සිංහල වර්ගවාදියෙකු වන අම්පිටියේ සුමනරතන මඩකලපුවේදී යකා නටයි

අපේ ලියුම්කරු විසිනි

පසුගිය 7 වන දින ජනාධිපති මඩකලපුවට කල සංචාරයට සමගාමී ව වර්ගවාදී ප්‍රකෝපකරනයක් මෙහෙයවීමට අම්පිටියේ සුමනරතන භික්ෂුව කටයුතු කලේය. දමිල මන්ත්‍රී රාසමානික්‍යම්ට පෞද්ගලික තර්ජන එල්ල කරමින් ද, ඔහු අතු ගා දමන බවට කොසු ඉදල් අමෝරා හිඳිමින් සිදු කල මෙම උද්ඝෝෂනයේ ප්‍රධාන නිමිත්ත ලෙස ප්‍රකාශ කෙරුනේ මඩකලපුව දිවුලපාතන ගම්මානයේ සිංහල ගොවීන් පලවා හැරීමට මහවැලි අධිකාරිය කටයුතු කරන්නේ ය යන ව්‍යාජ චෝදනාවයි.

තිස් අවුරුද්දක් මමත් වෙඩි කාපු එකෙක්. වෙඩි කාල කාල …. සිංහල කියල පුලුටක් නෑ දානෙ හැන්දක් දෙන්න, වතුර උගුරක් ඉල්ල ගන්න. …. පුලුකුනාව රජ මහ විහාරෙ දේපොල ඔක්කොම අල්ලගෙන… පංකුඩාව රජමහ විහාරෙ සම්පූරනයෙන් හාල. ඩෝසර් කරල..” යනුවෙන් කෑ ගසමින් වියරුහුනු ලෙස හැසිරුනු එම භික්ෂුවගේ මෙකී චෝදනා, අතේ ගෙතූ ඒවා බවට එම ස්ථානයට පොලිසිය විසින් කැඳවනු ලැබූ මහවැලි අධිකාරියේ නිලධාරියෙකු විසින් ද තහවුරු කෙරින. එහෙත් එම පැහැදිලි කිරීම් නොතකා දිගටම ප්‍රකෝපකාරී රංගනයක නිරත වූ ඔහුට පොලිසියේ යටහත් පහත් රැකවරනය නොඅඩුව සැපයින. 

මීට සමගාමී ව රාසමානික්ක්‍යම් මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් පැවැති විරෝධයක විරෝධතාකරුවන් චෝදනා කලේ ඉහත උද්ඝෝෂනයේ දී අතිශය නියාලු ලෙස හැසිරුනු පොලිසිය දමිල ජනයා ඉදිරියේ මර්දනකාරී ලෙස කටයුතු කරන බවයි.

AMPITIYE
අම්පිටියේ භික්ෂුව සෙසු මැරයන් සමග ඇදෙයි

අම්පිටියේ සුමනරතන භික්ෂුව ප්‍රදේශවාසී ද්‍රවිඩ හා මුස්ලිම් ජනයාට එරෙහිව හා රජයේ සේවකයන්ට එරෙහිව නිබඳ කුපිත කිරීම් පිලිබඳ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන්නෙකි. 2005 – 2015 රාජපක්‍ෂ ආන්ඩුව යටතේ මෙන් ම 2015 බලයට පත් සිරිසේන – වික්‍රමසිංහ යහපාලන ආන්ඩුව යටතේ ද ඔහු සුවිශේෂී රැකවරනයක් ලැබීය. 2016 වසරේ අග භාගයේ දී, ජාතීන් අතර වෛරය පැතිරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතුයැයි කෙරුනු ඉල්ලීම්වලින් ඔහු රැක ගැනීමට අධිකරන ඇමතිවරයාම මැදිහත් වූ බවට වාර්තා විය.

මහජන පදනමකින් තොරව ජරාජීර්න වූ කොලඹ පාලනය මුලුමනින් වර්ගවාදී භේද කිරීම් මත රැඳී සිටින තතු තුල, විශේෂයෙන් ම දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහිව අඛන්ඩ අර්ධ මිලිටරි පාලනයක් පවත්වා ගෙන යන උතුරු නැගෙනහිර ප්‍රදේශවල, වර්ගවාදී පදනම මත රාජ්‍යය විසින් නඩත්තු කරනු ලබන කුඩා සිංහල ජනාවාස ඇති කිරීමත්, විවිධ ප්‍රකෝපකාරීන් – විශේෂයෙන් ම ප්‍රකෝපකාරී භික්ෂූන් – හරහා ප්‍රදේශයේ ජනයා මත නිරන්තර පීඩනයක් පවත්වා ගෙන යාමත් ආන්ඩුව අනුගමනය කල උපායකි. මේ නිසා අම්පිටියේ සුමනරතන වැන්නන්ට මෙකී රාජ්‍ය යන්ත්‍රය හිමි කර දෙන්නේ සුවිශේෂී ස්ථානයකි. රාජ්‍යයේ විවෘත රැකවරනය හා අනුග්‍රහය ලබන ඔහු එම ආධිපත්‍යය මත ප්‍රදේශයේ සිවිල් ජනයාට හා රාජ්‍ය සේවකයන්ට තර්ජන හා අවමන් කරන සිදුවීම් රැසක් පසුගිය කාලයේ නිරන්තර ව වාර්තා විය. ලේඛකයන් හා කලාකරුවන් ද නිදහස් අදහස් පල කරන්නන් ද ICCPR පනත යටතේ සිරගත කිරීමට උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වන පොලිසිය මෙම භික්ෂුව කෙරේ දක්වන නියාලු බවේ උල්පත පවතින්නේ එහි ය. ඔහු එම පලාතේ මිලිටරි හා පොලිස් ලොක්කන්ගේ සම්භාවනීය අමුත්තෙකු වී ඇත්තේ ද ඒ නිසා ය. 

වර්ගවාදී ප්‍රකෝපකාරිත්වයට සියලු අවශ්‍ය අනුග්‍රහය ලබා දීමේ ඓතිහාසික වාර්ථාවක් ඇති ලංකාවේ ධනපති පාලක පන්තිය කම්කරු අරගල බෙදා දියාරු කිරීම සඳහා එය යොදා ගෙන බලයට පැන ලේ වැකි තිස් අවුරුදු යුද්ධයකට, ජනසංහාර වලට හා සුලු ජාතීන්ට එරෙහි දැවැන්ත අකටයුතුකම් කිරීමට ද කටයුතු සලසන ලදී.

එහෙත්, කම්කරු පන්තියේ එක්සත් ශක්තිය පවත්නා තෙක් වර්ගවාදීන්ට අධිකාරී බවක් අතකර ගත හැක්කේ නැත.

thesocialist .lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *