ඩොනල් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් යුද වියරුව පරාජය කිරීමේ අනුලංඝනීය අයිතිය ඇත්තේ කම්කරු පන්ති ප්‍රමුඛ මහ ජනතවටයි!

0
images (80)

ප්‍රියන්ත සිල්වා විසිනි.

අමෙරිකානු ඊශ්‍රායෙල් අධිරාජ්‍යවාදය ඉරානය ආක්‍රමණය කිරීමෙන් හටගත් යුද්ධය ප්‍රත්‍යන්ත සීමාවන්ට විහිදෙමින් තිබේ.එකිනෙක පාර්ශව විසින් සිදුකරනු ලබන ප්‍රහාර,සිදුවෙන මරණ,තුවාල ලැබූවන්ගේ සංඛ්‍යා හා දේපල හානි මත යුද්ධයේ විවරණ දෙස් විදෙස් මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ වෙමින් පවතී.කෙසේ වුවද ඇති වෙමින් තිබෙන්නේ අතිශය අමානුෂික තත්ත්වයකි.

සංකීර්ණ යුධ අවි ,අධි තාක්ෂණික මෙවලම් දෙපාර්ශවය මගින් භාවිතයට ගනු ලැබේ.යුද්ධය බියකරුය.වේදනා සහගතය.ජයග්‍රාහී පාර්ශවය අවසානයේ ලබා ගන්නේ කුමක්ද යන්න විසඳා ගැනීම අපහසුය.ඇතැම් මධ්‍යස්ථ යුධ විචාරකයින් දක්වන අන්දමට අමෙරිකානු _ඊශ්‍රායෙල් හමුදාවලට ඉරානය පූර්ණ වශයෙන්ම යටපත් කිරීම කළ නොහැකි බව ප්‍රකාශ වේ.ඊට හේතුව ලෙස ඉරානයේ පැවති දිගු කාලීන අධිරාජ්‍යවාදී ආක්‍රමණයක පූර්ව සූදානම,අවි බලය හා භූමියේ පිහිටීම යන කරුණු ඔවුහු දක්වති.

අමෙරිකාව හා ඊශ්‍රායලය දිගු කලක සිට අධිරාජ්‍යවාදී බලය, මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කරමින් සිටිති.අමෙරිකාවට හිතවාදී මැද පෙරදිග රටවල්වල විශාල සංඛ්‍යාවක් හමුදා කඳවුරු පිහිටුවමින් එම කලාපයේ අමෙරිකානු බල ආධිපත්‍යය මුදාහැර තිබේ.කලාපයේ ඇති ඛණිජ තෙල් සම්පත අධිරාජ්‍යවාදීන්ට විශාල ආකර්ෂණයක් වීම මීට හේතුවයි.

  මේ සඳහා ඔවුන්ගේ ක්‍රියාත්මක බල කේන්ද්‍රය ලෙස ඊශ්‍රායලය පවත්වාගෙන යනු ලබයි.’මැද පෙරදිගට ඊශ්‍රායලය නැතහොත් යුදෙව් රාජ්‍යයක’ අවශ්‍යතාවය අධිරාජ්යවාදීන් පිළිගත්තේ අද ඊයේ නොවේ.එය ඉතිහාසයේ දීර්ඝ කාලයක සිට ඔප මට්ටම් වෙමින් ආ මාතෘකාවකි.මේ මත සිට ගනිමින් ඊශ්‍රායලය ද සියොන්වාදී  මූලයන් මුදාහරිමින් මැද පෙරදිග කලාපය ග්‍රහණයට ගනිමින් සිටී.මෙම පරම සතුරු බලවේගයට එරෙහිව එක්සත් රාමුවක ක්‍රියාත්මක වීමේ පරමාර්ථයන් මැද පෙරදිග රටවල විරලය.වාණිජ අපේක්ෂාවන්, වැඩවසම්වාදී පාලන තන්ත්‍රයන් හා කීප දෙනෙකුට පමණක් හිමිවන සුඛෝපභෝගී ජීවන රටාවන් යන කොන්දේසිවලට පොදු අභිලාෂයන්  යටපත් වී ඇත.මැද පෙරදිග බොහෝ රටවල ප්‍රමුඛතාවය හිමි වන්නේ ස්වකීය වාණිජ අරමුණු වෙතය.

  මේ වන විට ඇති වී තිබෙන යුධමය වාතාවරණය හා අධිරාජ්‍යවාදී ආක්‍රමණශීලි ක්‍රියා මාර්ග ගල්ප්f කලාපය හරහා දකුණු ආසියාව දෙසට කඩා වදිමින් පවතී.පසුගිය දින යුධ අභ්‍යාසයක් සඳහා ඉන්දීය සාගරයට පැමිණි ඉරාන යුධ නෞකාවක් අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකට ලක් වීමෙන් පෙනී යන්නේ මෙම අනතුරුදායක ස්වරූපයයි.මෙම නැව ආපසු ඉන්දීය වරායකට කැඳවා ගැනීමේ ක්‍රියා මාර්ගයද මග හැරුනු බව කියැවේ.

  වාර්තා වන තොරතුරු අනුව මෙම නැව, යුධ නැවක් වුවද වත්මනෙහි හටගෙන ඇති යුධමය ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වූ යාත්‍රාවක් නොවේ.එය මීට පූර්ව අවස්ථාවක ඉන්දියන් සාගරයේ පැවති යුධ අභ්‍යාසයකට සහභාගී වී නැවත සිය රට බලා ගමන් ගත් නැවකි.මෙම නැව ප්‍රහාරයකට ලක් වන්නේ ලංකාවට නුදුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේදීය.පැය 11 කට ආසන්න කාලයක් මෙම නෞකාව එම මුහුදු ප්‍රදේශයේ ගත කළ බවද ආරක්ෂක උපායන් සොයමින් සිටි බවද පැවසේ.මෙම නැවේ සිටි පිරිස ගලවා ගැනීමට නොහැකි වීම විපතට පත් ජීවිත ගලවා ගැනීමේ මානුෂීය ක්‍රියාකාරිත්වය නොසලකා හැරීමක් යන විවේචනය මතු වෙමින් තිබේ. එමෙන්ම මෙම නැව ප්‍රහාරයකට ලක් වන්නේ ඉන්දියානු සාගරයේ සාම කලාපයකදී වීම සංවාදයට ලක්ව ඇත.සාම සාගර කලාපයක් වෙත අමෙරිකානු ප්‍රහාරක සබ්මැරීනයක් දීර්ඝ ඉලක්කයක් වෙත පැමිණීම ගැනද විවිධ මත පවතී.එමෙන්ම සාම කලාපයක යුධ අභ්‍යාසයන් පැවැත්වීම පිළිබඳව ද ආසන්න රටවල යුධ විරෝධීන්ගේ විවේචන මතු වේ.

           ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළාසන්නයට පැමිණි අනිත් නැවේ සිටි ඉරාන ජාතිකයින් බේරා ගැනීම 1974 දී අප රට අත්සන් තබන ලද ජාත්‍යන්තර සම්මුතියකට අනුව නිරවුල් බව මාධ්‍යයේ සඳහන් වේ.එය ‘ආසන්න වෙරළ සතු රාජ්‍යක වගකීම’ ලෙස අර්ථ දැක්වේ.කෙසේ වුවද මෙම පිරිස් භාරදිය යුත්තේ ඔවුන්ගේ මව් රටට බව හිටපු මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානි රියාද්  අද්මිරාල් වයි.එන්.ජයතිස්ස පෙන්වා දේ.මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කිසිදු අයිතියක් අමෙරිකානු පාලනයට නැත.එසේ කරන්නේ නම් එය ජාත්‍යන්තර සම්මුතීන් අමු අමුවේ බිඳ දැමීමකි.

             මේ අතර අමෙරිකානු පාලකයා ප්‍රකාශ කර සිටින්නේ,ඉරානයේ නව නායකයෙකු පත් කරන්නේ නම් තම සිතැගි පරිදි එය සිදු විය යුතු බවයි.ස්වෛරී රාජ්‍යකට අධිරාජ්‍යවාදීන් විසින් කරනු ලබන බලපෑම කෙබඳු ද යන්න මින් පැහැදිලිය.එපමණකින් නොනවතින ට්‍රම්ප් ජනපතිවරයා කියුබානු පාලනය දෙසටද සිය හස්තය දිගු කරයි.මෙය සමස්ථ ලෝකය වෙතටම එල්ල වන අනතුරු ඇඟවීමේ සංඥාවකි.මේ මගින් අධිරාජ්‍යවාදී යුධ වියරුව පරාජය කිරීමේ අනුලංඝනීය අයිතිය ලෝකයේ සියලු ජනතාව වෙත ලබා දෙන පණිවුඩය නිකුත් කරයි.මින් පෙන්නුම් කරන්නේ සමස්ථ ලෝකයේම පීඩාකාරිත්වයට මුහුණ දී සිටින ජනතාවගේ එක්සත් ව්‍යාපාරයක දැඩි අවශ්‍යතාවයයි.

             අමෙරිකානු පාලනය ලෝක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය රැක දීමට මාන බලන්නේ එලෙසිනි.ලෝකයේ විවිධ රටවල අභ්‍යන්තරයේ පවතින පාලන ව්‍යූහයන්ගේ ස්වරූපයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතියක් අමෙරිකාවට නැත.ඉරාකයේ ,ලිබියාවේ ,වෙනිසියුලාවේ පැවති පාලනයන් හා ඉරානයේ පාලනය ගැනද බලවත් විවේචන පවතී.එම පාලනයන්ට එරෙහි වූ තියුණු විරෝධතා එම රාජ්‍යයන් තුලින්ම පැන නැගුණි.ඇතැම් විරෝධතාවයන් එම පාලනයන්ට එරෙහි වූ ජනතා ක්‍රියාකාරි්ත්වයන් ලෙස මතු වුවද අවසානයේ අමෙරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් සපුරා දෙන මෙවලම් බවට පරිවර්තනය විය.ඒවා පුපුරා ගියේ සමාජවාදී දේශපාලන මුහුකුරා යාම් මත නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය කැඳවා ගැනීමේ අරමුණින් මෝදු වූ එම ක්‍රියාකාරිත්වයන්හි අවසන් ඉලක්කයන් අමෙරිකානු අධිරාජ්‍යවාදය විසින් ඩැහැ ගනු ලැබුවේය.

          ලෝකයේ රටවල පවතින පාලන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විප්ලවවාදී නිර්ධන පංති දේශපාලනයේ ඇත්තේ සමාජ පරිවර්තනයන් අරමුණු කරගත් ස්ථාවරයන් මිස අමෙරිකානු ගැති ජුන්ටා පාලනයන් ඇති කිරීමට ආවැඩීම නොවේ.ඉරානයට එල්ල කරනු ලබන අමෙරිකානු ඊශ්‍රායෙල් ආක්‍රමණය හමුවේ ඇති සාකච්ඡාව වන්නේ ‘ස්වාධීන රාජ්‍යයක් වෙත සිදු කරන අධිරාජ්‍යවාදීන්ගේ සහාසික බලපෑමයි’.මෙවැනි ස්ථානයන්හි සමාජවාදී දේශපාලන ව්‍යූහයන් පුලුල් ලෙස රෝපණය නොවී තිබීමද පරාජිත තත්ත්වයන් ඇති කිරීමට තුඩු දී ඇත.

         ඇතමෙක් ඉරානයේ පවත්නා පාලනය ගැන බලවත් විවේචන මතු කරති.ඒ යටතේ අමෙරිකානු ඊශ්‍රායෙල් මැදිහත් වීම සාධාරණීකරණය කළ හැකිද? සෞදි අරාබිය ප්‍රමුඛ තවත් රටවල අති අමානුෂික වැඩවසම් නීති රීති නොමැති ද?මෑතකදී සෞදි අරාබි පාලනය විසින් සිදු කරන ලද මාධ්‍යවේදී ‘කෂෝගි’ඝාතනය මෙහිදී සිහිපත් කළ යුතුය.එම ඝාතනයට විරුද්ධව අමෙරිකාව සිය අදහස් ප්‍රකාශ කළේය.නමුත් ඛණිජ තෙල් හා ගිවිසුම්ගතව තිබූ යුධ අවි ගණුදෙනුවලින් ඇතිව තිබූ එම විවේචනයන් වැසී ගියේය.සෞදි අරාබියේ සේවයට ගිය ශ්‍රී ලාංකීය දැරියකගේ ගෙල කඩුවට බිලි විය.එහිදී රාජ්‍ය තාන්ත්‍රිකවද සානුකම්පිත ක්‍රමවේදයක් යටතේ ඇගේ ජීවිතය ඉල්ලා සිටියද එය ඉටු නොවුණි. දරිද්‍රතාවයේ ගිලී සිටි අසරණ දැරියකගේ ජීවිතය එලෙස අවසන් විය.උතුරේ පැවති යුද්ධය අවසන් සමයේ නැගෙනහිර පළාතේ දේශපාලනීකරණය වූ අන්තවාදී වහබ් සංවිධාන සහාසික ක්‍රියාකාරිත්වයන් වෙත ප්‍රවේශ වන තෙක් මෙරට පාලකයෝ නිහඬව සිටියහ.

          මෙවැනි තත්ත්වයන් ලෝකයේ කම්කරු පංතිය ප්‍රමුඛ ප්‍රගතිශීලි ජනතාව ප්‍රතික්ෂේප කරති.එමෙන්ම ලෝකයේ රටවල් ග්‍රහණයට ගෙන අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සපුරාලනු ලබන පාලනයන්ට විරෝධය දක්වති.අවශ්‍ය වන්නේ පංති යුද්ධය පෝෂණය කිරීම මිස අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සම්පූර්ණ කිරීම නොවේ.මේ සඳහා ගොඩ නැගිය යුතු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පුලුල් සාකච්ඡාවක අවශ්‍යතාවය මේ මොහොතේ මතු වී තිබේ.   

                     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *