සිසුන් බඳවා ගැනීමේ නව ක්‍රමයට එරෙහිව මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විරෝධතා දක්වති

දේහින් වසන්ත

සැප්තැම්බර් 12 වන දා, මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ, ‘ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීමේ නව ක්‍රමය අහෝසි කරනු!’ සහ ‘වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් සපයනු!’ යන ඉල්ලීම් මත විරෝධතා උද්ඝෝෂනයක නිරත වුහ. උද්ඝෝෂනය පැවැත්වුනේ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙනි.

ශිෂ්‍යයෝ පෙලපාලියකින් පරිපාලන ගොඩනැගිල්ල වෙත ගමන් කරති(ෆේස්බුක් මොරටුව ශිෂ්‍ය සංගමය)

විශ්වවිද්‍යාලයට ඇතුලුවන සියලුම ඉංජිනේරු ශිෂ්‍යයන් සහභාගිවිය යුතු සති 14ක පොදු පාඨමාලාවකින් අනතුරුව පවත්වනු ලබන විභාගයක ප්‍රතිඵල මත අදාල විශේෂඥ ක්ෂේත්‍රයන්ට සිසුන් තෝ‍රා ගැනෙන වත්මන් ක්‍රමය අහෝසිකොට, අපොස උසස්පෙල විභාගයේදී ලබාගන්නා ‘Z අගය’ මත විශේෂඥ ක්ෂේත්‍රයන්ට තෝරාගනු ලබන නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව පරිපාලනය නිවේදනය කොට ඇත..

එදින විශ්වවිද්‍යාලය ඉදිරිපිට බන්ඩාරනායක මාවතේ උද්ඝෝෂනයේ යෙදුනු ශිෂ්‍යයෝ ප්‍රධාන දොරටුව අසල රැස්වීමක් පවත්වා පෙලපාලියකින් පරිපාලන ගොඩනැගිල්ල වෙත ගමන් කලහ. උද්ඝෝෂකයන් උපකුලපති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, ශිෂ්‍ය නායකයන් කිහිප දෙනකුට ඒ සඳහා අවසර ලැබුනි. සාකච්ඡාව නිමවන තුරු අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටි අතර උද්ඝෝෂනයට සිසුන් 1500 ක් පමන සහභාගී වී සිටියහ.

ශිෂ්‍ය නායකයන් උප කුලපති සමග සාකච්චා නිමවන තුරු ශිෂ්‍යයන් පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටී

කෙසේ නමුත්, සාකච්ඡාව අවසන්වී පැමිනි ශිෂ්‍ය නායකයන් ශිෂ්‍යයන්ට පැවසුවේ එය විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ රැස්වීමේ දී, ඉංජිනේරු පීඨයේ සහ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙකු සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පසන් අනුරුද්ධ කතා කලහ. යෝජිත නව වැඩපිලිවෙල හිටපු ඉංජිනේරු පීඨාධිපති විසින් මුල් වරට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලත් ශිෂ්‍ය විරෝධතාවය නිසා එය වැලකී ගිය බව අනුරුද්ධ පැවසීය.

නව ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉංජිනේරු පීඨාධිපතිට චෝදනා කල අනුරුද්ධ, තමන් සමග සාකච්ඡාවේදී පීඨාධිපති එම ක්‍රමය නතර කිරීමට එකඟ වුවත්, ඊලඟට බඳවාගැනීමට නියමිත ශිෂ්‍යයන්ට ලබාදෙන අත්පොත ට එය හොර රහසේම ඇතුලත්කොට ක්‍රියාත්මක කිරීමට යන බව පැවසීය.

ඌන පහසුකම් සහිත දුර බැහැර ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලයට ඇතුලුවූ සිසුන්, ඉහත දැක්වූ සති 14 පාඨමාලාව තුල තම ඉංග්‍රිසි භාෂා දැනුමද ප්‍රගුනකර ගනිමින් පොදු විභාගයේදී ඉහල ලකුනු ලබා තරඟකාරී ක්ෂේත්‍රයන්හි විශේෂඥ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් උදාකරගත් නමුත්, නව ක්‍රමය මගින් එය අහිමි කෙරෙන බව අනුරුද්ධ කීවේය.

කෙසේ නමුත්, මෙම නව ක්‍රමය පොදු පාඨමාලාව කපා දැමීමේ පියවරකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ගෙනයන කප්පාදු පියවර මාලාව සමග එය අත්‍යන්තයෙන්ම බැඳී පවතී. මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය දැවැන්ත පරිමානව කප්පාදු කිරීම එම න්‍යාය පත්‍රයේ ඉහලින්ම පවතින්නකි. බලයට පත් ආන්ඩු විසින් ජාමූඅ නියෝග මත පසුගිය දශක කිහිපය තුල ලංකාවේ අධ්‍යාපන වියදම් අඛන්ඩව කප්පාදු කර තිබේ. මේ වන විට එය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් තරම් සොච්චමකි.

ජාමූඅ හි කප්පාදු පියවර සහ විශ්වවිද්‍යාල තුල ඇති කෙරෙමින් පවත්නා මෙම වෙනස්කම් අතර සම්බන්ධය වසන්කල අනුරුද්ධ, නව ක්‍රමය ස්ථාපිත කිරීමේ පූර්න වගකීම ඉංජිනේරු පීඨාධිපතිවරයාට පැවරුවේය. ජාමූඅ හි කප්පාදු වලට එරෙහිව සටනට අවතීර්න වෙමින් සිටින කම්කරු පංතිය වෙතට හැරී ඔවුන් සමග එක්ව සටන් කිරීමෙන් සිසුන් වලකා ඔවුන් අධිකරනමය වටවංගුවල සිරකිරීමේ අරමුනෙන් අනුරුද්ධ කියා සිටියේ, නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ‘උපරිම නීතිමය ක්‍රියාමාර්ග’ ගන්නා බව යි.

වසර තුනකට පෙර ආරම්භ කල මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසන්න වශයෙන් ශිෂ්‍යයන් 300ක් පමන අධ්‍යාපනය ලබන නමුත් අවශ්‍ය අවම පහසුකම් හෝ මේ වනතුරු සපයා නොමැත. වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදිකල ගොඩනැගිලි කිසිවක් නොමැති බැවින්, වෛද්‍ය පීඨයේ දේශන පවත්වා ගෙනයනු ලබන්නේ අනෙකුත් අංශ වලට අයත් ගොඩනැගිලි තුලයි. එම අංශ සඳහා පවා ඉඩපහසුකම් සිමා වී ඇති තතු යටතේ, මෙම එදාවේල පිරිමසා ගැනීමේ ක්‍රමවේදයන් හේතුවෙන් සිසුන්ට සහ ආචාර්යවරුන්ට මුහුන දීමට සිදුව ඇති දුෂ්කරතා අප්‍රමානය.

සායනික පුහුනුව සඳහා එම ශිෂ්‍යයන් කිමී 33 ක් දුරින් පිහිටි නාගොඩ මහ රෝහල වෙත ගමන්කල යුතුය. මේ සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කලහොත් මොරටුව සිට නාගොඩට ගමන්කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. සායනික පුහුනුවට සමගාමීව න්‍යායික දැනුම ලබාදීම සඳහා අවශ්‍ය දේශන ශාලා එම රෝහල තුල නොමැත. රෝහලේ වාට්ටු තුලම එම දේශන පැවැත්වීමට සිදුවි තිබේ.

පහසුකම්වල ඌනතාව නිසා විශ්වවිද්‍යාලයේ පලමු මාස හතරේ අධ්‍යාපන කටයුතු බොහෝවිට සිදු කෙරෙනුයේ මාර්ගගත ක්‍රමයෙනි. එම කාලය තුල සිදුකරන ප්‍රායෝගික පරීක්ෂන කප්පාදුකොට ඇති අතර, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අවම පහසුකම් පවා සම්පාදනයකොට නොමැත.

දේශන ශාලා හිගය හේතුවෙන් ශිෂ්‍යයන් හා ආචාර්යවරු මුහුන දෙන තත්වය සම්බන්ධව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ශිෂ්‍යයන් සමග කල සාකච්ඡාවක දී ඉන්ජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. “දේශන ශාලා හිගය නිසා ආචාර්යවරුන්ට එකම දේශනය හතර පාරක් කරන්න වෙනවා. විභාග තියන්න ගියත් ශාලා නෑ. ආචාර්ය හිගය නිසා එක ආචාර්වරයෙකුට ප්‍රශ්න පත්‍ර 1,200 ක් විතර බලන්න වෙනවා. අඩු පහසුකම් යටතේ ඉගෙන ගෙන තරගකාරී විභාගවලට මුහුන දෙන්න බෑ. අපි අධ්‍යාපනය කරන්නේ දැඩි පීඩනයක් යටතේ“.

විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් කියා සිටියේ තම සහෝදර සිසුන් බොහෝ දෙනෙකු වෛද්‍ය පීඨයක් තුල කොපමන පහසුකම් තිබිය යුතු ද යන්න පවා නො දන්නා බවයි. “දැනට අපේ දේශන පැවැත්වෙන්නේ ගොඩනැගිලි නිර්මාන පීඨයේ හා පුස්තකාලය තුලයි. ශිෂ්‍යයන්ට සාපේක්ෂව ආචාර්යවරු නෑ. ඒ නිසා පරේක්ෂන කටයුතු ඇන හිටලා. අපි 12 දා උද්ඝෝෂනයට ගියේ ප්‍රශ්නය බේරුමක් කර ගන්න. නමුත් කිසිදු විසඳුමක් ලැබුනේ නෑ. ඒ පිලිබඳ විශ්වාසයකුත් නෑ“ යයි එම ශිෂ්‍යයා කියා සිටියේ ය.

උසස් අධ්‍යාපන අවස්ථාවන් පුලුල් කරන ලෙස මහජනතාවගෙන් එල්ල වන බලගතු පීඩනය හමුවේ අනුප්‍රාප්තික ආන්ඩු, අවශ්‍ය භෞතික සහ මානව සම්පත් වලින් තොරව අටවන ලද, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැනි පීඨයන් හා අධ්‍යයනාංශන් හේතුවෙන් ශිෂ්‍යයන් ඇද වැටී ඇත්තේ බරපතල ඛේදජනක තත්වයකටයි.

වයඹ වෛද්‍ය පීඨ සිසුන් තම පීඨයට මහාචාර්ය ඒකකයක් ඉල්ලා මේ මස මුල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත වූ අතර ඉදිරියේ දී “විසඳුම්“ ලබා දෙන බවට කල පොරොන්දුවක් මත එහි ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවය අවසන් කලේ ය. සබරගමුව, රජරට, රුහුන, නැගෙනහිර, සෞන්දර්ය යන විශ්වවිද්‍යාලවල තත්වය මීට වෙනස් නැත.

නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහි ශිෂ්‍ය විරෝධතා තලා දැමීම සඳහා කැරලි මර්දනය ඒකක යොදා ගනිමින්, කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට අමතරව විශ්වවිද්‍යාල තුල රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට හා සීසීටිවී කැමරා සවි කිරීමට වික්‍රමසිංහ ආන්ඩුවත් හිටපු රාජපක්ෂ ආන්ඩුවත් පියවර ගත්තේ ය.

අඛන්ඩව සිදු කෙරෙන ඇගයීම් ක්‍රමවේදයන් හා විභාග හේතුවෙන් මෙන්ම ආහාර ඇතුලු ජීවන වියදම දැවැන්ත ලෙස ඉහල යෑම හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පසු වන්නේ අතිශය ආතති සහගත තත්වයකයි. සියයට 80 ක පැමිනීමේ ප්‍රතිශතයක් සම්පූර්න නොකරන ශිෂ්‍යයන්ට විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදීම මෙම පීඩනය තීව්‍රකර තිබේ. පසුගිය වසර තුල පමනක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 07 ක් සිය දිවි නාසා ගෙන ඇති අතර තවත් දුසිම් ගනනක් සිය දිවි නසා ගැනීමට තැත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමඟ ඉහත විරෝධතාව පැවැත්වූ දිනයේදීම සාකච්ඡා කල බවත් ඉන් දින දෙකකට පසු ඇමති රාඝවන්, ඉංජිනේරු ශිෂ්‍යයන් විශේෂඥ ක්ෂේත්‍රයන්ට තෝරා ගැනීමේදී පොදු පාඨමාලාව සහිත පැරනි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ බවත් එම සංගමයේ මුහුනු පොතේ සඳහන් වේ.

වැඩෙන ශිෂ්‍ය විරෝධය සමහන් කර දැමීම සඳහා ඇමති සිදු කර ඇති උපාමාරුව ශිෂ්‍යයන්ගේ “ජයග්‍රහනයක්“ ලෙස මහා ශිෂ්‍ය සංගමය හුවා දක්වා ඇත. පොදු පාඨමාලාව ක්‍රියාත්මක කිරීමේදී සහ විභාගය පැවැත්වීමේදී මුහුනදෙන ඉමහත් දුෂ්කරතා මැඩලීමට අවශ්‍ය කවර හෝ පියවරක් ගෙන නොමැති අතර, ‘නව ක්‍රමය’ කවර මොහොතක හෝ ස්ථාපිත කිරීමේ අවදානම පවතී. කෙසේ නමුත් වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඇමතිගේ ප්‍රතිචාරය ගැන ශිෂ්‍ය නායකයන් කිසිවක් ප්‍රකාශ කිරීම මග හැර තිබේ.

රටේ අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය විරෝධතාවන් මෙහෙයවන සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්ඩක් වන අන්තර් විශ්වවිද්‍යාල බලමන්ඩලය මෙන්ම, එයට සම්බන්ධ නැතැයි පවසන මොරටුව මහා ශිෂ්‍ය සංගමය ද, අධ්‍යාපනය තුල සිදු කෙරෙන දැවැන්ත කප්පාදු සහ ශිෂ්‍යයන් මුහුනදෙන සමාජ-ආර්ථික ගැටලු ධනේෂ්වර ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදයේ ප්‍රතිඵලයක් බව වසන් කරයි. මෙම හිෂ්‍ය සංගම්, බලයේ සිටින ආන්ඩුවලට බලපෑම් යෙදීම මගින් උක්ත ප්‍රහාර ආපසු හැරවිය හැකි ය යන මාරාන්තික මිත්‍යාව වගාදිගා කරමින් ධනේශ්වර අර්බූදයට සිසුන් යට කිරීමේ ප්‍රතිගාමී භූමිකාවක නිරතව සිටී.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ශිෂ්‍යයන් සහ තරුනයන් අතර සටන් වදින්නේ ඊට හාත්පසින්ම වෙනස් ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමිනි. සැප්තැම්බර් 22 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා සසජාතශි නිකුත් කල ප්‍රකාශය එය මෙසේ සම්පින්ඩනය කරයි:

‘නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ගෝලීය ධනපති ක්‍රමය මගින් ලොව පුරා තරුන ජනයාට හිමිකර දිය හැක්කේ යුද්ධය සහ සමාජ කාලකන්නිභාවය පමනක් බව ගෙවීයන වසර බලගතු ලෙස සාක්ෂි දරයි.’

‘මෙම තතු තුල, ශිෂ්‍යයන් හා තරුනයන් සටන් වැද තම අනාගතය සුරක්ෂිත කරගත යුතු බවත්, එය ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක් බවත් සසජාතශි කියා සිටී.’

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *