මැද පෙරදිග යුද ගින්නෙන් ඇවිලෙන ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, මර්දනය සහ පන්ති අරගලය
නන්දන නන්නෙත්ති විසිනි
එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, ඉරානය ආක්‍රමනය කිරීමෙන් මැද පෙරදිග අවුලවන ලද යුද්ධය තෙවන සතිය දක්වා ඇදී දිග්ගැසෙමින් පවතී. මෙම යුද්ධය 2003 එක්සත් ජනපදය කල ඉරාක ආක්‍රමනය මෙන් නො ව, එක එල්ලේ ම බල ශක්ති වෙත දැඩිව එල්බ ගෙන, අති නවීන අවි කලාපය පුරා ගැටෙමින්, ගැඹුරු වෙමින් පවතින ලෝක දේශපාලන ආර්ථික අර්බුදය තුලට විහිදෙයි..
මාර්තු 13 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය Trump is planning a ground invasion of Iran යන ලිපියෙන් ප්‍රකාශය පරිදි “ඉරානය රටවල් අටක ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර පාක්ෂික යටිතල පහසුකම් වලට පහර දී තිබේ. ඉරාන භූමියට ගොඩබෑමක් ඇමරිකානු කඳවුරු වලට බැලස්ටික් මිසයිල ප්‍රහාර තීව්‍ර කරනු ඇත, ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර පුලුල් කරනු ඇත, රතු මුහුදේ නැව් ගමනාගමනයට හූති ප්‍රහාර එල්ල කරනු ඇත, සහ ගල්ෆ් අරාබි තෙල් යටිතල පහසුකම් වලට සෘජු ප්‍රහාර එල්ල කරනු ඇත, එමඟින් තෙල් මිල බැරලයකට ඩොලර් 150 හෝ 200 දක්වා ඉහළ ගොස් ලෝකය අවපාතයකට ඇද දැමිය හැකි ය. “

මෙම වාතාවරණය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ජන ජීවිතය දරුණු අගාධයකට ඇද දැමීමට සමත් බහුමානයික අර්බුදයක ආරම්භය සනිටුහන් කර ඇත. තත්වය පාලනය නො වුවහොත්, ආර්ථික අගාධය සහ ජීවන වියදම පිලිබඳ නො විසඳිය හැකි ගැටලුවලට මහ ජනයා මුහුන දෙනු ඇත.
සිය බලශක්ති අවශ්‍යතාවෙන් 80%ක් සදහා පර්සියානු ගල්ෆ් කලාපය මත යැපෙන ඉන්දියාවේ මූල්‍ය ස්ථාවරයට යුද්ධය දැනටමත් දැඩි බල පෑමක් සිදු කර ඇත. ඉන්දියානු රුපියල මේ වනවිටත් ඩොලරයට සාපේක්ෂව 92.33 දක්වා ඉතිහාසයේ අවම මට්ටමට බාල්දු වී ඇත. මැද පෙරදිග කලාපයේ මිලියන 9ක ඉන්දියානුවෝ සේවය කරති. 2003 සමග සැසඳූ කල මෙවර ඉන්දියාව බල ශක්ති ආරක්ෂාව, ජාතික ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල දී යුද්ධයේ සෘජු බල පෑමට ගොදුරු වී ඇත. ශ්‍රී ලංකාවේ ආනයන වියදමෙන් සියයට 23ක් පමන වැය වන්නේ තෙල් සදහා ය. දැනටමත් ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහල යාම නිසා ජාත්‍යන්තර හා දේශීය ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් දැඩි ලෙස ඉහල ගොස් ඇත.
මාර්තු 9 මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඩීසල් ලීටරය රුපියල් 22න්, රුපියල් 303 දක්වා ඉහල දැමුනි. පෙට්‍රල් – ඔක්ටේන් 92- රුපියල් 24 කින් ද, භූමි තෙල් රුපියල් 13න් ද ඉහල ගියේ ය.
ඉහත තත්වයන්ගේ සෘජු ප්‍රතිඵලය වන්නේ උග්‍ර උද්ධමනයයි. මෙය දිගු කාලීනව කම්කරුවන්ට හා පීඩිත මහජනයාට දැරීමට සිදු වේ. කර්මාන්තකරුවෝ හා වෙලෙන්දෝ උද්ධමනයේ දී ඉහල යන මිල ගනන්, තත්වය සමනය වූ කලෙක වුව පෙර මට්ටමට පහල නො දමති. එනිසා එය දිගු කාලීනව බලපැවැත්වෙන ප්‍රශ්නයකි..
ආදායම් කඩා වැටීමේ අර්බුදය
උද්ධමනය පාලනය කිරීම උදෙසා පොලී අනුපාත වැඩි කිරීම බලාපොරොත්තු විය යුතු වන අතර එය ආයෝජන තව දුරටත් පහත හෙලනු ඇත.
අපනයන ආදායම් ද පහත වැටීමේ අනතුර පවතී. මුළු තේ අපනයනයෙන් 45% ක් පමණ යන්නේ – ඉරාකය, තුර්කිය, ඉරානය ප්‍රධාන – මැද පෙරදිගට ය. විදේශ විනිමය උපයන දෙවන මාර්ගය වන ඇඟලුම් කර්මානතය ඇතුලු සෑම කර්මාන්තයක් ම අලලා ගත් අර්බුදයකට ලංකාව මුහුන දී සිටී.
විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගය විදේශ රැකියා ය. ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිසෙන් 80%කට වඩා වැඩි පිරිසකගේ ගමනාන්තය වන්නේ මැද පෙරදිග කලාපයයි. මෙරට උපයා ගන්නා සමස්ත ප්‍රේෂණවලින් 60% – 70% ලැබෙන්නේ මැද පෙරදිගිනි. යුද්ධය හේතුවෙන් රැකියා අහිමි වී මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහල ගියහොත් එයින් දැනට පවතින විරැකියාව තවදුරටත් උග්‍ර වනු ඇත.
2024-2025 වාර්තා අනුව මිලියන 17 -24 අතර ප්‍රමානයක් මැද පෙරදිග කලාපයේ රැකියාවල නිරත ය. ශ්‍රී ලංකිකයෝ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඒ අතර සිටිති.
මීට අමතරව, ගුවන් කලාප වැසී යාම හෝ අනතුරුදායක වීම සහ අස්ථාවරත්වය හා ගාස්තු පිම්මේ ඉහල යාම නිසා සංචාරක කර්මාන්තය ද ක්ෂනික පසුබෑමකට ලක්ව ඇත. ලෝක වෙලඳපොලේ, ගුවන් යානා ඉන්ධන බැරලයක මිල ඩොලර් 92.57 සිට ඩොලර් 209 දක්වා වැඩි වීම නිසා ගුවන් යානාවල ඉන්ධන සැපයීමේ මිල දැන් මෙන් දෙගුනයක් කිරීමට සිදු වන බව ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
මෙරට සංචාරය සදහා පැමිනෙන්නන්ගෙන් 30% පමන භාවිතා කරන්නේ ගල්ෆ් කලාපීය ගුවන් යානා ය. බොහෝ ගුවන් ගමන් මෙම කලාපය පසු කල යුතු ය. අභියෝගයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ තුන්වැනි තැන ගන්නා ආදායම් මාර්ගයයි.
පිට රටින් ආහාර ආනයනය අපහසු වන අතර, මිල අනිවාරයයෙන් ඉහල නැගීමට නියමිත ය. පොහොර ඇතුලු කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදනය අඩාල වීමේ අනතුර පවතී. ශ්‍රී ලංකාව භාවිතා කරන රසායනික පොහොරවලින් සියයට 30 එන්නේ පර්සියානු ගල්ෆ් කලාපය හරහා ය. පොහොර සදහා QR කෝඩ් භාවිතා කිරීමට සැලසුම් කරන බව කෘෂිකර්ම ඇමති ප්‍රකාශ කලේ ය.
තවමත් 22.4% සීමාවේ පවතින දරිද්‍රතාව යුද්ධය ඇදී ගියහොත් තවත් උග්‍ර වනු ඇත. මෙලෙසින් සිදු වන්නේ පවතින අර්බුදය උග්‍ර වීම ය. කිසිදු ධනපති ආන්ඩුවකට මෙම ව්‍යසනයෙන් මහජනයාට ආරක්ෂාව සම්පාදනය කල නො හැකි ය. ඒ වෙනුවට, ආන්ඩුව ධනපති ව්‍යවසායකයන් හා රාජ්‍යයයේ පැවැත්ම උදෙසා දිවි පරදුවට තබනු ඇත.
සමාජ අසහනය සහ මර්දනකාරී පාලනය
රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීම, පුද්ගලීකරනය, සුභ සාධන කප්පාදුව, මහජනයා මත බදු බර පැටවීම ක්ෂමා විරහිත ව ක්‍රියාවට දැමීම හැර අන් මගක් ආන්ඩුවට නැත. “ජාතික ආරක්ෂාව”, “ආර්ථිකය ගොඩනැගීම”, “එක්ව ජය ගැනීම“ වැනි සටන් පාඨ ඉදිරියට දමමින් කම්කරුවන්ගේ සාමූහික ශක්තිය බිඳ දැමීමටත්, කප්පාදු වැඩ සටහන ඉදිරියට ගෙන යාමටත්, පාලක පන්තිය කටයුතු කරනු ඇත.
ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගොඩ නැගීම යනුවෙන් හඬ නගන විට පාලක පන්තිය එයින් අදහස් කරන්නේ ධනපති පන්තියේ ආරක්ෂාව හා එහි ආර්ථිකය යි. එක්ව ජය ගැනීම යනු ප්‍රෝඩාවකි. කම්කරු පන්තියේ හා ධනපති පන්තියේ අවශයතාවන් එකිනෙකට හතුරු ය. ඔවුන් යෝජනා කරන සම්මුතියේ අර්ථය සියලු පීඩනය කම්කරු පන්තිය හා සෙසු පීඩිතයන් විසින් දරා සිටිය යුතු බවයි.
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ආසන්නයේ ම සිටින සගයන් වන්නේ සමාන කොන්දේසිවලට මුහුන දී සිටින කෝටි සංඛ්‍යාත ඉන්දියානු කම්කරු පන්තිය ඇතුලු දකුනු ආසියානු කම්කරු පන්තියයි.
මෙම කම්කරු පන්තියට, විනාශකාරී යුද්ධය අවසන් කිරීමත්, පාලක පන්තිය විසින් එල්ල කෙරෙන ප්‍රහාර මාලාව හා පීඩනය ජය ගැනීමත් යන කරුනු දෙක ම එක ම ක්‍රියා මාර්ගයකින් සාක්ෂාත් කර ගත හැකි වන අතර එය එසේ කර ගත යුතු ය. එම ක්‍රියා මාර්ගය සමන්විත වන්නේ එලඹෙන පන්ති අරගල මාලාව යුද්ධයේ මූලය වන පන්ති පාලනය අවසන් කිරීමේ ඉලක්කයට යොමු කිරීමේ පිලිවෙතිනි.
ඉරානය ආක්‍රමනය කල හමුදා වහා ආපසු කැඳවනුයැයි සටන් වදින ලෙස එක්සත් ජනපදයේ හා ඊශ්‍රායලයේ කම්කරුවන් වෙත අපි සහෝදරාත්මකව ආයාචනා කල යුතු වෙමු. ලොව පුරා අධිරාජ්‍යවාදී හමුදා කඳවුරු ඉවත් කරන තෙක් සියලු රටවල කම්කරුවෝ තම රටවල ආන්ඩුවලට එරෙහිව සටන් වැදිය යුත්තාහ. එමෙන් ම අධිරාජ්‍යාවාදීන් සමග ඇති කර ගන්නා යුදකාමී ඊනියා ආරක්ෂක ගිවිසුම් අහෝසි කිරිම අවශ්‍යය ය. ඒකාබද්ධ මහා වැඩ වර්ජන, ෆැක්ටරි වාඩිලි ගැනීම වැනි පන්තියේ කාර්මික ශක්තිය බලමුලු ගැනවීමේ ක්‍රියා මාර්ග සූදානම් කිරීම සඳහා කම්කරු පන්තියේ බල සංස්ථාවන් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මෙහි අත්‍යවශ්‍ය ක්‍රියාවකි.

ධනපති රාජ්‍ය එසේ ම පවතිද්දී සමාජවාදය – ඇතැම් විට කම්කරු පන්ති පාලනය පවා – පිහිටුවීමේ දවල් සිහින තුල මහජනයා නිදි කරවීමට වැඩ කරන එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් වැනි ව්‍යාජ වාම පක්ෂ හා කල්ලි, මුල් පෙලේ ධනපති පාලකයන්ටත් වඩා මෙම වැඩ පිලිවෙලින් තැති ගනු ඇත. සෑම කෙනෙකුම දන්නා පරිදි, වෘත්තීය සමිති දඬුඅඬුව කම්කරු පන්තියේ එකමුතුවට මූලික බාධාවකි.
මෙම ව්‍යාපාරවලට එරෙහි වීමෙන් තොරව මෙම අරගලය ගෙන යාම ගැන සිතන්නටවත් බැරි ය. යුද්ධයෙන් හා පීඩක ධනවාදයෙන් නිදහස් වීමේ අවශ්‍යතාව ඇති සියලු දෙනා ධනවාදයේ ආරක්ෂකයන් වන මෙම අවස්ථාවාදීන් කම්කරු ව්‍යාපාරයෙන් පිටමං කරමින් සටන සියතට ගැනීමට දැන් සිට සූදානම් විය යුතු ය.
යුද්ධය යනු යල් පැන ගිය ධනවාදය පෙරලා දැමීමට ලැබුනු අවස්ථා අප විසින් මග හරිනු ලැබීමට ඉතිහාසය ලබා දුන් දඬුවමයි. එකකට පසු එකක් ලෙස පැන නගින යුද්ධදාමය ඕනෑම මොහොතක ලෝක මහා යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව දරයි. කල යුතු වන්නේ දැන් මේ මොහොතේ සිට ක්‍රියාත්මක වීමයි. දැන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු.