකි. එම විශ්ලේෂනය නිවැරදි නොවේ නම් එය පැහැදිලි කිරීම ඔබේ වගකීමක් ලෙස ඔබ සලකනු ඇතැයි අපි සිතමු. 

අප ලිපිය සුපුරුදු පරිදි අපි අපගේ සමාජ මාධ්‍ය අවකාශ තුල පල කිරීමට නොපමාව කටයුතු කලෙමු. නමුත්, එසේ පල කිරීමෙන් පැය කිහිපයකට පසු  ෆේස්බුක් ආයතනය අපට දැනුම් දුන්නේ, එම ලිපිය අපහාසාත්මක එකක් යයි ෆේස්බුක් පරිශීලකයන් කන්ඩායමක් පැමිනිලි කර ඇති බවත්, ඒ අනුව අපගේ ලිපිය කොලඹ ක්‍රියාකාරි කමිටුවේ ෆේස්බුක් පිටුව ඇතුලු සියලුම ෆේස්බුක් පිටුවලින් ගලවා දැමීමට එම ආයතනය ක්‍රියා කරන බවයි. සමාගම එසේ සිදු කර ඇති අතර, ලිපිය නැවත පල කිරීම ද අහුරා ඇත.

උක්ත ලිපිය අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ලබමින් ඊශ්‍රායලය පලස්තීන ජනයාට එරෙහිව පවත්වා ගෙන යන ජන ඝාතනයට එරෙහිව කම්කරු පන්තියේ ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග ලෙස ඉදිරිපත් කල ආස්ථනයක් සම්බන්ධයෙන් අප ඉදිරිපත් කල විවේච්නයකි – විශේෂයෙන් ම, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය මත හිඳිමින් කල විවේචනයකි. මෙම ඉදිරි දර්ශනය පිලිබඳ සාකච්ඡාව ලෝක කම්කරු පන්තිය හමුවේ ඉදිරියට ගැනීම අද දින හදිසිතම කාර්යයක් ව පවතින තතු යටතේ සිදු කර ඇති මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව, එකී සාකච්ඡාව යටපත් කිරීමට යටි උගුල් මෑනීමකි. 

චෝදනා කල පුද්ගලයන් භාෂනයේ නිදහසට එරෙහිව ධනපති ආයතනවල ඇති අවකාශය භාවිත කර ඇති බව වටහා ගැනීම අසීරු නැත. කවුරු විසින් කරන ලද වුවත්, සසප විසින් මෙන් ම එහි පූර්වගාමී විකොස විසින් ද නොසැලෙන ලෙස ආරක්ෂා කරන ලද මූලධර්ම ද, ඒ හා බැඳුනු ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය ද මත පිහිටා එයට එරෙහි වීමට ඔබට බරපතල වගකීමක් ඇතැයි අපි විශ්වාස කරමු. 

මෙසේ විවේචනයේ අයිතිය මැඩ පැවැත්වීමට ඉඩ හැර සිටිය හොත්, එය අද අපට මෙන්ම, හෙට ඔබට ද සිදු විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. පීඩිත මහජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි නොකර තමන්ට පැවැතිය නොහැකි බව වටහා ගෙන ක්‍රියාත්මක වන පාලක පන්තිය සමග පෙල ගැසෙන මෙබඳු පහත් අවස්ථාවාදීන් හෙලිදරව් කර පරාජය කිරීමෙන් තොරව කම්කරු පන්තියට ආරක්ෂාවක් නැත.

එබැවින්, චෝදකයන් හා ෆේස්බුක් ආයතනය විසින් සිදු කරනු ලැබ ඇති මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී නිවට ක්‍රියාව හෙලා දකින ලෙසද, අප වෙබ් අවවියේ ප්‍රකාශන අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වෙමින්, දේශපාලන මතභේද නොතකා කම්කරු පීඩිත සංවිධානවලට එල්ල වන සියලු මර්දන හා වාරනවලට එරෙහිව සටන් කිරීමේ විකොස/සසප කීර්තිමත්, නිකලැල් වාර්තාවට යුක්තිය ඉටු කිරීමට ක්‍රියා කරන ලෙස ද සහෝදරත්වයෙන් යුතුව ඔබෙන් ඉල්ලා සිටිමි.  

සහෝදරත්වයෙන්,

සංජය ජයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *