සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!

අධිරාජ්‍යවාදීන්ගේ ද්විත්ව-රාජ්‍ය උගුලට එරෙහිව යුදෙවි-අරාබි කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක්!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය 

Exodus
පැය තිහක් තුල උතුරේ සිට දකුනට ගාසාහි මිලියනයක් ජනයාගේ මහා නික්මයාම. සිකුරාදා, ඔක්තෝම්බර් 13, 2023. (AP Photo/Hatem Moussa)

ඊශ්‍රායල හදිසි ජාතික ආණ්ඩුවක් ගාසා තීරයේ මිලියන දෙකකට වැඩි පීඩිත ජනයා කොටු කර, ජලය, විදුලිය, ඉන්ධන, හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබීම වලක්වා ගෙන සිටිමින් ද, එම ජනයා මත ගුවන් හා මිසයිල් ප්‍රහාර පතිත කරමින් ද සිදු කරන ජන සංහාරය වහා  නතර කරන ලෙස බලකර සිටින අපි, සියලු කම්කරුවන්, තරුණයන් හා සියලු ප්‍රගතිශීලීන් පලස්තීනු ජනයාගේ ආරක්ෂාව සඳහා පෙළගැසිය යුතු යැයි යෝජනා කර සිටිමු.

ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝණය කරමින්, මිලියනයකට වැඩි පලස්තීනුවන්ට ගාසා උතුරු ප්‍රදේශයෙන් ඉවත් වීමට 13 දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ තන්ත්‍රය බල කළේ ය. අද දින (ඔක්. 16) උදෑසන වන විට ලක්ෂ 5 ක ජනයා මෙසේ ඉවත් වී ඇති බව BBCය වාර්තා කර ඇත. ඇඳිවත පමණක් ඇතිව සිය දරු දැරියන් සමග පලා යන දස දහස් ගණන් දෙනා අතරට ද හමුදා ප්‍රහාර එල්ල කෙරේ. මේ අතර සරනාගත කඳවුරු ද ප්‍රහාරයට ලක් වී ඇත. හුස්ම ගැනීමට අවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන  නොලැබීමෙන් රෝගීන් මරු වැළඳ ගනී.

අප ඇස් ඉදිරිපිටම, නාසීන් විසින් සිදු කරන ලද අපරාධ හා සැසඳිය හැකි මහා අපරාධයක් දිග හැරෙමින් තිබේ.  කාන්තාවන් හා දරුවන් බහුතරයක් වන මිලියන දෙකකට අධික ජනතාවක්  හිතාමතාම කුසගින්නට හා විජලනයට ලක් කරනු ලැබ තිබේ.  ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිතයෙක් එය විස්තර කරන්නේ “ගාසා තීරයේ ආයුෂ ඉවරයි” යනුවෙනි. “ජලය යනු ජීවිතය බව අපි කවුරුත් දනිමු. ගාසා තීරයේ ජලය අවසන් වෙමින් පවතී. එමෙන් ම ගාසාහි ජීවය නැති වී යයි…. ප්‍රමාද වීමට පෙර වැටලීම (siege) ඉවත්කල යුතු ය. ඉන්ධන, ජලය, ආහාර සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය සැපයුම් ආරක්ෂිතව ගෙන ඒමට සහන ආයතනවලට හැකි විය යුතු ය. එය අපට මේ දැන් අවශ්‍යය ය,” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය. 

මේ වන විටත් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් පමනක් මරණයට පත් කර ඇති ගනන 2,600 ක් ඉක්මවා ඇත. එක්සත් ජනපදය සිය නැව් හමුදාව මධ්‍යධරනී මුහුදේ රඳවා ගෙන සිටින්නේ මෙම ම්ලේච්ඡ වාර්ගික ප්‍රහාරයට සහාය දීම පිනිස ය. සියලු අධිරාජ්‍යවාදී රටවල මෙන් ම ඉන්දියාව වැනි ධනපති රාජ්‍යන්ගේ ද සහාය පීඩක ඊශ්‍රායලයට ය. තම ආර්ථික දේශපාලන අර්බුදය තව තවත් ගැඹුරු වීම ගැන බිය ඵල කළ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පලස්තීනයට එරෙහි ප්‍රකෝපකාරී ඇවිස්සීම් පටන් ගත්තේ ය. 

Destriction
2023 ඔක්තෝබර් 10 වැනි දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිදුකර ඇති විනාශය.
Courtesy of Reuters, Mohammed Salem

ප්‍රධාන රේඛා පැහැදිලි වෙමින් පවතී. ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත මහජනයා පලස්තීන පීඩිතයන් වෙනුවෙන් නැගී සිටිති. එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා “ඊශ්‍රායල් ත්‍රස්තවාදය” හා “නිදහස් පලස්තීනය” යන පුවරු සහිත උද්ඝෝෂණය පැතිරී ගොස් ඇත. හමාස් සංවිධානයට සහාය පලකරන අය අත්අඩංගුවට ගන්නා බවට බ්‍රිතාන්‍යය පොලිසිය කළ තර්ජනයට පෙලපාලිකරුවෝ යටත් නො වූහ. එවන් පෙලපාලිකරුවන්ට වසර පහ දක්වා සිර දඩුවම් ලබා දෙන බව ප්‍රංශ අධිරාජ්‍යවාදය ප්‍රකාශ කර ඇත. සියලු රටවල ජනයා පාලක පන්තියේ තර්ජන මගින් සීමා කල නො හැකි ය. ගල්ෆ් කලාපය මහජනයාගේ උද්ඝෝෂණවලින් ඇලලී යමින් තිබේ. මේ තතු යටතේ, මැද පෙරදිග නැවත හැඩ ගැසිය හැකි ගනුදෙනුවක් කරා ස්ථාවරව ගමන් කරන්නේ යයි ඊශ්‍රායලය සමග එක්ව සපත කර ඇති සෞදි අරාබි පාලක පන්තියට, හමාස් සංවිධානය හෙළා දකින ලෙස එක්සත් ජනපදය කර ඇති ඉල්ලීම පිළිගැනීමට නො හැකි වී ඇත. ප්‍රථම වතාවට මොහොමඩ් බින් සලමාන් හට සිය පසමිතුරු ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රාසික් වෙත දුරකතන ඇමතුමක් ලබා ගැනීමට සිදු විය. 

ස්වකීය භූමිය තුල ම සිරකරුවන් ලෙස ජීවත් වීමට බල කෙරී ඇති පලස්තීනුවන්ට සටන් කිරීම හැර මාවතක් ඉතිරිව නැත. සැප්තැම්බර 19-26 පැවැත් වූ එක්සත් ජාතීන්ගේ 78 වන මහා සභා රැස්වීමේ දී පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පලස්තීන ජනතාව ප්‍රතිරෝධය පෑම තුලින් ස්වකීය මවු බිම හා නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා අතර, “සාමය විශ්වාස නො කරන, සත්‍යය යුක්තිය සහ මානව වටිනාකම් පිළිබද මූලධර්ම නොතකන, යටත් විජිත ආක්‍රමණයකින් භූමිය මුදා ගැනීම සදහා උපාය මාර්ගික විප්ලවයක් කරන” බව ප්‍රකාශ කලේ ය. “මෙම කුරිරු වාඩිලා ගැනීම” භූමියෙන් ඉවත් කිරීමෙන් මෙපිට පලස්තීන ජනයාට නිදහසක් නැත. සියලු රටවල කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනයා මෙම කුරිරු වාඩිලා ගැනීම අවසන් කිරීම සහ, ඊශ්‍රායල හා පලස්තීන කම්කරුවන්ගේ  ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම සඳහා සටන් කළ යුතු ය.

ප්‍රතිගාමීහු පසු ගිය 7දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කල හදිසි ප්‍රහාරයේ කැබැලි අසුලමින් සිටිත්වා! මහා බලගතු ආරක්ෂක බල ඇණියක් ලෙස නම් දැරූ ඊශ්‍රායලය කිසි දා නො සිතු වීරූ ප්‍රහාරයකට ගොදුරු කර ගැනීමට පීඩිත පලස්තීන ජනයාගේ සහාය ලැබූ හමාස් සටන්කාමීන්ට හැකි විය. එය කාර්මික ශක්තියේ ප්‍රමුඛ බලය වන කම්කරු පන්තියේ අව්‍යාජ සංවිධානාත්මක විප්ලවවාදී නැගිටීමක් ලෙස මතු වී නම් තතු කෙසේ විය හැකිව පැවතියේ ද? 

අද පවතින ඊශ්‍රායල රාජ්‍යය 1914 පලමු ලෝක යුද්ධයේ දී යුදෙව් ජනයාගේ සහාය තමන් වෙත දිනා ගැනීමේ උපායක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුද කැබිනට්ටුව කළ සැලසුමක ඵලයකි. එම කැබිනට්ටුවේ තීරනය අනුව 1917දී  එවක ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්ව පැවති ප්‍රදේශයෙන් ‘යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්’ පිහිටුවීමට සහාය දෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆර්, සියොන්වාදී නායකයෙකු වන රොස්චයිල් සාමි වෙත දැනුම් දෙන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පැන නැඟුනු මහජන නැගිටීම් තලා දමා අධිරාජ්‍යවාදී ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා ඇතැම් රාජ්‍ය වාර්ගික ආගමික රේඛා ඔස්සේ බෙදා වෙන් කිරීම අධිරාජ්‍යවාදයේ මුලෝපායික අවශ්‍යතාව වූයේ ය. 1948 පලස්තීනය තුල සියොන්වාදී ඊශ්‍රායලය නිර්මානය කිරීම මගින් තෙල් සම්පතින් පොහොසත් මැද පෙරදිග කලාපය ම සිය ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීම එම මූලෝපායයෙන් ම ගලා ආවේ ය යන්න අපි අමතක නො කරමු. 

අද මුළු මහත් අධිරාජ්‍යවාදී පද්ධතිය ම, ගැඹුරින්ම දෙදරුම් කන ආර්ථික දේශපාලන අර්බුදයකින් වෙලී තුන්වැනි ලෝක යුද්ධයක සැලසුම් වෙත යොමු වෙමින් පවතී. ඊශ්‍රායලය තුල දැන් වර්ධනය වන්නේ මෙතෙක් පැවති ප්‍රතිඝතිකතාවල නව අදියරක් වන්නේ එබැවිනි. කම්කරු පන්තියට නිදහස අවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදී ධනවාදයට එය මුලුමනින් වළලා දැමීමත් අවශ්‍යය ය. පලස්තීන ජනතාවගේ නිදහස සදහා අරගලය ඊශ්‍රායලය ඇතුලු සෑම රටකම කම්කරු පන්තිය විසින් ආරක්ෂා කිරීම මග නො හැරිය හැකි පන්ති අවශ්‍යතාවක් වන්නේ එබැවිනි.  

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ සඳහා අවශ්‍ය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් අරගලයට ප්‍රවිශ්ට වී ඇත. පලස්තීන ජනතාවගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය විසින් කරනු ලැබ ඇති යෝජනා සමග සිටගන්නා කොලඹ ක්‍රියාකාරී කමිටුව, එම අරගලය වටා රොක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අපි, පහත සඳහන් ඉල්ලීම් සඳහා අරගලය බලමුලු ගැන්වීමට මහජනයා කැඳවුම් කරමු:

  • නෙතන්යාහු ආන්ඩුවට එක්සත් ජනපදය හා යුරෝපා ආන්ඩු විසින් සම්පාදනය කෙරෙන සියලු යුද ආධාර වහා නතර කරනු!
  • ගාසා තීරය වැටලීම වහා ඉවත් කරනු!  
  • කොටු කර සිටින ජනයාට වතුර, බෙහෙත්, විදුලිය, ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දේ වහා සම්පාදනය කරනු!
  • පලස්තීන ප්‍රදේශ අත්පත් කර ගැනීම වහා නතර කරනු!
  • සියොන්වාදී ආක්‍රමනික හමුදා ඉවත් කරනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *